» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
05/03/2017 - ඉරිදා ලංකාදීප
රුමේනියාව සුළු පරිමාන දුෂණ නොසලකා හරින්නට තීරණය කරයි

1989 දී කොමියුනිස්ට් පාලනය බිඳ වැටීමෙන් පසු මේ දක්වා කාලයේ රුමේනියාවේ පැවැති විශාලතම ජන විරෝධතාවය බලගැන්වී ඇත. ලක්ෂ ගණන් රුමේනියානුවන් පාරට බැස කෑගසන්නට පටන්ගෙන තිබේ. ඒ අලූතින් යෝජනා කර ඇති පණතකට විරුද්ධවය. නව පණත අනුව ඇමරිකානු ඩොලර් 48,500 කට වඩා අඩු තක්සේරුවක් ඇති දූෂණ හෝ වංචා බරපතල වැරදි හැටියට සලකන්නේ නැත. මහජන මුදල් අනිසි ලෙස පරිහරණය කරන නිලධාරීන්, මැති ඇමැතිවරුන් ඇතුළු පාලකයන් ගැන ලෝකයේ නොයෙක් රටවල් වලින් අනාවරණය වෙයි. දුෂණ විරෝධී පෙරමුණු සංවිධානගත වෙමින් තිබේ. එවැනි වාතාවරණයක් මැද රුමේනියාව සුළු පරිමාන දූෂණ වශයෙන් කොටසක් වෙන්කර දැක්වීම අති විශාල වරදක් බව එරට ජනතාව ගේ තක්සේරුවයි.

එරට ජනතාව දින ගණනක් රුමේනියාවේ වික්ටරි චතුරශ‍්‍රය වට කර ගෙන සිටි අතර රාත‍්‍රී කාලයේ දී සිය ජංගම දුරකථන වල ආලෝක පහන් දල්වා අහසට එල්ල කරමින් එම විරෝධය ද චමත්කාර දර්ශනයක් සේ නිර්මාණය කළේය. එයින් සංකේතවත් කරන්නේ අන්ධකාරය දුරු කරනු සඳහා දහස් ගණනින් ආලෝක කදම්බ එකට එකතුවීමේ සංකේතයක් විය හැකිය.

රුමේනියාවේ වත්මන් ආණ්ඩුව සන්ධානගත එකකි. මැතිවරණය අවස්ථාවේ දී පැවැති ආණ්ඩුවේ පාලකයන් රට තුළ කරන ලද බව කියන දූෂණ හා වංචා ගැන අති විශාල මතයක් ඇති කළේය. පක්ෂයේ දූෂණ විරෝධී පෙරමුණ ඉතාම ජනප‍්‍රිය වූ අතර එය වටා ජනතාව රොද බඳින්නේ පවතින වැරදි වලට එරෙහිවය. රුමේනියාව 2007 දී යුරෝපා සංගමය හා එකතු වූ අතර දේශපාලනඥයන් කරන වැරදි හෙයින් අති විශාල දූෂණයක් රට තුළ පැතිරී ගිය බව වාර්තා විය. ජාත්‍යන්තර ශේණිගත කිරීම් පවා තහවුරු කළේ එයයි. බරපතල දූෂණ සහ සංවිධානාත්මක අපරාධ එරට ආර්ථික සංවර්ධනය අඩාල කරන ලද බව ද සදහන් වෙයි. ඉකුත් මැතිවරණයේ දී මහා පරිමාන දූෂණ ගැන විශාල ආන්දෝලනයක් ඇති කළේය. බලයට පත් වහා සියළු දූෂණ සොයා බලා අධිකරණ ක‍්‍රියා මාර්ග ගන්නා බව සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ සටන් පාඨය විය. ජනතාව සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට ඡන්දය දී සිය ආණ්ඩුව පත් කර ගත්තේය. බලයට පත්වී කාලයක් ගතවන නමුත් ප‍්‍රකාශ කරන ලද අති විශාල දුෂණ ගැන නිසි තීන්දු ගත නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ජනතා සංවිධානවල චෝදනාවයි. වැරදිකරුවන් අල්ලා නඩු පැවරීම ප‍්‍රායෝගිකව බලන විට ආණ්ඩුවට ලෙහෙසි වූයේ නැත. මෙකී විරෝධතා පවතින කාලයේ දී ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කරන ලද එක තොරතුරක් ඉතාම වැදගත්ය. එයට අනුව බලයේ ඉන්නා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ පක්ෂයේ නායක ලිව්යු ඩ‍්‍රැග්නියා ඇමරිකානු ඩොලර් 26,000 ක මැතිවරණ මුදල් අවභාවිතා කරන ලද බවට චෝදනා ලැබූවෙකි. දෙවසරක අත්හිටවූ ද`ඩුවමක් නියම වී ඇත. නව පණත බල පැවැත්වුවහොත් පක්ෂ නායකයා පමණක් නොව දූෂණ චෝදනා ඇති බහුතරයකට විරුද්ධව නඩු පවරන්නේ නැත. හේතුව කරන ලද වරද ඩොලර් 48,500 ට අඩු එකකි. එහෙයින් නිදහස් පුද්ගලයන් බවට පත්වෙන්නට ඉඩ තිබේ. 2014 - 16 කාලය තුළ එරට දෙදසහසකට වැඩි පිරිසකට චෝදනා එල්ල වී තිබුණි. පක්ෂ නායකයාට ඇති චෝදනා හෙයින් ඡන්දයෙන් පසු අගමැති ධුරයට පත්වීමට අවහිර විය. පක්ෂයේ දෙවන පෙල නායකයෙකු වූ සොරින් නිහායි අගමැති වශයෙන් දිවුරුම් දෙන්නේ ඒ අනුවය. පක්ෂ නායකයාගේ ඩොලර් විසි හය දහසේ වංචාව මග හැරෙන සේ උපක‍්‍රමශීලීව අලූත් පණත යෝජනා කර ඇති බව ජනතා විරෝධයයි. එමගින් දූෂණ වංචා සෙවීමේ දී ක‍්‍රියා කළ යුතු සීමාව වෙනස් කර සිද්ධි සාමාන්‍යකරණය කරන බව කියමින් ජනතාව විරෝධය පළ කරන අතර රුමේනියාව උණුසුම් වී තිබේ. වැරදිකරුවන්ට දඩුවම් දෙන්නට බැරි ආණ්ඩුව ගෙදර යනු කියමින් කෑ ගසන විරෝධතාකරුවන් ජාත්‍යන්තර ජනමාධ්‍ය වල අවධානයට ලක්ව තිබේ.

රුමේනියානු ආණ්ඩුවේ පණත නොඉවසන ජනතාව දුෂිතයන් හිරගෙදරට යවන සේ උද්ඝෝෂණය කරන නමුත් සුළු වැරදි කරුවන් ද අත්අඩංගුවට ගෙන නඩු විභාග කළහොත් හිරගෙවල් ඉඩ මදි වෙනු ඇති බව ආණ්ඩුවේ ප‍්‍රධානීන්ගේ මතය බවට පත්ව තිබේ. දුෂණ හොයන බව කියා බලයට පත් ආණ්ඩුව දුෂිතයන් නිවැරදි කරන පනත් හදන්නට කලබලවීම විරෝධතා කරුවන්ගේ ප‍්‍රකෝපය අවුලවන්නට හේතු විය.

ක‍්‍රමය විවේචනය කර බලයට පත්වන ඕනෑම ආණ්ඩුවක් මුහුණ දෙන ගැටළුවක එක පැත්තක් මෙම සිද්ධියෙන් මැනැවින් පෙන්නුම් කරයි. රුමේනියාවේ වත්මන් තත්ත්වය හොඳ උදාහරණයකි. ප‍්‍රතිපත්ති පැත්තකට තියා අනෙක් පක්ෂයේ නුගුණ බලවත් සේ හුවා දක්වන දේශපාලන පක්ෂ සිය ප‍්‍රචාරක කටයුතු අවසානයේ දී ජනතා කැමැත්ත දිනා ගන්නා පාර්ලිමේන්තුවට පත්වනු ඇත. බැරූරුම්කම දැනෙන්නේ බලයට පත්වූ පසුවය. ජනතා අපේක්ෂාව අනෙකකි. ඉතාම පිිරිසිදු පාලනයකි. වැරදිකරුවන් හිර ගෙදරට යැවීමය.

පවතින දේශපාලන ව්‍යුහය තුළ ඉතාම පිරිසිදු චරිත දුර්ලභය. ඉතා වියදම් සහගත මැතිවරණ ක‍්‍රම එයට හේතු වී ඇත. ප‍්‍රචාරණය, පක්ෂ සංවිධානය, අනුගාමිකයන් නඩත්තු කිරීම පහසු නැත. දියුණු රටවල පක්ෂයට අවශ්‍ය මුදල් පරිත්‍යාග ලෙස ලබා ගන්නා විනිවිද පෙනෙන ක‍්‍රමවේද තිබේ. ඡන්දයකට අරමුදල් වශයෙන් උපයා ගත හැකි ප‍්‍රමාණය ගැන සීමා ඇත. පුද්ගලයන් හෝ ව්‍යාපාරිකයන් දේශපාලන පක්ෂයකට මුදල් දෙන විට එය රහසිගත වෙන්නේ නැත. නොයෙක් රටවල්වල ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය ප‍්‍රමාණවත්ව දියුණු වන විට දේශපාලන පක්ෂවල අයවැය වාර්තා ප‍්‍රසිද්ධ කෙරේ. සමහර රටවල් සිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට දේශපාලන පක්ෂ වල වියහියදම් හෙළිදරව් කිරීම අනිවාර්ය කර ඇත. නැත්නම් එයට බලකරන්නේ මැතිවරණ ක‍්‍රියාදාමයයි. එයින් පරිබාහිරව ධනය එකතුවන විට පක්ෂය සහ දේශපානඥයා දූෂිත තත්ත්වයට පත්කරයි.

දේශපාලනඥයන් මුදල් උපයා ගැනීමට අනුගමනය කරන ක‍්‍රම රටක දුෂණය වැඩෙන්නට එක හේතුවකි. එය බලය අයුතු ලෙස පරිහරණයකි. මැතිවරණයක දී පක්ෂයට අනුග‍්‍රහය දක්වන ව්‍යාපාරිකයාට ආණ්ඩුව බලයට පත් වූ විට ප‍්‍රති උපකාර කිරීමේ පිලිවෙතකට ගමන් කරන විට ඡන්දය පාවිච්චි කර ආණ්ඩු හදන ජනතාවගේ පරමාධිපත්‍ය සම්බන්ධ ගැටළු ඇතිවෙයි. දූෂණය තුරන් කරන බව කියා ලෝකයේ කොතැනක හෝ බලයට පත්වන ආණ්ඩු අවසානයේ දී පත්වන අර්බුදය එයින් තේරුම්ගත යුතුය.

ශ‍්‍රී ලංකාවේ දේශපාලනය මෙකී ස්වභාවය සලකා වර්ග කළ හැක්කේ කෙසේද? අවධානයට ලක් විය යුතුය. මෙරට සියළු දේශපාලන පක්ෂ නොදන්නා ප‍්‍රභවයන්ගෙන් ලැබෙන අරමුදල් වලින් නඩත්තු වන බව ප‍්‍රකටය. මෙම ධනය ගලා එන්නේ කොතැනින්ද සහ ඒවා සම්පාදනය කරන පාර්ශවයන්ගේ අරමුණු හා අපේක්ෂා කෙබදු ද යන්න විමසා බැලීම වැදගත්ය. පක්ෂයකට ලැබෙන මුදල් භාරගන්නේ නිල වශයෙන් නොවේ. ඒවා කොතැනක දී හෝ හමුවන පුද්ගලයන් ඉතාම රහසිගතව බාර දෙන්නේ පුද්ගලික සම්බන්ධතා අනුවය. මෙම මුදල් වලින් එක්තරා කොටසක් කලූ සල්ලි යැයි කිසිවකු චෝදනා කළහොත් එය අසාධාරණ නැත. මැතිවරණ ක‍්‍රමය නඩත්තු කරන්නට ධනය උපයා ගන්නා දේශපාලනඥයන් දූෂණයේ උල්පත බව සඳහන් කරන්නට අවශ්‍යය. දුෂණ පිටුදකින බව කියා බලයට එන පාලන ක‍්‍රම සමහර විට නඩත්තු කරන්නේ දූෂිත ධනයෙන් නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳව ගැටළු මතුවීම වැලැක්විය නොහැකිය. ලෝක දේශපාලනයේ ප‍්‍රවනතා දෙස බලන විට රුමේනියානු දූෂණ විරෝධයේ පසුබිම මෙරට ජන සමාජයට අලූතින් හිතන්නට නිශ්චිත පැති ගණනාවක් පෙන්වා දෙයි.