» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
05/02/2017 - ඉරිදා ලංකාදීප
පාර්ලිමේන්තු කටයුතු වලට මැදිහත් වන පුරවැසියෝ

ඇමරිකානු ජනාධිපති ධුරයට පත් ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගැන බි‍්‍රතාන්‍යයේ අලූත් ආන්දෝලනයක් හටගෙන තිබේ. එරට පුරවැසියෝ අන්තර් ජාල පෙත්සමක් අත්සන් කරමින් සිටිති. එම පෙත්සමට අනුව ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට ඇමරිකානු නායකයා වශයෙන් රටට ඇතුළු විය හැකිය. එය ප‍්‍රශ්නයක් නොවේ. නමුත් නිල සංචාරයක් සඳහා ඔහුට ආරාධනා කළ යුතු නැත. එය බි‍්‍රතාන්‍ය රැජින අපහසුතාවයකට පත් කිරීමක් යැයි එකී පෙත්සමෙහි සඳහන්ය. මෙවැනි පෙත්සමක් අත්සන් කිරීමේ අදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තවත් පැත්තක් අනාවරණය කරයි. එය සාකච්ඡා කිරීම වැදගත්ය.

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු ක‍්‍රමය අනුව ජනතාවට මහජන පෙත්සම් ඉදිරිපත් කළ හැකිය. අනුමත නිර්නායක වලට එකඟ නම් එය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනේ. පුරවැසියන්ට කෙලින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ භුක්ති විඳින්නට ලැබෙන අවස්ථාවකි. ජනතාව සිය නියෝජිතයන් පත්කර පාර්ලිමේන්තුවට යවන නමුත් ජනතාවගේ අයිතිය එයට වඩා පුළුල්ය. මහජන නියෝජිතයන්ගේ බලය ඉක්මවා යන පරමාධිපත්‍යයක් පුරවැසියන්ට තිබේ. පස්දෙනෙකුට එකතු වී පෙත්සමක් සකස් කළ හැකිය. පුරවැසියන් දස දහසකගේ අත්සන් ගන්නට සමත්වුවහොත් එය පාර්ලිමේන්තුවේ පෙත්සම් කාරක සභාවේ අවධානයට ලක්වෙයි. ප‍්‍රමිතියට අනුකූලනම් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ප‍්‍රසිද්ධ කෙරේ. එහි දී පෙත්සම්කරුවන් කැඳවා සාකච්ඡා කරන්නට හෝ උපදෙස් දෙන්නට පුළුවන. අත්සන් ලක්ෂයක් එකතු කරගන්නට සමත් වන විට ජනතාව ඉදිරිපත් කරන පෙත්සම විවාදයට ගන්නට නියම වන අතර මෙයට කලින් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ විවාදයට ගැණුන කාරණයක් හෝ නුදුරු කාලයේ දී විවාදයට යෝජිත කාරණයකට සම්බන්ධ නම් මෙම අනුකූලතා නොසලකා ප‍්‍රතික්ෂේප කෙරේ.

පාර්ලිමේන්තු මහජන පෙත්සම් කමිටුව පසු පෙළ මන්තී‍්‍රවරුන් එකොලොස් දෙනෙකුගෙන් සමන්විත අතර සියළු පක්ෂ වලට එහි නියෝජනයක් ඇත. එකී කමිටුවේ මුලික නිර්නායක ගණනාවක් ඇති අතර ඒවාට නොගැලපෙන පෙත්සම් අවධානයට ලක් නොකෙරේ. නමුත් මෙයින් පෙන්වන්නේ පාර්ලිමේන්තුවේ විවාද කර එකඟවිය යුතු කාරණයක් හමුවේ වැසියන්ට පවා තමන්ගේ මතය ඉදිරිපත් කරන්නට බාධාවක් නැති බවය. මෙකී අන්තර් ජාල පෙත්සම් ක‍්‍රමය 2015 ජුලි මාසයේ දී ආරම්භ වූ අතර එයට ඉදිරිපත් වූ පෙත්සම් අනුව සාර්ථක විවාද බලපවත්වන ලද බව මෑත ඉතිහාසය පෙන්වා දෙයි.

පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ දී බි‍්‍රතාන්‍ය පුරවැසියන් පස් දෙනෙකු එකතු වී ඩොනල්ඞ් ට‍්‍රම්ප් බි‍්‍රතාන්‍ය සංචාරයට විරුද්ධව පෙත්සම යෝජනා කරන විට එයට එතරම් ප‍්‍රතිචාර තිබුණේ නැත. අත්සන් තුන්සිය හැත්තෑ ගණනක් එකතු වී තිබුණි. ට‍්‍රම්ප් දිවුරුම් දී දින කිහිපයකට පසු මුස්ලිම් බහුතරයක් සිටින රටවල් හතක වැසියන්ට ඇමරිකාවේ සංචාර අවහිර කරන නිවේදනය නිකුත් කළේය. එවිට බි‍්‍රතාන්‍ය තුළ ට‍්‍රම්ප් විරෝධයක් ඇවිලිණ. මෙම අන්තර් ජාල විරෝධතාව ප‍්‍රබල තැනෙකට ගෙන එන්නට එකී තිරණය බලපෑවේය අද වන විට මෙම පෙත්සමට අත්සන් දස ලක්ෂයක් පමණ එකතු වන තරමට ප‍්‍රබල වී ඇති බව ජාත්‍යන්තර වාර්තා පෙන්වයි. ලන්ඩන් නගරයේ උතුර දකුණ වෙනස් නැතිව ලක්ෂ ගණනින් පිරිසක් මෙයට අත්සන් තබා තිබේ. පෙත්සම්කරුවන් ඉදිරිපත් කරන කාරණය එනම් නිල සංචාරයක් සදහා ආරාධනා කළ යුතු නැති බව දක්වන මතය ගැන පාර්ලිමේන්තු විවාදයක් පවත්වන්නට වාතාවරණයක් ඇති විය හැකි දැයි කියන්නට හැකියාවක් නැත. නමුත් මෙම පෙත්සම් අත්සන් කිරීමේ කි‍්‍රයාවලිය බි‍්‍රතාන්‍යයෙන් ඔබ්බට විහි දී ලෝකය පුරා අලූත් ජනමතයක් අවුලූවන්නට විශාල වශයෙන් පාදක වී තිබේ. අවධානයට ගත යුතු කාරණය එයයි.

තේරේසා මේ, බි‍්‍රතාන්‍ය අගමැතිනිය මෙම මහජන පෙත්සම ගැන කනස්සල්ලට පත්ව සිටින්නීය. මෙවැනි ප‍්‍රවේශයක් අනුමත කළ නොහැකි බව ඇය ප‍්‍රකාශ කර තිබේ. පවතින තත්ත්වය තීරණ කළ යුතු ඇමරිකාව බව අගමැතිනිය වැඩිදුරටත් කියා ඇත.

පාර්ලිමේන්තුව උත්තරීතර ආයතනයකි. ජන සම්මතවාදී පාලනයට අවස්ථාව පාර්ලිමේන්තුව සම්පාදනය කරයි. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයකි. ගැඹුරට සාකච්ඡා කරන විට මේ අප අත්විඳින්නේ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයද? රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන අපට ප‍්‍රශ්න ඇති වන්නේ ඇයි? අවුරුදු හැට නමයකට පසුව වුවත් ජනතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික ලක්ෂණ භුක්ති විඳින්නට අපොහොසත්ව තිබේ. ව්‍යවස්ථාව, විධායකය හා අධීකරණය නමින් ආයතන තුනක් ඇත. සිවිල් සමාජය හා මාධ්‍ය වෙතින් අපේක්ෂා කරන්නේ ද ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂාවයි. නමුත් අවසානයේ දී මහජනතාවට තමන් අත්විඳින ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සතුටක් තිබේද? අත්විඳින ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා බටහිර රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතර විශේෂ වෙනසක් ඇත. බැලූ බැල්මට මේ ගැන අවබෝධයක් ලැබෙන්නේ නැත. නමුත් එහි ඇති පරස්පරයන් සමාජයට ඇති කර තිබෙන බලපෑම බරපතලය.

බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පුද්ගලයා විශේෂිත නොවීය. වැදගත් වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරන්නට පිහිටුවා ඇති ආයතනයි. ආයතනික රටාව අනුව පාලන බලය ඇත්තේ කවර නායකත්වයක් අත වුවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ යහපත් ප‍්‍රතිපල සමාජයට ලබන්නට හැකිය. ඒ තරමට ආයතන හා සම්ප‍්‍රදාය බලවත්ය. නමුත් ශ‍්‍රී ලංකාව ඇතුළු ආසියාවේ දක්නට ලැබෙන්නේ එයට වෙනස් මුහුණූවරකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වාසි අවාසි හා සමාජයට අවස්ථා ඇති වන්නේ ක‍්‍රමය මෙහෙයවන නායකයාගේ බලය හා ඔහු සතු තීන්දු ගැනීමේ හැකියාව අනුවය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුව මන්තී‍්‍රවරයා මහජන නියෝජිතයාය. නමුත් ශ‍්‍රී ලංකාවේ පාක්ෂිකයන්ට අවස්ථාව දෙන දොරටුපාල භූමිකාවකට සීමා වී තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ලිබරල් ලක්ෂණ බි‍්‍රතාන්‍යයේ ගොඩනැගුණේ සමාජ විනය සමගය. සම්ප‍්‍රදාය ද එයට එකතු විය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ආයතන පිහිටුවන විට මහජනතාව එහි ලක්ෂණ භුක්ති විඳින්නට සුදානම්ව සිටියේය. නමුත් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රමය මෙහෙයවන ආයතනික ව්‍යුහයට වඩා දේශපාලනඥයා බලවත් වී තිබේ. මෙය ආසියාවේ සංස්කෘතියට හා සමාජ රටාවට ගැලපෙන පරිදි ප‍්‍රජාතන්ත‍්‍රවාදය සකස් වීමක් ලෙස දැකිය හැකිය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා එය ආරක්ෂා කරන්නට ඇති ආයතන හැසිරෙන ආකාරය ශ‍්‍රී ලාංකිකත්වයට නුහුරුය. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය හඳුන්වා දෙන්නේ බි‍්‍රතාන්‍යයෙන් වුවත්, දේශපාලනයේදී හෝ පාර්ලිමේන්තුවේදී බි‍්‍රතාන්‍යයේ අනුගමනය කරන පිළිවෙත මෙරට දේශපාලනයේ දක්නට නැත. නීති රීති වලට වඩා සම්ප‍්‍රදායට ගරු කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලක්ෂණ අපේ දේශපාලන නායකත්වයට නුහුරුය. මූලික රීතීන් උල්ලංඝනය නොවෙන ලෙස මිනිස් නිදහස අගයමින් හැසිරීම අපේ සමාජයට පුරුදු නැත. බි‍්‍රතාන්‍යයේ ජනතාව පුද්ගල පෙත්සම් ඉදිරිපත් කර එය ජන අවධානයට ලක් කරන්නට සමත් නමුත් මෙරට මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වුවහොත් එය කොපමණ සංකීර්ණ තත්ත්වයක් ඇති කරනු ඇති ද? ප‍්‍රශ්නය එයයි.

මෙරට පාර්ලිමේන්තු ක‍්‍රමයට ද මහජන පෙත්සම් කාරක සභාවක් තිබේ. නමුත් එයට පෙත්සම් ඉදිරිපත් කරන්නේ මන්ත‍්‍රීවරයාය. පාක්ෂිකයන්ගෙන් ලැබෙන පෙත්සම අනුව නිලධාරීන්ගෙන් කරුණු විමසීමකි. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයට සෘජුව මහජනතාව සම්බන්ධවීමක් නොවේ. දුක්ගැනවිල්ලක් දැක්වීමකි. ඒ අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු පොතක ලියැවී ඇති වගන්ති අනුව භුක්ති විඳින එකක් නොවේ. නියම ප‍්‍රජාතන්ත‍්‍රවාදය එය නොවේ. ජනතාවගේ අවශ්‍යතාව පරිදි ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අංග සංශෝධනය විය යුතුය. මහජනතාව පාලකයන් හා සියලූ පාර්ශවයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරන්නට ඇති ආයතනත් එකතුවී ඉදිරි ගමන ගැන සාකච්ඡා කිරීම වැදගත්ය. රටට අනන්‍ය ක‍්‍රමය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අලූත් පැති ගැන ගැන විවෘත කතාබහක් ඇති වීම අවශ්‍යය. ඇමරිකානු ජනාධිපතිවරයාට නිල ආරාධනාවක් කළ යුතු නැති බව බි‍්‍රතාන්‍යයේ මතයක් ඇතිවීම සහ එය පාර්ලිමේන්තු විවාදයකට යොමු කරන්නට පවතින අවකාශය වැනි දෙයක් ශ‍්‍රී ලංකාවේ යෝජනා විය හැකිද?