» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
05/01/2020 - ඉරිදා ලංකාදීප
තරුණ කාන්තාවන් පාලනයට සම්බන්ධ කරගැනීම ගැන පින්ලන්තයෙන් ආදර්ශයක්

තරුණන්ට රට වගකීම් භාර දෙන යෝජනා කරන නමුත් ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක වෙන්නේ නැත. අනාගතය තරුණ තරුණියන් අත බව ප‍්‍රකාශ වන නමුත් වැඩිහිටියෝ බලය අත් හරින්නට කැමැත්තක් නැති බව ඉතා පැහැදිලිය. පින්ලන්ත අගමැතිනිය වශයෙන් තිස් හතර හැවිරිදි සානා මරීන් බලයට පත් වූ අතර ලෝකයේ ලාබාලතම අගමැතිනිය වශයෙන් ප‍්‍රසිද්ධියට පත් ව තිබේ.

තරුණ නායකයන් බලයට එන විට වියපත් දේශපාලනඥයන්ට ගැටළු පවතින බව පෙනේ. එස්ටෝනියාවේ ස්වදේශ කටයුතු ඇමැතිවරයා එරට රේඩියෝ සාකච්ඡාවක දී පින්ලන්තයේ අගමැතිනිය ගැන සදහන් කර ඇති අතර ඇය වෙළද සේවිකාවක් සේ හදුන්වා තිබේ. හෙතෙම දක්ෂිණාංශික අදහස් සහිත හැත්තෑ හැවිරිදි අයෙකි. එම ප‍්‍රකාශය ගැන එස්ටෝනියාවේ අගමැතිවරයා වහාම සමාව ඉල්ලා තිබේ. තරුණ ප‍්‍රජාව බලයට එන විට නැගෙන විරෝධතා වශයෙන් මෙම සිද්ධිය මතුකර දැක්විය හැකිය. මෙහෙම ගියොත් අධ්‍යාපනයක් රහිත පදික වේදිකාවේ ඉන්නා පිරිස කැබිනට් එකට පත්විය හැකි බව එස්ටෝනියාවේ ඇමැතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබුණි. එහෙත් සානා මරීන් හොද පසුබිමක් ඇති තරුණ නායිකාවකි. ඇය අධ්‍යාපනය ලබන වකවානුවේ අලෙවි කටයුතු වල නිරත වී තිබේ. එහෙත් ඇය මහන්සියෙන් ඉගෙන ගෙන උපාධිය සම්පූර්ණ කර ඇත. ඇයගේ පවුලේ උපාධියක් ලැබූ පළමු සාමාජිකාවයි. විසි හැවිරිදි වියේ දී දේශපාලනයට පැමිණි ඇය පළමුවෙන් ප‍්‍රදේශයේ නගර සභාවට තේරී පත්ව තිබේ. 2014 දී සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායිකාව වූ ඇය තිස් හැවිරිදි වියට එළැඹෙන විට පාර්ලිමේන්තුවට පත්වූවාය. දෙවැනි වර ඇය ප‍්‍රවාහන හා සන්නිවේදන අමාත්‍යවරිය වශයෙන් කටයුතු කළ අතර අගමැතිනිය බවට පත්වන විට රට තුළ තද ජාතිකවාදී අදහස් සහිත දේශපාලන පසුබිමක් ඇවිලෙමින් තිබුණි. පක්ෂ පහකින් යුතු මධ්‍ය වාමාංශික සන්ධානය මෙවර මැතිවරණයේ දී ජය අත්පත් කරගත්තේය. සන්ධානය පත් කරගත් කැබිනට් මණ්ඩලය දහ නම දෙනෙකුගෙන් සමන්විත අතර එයින් දොලොස් දෙනෙකු කාන්තාවෝය. තවත් විශේෂත්වයක් වූයේ අගමැති, මුදල් අමාත්‍ය ඇතුළු බලවත් විෂය හිමි වූ පස් දෙනෙකුම වසර තිස් පහට අඩු කාන්තාවෝ වශයෙන් කැපී පෙනීමය. එස්ටෝනියාවේ ස්වදේශ කටයුතු ඇමැතිවරයා මෙම සිද්ධිය ගැන විවේචනය කරන්නේ එබදු පසුබිමකය.

පින්ලන්තය හොද අධ්‍යාපන පහසුකම් ඇති රටකි. නොබෝදා නිකුත් වූ වාර්තා අනුව ලෝකයේ ජීවත්වීමට වඩාත් සුවදායක නගරය වශයෙන් පින්ලන්තයේ අගනවර නම් කර තිබුණි. හෙල්සිංකි නගරය වසරේ සෑහෙන දින ගණනක් හිරු පායන්නේ නැති අතර අධික හිම පතනයකින් යුතු ප‍්‍රදේශයක් ජීවත්වීමට හොද තැනක්බවට පත්වීම එරට පාලන ක‍්‍රමයේ ලක්ෂණ මැනැවින් හුවා දක්වයි. දේශපාලනයේ දී තරුණ නායකයින්ට තැන ලැබීම සහ කාන්තාවන් පෙරමුණ ගැනීම ලෝකයේ සෑහෙන රටවල් ප‍්‍රමාණයකට ආදර්ශයක් වී ඇති බව ඉතාමත් පැහැදිලිය.

ශ‍්‍රී ලංකාවේ දේශපාලනය තරුණන්ට දෙන අවස්ථා කෙබදුද? කාන්තා නියෝජනය ගැන දක්වන ආකල්ප ගැන සතුටු විය හැකිද? ලෝකයේ පළමු අගමැතිනිය පත් කරගැනීමෙන් ලෝකයේ ඉදිරියෙන්ම සිටින්නට අප රටට හැකිවිය. නමුත් දේශපාලනයට කාන්තා නියෝජනය ප‍්‍රමාණවත් නැත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් පවා ප‍්‍රතිශත වෙන් කර තිබේ. දේශපාලන පක්ෂ කාන්තා අපේක්ෂකයන් නම් කරන විට පොදු ජනතාව තම ඡුන්දය ප‍්‍රකාශ කර කාන්තාවෝ පත් කරගන්නට එපමණ උනන්දුවක් දක්වන්නේ නැත. දේශපාලන ක‍්‍රමය හා එය පවතින විෂම ස්වභාවය අනුව කාන්තාවකට පහසුවෙන් ස්ථානගත වීමට අවකාශයක් නැත. ගැටුම් බහුල, අපවාද නගන සහ විශාල මුදලක් වියදම් කළ යුතු ඡුන්ද ක‍්‍රමය තුළ කාන්තාව පසෙකට කර තිබේ.

කාන්තාව පමණක් නොව තරුණන්ට අහිමි වන අවස්ථා ගැන ද අලුතින් හිතන්නට අවශ්‍යය. ශ‍්‍රී ලංකාව වයස්ගත වන රටක් වශයෙන් සැලකේ. ජන ගහනයේ ශ‍්‍රම බලකායේ වැඩි කොටසක් වැඩි වයස්ගතවීම එයින් අදහස් කෙරේ. තරුණ පිරිස අභිබවා වයස්ගත ජනගහනය ඉහලට නැග ඇත. නමුත් අධ්‍යාපන අංශ වාර්තා කරන පරිදි උසස් අධ්‍යාපනය ලැබීමේ දී කාන්තාවෝ පෙරමුණට පැමිණ තිබේ. ආර්ථික අංශයේ පවා එසේය. රටට වැඩිම ආදායමක් උපයන, විදේශ රැකියා, ඇගළුම් කර්මාන්තය සහ තේ වගාව පවා කාන්තා ශ‍්‍රමය බහුලව උපයෝගී කර ගැනේ. සෑම ක්ෂේත‍්‍රයකම කාන්තා නියෝජනය ඉහළය. එවැනි පසුබිමක ප‍්‍රමාණවත්ව කාන්තාවෝ දේශපාලනයට උන්නදුවක් දැක්විය යුතුය. එවැනි ප‍්‍රවේශයක දී පවතින සමහර ගැටුම් පවා සීමා විය හැකි බව උපකල්පනය කළ හැකිය. දේශපාලන වේදිකාවේ පවතින දරුණු විවාද පාලනය කරගැනීමට ද එයින් අවස්ථාවක් ලැබෙනු ඇත.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාවේ තරුණ පෙල වෙත අලූත් අවස්ථා ලබාදීම ඉතාම වැදගත්ය. තරුණ පිරිස ගැන දක්වන සමාජ පර්යේෂණ වාර්තා අනුව සතියේ පැය වැඩි ගණනක් කැපවීමෙන් සේවය කළ හැකිය. අනෙක තොරතුරු තාක්ෂණ යුගයේ දී තරුණන් ගේ හැකියාව ඉතා බලවත්ය. අද වන විට මෙරට තරුණන් අතරින් සෑහෙන පිරිසකට තොරතුරු තාක්ෂණය හා පරිගනකය ගැන අවබෝධයක් තිබේ. අන්තර් ජාලය පරිහරණය කළ හැකිය. අනාගතයේ දී තැනෙන ලෝකය කෘතීම බුද්ධිය භාවිතා කරනු ඇත. අන්තර් ජාතිකව ලැබෙන තොරතුරු අනුව පරිගනකය පොදු ජනතාවගේ සියළු අංශ පාලනය කරන දිනය වැඩි ඈතක නොවේ. ස්මාට් නගර ගැන අද සාකච්ඡා වෙමින් පවතී. කඩදාසි භාවිතයක් නැති තීරණ ගැනීමේ ව්‍යුහයකට යොමු වී තිබේ. අලූත් මෙවලම් සෑහෙන ප‍්‍රමාණයක් භාවිතා වන අතර විද්‍යාත්මක හා තාක්ෂණික පැති සාමාන්‍ය ජන ජීවිතයට ඇතුළු වෙමින් තිබේ. සම්ප‍්‍රදායිකව ක‍්‍රියා කරන පැරණි දේශපාලනයට මෙම අලූත් පැති කෙරෙහි අනුබලයක් නැත. එය ආර්ථික සම සමාජ ප‍්‍රශ්න ඇති කරනු ඇත. රටට අවශ්‍ය අලූත් ජවය ඇති තරුණ බලවේග වලට අවස්ථාව සැපයීම බව පෙන්වා දිය යුතුය.

ශ‍්‍රී ලංකාවේ තරුණ ශ‍්‍රමය වැඩිපුරම යොමු වී ඇති අංශ මොනවාද? ත‍්‍රී විලර් රැකියාව බහුලය. තරුණ පිරිස ගේ එකම අභිලාශය වෙනත් රටකට ගොස් රැකියාවක් සොයා ගැනීමයි. ඇමරිකාව, බි‍්‍රතාන්‍ය, ඔස්ටේ‍්‍රලියාව හෝ දකුණු කොරියාව දක්වා ඕනෑම රටකට පිටත්වීම අධ්‍යාපනය හමාර කරන තරුණ දරුවන්ගේ අභිලාශයයි. තවත් කොටසක් විශේෂයෙන් මුලින් සදහන් කරන ලද පරිදි කාන්තාවෝ වැඩි ප‍්‍රමාණයක් මැද පෙරදිග රටවලට ගොස් ආදායමක් සොයා ගැනීමට මහන්සි වෙන බව පෙනේ. මෙම තත්ත්වය වෙනස් කළ යුතුය. අභිමානයෙන් ජීවත් විය හැකි, සියළු දෙනාට සමාන අවස්ථා ඇති රටක තත්ත්වයට හැරවීමට අවශ්‍යය. ශ‍්‍රී ලංකාව සම්පත් හිග රටක් නොවේ. දක්ෂ මානව සම්පතක් ද සිටී. අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉහළ මට්ටමකය. නමුත් මෙම සියළු පැති කළමනාකරණය වී නැති බව දැක්විය හැකිය. නිදහස ලබා ගැනීමෙන් පසු ගත වූ කාලය තුළ පැවැති ගැටුම් එයට එක හේතුවකි.

ගැටුම් ගැන සදහන් කරනවිට ශ‍්‍රී ලංකාවේ තරුණ කැරළි ගැන සිහිපත් කළ යුතුය. ත‍්‍රස්තවාදී තත්ත්වයක් පවා පැන නැගෙන්නේ තරුණ නැගිටීම් බව නොරහසකි. අලූත් දේ හිතන, අවස්ථා අහිමි තරුණ තරුණියෝ සමාජ ක‍්‍රමය වෙනස් කරන්නට වෙහෙසෙන අතර සම්ප‍්‍රදායික පැවැත්ම එයට කිසිසේත් ඉඩ දෙන්නේ නැත. සමහරවිට තාක්ෂණික පැත්තෙන් පවා දියුණු එස්ටෝනියාවේ පවා පෙන්වන්නේ එහි එක පැත්තකි. ඒටෝනියාවේ ස්වදේශ කටයුතු ඇමැතිවරයා පින්ලන්තයේ අගමැතිනිය ගේ තරුණ පසුබිම විවේචනය කරන විට සම්ප‍්‍රදායික අංශ ක‍්‍රියා කරන අන්දම ගැන අවබෝධයක් ලැබේ. නමුත් මෙකී පැවැත්ම වෙනස් විය යුතුය. වසර 2020 ට පසු එළැඹෙන අලූත් තාක්ෂණික යුගයේ දී තරුණ පෙල ඉදිරියට පැමිණීම වැලැක්විය නොහැකිය. සම්ප‍්‍රදායික දේශපාලනය තේරුම්ගත යුතු වැදගත්ම කාරණය එයයි.

පින්ලන්තයේ තරුණ කාන්තාවෝ රට පාලනය කරන බලය අත්පත් කරගැනීමෙන් සිදුවිය හැකි වෙනස්කම් ගැන අවධානය යොමු කිරීම අවශ්‍යය. එයින් ඇති කරන සමාජ පරිවර්තනය ගැන නිසි අධ්‍යයනයකට යා යුතුය. වඩා වැඩි දියුණු සමාජ තත්ත්ව උදෙසා ලෝකයේ සිදුවන දෙයින් අත්දැකීම් ගත යුතුව තිබේ.