» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
04/12/2016 - ඉරිදා ලංකාදීප
ධනය කොල්ලකන සමාජයක් හැදුනේ කෙසේද?

දේශපාලනඥයන් සම්බන්ධව ජනතාව තුළ ඇති ප‍්‍රතිරූපය යහපත් එකක් නොවේ. ලෝකයේ කොතැනත් එසේය. දුක් විඳින ජනතාව දෙස බලන විට, පාලනයට පත්කරගන්නා ජනතා නියෝජිතයන් විඳින සැප සම්පත් කෙරෙහි ජනතාව තුළ බලවත් අප‍්‍රසන්න බවක් තිබේ. නමුත් සිංගප්පූරුව මෙම ස්වභාවය වෙනස් කළේය. එහි නිර්මාතෘ ලී ක්වාන් යූ ගේ දර්ශනය අනෙකක් විය. ‘‘රට කජු විසි කළොත් ළඟට එන්නේ වදුරන්’’ බව හෙතෙම කියා සිටියේය. දක්ෂ පුද්ගලයන් පාලනයට සම්බන්ධ කරගන්නට නම් හොඳට ගෙවන්නට සිදුවන බව ලී ක්වාන් යූ ගේ මතය විය. සිංගප්පූරුවේ අගමැති හා ඇමැති මණ්ඩලය වැඩිම වැටුප් ලබන තත්ත්වයට නීති සංශෝධනය කළේය. වැඩි වැටුප් ගෙවූ නමුත් වරක් සිංගප්පූරු ආර්ථිකය දුර්වල වන විට මැති ඇමැති වැටුප් කප්පාදු කර ආදර්ශය දුන්නේ ඉහළින්ය. ජනතාවට කැපවෙන්න කියා තමන් ලොකු හැන්දෙන් බෙදා ගත්තේ නැත.

ලී ක්වාන් යූ ගේ දර්ශනය අනුව සිංගප්පූරුව වෙනස් කළේ හොඳ වැටුප් ලබන මැති ඇමැතිවරු සහ නිලධාරීහුය. තීරණ ගත්තේය. රට තුළ තරඟකාරීත්වය ඇති කළේය. තුන්වන ලෝකයේ සිට පළමුවන ලෝකයට තබන පියවර වශයෙන් එය සඳහන් කළ හැකිය. ගමන ආරම්භ කළේ හැටේ දශකයේ අන්තිම කාලයේ දී වන අතර දශක දෙක තුනක් වන විට එනම් පරම්පරාවක් ඇතුලත ආර්ථික සහ සමාජ පරිවර්තනයක් සිදුවිය. පොදු ජනතාවගේ ඇස් පනාපිට සිදුවූ සංවර්ධනයකි. දේශපාලනඥයන් අනවශ්‍ය ව්‍යාපෘති සැලසුම් කළේ නැත. හදන ව්‍යාපෘති වලින් තමන්ගේ කොටස වෙන් කරගෙන ධන කුවේරයන් වෙන්නට සූදානම් නොවීය. ධනය කොල්ලකන සමාජයක් වෙනුවට ධනය උත්පාදනය කරන තැනක් බවට පත්විය. ආර්ථික නිදහස ඇති තැනක් වූ කුඩා සිංගප්පූරුව මහා ආර්ථිකයක් බවට පත්වන්නට වැඩි කාලයක් ගත්තේ නැත. රටේ සාරට ඇතිකරන විනා සාරය උරා ගන්නා අවිධිමත්භාවය නැති පසුබිම තුළ රටක් හදන පරිවර්තනය අසීරු ම එකක් වූයේ නැත.

ආර්ථිකය වැඩෙන්නේ ඒකාකාරීව නොවේ. යහපත්ව නැගී වර්ධනය වූ සිංගප්පූරුව ආර්ථික අපහසුතා වලට මුහුණ දුන්නේ 2012 අවුරුද්දේ දීය. ලී ක්වාන් යූ එකල එරට ගරු චරිතයකි. පාලනය හොබවන්නේ ඔහුගේ පුත් ලී ශෙයින් ලූන්ග් ය. දුෂ්කරතා ඇතිවන විට එය වැසියන්ට දැනෙන්ට පටන් ගත්තේය. පහසුකම් අඩු කරන කැපවීමක් කළ යුතු තැනට පත් වන අතර පුරවැසියන්ට පමණක් නොව පාලකයන්ට ද එම තත්ත්වයට මුහුණ දෙන්නට සිදුවිය. ජනතාවට කැපවෙන්නට කියන, තාවකාලිකව පටි තද කරගන්න කියන පාලකයෝ තමන්ගේ පහසුකම් අඩු කරගන්නට සූදානම් නැත. ලෝකයේ සිරිත එයයි. ජනතාවට දේශපාලනඥයන් එපා වෙන හේතුව එයයි. නමුත් සිංගප්පූරුවේ අගමැතිවරයාගේ වැටුප සියයට තිස් හයකින් කපා හැරියේය. ජනාධිපති වැටුප සියයට පනස් එකකින් අඩු කළේය. ආර්ථිකය අඩාල වන වි තමන්ගේ වැටුප අඩු කර කැප වෙන නායකයන් ඉන්නා රටක් හැටියට සිංගප්පූරුව ඉදිරියෙන් විශේෂණ එකතු වූ අතර ලෝකයේ නොයෙක් රටවල ජනතාව ඒ දෙස බැලූවේ අතිශය ප‍්‍රසාදයකින්ය.

නමුත් ලෝකයේ නොයෙක් රටවල් මෙහෙම ආදර්ශවත් නැත. ශී‍්‍ර ලංකාව ද, බලවත් සේ පිරිහී ඇති රටකි. ලෝකයේ රටවල් අතර ශ්‍රේණිගත කිරීමක් කළ හොත් රටට ලැබෙන ලකුණු ගණන හොඳටම අඩු වනු ඇත. මෙරට දේශපාලනඥයෝ විපක්ෂයේ ඉන්නා විට සාධාරණය ගැන කතා කරයි. යුක්තිය වෙනුවෙන් පෙනී සිටියි. අනවශ්‍ය වියදම් හෝ නාස්තිය ගැන කතා කරන්නේ මහා වේදනාවකින්ය. නමුත් එකී දේශපාලනඥයන් බලයට පත්වූ පසු ජීවත් වෙන්නට සූදානම් වෙන්නේ ආණ්ඩුවේ වියදමෙන්ය. ඒ ඇයි? මැති ඇමැතිවරු හැටියට පත් වූ වහා ජනතාවගේ දුප්පත්කම අමතක කරන්නේ මන්ද? ජනතාවට කැපවෙන්න තවත් ටිකක් කල් ඉවසන්න කියන දේශපාලනඥයන් තමන්ගේ පුරවැසියන් අසීමිත දුක් වි`දින බව කල්පනා නොකරන්නේ මන්ද? දේශපාලන සංස්කෘතියේ තේරුම්ගත නොහැකි ස්වභාවය එයයි. ඡන්ද වේදිකාවේදී ජනතාවගේ දුක වේදනාව ගැන දැන වේදනාවෙන් කතා කරන දේශපාලනඥයෝ බලයට පත් වූ පසු තමන්ගේ බදු රහිත වාහනය, නිල නිවාසය, වැටුප, දීමනා සහ විදේශ සංචාර ගැන ලොල්ය. දේශපාලන පක්ෂ රටේ බලය අල්ලාගෙන පාක්ෂික අනුගාමියන් සමග වැඡුඹෙන්නටය.

මෙරට දේශපාලන සංස්කෘතියට සිදුවූයේ කුමක්ද? එහි අතීත පැවැත්ම දෙස ආපසු හැරී බැලීමෙන් පමණක් මෙම ස්වභාවය අවබෝධ කරගත හැකිය. සර්ව ජන ඡන්ද බලය ලැබෙන්නේ 1931 දීය. ඒ වන විට නිදහස් සටනට දායක වෙන කණ්ඩායම අතුරින් පිරිසක් රට පාලනය කරන බලය අතට ගනී. ඔවුහු සමාජයේ එක්තරා ඉහළ ස්ථරයක කොටසකි. ඉඩම් හිමි, ධනයෙන් හා බලයෙන් ආඪ්‍ය පිරිසකි. මෙම ඉහළ සමාජයේ කොටස ආණ්ඩුවේ වියදමෙන් නඩත්තු වෙන අපේක්ෂාවක සිටියේ නැත. දේශපාලනයට, සිවිල් සේවයට ආවේ ‘‘යමක් කමක්’’ ඇති පිරිසකි. ප‍්‍රභූ නියෝජනයක් සහිතවය. ප‍්‍රභූ නොවන, ස්ව ආත්ම ශක්තියෙන් හොඳ අධ්‍යාපනයෙන් සිවිල් තනතුරු වලට එන පිරිස ප‍්‍රභූ පවුලකින් විවාහයක් කර ගත්තේය. ඔවුන් තම ධනය හා ව්‍යාපාර පාලනය කරන අතර දේශපාලනය කළේ රටට කරන සේවයක් වශයෙනි. සමාජයට එයින් සිදුවන යහපත කල්පනා කරමින්ය. දේශපාලන පක්ෂ පිටුපස සිට මෙහෙයවන ලද අර්ථපතියන් වූයේ ද මෙම පෙලැන්තියේ පිරිසයි. අතීතයේ දේශපාලනයේ නිරත වූ කණ්ඩායම් දෙස විමර්ශණාත්මකව බලන විට පැහැදිලිව පෙනෙන්නේ එයයි.

ඉකුත් දශක තුන හතර ඇතුලත මෙම පරිත්‍යාගශීලී දේශපාලන ව්‍යුහය එයින් යැපෙන වෘත්තීය පැත්තට හැරී තිබේ. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. දේශපාලනය වරප‍්‍රසාද ලත් පැලැන්තියට පමණක් සීමා විය යුතු යැයි සම්මතයක් නැත. මෙතෙක් ප‍්‍රභූ නොඑසේ නම් රදල පිරිස අත තිබුණ දේශපාලන වරම සාමාන්‍ය පැලැන්තිය අතට පත්වන අතර අප පසු කරමින් ඉන්නේ එකී අතරමැදි කාලයයි. මෙම වකවානුව තුළ සාමාන්‍ය පැලැන්තියෙන් දේශපාලනයට එන පිරිසට හොඳ ජීවන මට්ටමක් ඇතිකරගත යුතු වෙයි. ඔවුන්ගේ පවුලේ පිරිස, අනුගාමිකයන්, අත්උදව් කරුවන් සියළු දෙනා බලන්නේ දේශපාලනයෙන් තම සියළු ප‍්‍රශ්න වලට උත්තර සොයා ගන්නටය. සුපිරි වාහන, ඉහළ වැටුප් අත්පත් කරගෙන ඉස්තරම් සමාජ තත්ත්වයක් පිරික්සන්නේ එහෙයින්ය. ඡන්ද කාලයේ දී ක‍්‍රමයට දොස් කියන, එසේ නමුත් බලයට පත්වූ වහා තමන් ඇතුළු සියළු දෙනාගේ නඩත්තුව ගැන වෙහෙසෙන මෙම ක‍්‍රමය විකෘතියකි.

ඉතාම නරක අන්තයක් කරා ඇදෙන මෙරට දේශපාලනයේ ධනය කොල්ලකන ස්වභාවය වෙනස් කරන්නට නම් සිංගප්පූරුව ආදර්ශයට ගත හැකිය. ඡන්ද ක‍්‍රමය වෙනස් කළ යුතුය. ජනබලය තහවුරු කළ යුතු අතර ජනයාගේ කැමැත්තෙන් අපේක්ෂකයන් තෝරන, අපේක්ෂකයන්ගේ පැවැත්ම අනුව විනය තීන්දු ගත හැකි පක්ෂ දේශපාලන යාන්ත‍්‍රණයකට බලකළ යුතුය. දේශපාලන පක්ෂ සිය මන්ත‍්‍රීවරු පැත්ත මාරු කිරීම වලක්වාගෙන ඉන්නේ හොඳට සලකන ක‍්‍රමයකින්ය. ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නේ ජනතාවයි. රටේ බදු බර වැඩි කර ජනතා නියෝජිතයන් නඩත්තු කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් ජනතාවට ප‍්‍රයෝජනයක් නැත. දේශපාලන පක්ෂ තම පහළ ශාඛා සමිති වල සිට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කරන්නට අවශ්‍යය. අපේක්ෂකයන් තෝරා ගමට යවනවා වෙනුවට ජනතාව අතරින් තෝරා ගන්නා ජනයාට වග කියන නායකයන් දුනාගෙන ඒ අයට නිසි පුහුණුවක් දෙන දේශපාලන ක‍්‍රියාදාමයක් රටට හදුන්වාදීම වැදගත්ය. පක්ෂ නායකයන්ට ඒ වෙනුවෙන් වගකීමක් තිබේ. විනය ගරුක හොඳ මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට තෝරා ගත හැකි අතර එම පිරිසට වැඩිම වැටුප් ගෙවා රට ඉහළම තැනට ගෙන යන වගකීම පැවැරිය යුතුය. එම තීන්දුව ගන්නේ නැති මෙරට ක‍්‍රමය පරම්පරාවක් ඒ වෙනුවෙන් වන්දි ගෙවා තිබේ. ජනතා නායකයන් යැයි පත් කරගන්නා පිරිස වෙත ජනතාවගේ ගෞරවය අත්පත් කරගත හැකි එවිටය. ජනතාව දුක් විඳින කාලයක රටේ ඇති ඉහළම වටිනාකමක් ඇති වාහනයකින් ගමන් කරන මහජන නියෝජිතයෙකු මහජනතාවගේ අභිමානයට හේතුවක් වෙන්නේ නැත. රට ගොඩනගන්නට නම් පාලකයන් කැපවිය යුතුය. ඉහළම වැටුප් ලැබූ සිංගප්පූරුවේ මැති ඇමැතිවරු රට අර්බුදයකට යන විට වැටුප් කපා හැර වැසියන් සමග එකට එකතු වී කැපවී රට නැවත සාරවත් තැනකට ගෙන ගියේය. වැදගත් වෙන්නේ ආදර්ශයයි.