» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
04/11/2018 - ඉරිදා ලංකාදීප
ජනතා අපේක්ෂා වෙනුවෙන් මහජනතාවගෙන්ම සාක්ෂි විමසීම

බලයට පත්වන ආණ්ඩු ජනතා අවශ්‍යතා ඉටු කරන තරම ගැන මෙරට පොදු ජනතාවට හොඳ අවබෝධයක් තිබේ. දහසක් පොරොන්දු දී ස්වර්ණමය අනාගතයක් ගැන විසිතුරු මවා පෙන්වන නමුත් අවසානයේ දී ඒවායෙන් සෑහෙන ප‍්‍රමාණයක් සාක්ෂාත් කෙරෙන්නේ නැත. ප‍්‍රකාශ කරන තරමට ප‍්‍රතිඵලය නැති බව පොදු ජනතාවට අවබෝධයක් තිබේ.

මෙවැනි පසුබිමක් තුළ නොබෝදා මෙක්සිකෝ ජනාධිපතිවරයා ගත් තීරණය ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇත. අලූතින් බලයට පත් වූ මෙක්සිකෝ ජනාධිපති අන්ද්‍රේස් මැනුවෙල් එරට ඉදිකිරීමට යෝජිත ආන්දෝලනාත්මක දැවැන්ත ගුවන්තොටුපොල ව්‍යාපෘතිය ගැන මහජන අදහස් විමසීමට තීරණය කළේය. ඉදි කිරීමෙන් පසු එය ලෝකයේ විශාලත්වය අතින් දෙවැනි තැනට පත් වනු ඇත. ධාවන පථ හයකින් සමන්විත වන අතර තවත් අතිරේක ධාවන පථ දෙකකි. ජනාධිපතිවරණ වේදිකාවේ දී මෙම ගුවන් තොටුපොල ඉදිකිරීමේ ව්‍යාපෘතිය ගැන ආන්දෝලනාත්මක අදහස් පැන නැගිණ. එය කිසිසේත් ප‍්‍රයෝජනයක් නැති අදහසක් බව කියැවිණ. එයට හේතුව විශාල වියදමයි. පතුලක් නොපෙනන ආගාධයකට මහජන මුදල් පොම්ප කිරීම පලක් නැති බව වත්මන් ජනාධිපතිවරයා පවා සිය ඡුන්ද රුස්වීම් වල දී කියා සිටියේය.

ජනාධිපති බලයට පත් වූ වහා මෙම ව්‍යාපෘතිය මෙක්සිකෝ අනාගත අවශ්‍යතා වෙනුවෙන් වැදගත් වන බවට ආන්දෝලනයක් මතු විය. ආයෝජකයෝ සහ ව්‍යාපාරිකයෝ ගුවන් තොටුපොල ඉදිරිකිරීම අඛණ්ඩව කරගෙන යන්නට බලපෑම් කළහ. ජනාධිපති අන්ද්‍රේස් රටට අලූත් ගුවන් තොටුපොලක් අවශ්‍ය ද යන්න ගැන ජනතාවගෙන් කරුණු විමසන්නට තීරණය කළේය. එය සඳහා ජනමත විචාරණයක් පැවැත්වීය. මෙක්සිකෝවේ ඡන්ද මධ්‍යස්ථාන 1,073 ක ජනමත විචාරණ ඡන්ද විමසීම පැවැත්වීය. එහි ප‍්‍රතිඵලය ප‍්‍රකාශයට පත්ව ඇත. සියයට හැටක පමණ ජනතාව ගුවන් තොටුපොල ඉදිකිරීම ගැන අකමැත්ත පළ කර ඡන්දය භාවිතා කර ඇති බව වාර්තා වෙයි.

මෙක්සිකෝව ඇමරිකා මහාද්වීපයේ පිහිටි එක්සත් රාජ්‍යයකි. මිලියන 130 ක පමණ ජනගහනයකින් යුක්ත වන අතර අනාගතයේ දී මෙක්සිකෝව ලෝකයේ බලවත් ආර්ථිකයක් සහිත තැනක් වනු ඇත. මෙක්සිකෝ හා පිලිපීනය යන රටවල් වසර 2030 වනවිට ප‍්‍රංශය හා බි‍්‍රතාන්‍ය අභබයා යන තරමට විශාල ආර්ථික බවට පත් වනු ඇති බව ජාත්‍යන්තර වාර්තා පෙන්වා දී තිබේ. එවැනි සංවර්ධන පසුබිමකට ගැලපෙන පරිදි මෙක්සිකෝව තුළ අවශ්‍ය යටිතල පහසුකම් නැංවීම කෙරෙහි දීර්ඝ කාලයක් තිස්සේ අවධානය යොමු වී තිබුණි. නව ගුවන් තොටුපොල එයින් එකකි. ගුවන් තොටුපොල වසරකට මගීන් මිලියන 68 කට පහසුව ලැබෙන සේ සැලසුම් කළේය.

මෙක්සිකෝවේ ආණ්ඩු එරටට අවශ්‍ය අලූත් ගුවන් තොටුපොලක් ගැන සාකච්ඡා කරන්නේ 2002 තරම් ඈත කාලයේ සිටය. ඉඩම් පවරා ගන්නා වකවානුවේ විරෝධතාවය මතුවිය. එවකට තිබුණ පාලනය එය නොසලකා ඉඩම් පවරා ගත්තේය. ජනතා අදහස් නොසලකා 2014 වසර වන විට ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර මුලින් ඇස්තමේන්තුව අභිබවා ඇමරිකානු ඩොලර් බිලියන 14 ක් දක්වා ගුවන් තොටුපොල ඉදිරිකිරීමේ පිරිවැය ඉහළ නැග ඇති බව නොබෝදා එරටින් නිකුත් වූ වාර්තා පෙන්නුම් කළේය. එරට ජනතාව ඉල්ලන්නේ රටේ දියුණුව සහ හොඳ පැවැත්මක් බව නොරහසකි.

වත්මන් ජනාධිපති අන්ද්‍රේස් බලයට එන්නේ තුන්වැනි වතාවට ජනාධිපතිවරණයට තරඟ කිරීමෙන් පසුවය. අවස්ථා දෙකක දී අසාර්ථක වූ හෙතෙම තුන්වැනි වතාවේ දී ‘‘නැෂනල් රීජෙනරේෂන් මූව්මන්ට්’’යනුවෙන් පක්ෂයක් පිහිටුවීය. අන්ද්‍රේස් මැනුවෙල් වාර්තාගත ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගෙන ජනාධිපති ධුරයට පත් විය. බලයට පත් වූ ජනාධිපතිවරයා සිය ඡන්ද ව්‍යාපාරයේ දී කියා සිටි දේ වෙනුවෙන් පෙනී සිටියේය. අති විශාල ධනයක් වියදම් කරන දැවැන්ත එනම් ලෝකයේ විශාලත්වය අතින් දෙවැනි තැනට පත්වන ව්‍යාපෘතිය අවශ්‍ය ද නැද්ද යන්න ගැන ජනතාවගෙන්ම අදහස් විමසීය.

ජනතා මතය දිනා ගැනීම සඳහා දේශපාලන නායකයන් හැසිරෙන ආකාරය ගැන ලෝකයේ නොයෙක් රටවල අත්දැකීම් තිබේ. බලයට පත්වීම සඳහා විශාල පොරොන්දු දෙන ඇතැම් දේශපාලනඥයෝ බලයට පත් වූ වහා ඒවා අමතක කරති. බහුලව සිදුවන්නේ එයයි. මෙක්සිකෝ ජනාධිපතිවරයා ගේ තීරණය අනෙනක් වී තිබේ. සජවර්ධනය වෙනුවෙන් සැලසුම් කළ ව්‍යාපෘතිය අවශ්‍යදැයි ජනතාවගෙන්ම ප‍්‍රශ්න කළේය.

නමුත් මෙවැනි අවස්ථා වල විවිධ පැති පවතින බව අමතක කළ යුතු නැත. අනාගතයට ගැලපෙන පරිදි සංවර්ධන සැලසුම් යෝජනා කෙරේ. ඒවා සැලසුම් කරන්නේ විශාල ඉලක්ක සහිතවය. ජනතාව මෙම තීරණ වල හොඳ නරක ගැන දන්නේ නැත. මහජන මුදල් නාස්ති කරන දැවැන්ත සංවර්ධන යෝජනා ක‍්‍රම වශයෙන් දකින අතර එදිනෙදා අවශ්‍යතා වලට පරිබාහිරව සිදුවන වෙනස්කම් වලින් ප‍්‍රයෝජනයක් නැති සේ හිතන්නට නැඹුරු වී සිටිති.

නායකයෝ පොදු ජනතාවගේ කැමැත්ත කෙරෙහි අවධානය යොමු කළ යුතුය. සංවර්ධනය ගැන ජනතාව දක්වන ආකල්ප වලට ගරු කළ යුතුය. ව්‍යාපෘති ගැන අවබෝධයක් රහිතව සිටින පොදු ජනතාවට නිසි පරිදි දැනුම්වත් කිරීම් කර ඔවුන්ගේ කැමැත්ත ලබා ගැනීම සුදුසුය. ප‍්‍රධාන වශයෙන් මෘදු නායකයෝ සිටිති. ඔවුන්ට තම හැකියාව මත පෞර්ෂය අනුව තමුන්ගේ ගමන්මග හා දර්ශනය ජනතාවට ඒත්තු ගන්වන්නට සමත්ය. දෙවනුව දැඩි මතධාරී නායකයන් ද සිටිති. මෙම අන්ත දෙකම මිශ‍්‍ර වූ නායකයත්ව වර්තමානයේ ලෝකය ඉල්ලා සිටියි. මෘදු බවත් දැඩි භාවයත් මුහුකර රටට නායකත්වය දෙන්නට සමත්වීම එම පාලකයාගේ හැකියාවයි. එවැනි නායකයන් විශිෂ්ට නොඑසේනම් නායකයන්ය. ඔවුහු දුලබය. සමාජයේ පරිවර්තනයක් කරන්නට සෑම නායකයෙකුටම පිළිවෙතක්, දර්ශනයක් නොඑසේනම් තමුන්ගේම සැලැස්මක් තිබිය යුතුය. එවැනි පිළිවෙතක් හඳුන්වා දී එය ජනතාවට පැහැදිලි කර තමුන්ගේ දර්ශනය අවසානයේ ප‍්‍රායෝගික සැලැස්මක් බවට පත්කරන්නටත් එම සැලසුම අවසානයේ ජනතාවට ඒත්තු ගන්වා එය ඔවුන්ගේම එකක් කරන්නටත් සමත් වීම වැදගත්ය. නායකයාගේ ගමන ජනතාව වැළඳ ගත් ජනතා අපේක්ෂාවන් සපුරාලන එකක් බවට පත්වන්නේ එවිටය.

ශ‍්‍රී ලංකාවේ සමාජ දේශපාලන ව්‍යුහය තුළ ජනතාවට විවිධ අත්දැකීම් තිබේ. නිදහසට පසු බලයට පත්වූ දේශපාලන පක්ෂවල නායකයෝ ක‍්‍රියාකරන ලද ආකාරය ගැන අත්දැකීම් ඇත. සංවර්ධන ක‍්‍රියා පටිපාටිය ගැන දේශපාලන වේදිකාවේ දී මතු කෙරෙන විග‍්‍රහය එකකි. ඒවා විශාල නාස්තිකාර දේවල් සේ දකින්නට බැරිකමක් නැත. නමුත් මෙමව්‍යාපෘති සැලසුම් කරන්නේ ලෝකයේ ඇතිවෙමින් පවතින පරිවර්තනය හා සමපාත වන අරමුණ ඇතිවය. ශ‍්‍රී ලංකාවේ සංවර්ධනය, ඒ වෙනුවෙන් ඉදිරිපත් කරන යෝජනා ගැන ප‍්‍රමාණවත් සංවාදයක් ඇති නොවේ. එහෙයින් නිතර විරෝධතා ඇති වෙයි. සිදුවෙන්නේ කුමක්දැයි ජනතාව දන්නේ නැත. තමන්ගේ ඉඩම අත්පත් කරගැනීම ගැන ඔවුහු කම්පාවෙති. තම එදිනෙදා ජීවිතය දුෂ්කර තැනක තිබිය දී පාලකයෝ නිරර්ථක ව්‍යාපෘති සැලසුම් කරන බව කල්පනා කරති. සංවර්ධන යෝජනා ක‍්‍රම ගැන නොයෙක් මත ඇති කරන්නට දේශපාලනඥයෝ දක්ෂය. ඒවායෙන් ඇතිවන විකෘති අදහස් වලින් සෑහෙන ගැටළු මතුවෙයි. මෑත කාලය තුළ ඒ සම්බන්ධයෙන් ඇති උදාහරණ සෑහෙන ප‍්‍රමාණයකි. මෙක්සිකෝ ජනාධිපතිවරයා ව්‍යාපෘතිය අවශ්‍ය ද නැද්ද යන්න තීරණය කිරීමට ජනතාව හමුවට ගියේය. ශ‍්‍රී ලංකාව වැනි රටකට එවැනි පැති ගැන නිතර ජනතා අදහස් දැන ගැනීම සඳහා අවස්ථා නැත. තාක්ෂණය දියුණු, අන්තර් ජාලය භාවිතා කරන ජන කොටස සෑහෙන ප‍්‍රතිශතයක් වන අවස්ථාවක එයින් ප‍්‍රයෝජන ගැනීම සුදුසුය. අලූත් යමක් සිදුවන අවස්ථාවේ දී ජනතා දායකත්වය ගැනීමට මහජන සම්බන්ධතා වැඩ පිලිවෙලක් රටට අවශ්‍යය. තොරතුර දැන ගැනීමට ජනතාව ප‍්‍රශ්න කරන්නට කලින් ජනතාව හා පාලනය අතර සංවාදය දියුණු කළ හැකිනම් එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන තවත් පියවරක් වනු ඇත.