» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
04/08/2019 - ඉරිදා ලංකාදීප
ජනවර්ග අතර විරෝධය ඇති නොකරනු පිණිස උපදෙසක්

ජන වර්ග අතර බරපතල විරෝධතා පැන නැගීම බලවත් ව්‍යසනයක් වී තිබේ. එය ජාත්‍යන්තරය කැළඹීමකට පත් කර ඇති ගැටළුවකි. විසදුමක් සොයා ගැනීම පහසු නැත. බි‍්‍රතාන්‍ය අගමැතිනිය වශයෙන් පසුගියදා තෙක් ක‍්‍රියා කළ තෙරේසා මේ මහත්මිය ඇයගේ ධුර කාලයේ අවසන් වකවානුවේ මුස්ලිම් හා යුදෙව් ජන කොටස් හමුවේ වර්ගවාදී දරුණු තත්ත්වයක් ඇති නොවන තැනට කටයුතු යොදනු සඳහා ජාතික උපදේශකවරු පත් කළහ. එය ඉතා ප‍්‍රසංසනීය තීරණයක් බව ජාත්‍යන්තර මාධ්‍ය වල විචාරය වී තිබේ.

බි‍්‍රක්සිට්, එනම් යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍ය ඉවත්වීමට ගෙන ඇති තීරණය එරට දේශපාලනය තුළ සෑහෙන අර්බුද නිර්මාණය කර තිබේ. යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු දැයි ජනතාවගෙන් කරුණු විමසන ලද ජනමත විචාරණයකින් පරාජයට පත් වූ ජොන් මේයර් අගමැතිවරයා ජන මතයට හිස නමමින් ධුරයෙන් ඉල්ලා අස්වූ අතර එයින් පසු පත්වූ තෙරේසා මේ අගමැතිනිය ද බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුළ සහ රට තුළ පැන නැගුණ යුරෝපා සංගමයට සම්බන්ධ තීරණාත්මක අවස්ථා වලට මුහුණදීමේ දී අසරණ වූවාය. අවස්ථා කිහිපයක දී බි‍්‍රක්සිට් තීරණය ගැන වෙනත් විකල්ප සොයන්නට ප‍්‍රයත්න දරන ලද ඇය එහි දී අසමත් වූ අතර අලූතින් පත් වූ බොරිස් ජොන්සන් අගමැතිවරයාට වගකීම භාර දී තනතුර හැර යෑම හැර වෙනත් කළ හැකි දෙයක් නොවීය. එය අතිශය සංකීර්ණ තත්ත්වයකි. කෙසේ වෙතත් ඇයගේ පාලන කාලයේ අවසාන දින දෙක තුන තුළ ගත් වැදගත් තීරණයක් වශයෙන් වර්ගවාදයට එරෙහි උපදේශකවරු පත් කිරීම සඳහන් කළ හැකිය.

මුස්ලිම් ජනවර්ගයට එරෙහිව නැගෙන විරෝධයක් ඇති අවස්ථාවක ස්වාධීන උපදෙස් දෙන විද්වත් චරිතයක් වශයෙන් කම්කරු පක්ෂයේ මන්තී‍්‍ර ජෝන් මෙනන් පත් කර තිබේ. යුදෙව් වර්ගවාදයක් මතුවුවහොත් එයට උපදෙස් දෙන ජාතික උපදේශක වශයෙන් මහජන මන්ත‍්‍රී ජෙරමි කූබි පත් කර ඇත.

ජනවර්ග අතර අතෘප්තිය හා වෛරය ඇති කළ යතු නැති බව බි‍්‍රතාන්‍ය පාලකයෝ විශ්වාස කරති. අන්තවාදී අදහස් ඇති කුඩා කණ්ඩායම් නොයෙක් ප‍්‍රකෝප සිද්ධි ඇති කරනඅතර ඒවා මහත් කැළඹිලි ඇති කරයි. බි‍්‍රතාන්‍ය සමාජය තුළ මුස්ලිම් අන්තවාදයට හෝ මුස්ලිම් විරෝධයකට ඉඩ නැත. යුදෙව්වාදයට ද එකී පසුබිම එසේ බලපාන බව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ අදහස වි තිබේ. කොතැනක හෝ යම් සසලවීමක් සිදුවන විට මුළු මහත් සමාජයම සාධාරණ අවස්ථා වෙනුවෙන් පෙනී සිටිය යුතු බව අවධාරණය කර ඇත. ස්වාධීන උපදේශකවරු පත් කරන්නේ සමාජ ගරුත්වය අපේක්ෂාවෙන් බව සැලකේ. යම් අවස්ථාවක බි‍්‍රතාන්‍යයට තීරණ ගැනීමේ දී මාර්ගෝපදේශණයක් හෝ උපදේශණයක් අවශ්‍ය වුවහොත් මුලින් සඳහන් කළ විද්වත් චරිත තත්ත්වය ගැඹුරෙන් සලකා බලා බි‍්‍රතාන්‍ය රජයට උපදෙස් සපයනු ඇත. එහි දී ආණ්ඩුවට හෝ ආණ්ඩුවේ ප‍්‍රධාන පුද්ගලයන්ට තනි තීරණ ගැනීමට ඇති අවකාශය ඇවිරෙයි.

ලන්ඩන් නගරය ලෝකයේ විවිධ ජාතීන්ට අයත් භූමියක් බවට පරිවර්තනය වී තිබේ. 2011 දී කරන ලද සංගනනය අනුව ලන්ඩන් හි ජීවත් වන ජනගහනයෙන් ප‍්‍රතිශතයක් වශයෙන් බි‍්‍රතාන්‍ය සුදු ජාතිකයෝ සියයට 44.5 ක ට සීමා වී තිබුණි. සියයට 37 ක් පිටස්තර රටවල් වලින් පැමිණ පදිංචි වූ පිරිසකි. මෙම කොටසින් ද සියයට 24.5 ක් යුරෝපයෙන් බැහැර රටවල් වලින් පැමිණි පිරිසක් බව අනාවරණයවීම වඩා අවධානයට ගත යුතු කරුණක් වී තිබේ. ලන්ඩන් හි නිරිත දිග ප‍්‍රදේශයේ පිහිටි සවුත්ෆීල්ඞ් ඇකඩමිය ලෝකයේ වඩාත් කතාබහට ලක් වූ පාසලකි. එහි ඉගෙන ගන්නා දරුවන් 1300 ක් දෙනා විවිධ භාෂා 70 ක් කතා කරන බව අනාවරණය වී තිබේ. ඉගෙනුම පමණක් නොව, නර්තනය, සංගීතය හා නිරෝගී දරුවන් සම්බන්ධයෙන් ද උසස් ප‍්‍රමිති දිනා ඇති මෙම පාසල ඉංග‍්‍රීසි භාෂාව ගැන උනන්දුවක් දක්වන්නේ නැත. සෑම දරුවන් හතර දෙනෙකුගෙන්ම තුන් දෙනෙක් කිසිම අන්දමකට ඉංග‍්‍රීසි ගැන තකන්නේ නැති බව අනාවරණය වෙයි. ලන්ඩන් නගරය ගැන දක්වන මෙකී උදාහරණ එහි පවතින විවිධ භාෂා, විවිධ ආගම් හා විවිධ සංස්කෘතීන් ගැන අධ්‍යයනය කරන්නට අවස්ථාවක් සපයයි.

ධුරයෙන් ඉවත්ව ගිය තෙරේසා මේ අගමැතිනිය බි‍්‍රතාන්‍යයේ අභිවෘද්ධිය හා උන්නතිය උදෙසා ගත් තීරණය ඉතා වැදගත්ය. ශ‍්‍රී ලංකාව ජනවර්ග, ආගම්වාද අතර ඉතා තීරණාත්මක දෝලනයක පසුවන අවස්ථාවක මෙවැනි සිද්ධි ගැන අවධානය යොමු කිරීම සුදුසුය. ඉතිහාසයේ සිට සලකා බලන විට රට තුළ ජාති, ආගම්, පැලැන්ති බේධ උත්සන්න වූ අවස්ථා තිබේ. දේශපාලන බේධ එයටත් වඩා දරුණු අන්දමට බලපා ඇති අනෙක් කාරණයකි. සිංහල දෙමල ජනතාව අතර ඇති අනවබෝධය, ගැටුම් හා එමගින් මතු වූ අරගලය පසුගිය දශක තුන තුළල පැවැති දරුණු ත‍්‍රස්තවාදයක් දක්වා උත්සන්න විය. පසුගිය අපි‍්‍රියෙල් 21 වැනි දා සිදුවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාර මාලාව ගැන ද ජනවාර්ගික හා ආගම් වාර්ගික පසුබිමක් තිබේ. අන්තර් ජාතික ත‍්‍රස්තවාදී කණ්ඩායම් සමග සම්බන්ධතා තිබුණ අතර මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාවක් ඇති කරන ලද භයානක හේතු අධ්‍යයනය කරමින් සිටී. මතුපිටින් පෙනෙන තත්ත්ව වල දී පවා නොසන්සුන් තත්ත්ව වලට හේතු සැක කරන්නට බැරිකමක් නැත. රට තුළ ජීවත්වන ජනකොටස් සාමකාමීව, එකිනෙකාට සමාන අවස්ථා හිමි පරිසරයක් තුළ ජීවත්විය යුතුය. සහජීවනය ඉතා අවශ්‍යය. ප‍්‍රතිසංන්ධානගතවීමක් අවශ්‍යය. සංහිඳීයාව ඉතාම වැදගත්ය.

දශක හතකට කලින් අධිරාජ්‍යවාදීන්ගෙන් රට නිදහස් කරගැනීම අරමුණු කරගෙන එක නිදහස් අරගලයක් ගෙන ගිය එකමුතු රටක් වසර හැත්තෑ එකක් අවසන් වන විට මරාගෙන මැරෙන තැනක් බවට පත්ව තිබේ. නිදහස දිනා ගැනීමට ඇති කරන ලද ලංකා ජාතික කොන්ග‍්‍රසය වැනි සංවිධාන ගැන අද සමාජයට අමතකය. කොන්ග‍්‍රසයේ පතාක චරිත බවට පත් ව සිටි විද්වතුන් ගැන අද සමාජය දන්නේ නැත. සිංහල, දෙමල හෝ මුස්ලිම් බේධයක් නැතිව එක රටක් තුළ ඉතා උද්යෝගයෙන් රට ගොඩනගන්නට වෙහෙස වූ ජනකොටස්වල වර්තමාන නියෝජනය ඉතාම බිහිසුණු අදහස් ඇතිව හැසිරෙන බව පෙනේ. රට තුළ එකඟතාවය ඇතිකරනු සඳහා ජාත්‍යන්තර වශයෙන් මැදිහත්වීම් තිබේ. ජිනීවා සම්මුතිය විවිධ යෝජනා ඉදිරිපත් කර ඇත. ව්‍යවස්ථාව වෙනස් කර බලය බෙදන බව දේශපාලන අංශ ප‍්‍රකාශ කරයි. පලාත් සභා වැනි අධික වියදමක් දරන පරිපාලන ක‍්‍රම යෝජනා කර ඒවා අසාර්ථක සංකල්ප වශයෙන් නඩත්තු කරන බව පෙනේ. මේවා ගැන අලූතින් සමාලෝචනය කරන්නට අවශ්‍යය.

බි‍්‍රතාන්‍ය ආණ්ඩුව ජනවර්ග අතර වර්ගවාදී, ආගම්වාදී අදහස් මතුවෙන අවස්ථා තුරන්කරන ස්වාධීන උපදේශකයෝ පත් කර ඇත. දේශපාලන වශයෙන් වෙනත් මත දරන නමුත් රට වෙනුවෙන් ස්වාධීව මෙහෙයැවෙන්නට ඉඩ සලසා තිබේ. අපට මෙවැනි උපදේශකයෝ පත් කළ හැකිද? ස්වේච්ඡාවෙන් වැඩ කරන්නට කැමැති අය නැත. පත් කළ වහා ධුරයට අවශ්‍ය බලතල ඉල්ලන අතර කාර්යාල, යාන වාහන හා නිලධාරීහු පත් කරන්නට සිදුවනු ඇත. ඒවැනි පියවර අන්තිමේ දී ආණ්ඩුවේ වියදමින් නඩත්තු කරන තවත් ආයතන පද්ධතියක් පමණක් බවට පත් වනු නිසැකය. ශ‍්‍රී ලංකා දේශපානයේ හා සමාජ නායකත්වයේ ඉතා පරිනත චරිත තිබේ. විශාල පිලිගැනීමක් ඇත. එම පිරිස රට වෙනුවෙන් නැගී සිටින්නට අවශ්‍යය. නැවත නැවතත් බේධ අවුලවන අවස්ථා මැඩ පවත්වන්නේ කෙසේදැයි ආණ්ඩුවලට නිදහසේ උපදෙස් දෙන නිසි පිලිවෙලක් ඇති කිරීම ගැන අප අවධානය යොමු කළ යුතුය.