» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
04/03/2018 - ඉරිදා ලංකාදීප
දළ දේශීය නිෂ්පාදිතය යනු සංවර්ධනය මනින මිණුමක් නොවේ?

ආර්ථිකය ගැන සඳහන් කරන සෑම අවස්ථාවකම දළ දේශීය නිෂ්පාදිතය ගැන සඳහන් කරයි. රට තුළ කරන නිෂ්පාදනයෙහි අඩු වැඩිවීම සලකා බලන සංඛ්‍යානඥයෝ ආර්ථිකය යහපත් වර්ධනයක පවතින බව ප‍්‍රකාශ කරයි. නොඑසේනම් පහත වැටීමක් බව දක්වා සිටී. රට වැසියන්ගේ පරිභෝජන වියදම, ව්‍යාපාර වල ආයෝජන සහ රජයේ වියදම් වලට අපනයන වලින් ලැබෙන ආදායම යන සියළු අංශ එකතු කිරීමෙන් පසු ලැබෙන අගයට විදේශ වෙළඳාමේ වාසිය හෝ අවාසිය එකතු කෙරේ. විදේශ වෙළඳාමේ වාසිය හෝ අවාසිය සේ සලකන්නේ අපනයන ආදායමෙන් ආනයන වියදම් අඩු කරන ලද විට ලැබෙන උත්තරයයි. ගණනය කිරීමෙන් පසු ලැබෙන අගය සාමාන්‍ය දළ දේශීය නිෂ්පාදිතය සේ සලකයි. දළ දේශීය නිෂ්පාදිතය මනින විවිධ ක‍්‍රම ඇත. සාමාන්‍ය මිනුමට වෙනස් ක‍්‍රමයට කරන ගණන් ගැනීමකදී විදේශ රටවල වෙසෙන පුරවැසියන් ඇතුළු ඇතැම් අංශ ඉවත් කර ශුද්ධ දළ දේශීය නිෂ්පාදිතය සලකා බලයි. මෙකී ගණන් ගැනීම ඉතාම සංකීර්ණ බව සඳහන් කළ යුතුය.

කෙසේ නමුත් මෙම ගණන් ගැනීමෙන් ලබා ගන්නා අගය කිසියම් රටක නියම දළ දේශීය නිෂ්පාදිතය වශයෙන් සැලකිය යුතු නැති බවට මතයක් වර්ධනය වී තිබේ. දළ දේශීය නිෂ්පාදිතය සසඳා බලන්නට අද උපයෝගී කරගන්නා මිණුම් දඞු වෙනස් විය යුතු බවට කරුණු සාකච්ඡා වෙන බව ජාත්‍යන්තර වාර්තා දක්වයි.

පසුගියදා ලෝක ආර්ථික සංසදයෙහි සාකච්ඡා වාරයක දී දළ දේශීය නිෂ්පාදිතය ඉලක්කමක් වශයෙන් පෙන්වීම සඳහා උපයෝගී කරගන්නා අන්දම ගැන සාකච්ඡා විය. එය සලකා බැලීම අංශ කිහිපයකින් වෙනස් විය යුතුය යන අලූත් අදහස් ඉදිරිපත් වී තිබේ. දළ දේශීය නිෂ්පාදිතය යන දර්ශකය භාවිතාවට පැමිනෙන්නේ 1960 ගණන් වලය. ක‍්‍රමයෙන් ලෝකය පුරා සෑම තැනෙකම එය සංවර්ධනය මනින මිණුමක් වශයෙන් භාවිතයට ගෙන ඇත. අද වන විට බහුලවම පාවිච්චි කරන වචනයක් බවට පත්ව ඇති අතර රටවල් සංසන්දනය කරන්නට හෝ ඒවායේ විභූතිය දක්වන්නට ද දළ දේශීය නිෂ්පාදිත අගය උපුටා දක්වමින් තිබේ. ඇමරිකාවේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩියෙන්ස් කොයෙල් මහතා ලෝක ආර්ථික සංසදයට පර්යේෂණ පත‍්‍රිකාවක් ඉදිරිපත් කරන ලද අතර දළ දේශීය නිෂ්පාදනය වෙනුවට පැති හයකින් කරුණු සලකා බලා රටක වටිනාකම මැන බැලිය යුතු බව ඔහු එහි සඳහන් කර තිබේ.

ලෝක ආර්ථික සංසදය ස්විට්සර්ලන්තයේ ඩවෝස් නගරයේ දී වාර්ෂිකව රැස්වෙයි. 1971 දී ස්ථාපිත කරන ලද ආර්ථික සංසදය ලාභ නොලබන ආයතනයක් වශයෙන් පවත්වාගෙන යන අතර එහි සැසිවාර වලට ආර්ථික, දේශපාලන, ශාස්ත‍්‍රාලීය සහ මාධ්‍ය ඇතුළු විවිධ ක්ෂේත‍්‍රවල නිපුණ පිරිස් ආරාධනා ලැබ සහභාගී වන අතර ඔවුන්ගේ අදහස් වලින් සැසිවාරය පෝෂණය වෙයි. මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩියෙන්ස් කොයෙල් මහතා ද සිය අදහස ඉදිරිපත් කරන ලද අතර එය පසුගිය සැසිවාරයක කරන ලද හෙයින් විශාල ප‍්‍රතිචාරයක් මේ වන විට ලැබී තිබේ.

රටක වටිනාකම මැන බැලීමේ දී සලකා බැලිය යුතු කරුණු වශයෙන් දක්වන්නේ මොනවාද? මූල්‍ය, මානව, භෞතික, ස්පර්ශ කළ නොහැකි වටිනාකම්, ස්වාභාවික සම්පත් සහ ජන සමාජය වශයෙන් ඒවා ගොනු කර තිබේ. මෙම කරුණු හයට පමණක් සිමා විය යුතු නැති බව ද ඩියෙන්ස් කොයෙල් මහාචාර්යවරයා සඳහන් කරන අතර ආර්ථික ප‍්‍රගතිය හෝ එයට ඉවහල් නොවෙන විශාල වශයෙන් සමාජය තුළ පැතිරී ඇති දේවල් වල එකතුවක් දළ දේශීය නිෂ්පාදනය වශයෙන් ගණන් ගැනීම ඉතාමත් සුදුසු බව කියා සිටී.

අද වන විට විශාල අවධානයක් යොමු වී ඇති මෙම දළ දේශීය නිෂ්පාදිතය ගණන් ගැනීමේ අලූත් ව්‍යුහය තුළට ස්වභාවික ප‍්‍රාග්ධනය ඇතුලත් විය යුතු බව ද සදහන් වෙයි. කිසියම් රට පිරිසිදු වාතය හා හරිත පරිසරය ස්වභාවික ප‍්‍රාග්ධනය සේ නම් කරන්නට නැඹුරු වී ඇත. කාලගුණ වෙනස්කම් සහ එය හේතු කරගෙන පරිසරයට වන බලපෑම බලවත් ආන්දෝලනයක් ඇති කර තිබේ. ලෝකය පුරා පරිසරය ආරක්ෂා කරගෙන සංවර්ධ සැලසුම් ක‍්‍රියාත්මක කළ යුතු බව අවධානයට ගෙන ඇත. මිනිස් ක‍්‍රියාකාරකම් හේතුවෙන් ස්වභාවිකත්වයට සිදුවූ හානිය හමුවේ වන්දි ගෙවන්නට අනාගත පරපුරට සිදුවන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. එවැනි පසුබිමක් තුළ ස්වභාවික ප‍්‍රාග්ධනය රටක දළ දේශීය නිෂ්පාදිතය සඳහා එකතු විය යුතු දර්ශකයක් බව පිලිගැනීම යහපත් අදහසකි.

ශ‍්‍රී ලංකාව වැනි රටවල් භූමිය, ජලය, වනාන්තර ඇතුළු ස්වභාවික සම්පත් කෙරෙහි විශාල සැලකිල්ලක් දක්වයි. යම් යම් අවස්ථාවල ස්වභාවික සම්පත් තර්ජනයට ලක්වන අවස්ථාවේ දී තද නීති පනවා ඒවා ආරක්ෂා කරගැනීමට ආණ්ඩු පියවර ගෙන තිබේ. රට තුළ පවතින ස්වභාවික සෞන්දර්යත්වය මෙරට ආර්ථික හා සමාජ වටිනාකම් හමුවේ සැලකිය යුතු වාසියක් බව අවිවාදිතය. ස්වභාවික ප‍්‍රාග්ධනය කිසියම් රටක දළ දේශීය නිෂ්පාදිතය මනින මිනුමට ඇතුලත් විය යුතු සාධකයක් බවට පත්වුවහොත් ශ‍්‍රී ලංකාව ලෝකයේ වැදගත් ආර්ථිකයක් ඇති තැනකට පත් වීම වැලැක්විය නොහැකිය. දර්ශනයක් වශයෙන් ඉදිරිපත් වී ඇති මෙම පිරිසිදු වාතය, හරිත පරිසරට ප‍්‍රාග්ධනයක් යැයි සැලකිය යුතු බව දක්වන අදහස ආර්ථික විද්‍යාවට එකතු කිරීම පහසු කාර්යයක් නොවේ. ආර්ථිකය ගැන ගණන් ගැනීම් කරන විද්‍යාර්ථීහු පරිසරයට වඩා පරිසර තත්ත්ව වෙනස් කර කරන නිෂ්පාදනය ගැන සැලකිල්ලක් දක්වති. එය වෙනස් කරන්නට නම් සෑහෙන ආකල්ප වෙනස් කිරීමක් කරන්නට සිදුවෙයි.

ලෝක ආර්ථිකය තුළ ශී‍්‍ර ලංකාව ගැන සඳහන් කරන විට පවතින තත්ත්වය යහපත් නැත. කුඩා නිෂ්පාදන ආර්ථිකයක් වන අතර විදේශ වෙළඳාම සීමා සහිතය. බලවත් රටවල් වල තත්ත්වය සමග සසඳන විට මෙරට අපනයනය ඉතා සුළු කොටසකි. තරගකාරී ආර්ථික ස්වභාවය හමුවේ අපනයන වර්ධනය කරගත නොහැකි තත්ත්වයට පත්ව ඇති අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ආනයන සීමා කරන්නට ආණ්ඩුවට සිදුවී ඇත. මෙම තත්ත්වය දිගින් දිගටම මෙරට ජන සමාජය පීඩාවට පත් කර තිබේ. නිදහස ලැබීමෙන් පසු ගත වූ කාලය තුළ සාමාන්‍යයෙන් සියයට පහකට වැඩි ප‍්‍රතිශතයකින් දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය කර ගැනීමට රටට හැකියාවක් ලැබුණේ නැත. විවිධ වකවානු වල දී ඇති වූ අර්බුද ඇතැම් වසර ආර්ථිකය අව ප‍්‍රමාණය කළේය. රට තුළින් පමණක් නොව ලෝක ආර්ථිකයේ සිදුවන උස් පහත්වීම හෙයින් ද මෙරට ජන සමාජය අර්බුදයකට ලක් කරන අන්දමට දළ දේශීය නිෂ්පාදනයෙහි වර්ධනය අඩාල වූ බව සඳහන් කළ යුතුය. විශේෂයෙන් වසර තිහක පමණ කාලයක් රට තුළ පැවැති ගැටුම් ආයෝජන දුර්මුඛ කළ අතර පරිභෝජනය සීමා කළේය.

ලෝකයේ තැනින් තැන ඇතිවන අලූත් තත්ත්ව ගැන අවධානය යොමු කිරීම අවශ්‍යය. දළ දේශීය නිෂ්පාදනය පමණක් නොව එකිනෙකට වෙනස් ආර්ථික දත්ත ගණන් බැලීම සඳහා නිර්මාණය කරන්නේ විද්‍යාඥයින්ය. එම සංසන්දනය තුළින් ලෝකයේ ස්වභාවය තරගකාරීත්වයට ලක් කරන්නට පියවර ගන්නා බව ද අමතක කළ යුතු දෙයක් නොවේ. දළ දේශීය නිෂ්පාදිතය කලින් වසරට වඩා අඩු වුවහොත් එයට පසුබිම් වූ කාරණය ගැන විචාරයක නිරත ව නිසි පියවර ගැනීමට මෙම දර්ශකය වැදගත්ය. ප‍්‍රතිපත්ති සම්පාදකයෝ එය කෙරෙහි අවධානයෙන් සිටිති. නමුත් ලෝක ආර්ථික සංසදයේ දී ඉදිරිපත් වී ඇති අලූත් අදහස එනම් ස්වභාවික ප‍්‍රාග්ධනය ඇතුළු අලූත් නිර්නායක හය රටක වටිනාකම නංවන්නේ කෙසේදැයි අධ්‍යයනය කිරීම වැදගත්ය.