සිංගප්පූරුවේ අගමැති ලී ෂින් ලූන්ග් මහතා පසුගිය වසරේ අගෝස්තු අට වැනි දිනට යෙදීතිබුණ එරට පනස් දෙවැනි නිදහස් දිනය වෙනුවෙන් නිකුත් කරන ලද පණිවිඩය අන්තර් ජාලයෙන් කියැවිය හැකිය. එරට නැගෙනහිර උද්‍යාන ප‍්‍රදේශයෙහි සිට හෙතෙම එය ප‍්‍රකාශයට පත් කරන්නේ නිර්මාතෘ ලී ක්වාන් යූ මහතා සිංගප්පූරුවේ භූගෝලීය පිහිටීම පවා වෙනස් කර රට ගොඩනගන ලද බව අභිමානයෙන් දක්වමින්ය.
සිංගප්පූරුවේ තරුණ පෙළ ලෝකයේ අලූත් ව්‍යුහය වෙත සූදානම් කළ යුතු බව අගමැති ලූන්ග් සිය නිදහස් දින කතාවේ දී කියා සිටි අතර සෑම දරුවෙකුටම හොඳ ආරම්භයක් ලබා දී විශිෂ්ඨ අනාගතයක් බිහි කළ යුතු බව සඳහන් කළේය. කරුණු තුනක් ගැන හෙතෙම අවධාරණය කළ අතර එහි පළමු වැන්න පෙර පාසල් අධ්‍යාපනයයි. දෙවැන්න දියවැඩියා රෝගය හා තුන්වැන්න ස්මාට් ප‍්‍රජාවක් යන්නය. අගමැතිවරයා සිය නිදහස් දින පණිවුඩය එම අදහස් තුන සමාජගත කිරීමට භාවිතා කර තිබේ.
පෙර පාසල් අධ්‍යාපනය ගැන අවධානය යොමු කරන්නේ ඇයි? මූලික අධ්‍යාපනය නැංවීමෙන් අධ්‍යාපනය ඉහළ මට්ටමකට ගෙන එනු වෙනුවට පූර්ව ළමා අධ්‍යාපනය විධිමත් කිරීමෙන් හොඳ අනාගත පරපුරක් ඇති කළ හැකි බව අගමැතිවරයාගේ විශ්වාසය විය. රට පුරා තවත් පෙර පාසල් ඇති කරන අතර ඒවායේ තත්ත්වය නංවා ගුරුවරු පුහුණු කරන වැඩ පිලිවෙලක් ආරම්භ කරන බව අගමැතිවරයා නිදහස් දින පණිවුඩයේ දී කියා සිටියේය. හොඳ පෙර පාසල් පද්ධතියක් තුළින් තම දරුවන් ගේ සුරක්ෂිතතාවය ගැන පුරවැසියන් විශ්වාසයක් ඇති කරගනී. හොඳ විශ්වාසදායක තැනකට තම දරුවා පූර්ව අධ්‍යාපනය වෙනුවෙන් බාරදිය හැකි නම් දරුවා නතර කර වැඩට යන දෙමාපියන්ට වැඩ පොලේ දී සැනසිල්ලේ වැඩ කළ හැකි බව අගමැතිවරයා සිය නිදහස් දින ප‍්‍රකාශනයේ අවධාරණයෙන් දක්වා තිබේ. දරුවන් හොඳ ගුරුවරුන්ගේ ආභාෂය යටතේ බව දැනගන්නා දෙමාපියන් හොඳ පවුලක් ගොඩනගනු ඇති බව ද කියා තිබේ.
දියවැඩියා රෝගය ගැන කියන අදහස කුමක්ද? අගමැති ලී ෂින් ලූන්ග් සිය නිදහස් දින පණිවුඩයේ දී දෙවැනිව කතා කරන්නේ සෞඛ්‍ය ගැනය. දියවැඩියා රෝගී තත්ත්්වය ගැන මූලිකව අදහස් දක්වයි. සිංගප්පූරුව දක්ෂතම වෛද්‍යවරු හා ලෝකයේ හොඳම රෝහල් පවතින නමුත් තම වැසියන් ඒවායෙන් ප‍්‍රයෝජන ගැනීම වැලැක්වීමට අවශ්‍ය බව එතුමා කියයි. සිංගප්පූරුවේ වැසියන් දීර්ඝායුෂ තිබේ. නමුත් අන්තිම වසර අට තුළ රෝගී තත්ත්වයට පත්වන බව පර්යේෂණ වාර්තා පෙන්වයි. වයස්ගත ජනගහනයෙන් තුනෙන් එකක් අවුරුදු හැට වන විට දියවැඩියාවෙන් පෙලෙන බව දක්වන අගමැතිවරයා මෙම දරුණු රෝගයේ දී මුලින් රෝග ලක්ෂණ නොතකන නමුත් අවසානයේ දී අන්ධභාවය, හෘදයාබාධ, වකුගඩු රෝග වලට හේතුවන බව දක්වයි. ‘‘දියවැඩියාවට එරෙහිව ජාතික සටනක් ආරම්භ කෙරේ. රෝහල් ඉදිකිරීම හෝ හොඳ ප‍්‍රතිකාර නොව රෝගි තත්ත්ව ඇතිවීම වැලැක්විය යුතුය. පැවැත්ම ගැන පුද්ගලිකව සොයා බලා තීරණගත යුතු අතර ආහාර ප‍්‍රතිපත්තිය වෙනස් කර ජලය පානය වැඩි කිරීමට හා නිති පතා කරන ව්‍යායාම වලට පොළඹවන ජාතික ප‍්‍රතිපත්ති හªන්වන බව’‘ අගමැතිවරයා නිදහස් දින පණිඩුවයේ දී සඳහන් කළේය.
ස්මාට් ප‍්‍රජාවක් බිහි කිරීම සිංගප්පූරු අගමැතිවරයා පෙන්වන තුන් වැනි කාරණයයි. සිංගප්පූරුව ඩිජිටල් සාක්ෂරතාවයෙන් ඉහළ තැනක සිටී. ඉතාමත් ඉහළ මට්ටමකින් ජනී ජනයා තාක්ෂණයෙන් සම්බන්ධ වී ඇත. එය පෙන්වා දෙන අගමැතිවරයා සිය නිදහස් දින පණිවිඩයේ දී ජීවිතයේ එදිනෙදා කටයුතු වල දී තොරතුරු තාක්ෂණය තව තවත් භාවිතාවට ගන්නා ඉතාම සුපිරි රටක් කරන්නට අවශ්‍ය බව දක්වයි. මුදල් හෝ ක්‍රෙඩිට් කාඞ් පරිහරණය අත්හැර විද්‍යුත් මුදල් හුවමාරුවට වෙනත් රටවල් තරගකාරීව නැඹුරු වී සිටින අතර සියළුම ගෙවීම් සඳහා ජංගම දුරකථනය භාවිතා කරන බව අගමැති ලී ෂින් ලූන්ග් දක්වයි. ජනතාවගේ ජීවිත තව දුරටත් උසස් කරනු සඳහා එකී ස්මාට් යුගයට වේගයෙන් අවතීර්ණ විය යුතු බව හෙතෙම පෙන්වා දෙයි.
මැලේසියාවෙන් වෙන්ව අලූත් රටක් වශයෙන් ජාත්‍යන්තරයට එකතු වන විට ලී ක්වාන් යූ මහතා සිංගප්පූරුවේ අගමැති ධුරයට පත් විය. හෙතෙම රට අලූතින් නිර්මාණය කළේය. ඉතා කෙටි කාලයක් ඇතුලත වානිජ, මූල්‍ය හා ප‍්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්නට සමත් විය. අධ්‍යාපනය හා සෞඛ්‍ය අංශ වලින් ලෝකයේ ඉහළම තැනට දියුණු වූ අතර ඒ වෙනුවෙන් ලෝකයේ හොඳම මානව සම්පත හා අලූත්ම තාක්ෂණය සඳහා ආයෝජනය කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් දර්ශකය අනුව ලෝකයේ ඉහළම රටවල් පහ අතර සිටී. ඒක පුද්ගල ආදායම වැඩිම රටවල් ලැයිස්තුවේ තුන්වැනි ස්ථානය හිමි කරගෙන ඇත. ජීවන මට්ටම ඉතාම ඉහළ අතර ආරක්ෂාව සහ සමාජ පැවැත්ම ලෝකයේ කිසිම රටකට නොදෙවෙනිය. ලී ක්වාන් යූ අගමැතිවරයා ජීවිතක්ෂයට පත්වන විට හෙතෙම ලෝකයේ ගෞරවයට පාත‍්‍රවූයේ අසමසම නායකයෙකු වශයෙන්ය.
වත්මන් අගමැති ලී ෂින් ලූන්ග් මහතා සිය නිදහස් දින පණිවුඩයෙන් පෙන්වන්නේ රට මෙහෙයවන දර්ශනයයි. නිදහස් දින කතාවේ දී තෝරාගත් කාරණා තුනක් ගැන ජන අවධානය යොමු කරවයි. පෙර පාසල් අධ්‍යාපනය, දියවැඩියාව හා ස්මාට් සමාජය යන පණිවුඩ තුනයි.
ශ‍්‍රී ලංකාව අද සිය හැත්තෑවන නිදහස් දිනය උත්සවාකාරයෙන් පවත්වයි. යටත් විජිත ග‍්‍රහණයෙන් මිදී නිදහස උදා කරගත් නමුත් අධිරාජ්‍යවාදීහු භාරදුන් රාමෙුවෙන් මිදෙන්නට රටට හැකියාවක් ලැබී නැත. අධිරාජ්‍යවාදී පාලකයන් මෙරට තෝරාගත් පැලැන්තියකට බලය පැවැරීය. බි‍්‍රතාන්‍ය සිරිත් අනුගමනය කරන, එරට නීති රීති හා සම්ප‍්‍රදායයන් අඛණ්ඩව අනුගමනය කරන පැලැන්තිය මෙරට පාලනය භාරගත් අතර අදටත් රට තුළ බලපවත්වන්නේ එකී ව්‍යුහයේ නටඹුන් බව සඳහන් කළ යුතුය.
ශ‍්‍රී ලංකාව නිදහස් නිවහල් නමුත් ජනතාව සමාජ දේශපාලන හා ආර්ථික රාමුව තුළ සංකීර්ණ වියවුලකය. මෙරට නිදහස් දිනයේ දී ජනතා නායකයන් ජාතිය අමතා ප‍්‍රකාශ කරන්නේ මොනවාද යන්න ගැන අප සියළු දෙනාටම අවබෝධයක් ඇත. හැත්තෑවන නිදහස් දිනය දක්වා නිදහස් දිනය බෙදුණු, කල්ලි ගැසුණු එකිනෙකාට බැණ වදිමින් චෝදනා කරගන්නා පරිසරයක් හැරෙන්නට වෙනත් යමක් නැත. දේශපාලන නායකයෝ කරන කතා මහජනතාව තුළ අලූත් දැක්මක් ඇති කළේ නැත. එය එදාටත් අදටත් වලංගු තත්ත්වයකි.
ශ‍්‍රී ලාංකිකයන් නිදහස ගැන ආඩම්බරයක ජීවත් වෙයි. අභිමානය ඔවුන් සතුව තිබේ. කැපවීම ඇත. ලෝකයේ ඕනෑම රටකට ගොස් ඉතාම දක්ෂ ලෙස අනුගත වන්නට හැකියාව තිබේ. මානව සම්පත අතින් ඉතාම ඉහළ දක්ෂතා පෙන්නුම් කර ඇත. නමුත් මෙම දක්ෂතා එකතුකර අලූත් රටක් හදන්නට නායකයන් අසමත්ව තිබේ. මෙරට නායකයන් පාසල් අධ්‍යාපනය ගැන විශාල වෙනස්කම් කරන්නට සූදානම් වෙයි. රෝහල් තනන්නට සැලසුම් කරයි. ගමනාගමනය, නිවාස, කර්මාන්ත හෝ කෘෂිකර්මය ගැන අති විශාල සැලසුම් සකස් කරයි. නමුත් අවසානයේ දී දේශපාලන ව්‍යාපෘති පමණකි. ආණ්ඩුවක් වෙනස්වන විට, ඇමැතිවරයෙක් මාරු වෙන විට ප‍්‍රතිපත්ති වෙනස් වෙයි. නායකයන් අතර සම්මුතියක් නැත. ප‍්‍රජාව වෙත සංහිඳීයාවේ පණිවුඩය නිකුත් කරන නමුත් ජන නායකයන් එයට අනුව ක‍්‍රියා කරනවාදැයි නිදහස් දිනයේ දී ගැඹුරෙන් සිතා බලන්නට අවශ්‍යය. දරුවන්ගේ අනාගතය ගැන හිතන්නට අවශ්‍යය. ජනී ජනයාගේ ජීවිත යහපත් කරන්නට වැඩ පිලිවෙලක් සකස් කළ යුතුය. ශ‍්‍රී ලංකාව හැත්තෑ වසරක පසුව පවා අලූතින් හිතන්නට සූදානම්දැයි අප අපගෙන්ම ප‍්‍රශ්න කිරීම වැදගත්ය.
|