» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
03/11/2019 - ඉරිදා ලංකාදීප
අධිකරණ තීන්දුව වෙනස් කරගැනීමේ ප‍්‍රයත්නයක යෙදෙන බලවත්තු

පාසලකට දරුවන් ඇතුලත් කිරීමේ දී අනුගමනය කරන වංචනික ක‍්‍රම බහුලය. ලෝකයේ කොතැනත් අසාධාරණකම් සිදුවෙයි. උසස් විශ්ව විද්‍යාලවලට දරුවන් යැවීමට අයථා ක‍්‍රම භාවිතා කළ සිද්ධියක් ඇමරිකාවෙන් වාර්තා විය. ඉතා ධනවත් පිරිසක් ධනය හා බලය යොදවා උපක‍්‍රම අනුගමනය කර තිබේ. බලවතුන් අනුගමනය කළ ක‍්‍රම ගැන මහත් ආන්දෝලනයක් ඇති විය. නඩු විභාගයක් දක්වා දුර දිග ගියේය. අධිකරණය නඩු විභාගකර තීන්දුවක් දීමට දින නියම කර ඇත. තීරණය වෙනස් කරගැනීමට ප‍්‍රබල ප‍්‍රයත්නක් දරන බව පසුගියදා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. ධනයට හා බලයට උසස් විද්‍යාල අයිතියට ගත හැකිද? අධිකරණ තීරණය වෙනස් කිරීමට තරම් බලවත්ද? නුදුරු දිනවල මෙම පැති අනාවරණය වනු ඇත.

දරුවන්ට ඉහළම අධ්‍යාපනය ලබා දීම දෙමාපියන්ගේ අරමුණයි. නමුත් තෝරා ගැනීමේ ක‍්‍රමයක් තිබේ. ඇමරිකාවේ ප‍්‍රශ්නය මතු වූයේ විශ්ව විද්‍යාලවලට ඇතුලත් වීමේ දීය. එහි දී අධ්‍යාපන සුදුසුකම් පමණක් නොව කුසලතා ද සලකා බැලේ. සුදුසුකම් ප‍්‍රමාණවත් නොවීම ඇමරිකාවේ ධනවත් පවුල්වලට ප‍්‍රශ්නයක් වී තිබුණි. මූලික සුදුසුකම් ඇති නමුත් විශිෂ්ඨතම විශ්ව විද්‍යාල වලට දරුවෝ ඇතුලත් කළ නොහැකි වූහ. ධනය ඇති පිරිස සිය දරුවන්ට ප‍්‍රවේශ විය හැකි පරිදි අයථා ක‍්‍රම උපයෝගී කරගත්තේය. කූඨ උපක‍්‍රම භාවිතා කර ඇති අතර ජනමාධ්‍ය කරන ලද අනාවරණ වලට පසු මෙම පුද්ගලයන්ට එරෙහිව බොස්ටන් හි දී නඩු විභාගයක් ආරම්භ කළේය. නඩු විභාග වන අතර වරදක් කරන ලද බව ඔප්පු වෙන ලකුණු පැහැදිලිව පෙණින. දඩුවම් නියත බව දකින අවස්ථාවේ දී මෙම ධනවත් පුද්ගලයෝ මුදල් වියදම් කර සිරදඩුවම සුළු එකක් කරගන්නට තැත්කරමින් සිටිති.

බොස්ටන් අධිකරණය ආශි‍්‍රත මාධ්‍ය උපුටා දැක්වූ නිව්යෝක් ටයිම්ස් පුවත් පත මෙම චෝදනා ලැබූ ධන කුවේරයෝ දඩුවම වෙනුවට ප‍්‍රජා සේවය භාර ගැනීමට යෝජනා කරමින් සිටිති. විවිධ මහජන සම්බන්ධතා ආයතන, ප‍්‍රචාරණ උපක‍්‍රම සහ දැනහැදුනුම්කම් භාවිතා කරන බව අනාවරණය වෙයි. චූදිත පිරිස තමන් කළ වරද පිලිගෙන ඇත. ඉහළම විශ්ව විද්‍යාල වලට දරුවන් ඇතුල් කරන්නට අයුතු දේ කරන ලද අතර එයට හිලව් වන පරිදි අධ්‍යාපන කටයුතු නංවන්නට විශාල පරිත්‍යාග කළ හැකි බව ප‍්‍රකාශ කර තිබේ. අධිකරණය මෙම යෝජනාව භාර ගැනීමට ඉඩක් තිබේ ද යන්න ගැන දැන් ඇමරිකාව තුළ සාකච්ඡා වන කාරණයක් බව දැක්විය යුතුය.

එක්තරා ධනවත් පුද්ගලයෙකු තම දරුවා ඇතුලත් කිරීමට අයථා බලපෑමක් කළ බව පිලිගෙන දඩුවම අඩු කරගැනීමේ අරමුණ ඇතිව අපූරු යෝජනාවක් කර ඇත. ආබාධ සහිත දරුවන් ඉගෙනගන්නා පාසල් අතර ඔලිම්පික් හා සමාන ක‍්‍රිඩා තරගාවලියක් පවත්වන්නට සියළු වියහියදම් දරන්නට කැමැත්ත පළ කර තිබේ. තවත් පියෙකු දීර්ඝ විස්තරයක් සහිත ලියැවිල්ලක් ඉදිරිපත් කර ඇත. එහි දක්වන පරිදි බාල අවධියේ දී උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ඔහුට ඉතා පීඩාකාරී පසුබිමක් තිබුණ අතර එය මානසික ගැටළුවක් සේ වර්ධනය වී තිබේ. තමන්ගේ දරුවා එවැනි උපද්‍රවයකින් ගලවා ගැනීම අරමුණු කරගෙන කූඨ උපක‍්‍රම වලට යොමු වූ බව දක්වා ඇත. තවත් පියෙකු සිය දරුවා උසස් විශ්ව විද්‍යාලයට ඇතුළු කිරීමේ දී දරුවා ජල පෝලෝ ක‍්‍රිඩාවේ දක්ෂයෙකු බව පෙන්වා තිබේ. එයට නිර්මාණය කළ පින්තූර මෙම ධනවතාගේ නිවසේ ඇති පෝලෝ තටාකයේ ඒවාය. විකල්පයක් වශයෙන් පහසුකම් නැති පාසල් වලට ජල පෝලෝ පහසුකම් සැපයීමට සූදානම් බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයක් කර ඇත. එය විශාල වියදමක් දරන්නට සිදුවන ව්‍යාපෘතියකි. සල්ලි ඇති පුද්ගලයන්ට මෙවැනි යෝජනා කළ හැකිද?

ඇමරිකාවේ බොස්ටන් අධිකරණයේ එක වටයක නඩු පවරන ලද සිද්ධි එකොලහක් වාර්තා වෙයි. කූඨ ලේඛන, අල්ලස් දීම හා විභාග වංචා යනාදියෙන් යුක්තිය උල්ලංඝනය කළ පියවරු එකොලොස් දෙනෙකුට සිර දඩුවම් නියම වන බව පැහැදිලි බව පැමිණිල්ල මෙහෙයවන නීතිඥයෝ කියා සිටිති. හිරගෙදරට යවනු වෙනුවට සතියක හෝ දෙකක සංකේත සිරදඩුවමක් දී පැය දෙදහසක පමණ ප‍්‍රජා සේවාවක් නියම කළහොත් එය රටට පැය විසි දෙදහසක ප‍්‍රජා වැඩ ලැබෙන ක‍්‍රමයක් බව විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායම් යෝජනා කරමින් සිටිති. එය විශාල දෙයක් වන අතර මෙම පැය ප‍්‍රමාණය තුළ අර්ථවත් දේ සෑහෙන ප‍්‍රමාණයක් රටට කරන්නට සමත්වනු ඇති අතර එය මහා ආයෝජනයක් බව මෙම නීතිඥයෝ පෙන්වා දෙති.

මෙයට අමතරව තවත් දහ නම දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ද සිය දරුවන් වෙනුවෙන් අයුතු දේ කළ බවට චෝදනා ලැබ ඇත. එම නඩු ද අධිකරණයේ නඩු විභාග කරමින් සිටී. ප‍්‍රසිද්ධ නළු නිළියන් පවා මෙම දෙවැනි නඩුවේ විත්තිකරුවන් අතර සිටී. එම පිරිස ද වරද ගැන පසු තැවෙන අතර දඩුවම ගැන අප‍්‍රමාණ භීතියකින් පසුවන බව අනාවරණය වෙමින් තිබේ. නොයෙක් විකල්ප යෝජනා අධිකරණයට ඉදිරිපත් කරන්නට මෙම පිරිස් ද උත්සාහ කරති. නොයෙක් උපාය වෙනුවෙන් සෑහෙන ධනයක් වියදම් කරන්නට ද කැමැත්ත දක්වා ඇති බව වාර්තා වී තිබේ.

දඩුවම වෙනුවට සුළු තරවටුවක් නියම කළ හැකිද? වෙනත් විකල්ප යෝජනා ඉදිරිපත් කිරීම අධිකරණය පමණක් නොව සාමාන්‍ය ජනතාව පවා විමතියක් පළ කරන බව අනාවරණය වෙයි. මේවා කළ හැකි ද යන්න මාධ්‍ය ප‍්‍රශ්න කරන්නට පටන් ගෙන තිබේ. සමහර අංශ දක්වන අන්දමට ජනතාවගේ විරෝධතා නොවේ නම්, මෙම සිද්ධි ඉදිරියට එන්නේ නැත. සමහර දෙමාපියෝ සිය ජංගම දුරකතන වලින් ගත් කොටස් පෙන්වා අසාධාරණය රටට අනාවරණය කළහ. එය ධෛර්යවන්ත පියවරක් බව ප‍්‍රකාශ වී තිබේ. එවැනි පියවර අඩු තක්සේරුවට ලක් කර විත්තියට වාසිදායක සේ දඩුවම තීන්දු කරනු ඇත්දැයි පුලූල් සාකච්ඡාවකට භාජනය වී තිබේ.

ධනය ඇති සමාජයේ දෙමාපියෝ ක‍්‍රියා කර ඇති ආකාරය පුදුම සහගතය. විභාගය සඳහා සූදානම් කරන අතර අවශ්‍යනම් විභාග මධ්‍යස්ථානය හෝ ඒවා පවත්වන ශාලාධිපතිවරුන්ට අල්ලස් ගෙවන්නට පවා නැඹුරු වී ඇත. අවශ්‍ය මූළික පසුබිම හදා ගත් පසු දරුවන්ගේ අතිරේක දක්ෂතා වලට ද ප‍්‍රසාද ලකුණු උපයා ගැනීමේ ක‍්‍රම අනුගමනය කර තිබේ. නිව්යෝක් ටයිම්ස් පුවත් පත මුලින් වාර්තා කරන ලද තොරතුරක් අනුව එක්තරා නිළියක ගේ දරුවන් අතිරේක ලකුණු සඳහා ඔරු පැදීමේ තරඟ වල දක්ෂතා දක්වන ලද බව කඩදාසි වලින් ඔප්පු කර තිබේ. එම දරුවන්ට ඔරු පැදීම ගැන කිසිම අත්දැකීමක් නැත. එහෙත් ඒ වෙනුවෙන් සාක්ෂි වශයෙන් පින්තූර හදා තිබේ. තරඟ වලට ඉදිරිපත්ව ජය ගත් බවට සාක්ෂි හදා ඇත. පුහුණුකරුවන්ගේ සේවය අයථා අන්දමට ගෙන ඇති අතර දරුවන් පුහුණු කර නැති ඔවුහු ඒ වෙනුවෙන් සහතික පවා නිකුත් කර තිබේ. සාමාන්‍ය දරුවන්ගේ කුසලතා අභිබවා ධනවත් දෙමව්පියන්ගේ මුදල් යොදවා දරුවන් විශ්ව විද්‍යාල වලට ඇතුලත් කරගැනීම ගැන බලවත් විරෝධයක් ඇත.

බලවත් දෙමාපියන් ධනය යොදවා අයථා ක‍්‍රම වලින් ඇතුළු කළ පසු අනෙක් සිසු සිදුවියන් අතර ආන්දෝලනයක් පැතිර ගිය අතර පසුව ඒවා ජනමාධ්‍ය හරහා ලෝකය පුරා පැතිර ගියේය. ධනය ඇති පිරිස් සියළු ක‍්‍රම උපයෝගී කරගනිමින් අවස්ථා තමන් අතට පත් කරගන්නා අතර සාමාන්‍ය ජනතාව ඉතා ගැටළු සහගත ඉරණමක බව මෙම නඩු වලින් පැහැදිලිව අවධාරණය වී ඇති කරුණකි. එක පැත්තකින් වංචා සිදුවන අතර අනෙක් පැත්තෙන් පොහොසත් පිරිස, අධ්‍යාපන අංශ වලට විශාල ධන පරිත්‍යාග කර ඒවා මගින් දරුවන්ට ඉගෙන ගැනීමේ අවස්ථා පාදා ගනිමින් සිටී. එය අසාධාරණ තත්ත්වයක් බව ඇමරිකානුවන්ගේ විරෝධය විය.

ඇමරිකාවේ සිද්ධිය අපට පාඩමකි. ශ‍්‍රී ලංකාවේ පුරවැසියෝ සාධාරණය අයැදිති. යුක්තිය ඉටු කරන සේ බල කරති. මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ සාධාරණ, යුක්ති සහගත ව්‍යුහයක් පවතින බවක් එක හෙළා විශ්වාස කළ හැකිද? දරුවන්ට පාසල් තෝරා ගැනීම බරපතල ගැටළු ඇති කර තිබේ. ජනප‍්‍රිය පාසල් වලට දරුවන් ඇතුලත් කිරීමේ දී විශාල බොරු ප‍්‍රමාණයක් ඉදිරිපත් වෙයි. දරුවන් බොරු කියන පළමු අවස්ථාව ජනප‍්‍රිය පාසලට ඇතුලත් කරන පරීක්ෂණය බව ප‍්‍රකාශ වෙමින් තිබේ. සංකීර්ණ සමාජ ක‍්‍රමය තුළ නොයෙක් අකටයුතුකම් සිදුවෙයි. දරුවන් ගේ පාසල තෝරාගැනීමේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා අතිශය කර්කශ අවස්ථා ඇති බව නොරහසකි. ධනය හා බලය ඇති පිරිස කොපමණ වාසි අත්පත් කරගන්නවා දැයි සාමාන්‍ය ජනතාවට අවබෝධයක් නැත. එය ඉතාම ඛේදණීය තත්ත්වයකි. සමාන අවස්ථා ඇති කළ යුතු බව ප‍්‍රතිපත්ති වශයෙන් පිලිගන්නා නමුත් භාවිතාවේ දී සිදුවන අසාධාරණකම් සමාජයේ නැති බැරි අහිංසක කොටස් ගොදුුර කරගන්නා බව නොරහසකි.

මෙරට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඉතා තරගකාරීය. තෝරා ගන්නේන සුළු පිරිසක් පමණකි. තෝරා ගන්නා ක‍්‍රමය ගැන දරුවන්ට ප‍්‍රසාදයක් නැත. කුසලතා, විශේෂ දක්ෂතා ඇති සෑහෙන පිරිසකට විශ්ව විද්‍යාල අධ්‍යාපනය අහිමි වෙති. ඒවායේ ඉඩකඩ නැත. දශම ගණනකින් අවශ්‍ය ලකුණු ලබා ගැනීමට අසමත්වන දරුවෝ ජීවිත කාලය පුරා වේදනාවට පත්වන අතර එය විශාල දුක්ගැනවිල්ලකි. එසේ තිබිය දී ධනය ඇති සමාජය ක‍්‍රියා කරන්නේ කෙසේදැයි රටට හා ජනතාවට පැහැදිලි නැත. ලෝකයේ ඕනෑම විශ්ව විද්‍යාලයකින් ඉගෙනගෙන රටට එන්නට අවස්ථාව තිබේ. මේවා ගැන සාකච්ඡා කරන්නට අවශ්‍යය. ඇමරිකාවේ සිදුවන අන්දමට අපට අධිකරණයට යා හැකිද? තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කර ඇත. අසාධාරණයට විරුද්ධව ක‍්‍රියා කරන තත්ත්වයක් තිබේ දැයි ප‍්‍රශ්න කිරීම අවශ්‍යය. ලෝකයේ නොයෙක් තැන වාර්තාවන කටුක සිද්ධි වලින් කම්පාවීම පමණක් නොව ඒවා පාඩමක් කරගෙන ඉතාම හොඳ පසුබිමක් නිර්මාණය කරගැනීම අභිමානයට හේතුවකි. අනාගතය සාක්ෂාත් කරගැනීමේ දී අධ්‍යාපනය ඉතා වැදගත්ය. ශ‍්‍රී ලංකාවේ දරුදැරියන්ට, දෙමාපියන්ට යුක්ති සහගත ඉගෙන ගැනීමේ ක‍්‍රම වේදයක් සහතික කළ යුතුව තිබේ. මෙය අප සියළු දෙනාගේ අවධානයට ලක් විය යුතු කරුණකි.