» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
03/06/2018 - ඉරිදා ලංකාදීප
වෙළඳ ගිවිසුම් වලින් අවස්ථා උපයාගත හැකි යුගය අවසන්ය

සිංගප්පූරුව හා ශ‍්‍රී ලංකාව අතර වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී තිබේ. දෙරට අතර වෙළඳ ගිවිසුමක් මගින් මෙරට ආර්ථික සහ සමාජ පැවැත්මට විශාල වාසි ලැබෙන බව ගිවිසුමට පක්ෂ කණ්ඩායම නගන වැදගත් තර්කයකි. විරුද්ධ කණ්ඩායමක් ද ඇත. දෙරට අතර ගිවිසුම අනර්ථකාරී බව දක්වන අතර උද්ඝෝෂණ, විරෝධතා සහ වැඩ වර්ජන ආරම්භ වී තිබේ. සාමාන්‍ය ජනතාව මෙම පැති දෙක අතර අතරමං වී සිටිති. එදිනෙදා ජීවන බර දරා ගත නොහැකිව සිටින පොදු ජනතාව පාලකයන් ඇති කරන අර්බුද වලින් පමණක් නොව ස්වභාවික විපත් වලින් ද සෑහෙන පීඩා විඳින බව සඳහන් කළ යුතුය.

වෙළඳ ගිවිසුම් රටවල් අතර අත්සන් කෙරේ. ඇමරිකාව, කැනඩාව හා මෙක්සිකෝව අතර ආර්ථික ගිවිසුම අතර සන්ධිස්ථානයකි. 1989 ජනවාරියේ දී එකඟවන ලද එකී ගිවිසුම අනුව රටවල් තුන අතර භාණ්ඩ හුවමාරුවේ දී බදු සහන බල පවත්වන්නට එකඟතාවය ලැබිණ. වර්තමානයේ දී ලෝකයේ රටවල් අතර එකිනෙකට වෙනස් සංකීර්ණ ගිවිසුම් විශාල ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මක වෙයි. යුරෝපා ප‍්‍රජාව අතර පැවැති ගිවිසුම ලෝකයේ විශාල අවධානයකට ලක් වූ එකකි. ආර්ථික ගිවිසුම් සම්බන්ධයෙන් දශක තුනකට කලින් පැවැති ස්වභාවයට වඩා සියුම් සහ තරගකාරීත්වයක් දැනට පවතී. ඉතාම දියුණු තාක්ෂණයකින් සම්බන්ධ වී ඇත. ලෝකයේ දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල් අතර සහයෝගීතා ගොඩනැගෙන අතර ඒවායෙන් සම්බන්ධ නොවී හුදෙකලාව පැවැතිය හැකි පසුබිමක් අද වන විට නැත. ජාත්‍යන්තරයට විවෘත වීම අවශ්‍යය. මෙම සම්බන්ධතා තරගකාරීව සිදුවනහෙයින් යුගය ගැන අවබෝධයක් තිබිය යුතු අතර වකවානුවේ පවතින ව්‍යුහය හඳුනාගෙන තීරණ ගැනීම අවශ්‍යය.

ජාත්‍යන්තරයේ ආර්ථික සහ සමාජ පසුබිම කුමක්ද? ලෝකයේ රටවල් අතර අනන්‍යතාවය ගැන ප‍්‍රශ්න මතු වී තිබේ. එක පැත්තකින් ගිවිසුම්වලින් සම්බන්ධ වන රටවල් අනෙක් පැත්තෙන් තමන් ගැන හිතන්නට පටන්ගෙන ඇත. තොරතුරු සන්නිවේදන තාක්ෂණය මගින් රටවල් සමීප කරන අතරවාරයේ ඒවායෙන් නැගෙන වාද විවාද අවසානයේ දී රටවල් තම තමන්ගේ අනන්‍යතා ප‍්‍රශ්න කරන්නට පටන්ගෙන තිබේ. යුරෝපීය සංගමයෙන් ඉවත්වන්නට බි‍්‍රතාන්‍ය තීරණය කිරීම එහි එක්තරා සංධිස්ථානයකි. ඉතාලිය ඉවත්වීමට අවධානය යොමු කර තිබේ. එක කලාපයක් වශයෙන් සම්බන්ධතා තර කරගනිමින් සිටි සමාජ කණ්ඩායමක් එම සම්බන්ධතා ඔස්සේ තමන්ට සිදුවන අවාසි ගැන විග‍්‍රහයක නිරතවන අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඉවත්වන තීරණයක් ගනී. ඇමරිකානු ජනාධිපතිවරණයට පසු එහි ඇතිවන පසුබිම ද එයට සමාන අවස්ථාවකි. යුරෝපා රටවල් කිහිපයක එවැනි තත්ත්ව උද්ගත විය. ලෝකයේ නොයෙක් රටවල් වල පවත්වන මහ මැතිවරණ වල දී රට ගැන ස්වදේශිකත්වය ගැන හෝ අන්‍ය සංක‍්‍රමණ වලින් වන බලපෑම වැනි කාරණා ආණ්ඩු වෙනස්කරන තීරණාත්මක බලවේගය බවට පත් වෙයි.

රටවල් අතර සම්බන්ධතා වලින් හෝ ගිවිසුම් වලින් තමන්ට නොලැබෙන වාසි අනෙක් පාර්ශවයට ලැබෙන අතර එයින් තමන් පීඩාවට පත්වන බව හිතන ව්‍යුහයක් අද සමාජ ගෝලීයකරණය සමග පැතිරෙන බව සඳහන් කළ යුතුය. ගිවිසුම් අනුව ලෝකයේ නොයෙක් තැන් වලින් එන උගත් පිරිස සමාජවල වැඩි වරප‍්‍රසාද අත්පත් කරගන්නා අතර දුප්පත් ජනී ජනයා කොන්වෙන බව හිතන්නට පටන්ගෙන ඇත. වෙළඳාම, ආයෝජනය සහ ජන සංක‍්‍රමණය වැනි පැති වලින් සලකන විට රටවල් අතර ගිවිසුම් වලින් සිදුවන වාසි වලට වඩා අවාසි ගැන සමාජය ප‍්‍රශ්න කරන යුගයක් වර්තමානයෙහි පවතී. සිංගප්පූරුව සමග ගිවිසුමක් අත්සන් කරන්නට ශ‍්‍රී ලංකාව යෝජනා කරන විට රට තුළ නැගෙන විරෝධයට පසුබිම එයයි.

සිංගප්පූරුව සමග අත්සන් කරන වෙළඳ ගිවිසුමක් මගින් ලැබෙන අවස්ථාව ගැන පමණක් නොව අත්සන් කරන ගිවිසුමක වාසි සාමාන්‍ය ජනතාව අතට ලැබෙන ක‍්‍රමය කුමක්ද යන්න අද සමාජය තුළ ප‍්‍රශ්න කරන බව පෙනේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය ලෝකයේ දැනට පවතින පාලන ක‍්‍රම අතර වඩාත් ප‍්‍රායෝගික ක‍්‍රමය සේ සැලකෙයි. එයට විකල්ප මතවාද මතුවුවහොත් එයින් ලෝක ප‍්‍රජාවට යහපතක් සිදුවෙයි. විවෘත ආර්ථික ක‍්‍රමය තරගකාරී සහ වඩාත් ඵලදායී ආර්ථික ක‍්‍රමය සේ සැලකෙයි. නමුත් මෙම ක‍්‍රම වලින් අවස්ථාව අහිමි වූ ජන කණ්ඩායම් නැගී සිටින අතර එය ලෝකය පුරා නොසන්සුන් තත්ත්ව ඇති කර තිබේ. වෙලඳාම හා ආයෝජනය මගින් සිදුවන අවාසි ගැන මතවාද එහි ප‍්‍රතිඵලයකි.

වෙළඳ ගිවිසුම් වලින් ලෝකයේ අලූත් අවස්ථා ඇති කරගැනීමට තිබුණ යුගය එක්තරා සන්ධිස්ථානයකට පැමිණ තිබේ. ශ‍්‍රී ලංකාව සිය ආර්ථික සහයෝගීතාව අනුව ඉන්දියාව සමග නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කරන ලද වකවානුවට වඩා අද ස්වභාවය වෙනස්ය. සිංගප්පූරු ආණ්ඩුව වසර පහලොවකට පමණ කලින් ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කරන ලද අතර අද ආර්ථික සහ සමාජ තත්ත්වය එයට වඩා සංකීර්ණ බව සදහන් කළ යුතුය. වෙළඳ ගිවිසුම් වලින් ද්වී පාර්ශවික අවස්ථා අත්පත් කරගැනීමට සමත්කම තිබුණ වකවානුව අභියෝගයට ලක්ව ඇති බව මෙයින් පැහැදිලිවෙයි.

අවස්ථා බෙදා හදාගෙන ආර්ථික වශයෙන් නැගී සිටින්නට රටවල් සූදානම් නැත. එම රටවල් වල ජනතාව සිය අවස්ථා අන්‍යයන්ට පැවරීමට එරෙහිව නැගී සිටින පසුබිමක පාලකයෝ අතීරණාත්මක තැනකට පත්ව ඇත. රටවල් අතර ගිවිසුම් අත්සන් කරන නමුත් එම ගිවිසුම් වලින් අවංකව ලැබෙන ප‍්‍රතිඵල තක්සේරු කිරීම පහසු නැත. රටවල් අතර ගිවිසුම් අත්සන් කිරීමේ දී මෙවැනි ප‍්‍රායෝගික පැති ගැන අවධානය යොමු කිරීම අවශ්‍යය. සිංගප්පූරුව විදේශ වෙළඳාමේ දී හෝ ආයෝජනයේ දී ක‍්‍රියාකරන ආකාරයට බලපවත්වන්නට හැකියාවක් නැති ශ‍්‍රී ලංකාව දෙරට අතර ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු සිංගප්පූරුව හා සමාන සීග‍්‍ර පරිවර්තනයක් අපේක්ෂා කිරීම නිරර්ථකය. තීරණගැනීම ගැන පෙන්වන දුර්වලතා තිබිය දී සාර්ථක රටක ආභාෂය කෙරෙහි අවතීර්ණවීමට සූදානම්වීම ප‍්‍රයෝජනයක් නැත. අපනයන වර්ධනය කරගැනීම, ආයෝජනය නගා සිටුවීම සහ එමගින් සමස්ථ සමාජය ඉහළ ආර්ථික වෘද්ධියක් ඇති තැනකට ඔසවා තැබීමේ දී මුලින් ශ‍්‍රී ලංකාවේ පවතින ස්වභාවය ගැන ප‍්‍රතිපත්ති සමාලෝචනයකට යා යුතුය. ඉතාම වැදගත් කාරණය එයයි.

ආසියාවේ කුඩා රටක් වශයෙන් ලෝකයේ පැවැත්ම වෙනස් කරන්නට විශාල බලපෑමක් කළ නොහැක. නිතර වෙනස්වන අතිශය තරගකාරී ලෝක ආර්ථිකයෙන් ඒ මොහොතේ ඇතිවන වාසි ලබා ගැනීමට ක‍්‍රියා කිරීම හැර අනෙක් ආකාරයක් නැත. ලෝක ආර්ථිකයේ සිද්ධි දෙස පරීක්ෂාවෙන් බලා ඒ අවස්ථාවේ දී තීරණගැනීම ප‍්‍රායෝගික තීරණයක් බව සඳහන් කරන්නට අවශ්‍යය. ජනතා නායකයන් වශයෙන් මෙරට පාලකයන් තමන්ගේ ආර්ථික සහ සමාජ සැලැස්ම සම්බන්ධව ජනතාව සමග සංවාදයක ද නිරත විය යුතුය. ඉතාම වැදගත් කාරණය එයයි. නිදහස් ගිවිසුම් අත්සන් කරන අවස්ථාවේ දී එයින් සිදුවන්නේ කුමක්ද යන කාරණය ගැන ජනතාව සමග සාකච්ඡා කර ජනතාව දැනුවත් කරන ක‍්‍රමයක් අවශ්‍යය. රට අනුගමනය කරන ප‍්‍රතිපත්ති ගැන ජනතාව වෙත පැහැදිලිව තේරුම් කරදෙන්නට පාලකයන් සමත් විය යුතුය. ජාත්‍යන්තරය සමග කරන ගනුදෙනුව තුළ අවිශ්වාසය හා සැකය ජනිතවීම තුළ ප‍්‍රමාණවත් සන්නිවේදනයක් නොමැතිකම බලපා තිබේ.