» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
03/02/2019 - ඉරිදා ලංකාදීප
අධිරාජ්‍යවාදීන් ගේ හැසිරීමට එරෙහිව නිදහස් රටවල් නැගී සිටී

ඉන්දීය දේශපාලනඥයෙකු හා ලේඛකයෙකු වශයෙන් ප‍්‍රකට ශෂී තරූ 2017 මාර්තු මාසයේ දී කෘතියක් ප‍්‍රකාශයට පත් කළේය. බි‍්‍රතාත්‍ය ජාතිකයන් ඉන්දියාවට කළේ මොනවාදැයි එයින් ප‍්‍රශ්න කරයි. ශෂී තරූ 1990 වසරේ සිට කේරළ ප‍්‍රාන්ත ලෝක් සභා නියෝජිතයෙකි. රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරියෙකි. ආන්දෝලනාත්මක අදහස් සහිත පොත පත ලියා ඇත. ඓතිහාසික සිද්ධි පදනම් කරගෙන, බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ ක‍්‍රියා පටිපාටිය ප‍්‍රශ්න කර රචනා කරන මෙම පොත වැදගත් සාකච්ඡාවකට මුල පුරා තිබේ. ඔහු කරුණු දක්වන අන්දමට, බි‍්‍රතාන්‍යයට යටත් වන වකවානුවේ ඉන්දියාව ලෝකයේ කැපී පෙනෙන රටකි. එවකට ලෝක ආර්ථිකයෙන් සියයට විසි තුනක් පමණ දායකත්වයක් ඉන්දියාවට තිබුණි. එය මුළු යුරෝපයටම වඩා බලවත් ආර්ථිකයකි. එකල බි‍්‍රතාන්‍යයේ දායකත්වය සියයට 1.8 ක් වැනි ප‍්‍රතිශතයක විය. යකඩ, රෙදිපිලි හා නැව් ඉදිකිරීමේ අංශ වලින් ලෝකයේ ඉහළම තැනක ඉන්දියාව පසු වූ අතර ගෘහ නිර්මාණ ශිල්පය අතින් ඉතාම විශිෂ්ඨ තැනක බව මෙම කෘතිය කරුණු දක්වයි.

දහ හත්වන සියවසේ දී ආසියාවට කඩා වැදුනු බි‍්‍රතාන්‍ය ජාතිකයෝ ඉන්දියාව යටත් කරගත් අතර සම්පත් සියල්ල පැහැර ගත් බව ශෂී තරූ සිය කෘතියෙන් පෙන්වා දෙයි. බි‍්‍රතාන්‍ය සමාගමක් වන ඊස්ට් ඉන්දියා වෙළඳ ආයතනය ඉන්දියාවේ සම්පත්, තාක්ෂණය හා මානව සම්පත සූරා ගෙන පොහොසත් වූ අතර අන්තිමේ දී ඉන්දියානු ආර්ථිකයේ ලෝක ප‍්‍රතිශතය සියයට දෙක දක්වා පහත වැටුණි. සියවස් දෙකක් අවසන් වන විට ඉන්දියාව තුන්වන ලෝකයේ දුප්පත් රටක් වූ අතර බි‍්‍රතාන්‍ය පිටත්ව ගියේ සාරය සූරාගත් රටක් ඉතිරි කරමින්ය. බි‍්‍රතාන්‍යය අධිරාජ්‍යවාදීන්ගේ ග‍්‍රහණයෙන් පීඩාවට පත්වීම හේතුවෙන් ඉන්දියානුවෝ මිලියන තිස් පහක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉන්දියාවේ පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීති පද්ධතිය සහ දුම්රිය මාර්ග පද්ධතිය බි‍්‍රතාන්‍යයෙන් ලැබුණ දායාද සේ ඇතැම් ඉතිහාසඥයන් දක්වන අර්ථකතනය ශෂී තරූ ප‍්‍රතික්ෂේප කරයි. අධිරාජ්‍යවාදී පාලකයෝ සිය උවමනාව වෙනුවෙන් නීති හැදු අතර ඒවා ඉන්දියානුවන් පාලනය කරන ලද බව හෙතෙම පෙන්වා දෙයි. බි‍්‍රතාන්‍ය නීති වලින් රටේ විසූ ජනතාව බෙදා වෙන් කර ජාතීහු අර්බුදයකට ලක් කළහ. බෙදන, වෙන්කරන ව්‍යුහය බි‍්‍රතාන්‍යයේ අධිරාජ්‍යවාදී පාලනයට ශක්තියක් විය. ජාතීන් අතර ගැටළු ඇති කිරීමෙන් ඉන්දියාවට විශාල ව්‍යසනයකට මුහුණ දුන්නේය. ජාතිවාදී අරගල නිසා මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන් පිරිසක් මිය ගොස් තිබේ. ඒවා අධිරාජ්‍යවාදීන්ගේ පාලනයේ ප‍්‍රතිඵලය පෙන්වයි. දුම්රිය මාර්ග හැදුවේ ඉන්දියානුවන්ගේ ප‍්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් නොවේ. එය ශෂී තරූ පෙන්වන තවත් පැත්තකි. බි‍්‍රතාන්‍ය ජාතිකයෝ ඔවුන්ගේ ප‍්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් දුම්රිය මාර්ග හැදු අතර බි‍්‍රතාන්‍යයට යන නැව් වලටපැටවීම සඳහා වරායට බඩු ගෙන ඒමට හා හමුදා සේනාංක වල ප‍්‍රවාහනයට ප‍්‍රයෝජනයට ගත් බව දක්වයි. ඉන්දියාව සිය නිදහස වෙනුවෙන් විශාල අරගලයක නිරත විය. අවසානයේ දී නිදහස ලැබුණ අතර ඉන්දියාවේ අතීත විභූතියට සිදුවූ හානිය වෙනුවෙන් බි‍්‍රතාන්‍ය වන්දි ගෙවිය යුතු බව හෙතෙම අවධාරණය කරයි.

ඉන්දියාව නිදහස ලැබීමෙන් පසු ශ‍්‍රී ලංකාවට බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමට හැකිවිය. එවකට විසූ නායකයන්ට ඒ වෙුනවෙන් විශාල ප‍්‍රයත්නයක් දරන්නට සිදුවිය. හැත්තෑ එක් වැනි නිදහස් දිනය හෙටට යෙදී තිබේ. ශ‍්‍රී ලංකාවේ ගමන්මග, සැබෑ නිදහස අත්පත් කරගැනීම සහ ඉකුත් දශක හත තුළ පැවැත්ම ගැන විවිධ මතවාද ජන සමාජයේ ඇත. සම්ප‍්‍රදායික පැවැත්ම පසුකර නවීන තාක්ෂණික යුගයකට පිවිසෙන වකවානුවක නිදහස ගැන අලූතින් හිතන්නට අවශ්‍යය. අහිමි වූ අවස්ථා ගැන අවධානය පැත්තක තබා අනාගතය ගැන කල්පනා කිරීම වැදගත්ය. නමුත් අතීතයේ අහිමි වූ අවස්ථා ගැන තක්සේරුවකට යා යුතුය.

නිදහස ලැබීමෙන් පසු ගත වූ කාලය තුළ ආපසු හැරී බලන විට වටිනාකම් ලෙස දකින්නට ඇත්තේ මොනවාද? අධිරාජ්‍යවාදී පාලනයෙන් රටට ලැබී ඇත්තේ මොනවාද? රටට තිබුණ අනන්‍යතාවය, ස්වීයත්වය හා උදාර සංස්කෘතිය පත්ව ඇති ඉරණමේ ස්වභාවය කෙබදුද? ඉන්දියානු ලේඛක ශෂී තරූ සඳහන් කරන ද්‍රෘෂ්ඨිය කෙසේ වෙතත් රටට ගැලපෙන නිශ්චිත තීරණයකට යා යුතුව ඇත.

සලකා බැලිය යුතු වැදගත් කාරණා තිබේ. යටත් විජිත සමයේ අධීරාජ්‍යවාදීන් තමුන්ට අවශ්‍ය ලෙස මෙරට සමාජය බෙදා වෙන් කළේය. බලය ඇති හා බලය නැති වශයෙන් පිල් දෙකක් බිහිවිය. පැවති කුළ හා ජාතිවාදී බෙදීම් තවත් උග‍්‍ර කරන ප‍්‍රතිපත්ති අනුගමනය කළේය. බෙදීම් හෙයින් අධිරාජ්‍යවාදීන්ගේ සුළුතරයකට රට පාලනය කරන්නට හැකියාව ලැබුණි. අධිරාජ්‍යවාදීන් ගරු කරන ආගම, සංස්කෘතිය සලකා මේ රටේ අලූත් ස්ථරයක් වගා වන්නට ඉඩ හැරියේය. එය රදල සමාජයකි. ඔවුන්ට ඉඩම් හා දේපළ හිමිය. පාලනය කළ විදේශිකයන්ට ලෙන්ගතුය. රේන්ද බලපත‍්‍ර හෝ කොන්ත‍්‍රාත් ලබමින් වරප‍්‍රසාද මත සමාජයේ ඉහලට නැගි පිරිසක් විය. එය වරප‍්‍රසාද ලත්, නව රදල වාදයක ආරම්භය වශයෙන් දැක්විය යුතුය. නිදහස ලබන විට බි‍්‍රතාන්‍ය පාලකයෝ එක්තරා අන්දමකට සිය ග‍්‍රහණය තබා ගනිමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් යටතේ පාලනය බාර දුන්නේ මෙම කණ්ඩායමටය. මැතිවරණයට මුලින් ඉදිරිපත් වූයේ මෙම පිරිසයි. බටහිර අධ්‍යාපනය ලැබූ අලූත් මතවාද සහිත කණ්ඩායමයි. බලය ලැබුණේ අධිරාජ්‍යවාදීන් හැදු ව්‍යවස්ථාවක් අනුව ඔවුන්ගෙන් පෝෂණය වූ පරම්පරාවකටය. යුද ගැටුම් අප‍්‍රමාණ සංඛ්‍යාවකට පසු ලංකාවේ අවසන් රජ පෙළපත අතින් පවරා ගත් නිදහස මෙයින් වසර හැත්තෑ එකකට කලින් හුවමාරු වූයේ රටේ අලූත් මෙම නායකත්වය වෙතය. එම නායකයන් ආරක්ෂා කළේ සිය රදල පැලැන්තියේ ව්‍යුහයයි. තමන්ට බි‍්‍රතාන්‍යයෙන් ලැබුණ සම්ප‍්‍රදායයි. එයට ගරු කිරීම හා එම නීති රීති අණ පණත් ආරක්ෂා කිරීම රාජ්‍ය පාලනය ලෙස මෙම බලය අතට ගත් කණ්ඩායම කල්පනා කරන්නට ඇත. නිදහස උඋදාකර ගැනීම සමග යටත් විජිතරැහැනින් මිදී අලූත් අනන්‍යතාවයක් සකස් කර ගන්නට පොදු ජනතාවට උවමනා විය. සමාජ යේ ඉහළ පෙලැන්තිය ඉටුකරන්නේ බහුතරයගේ උවමනාව නොවේ. පැවැත්ම එක්තරා පෙලැන්තියක පමණක් භාරව ඇත්නම් එහිදී සිදුවන්නේ වැරුද්දකි. ඉතිහාසයට අනුව එවැනි වැරදීම් සිදුවී ඇත්නම් නිවැරදි කිරීම නිදහස් යුගයක් ඉල්ලා සිටින ඕනෑම සමාජයක වගකීමකි.

හැකියාව, උවමනාව හා දක්ෂතාවය මත පදනම්ව ඕනෑම පුද්ගලයෙකුට අධ්‍යාපනයෙන්, කර්මාන්තයෙන්, ව්‍යාපාරයෙන් හෝ දේශපාලනයෙන් ඉහලට යන්නට අවස්ථාව ඇති සාධාරණ සමාජයක් මෙරට ස්ථාපිත කිරීම අවශ්‍යය. වරප‍්‍රසාද හිමි කණ්ඩායමක් නඩත්තු කළ යුතු නැත. අධිරාජ්‍යවාදීන්ගෙන් ලැබුණ පැරණි සංස්කෘතිය හා පැවැත්ම ආරක්ෂා කරන්නට ශී‍්‍ර ලංකාවේ සියලූම අංශ හුරුවී ඇත. එය පෙනී සිටින්නේ පෙලැන්තිය ආරක්ෂා කිරීමේ උවමනාවක් වෙනුවෙන්ය. ප‍්‍රභූ පෙලැන්තිය විවේචනය නොකරයි.

බි‍්‍රතාන්‍ය පාලකයෝ රට යටත් කරගත්තේ කෙසේ ද යන්න ඩොයිලි ගේ දිනපොත් කියවන විට පෙනේ. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු උම්මත්තක, අධිපතිවාදියෙකු සේ පෙන්වන අතර බි‍්‍රතාන්‍ය ක‍්‍රමය සාධාරණත්වය වෙනුවෙන් බව අඟවයි. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජ දවස සිදුවූ සිද්ධි ගැන පවා විවේචන තිබේ. සමහර සිද්ධි රජු කෙරෙහි ජනතාව ගේ විරෝධය ඇවිලවීම වෙනුවෙන් උවමනාවෙන්ම රචනා කරන ලද නාට්‍ය බව නූතන විචාරකයෝ පෙන්වා දෙති. සමහර රදල පාලකයෝ බි‍්‍රතාන්‍ය සමග කරන ගනුදෙනුව කොපමණ ආත්මාර්ථකාමී ද යන්න ඩොයිලි ලියා තිබේ. බලය අල්ලාගෙන රජ වීම සඳහා බි‍්‍රතාන්‍ය හවුල් කරගන්නට රදලයෝ කමන්ත‍්‍රණ කරන ලද අවස්ථා එහි සඳහන්ය. රදල පැලැන්තිය තමන්ගේ පටු අරමුණ හැර රට ගැන අවධානය යොමු කරන ලද අවස්ථා නැත. රදලයන්ගේ බෙදීම් ශ‍්‍රී වික‍්‍රම රජු හුදෙකලා කර රට යටත් කරගන්නට උපකාරී වී තිබේ. එදා රදල පැලැන්තියේ හැසිරීම අදට ද කිසිම වෙනස් නැත. බලය අල්ලා ගන්නට ඕනෑම දෙයක් කරන්නට සූදානම්ය. පාවාදීම්, කුමන්ත‍්‍රණ හා පිල් බෙදීම් අඩුවක් නැත. බි‍්‍රතාන්‍ය රට යටත් කරගන්නට එදා අනුගමනය කරන ලද ක‍්‍රමය අදත් භාවිතා වන සමාජයකින් නිදහස් රටක් බිහි කළ හැකිද? රට ආක‍්‍රමණය කරන, රටට බලපෑම් කරන නව යටත් විජිතවාදයක් ගැන කතාකරනන වර්තමානයේ දී අප සියළු දෙනාගේ හැසිරීම ගැන හිතන්නට අවස්ථාවකි. ලෝකයේ බලපෑම් ගැන කතාකරන්නට කලින් අප ගේ නායකයන්ගේ හැසිරීම ගැන චෝදනා එල්ල කළ යුතුය.