» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
02/09/2018 - ඉරිදා ලංකාදීප
ගාස්තු නැංවීමට කලින් දුම්රිය සේවාව දියුණු කිරීම වැදගත්ය

බි‍්‍රතාන්‍යයේ දුම්රියවල නිතර ගමන් කරන මගියෙකු නොබෝදා ‘‘ද ගාඩියන්’පුවත්පතට ප‍්‍රකාශයක් කර තිබුණි. හෙතෙම සතියේ දින පහක් නිතිපතා වසර නමයක් තිස්සේ ගමන් කර ඇති අතර නියම වේලාවට දුම්රිය ධාවනය නොවීම ඔහුගේ ජීවිතයට තද බලපෑමක් කළේය. එසේ තිබිය දී ලබන වසරේ ජනවාරි මාසයේ සිට සියයට 3.2 කින් ගාස්තු වැඩි කිරීමට බි‍්‍රතාන්‍ය දුම්රිය සේවය තීරණය කිරීම ගැන උරණ වූ ඔහු කෙලින්ම දුම්රිය බලධාරීහු මුණ ගැසී සිය විරෝධය පළ කරන ලදී. තනි පුද්ගලයෙකු වශයෙන් ඔහු නැගූ හඬ එපමණ බලවත් එකක් නොවේ. නමුත් ගාස්තු වැඩි කළහොත් අපහසුතා මධ්‍යයේ දුම්රියෙන් පැමිණෙන මගීහු තවදුරටත් ගමන් කිරීම ප‍්‍රතික්ෂේප කළහොත් බි‍්‍රතාන්‍ය දුම්රිය සේවයට සිදුවන්නේ කුමක්දැයි ඔහු ප‍්‍රශ්න කළේය.

බි‍්‍රතාන්‍ය දුමිරිය සේවාවට දීර්ඝ ඉතිහාසයක් තිබේ. රජයේ පාලනය යටතේ පැවැති සේවාව පසුව පුද්ගලීකකරණය කළේය. දුම්රිය මාර්ග වල අයිතිය හා සේවයට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමේ සම්පූර්ණ අයිතිය බි‍්‍රතාන්‍ය ආණ්ඩුව යටතේ පවත්වාගත් අතර ප‍්‍රධාන සමාගම් පහක් යටතේ දුම්රිය ධාවනය කිරීම බාහිර සමාගම් වලට පවරා තිබේ. පුද්ගලීකරණයෙන් පසු ගෙවී ගිය වසර විසි තුන තුළ ක‍්‍රමානුකූලව පැවැති එරට දුම්රිය සේවය මෑත කාලය තුළ වර්ජන, අනතුරු හා ප‍්‍රමාදවීම් වලට මුහුණ දුන් අතර සමාගම් සපයන සේවාව ගැන මගීන්ගේ අතෘප්තිය ක‍්‍රමානුකූලව වර්ධනය වන බව නිරීක්ෂණය කළ හැකිය. එක අවස්ථාවක මැන්චෙස්ටර් දුම්රිය පොලට ළඟා වූ දුම්රිය දොලහකින් වෙලාවට පැමිණියේ එකකි. එකොලහක් ප‍්‍රමාද වූ අතර ඒ අතරින් තවත් එකක් ගමන අවලංගු කර තිබුණි. මෙවැනි පසුබිමක් තුළ ගාස්තු වැඩි කිරීම මගීන්ගේ විරෝධයට හේතු වී ඇති බව සඳහන්ය. බි‍්‍රතාන්‍ය දුම්රිය පුද්ගලීකකරණය අසාර්ථක තීරණයක් බව ප‍්‍රකාශ වන අතර උතුරු එංගලන්තයේ දුම්රියෙන් පමණක් අවුරුද්දකට යුරෝ මිලියන තිස් අටක අලාභ ආර්ථිකයට සිදුවන අතර දිනක කලබගෑනි වලින් අහිමි වන ආදායම යුරෝ මිලියන 1.3 ක් බව පැවසේ.

බි‍්‍රතාන්‍ය දුම්රිය සේවය වහා නිසි මගට ගැනීමට ක‍්‍රියා කරන සේ එරට ජනී ජනයා ආණ්ඩුවට බල කරමින් සිටිති. මෙයට සමාන සිද්ධියක දී ප‍්‍රංශ ආණ්ඩුව ක‍්‍රියා කරන ලද ආකාරය මෑතක දී වාර්තා විය. ඒකාධිකාරය අවසන් කර යුරෝපා සහයෝගීතාවයට ඇතුළුවීම ප‍්‍රතික්ෂේප කරමින් එක්ලක්ෂ පනස් දහසකට වැඩි ප‍්‍රංශ දුම්රිය සේවක පිරිසක් වැඩ වර්ජනය කළ අතර එය මගීන්ට ඉතාමත් හිරිහැරදායක එකක් වූ බව අනාවරණය වෙයි. දුම්රිය සේවය ප‍්‍රතිසංස්කරණයට බලවත්, වෘත්තීය සමිති ගණනාවක් එකහෙලා විරුද්ධ වූ නමුත් එයට අවශ්‍ය කරන මූලික රාමුව හදා ගන්නට ප‍්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමත් විය. දේශපාලනයෙහි වැඩි පලපුරුද්දක් නැති නමුත් ප‍්‍රායෝගික තීරණ වලට අවතීර්ණ වූ ජනාධිපතිවරයා දුම්රිය වර්ජකයන් ඉදිරියේ දණ නමන්නට සූදානම් වූයේ නැත. මහජන අභිවෘද්ධිය උදෙසා දුම්රිය සේවාව නවීකරණය කළ යුතු අතර එය කාලීන වැදගත්කමක් සහිත බව ඔප්පු කළේය.

යුරෝපා රටවල සේවා සමග සම්බන්ධ කරන ප‍්‍රංශ දුම්රිය සේවාව පැවැති සම්ප‍්‍රදායික ව්‍යුහයෙන් වෙනස් කිරීමට යෝජනා කෙරේ. වර්ජනය තිබිය දී දුම්රිය ප‍්‍රතිසංස්කරණ පණත පාර්ලිම්න්තුවේ දී සම්මත කරගන්නට ජනාධිපති මැක්‍රෝන් සමත්විය. ප‍්‍රංශ දුම්රිය සේවාව ප‍්‍රතිසංස්කරණය කර වෙනම සමාගමක් වශයෙන් පිහිටුවීම ඉදිරියේ දී සිදුවීමට ඉඩ ඇති අතර එය කරගැනීමට අසමත්වුව ද නව පණත පාර්ලිමේන්තුවෙන් අනුමතවීම ප‍්‍රංශ රජය අත්පත් කරගත් ජයග‍්‍රහණයක් වශයෙන් සැලකේ. වෘත්තීය සමිති නායකයන් ගේ බලය ජනතා අභිලාශ වෙනුවෙන් නොව සේවක අයිතිවාසිකම් උදෙසා ගෙන ගිය පුද්ගල අරගලයක් වශයෙන් පෙන්වන්නට මැක්‍රොන් ජනාධිපතිවරයා සමත් විය.

බි‍්‍රතාන්‍ය දුම්රිය සේවයේ වෘත්තීය සමිති කෙරෙහි එරට පොදු ජනතාව තුළ විශ්වාසයක් තිබුණි. ප‍්‍රංශ දුම්රිය සේවකයන් ගේ සමිති වල වෘත්තීය අයිතිවාසිකම් ගැන ජනතාව තුළ යම් ආකාරයක පිලිගැනීමක් විය. වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා විය යුතු බව මගීහු කල්පනා කළේය. නමුත් බි‍්‍රතාන්‍යයේ පමණක් නොව ප‍්‍රංශයේ ද දුම්රිය වෘත්තීය අරගලවල ආත්මාර්ථකාමී බව පිළිබිඹු වී තිබේ. ඒවායේ සටන් පාඨ වල ආත්මාර්ථකාමී බව දකින ජනතාව මෙකී අරගල වෘත්තීය අයිතිවාසිකම් උදෙසා කරන ඒවා නොවන බව හිතන්නට පටන් ගෙන තිබේ. ජනතා විරෝධය නැගෙන්නට පටන්ගෙන ඇත. දිනපතා ගමන බිමන අවහිරවන තරමට අසාධාරණ අරගල ජනතාව ප‍්‍රතික්ෂේප කරන බව නිරීක්ෂණය කළ හැකිය.

මෑත කාලය තුළ ශී‍්‍ර ලංකාවේ දුම්රිය සේවාව ද බරපතල ගැටළු වලට මුහුණ පා සිටී. මූලික වශයෙන් බි‍්‍රතාන්‍ය හඳුන්වා දුන් රාමුවෙන් වෙනස්කමක් වී නැත. ගමන්මාර්ග එසේමය. ඒවායේ ධාවනය වන දුම්රිය වල හැඩරුව පවා ඒකාකාරීය. ඉතාම නීරස දුම්රිය ගමන් වලට හුරු වී සිටින මෙරට ජනතාවට වෙන විකල්පයක් නැත. දුම්රිය ප‍්‍රමාදය නිතර වාර්තාවන සාමාන්‍ය සිද්ධියකි. පීලි පැනීම, එකම පීල්ලේ පැමිණ අනතුරු වලට මුහුණපෑම බහුල වී ඇත. දුම්රිය ප‍්‍රමාදය ඉතාම බහුලව සිදුවන සිද්ධියකි. එම ප‍්‍රමාදවීම ගැන දුම්රිය බලධාරින්ට කිසිම හැඟීමක් නැත. නිතර දෝෂ වාර්තා වන, අනතුරු වලට මුහුණ දෙන ලංකා දුම්රිය සේවය ආරක්ෂා කර දෙන සේ එහි සේවකයෝ වර්ජනය කරති. අයිතිවාසිකම් දෙන සේ රජයට බල කරති. මගී ජනතාවට සිදුවිය යුතු යුතුකම ගැන නොසලකන සේවකයෝ සිය අභිමතාර්ථ පරිදි කරන වැඩ වර්ජන දුම්රිය සේවය ගැන තිබුණ පැහැදීම තුරන් කරන එකක් වී තිබේ.

ශ‍්‍රී ලංකාවේ දුමිර්ය සේවාව ඉතාම උසස් තැනක පැවැති බව අතීතය පෙන්වා දෙයි. නමුත් පසුගිය ආණ්ඩු ගණනාවක් සේවය නැංවීම අරමුණු කරගෙන නිසි ආයෝජනයක් කළේ නැත. යටිතල පහසුකම් වර්ධනය නොකරන ලද අතර ඉතාම පැරණි එන්ජින් හා දුම්රිය ගැල් ජනතා අවශ්‍යතා සම්පූර්ණ කළේ නැත. අධික වාහන තදබදයක් රට පුරා පවතින අවස්ථාවක දුම්රිය සේවාව ප‍්‍රචලිත කරන්නට හැකියාවක් තිබුණි. නගරයට එන සහ නගරයෙන් බැහැර වන ජනී ජනයා වෙනුවෙන් නිතර ධාවනය වන දුම්රිය පද්ධතියකින් ඇති කළ හැකි සේවය ඉමහත්ය. ප‍්‍රවාහනය දුර්වල නිසා වාහනයක් මිල දී ගෙන තමන්ගේ ගමන තමන්ගේ වාහනයකින් කරගන්නට දරන නැඹුරුව ඉවත් කළ හැකිය. එය අධික වාහන තදබදය තුරන් කරන අතර ඉන්ධන භවිතය අඩු වී මෙරට ආර්ථිකයට විශාල සහනයක් සලසනු ඇත. නමුත් දුම්රිය සේවාව වෙනුවෙන් අලූත් ආයෝජන කරන්නට ආණ්ඩුවට ධනය නැත. ජාත්‍යන්තර ආධාර සහිතව එය දියුණු කරන පියවරක් ගැන හිතන්නේ නැත. අඩුම තරමින් පෞද්ගලික අංශය ලවා ආයෝජනය කරන සැලැස්මක් ගැන හෝ අවධානය යොමු නොකිරීම ප‍්‍රශ්නයකි.

මෙරට දුම්රිය මාර්ගයක එක දුම්රියක් ගමන් කිරීමෙන් පසු යළිත් පැය ගණනකට දුම්රියක් නැත. මෙකී කාල පරාසය තුළ වෙනත් සමාගමකට හෝ දුම්රිය ධාවනයට ඉඩ දිය හැකිනම් අලූත් තාක්ෂණය, තරගකාරීත්වය සේවාවට එකතු වනු ඇත. මාර්ග පද්ධතිය භාවිතා කර භාණ්ඩ ප‍්‍රවාහනය නැංවිය හැකිය. සංචාරක අවශ්‍යතා වෙනුවෙන් ප‍්‍රයෝජන ගැනීමට අවකාශ තිබේ. මෙවැනි පරිවර්තන ගැන අලූතින් හිතන්නට අපට පුලූවන්කමක් ලැබී නැත. එය අවාසනාවන්ත තත්ත්වයකි. දුර බැහැර සිට සේවයට එන ජනතාව දුම්රිය අඩාලවීමෙන් මුහුණ දෙන ගැටළු මෑත සති කිහිපය තුළ දැකගත හැකි විය. සහෝදර ජනතාවගේ පැවැත්මට අභියෝග කර මගී ජනතාව ප‍්‍රාන ඇපයට තබා කරන වර්ජන වෙනුවට මෙම සේවාව අභිමානයෙන් පවත්වා ගෙන යා හැකි තත්ත්වයට දියුණු කිරීම ගැන අප අවධානය යොමු කළ යුතුය. සම්පූර්ණයෙන් පුද්ගලීක කරණයෙන් හෝ සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ ව්‍යවසායයක් වශයෙන් පවත්වාගෙන යාම වෙනුවට මෙම දෙක අතර මැද මිශ‍්‍ර ව්‍යුහයක් ගැන අවධානය යොමු කළ යුතුය. බි‍්‍රතාන්‍ය හා ප‍්‍රංශ දුම්රිය සේවාවල මෑත කාලීණ ප‍්‍රවනතා අධ්‍යයනය කර තීරණ ගැනීම සුදුසුය.