» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
02/07/2017 - ඉරිදා ලංකාදීප
අන්තර්ජාතික මූලික ආදායමක් තහවුරු කිරීම

ෆේස් බුක් සමාජ ජාලයේ සම නිර්මාතෘ මාර්ක් සුකර්බර්ග් නොබෝදා විශේෂ ප‍්‍රකාශයක් කළේය. සමස්ථ ලෝක වාසීන්ට අන්තර් ජාතික මූලික ආදායම් මට්ටමක් , "universal basic income.", තහවුරු කළ යුතුය යන අදහසය. හාවඞ් විශ්ව විද්‍යාලයේ දේශනයක දී එම අදහස දක්වන ලද අතර එයට කලින් ලෝක ආර්ථික සංසදයේ දී ද එම සංකල්පය ඉදිරිපත් කර තිබුණි. ටෙස්ලා විදුලි කාර් ව්‍යාපාරයේ සහ ස්පේස් එක්ස් යන පුද්ගලික අභ්‍යවකාශ තරන ව්‍යාපෘතියේ අයිතිකරු වන ඉලොන් මස්ක් ද එයට එකඟ විය. ලෝකය පුරා පර්යේෂකයන්, සමාජ මතධාරීන් හා දේශපාලනඥයන් එය ගැන කතාකරන්නට පටන්ගෙන තිබේ. අන්තර් ජාතික මූලික ආදායමක් යනු කුමක්ද? වර්තමානයේ ලෝකය තුළ විශාල පරිවර්තනයක් සිදුවෙමින් පවතී. එය තාක්ෂණික එකකි. වැඩ කරන ජනතාවට වෘත්තීය අවස්ථා අහිමි කරමින් ස්වයංක‍්‍රීය රොබෝවරු වැඩ පොලේ දිවා රාත‍්‍රී නැතිව නිෂ්පාදන කාර්යයට සම්බන්ධ වෙමින් සිටී. යන්ත‍්‍ර සූත‍්‍ර හා මෙවලම් ලෝකයේ නොයෙක් රටවල්වල වැඩපොලේ අයිතිය අත්පත් කරගනු ඇත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් විශාල පිරිසකට රැකියා අහිමි වන බව ගණන් බලා තිබේ. මෙම තත්ත්වය ඉදිරියේ දරිද්‍රතාවය අලූත් වටයකින් පැන නැගෙනු ඇති අතර රැකියා අහිමි වී දුප්පත් වන ජනතාව වෙනුවෙන් අනිවාර්ය අන්තර් ජාතික මූලික ආදායම් මට්ටමක් තහවුරු කරන වැඩ පිලිවෙලක් අවශ්‍ය බව අවධාරණය වෙමින් තිබේ.

මාර්ක් සුකර් බර්ක් සඳහන් කරන පරිදි ‘‘ ඉතිහාසයේ සිට සෑම පරම්පරාවක්ම සමාජ සමානාත්මතාව සම්බන්ධයෙන් පවතින යුගය තුළ නිර්වචනයක් ඉදිරිපත් කර තිබේ.’’ දියුණුව සමග සමානාත්මතාවේ ප‍්‍රමිතිය ඉහළ නැංවෙයි. සුකර්බර්ක් සිය හාවඞ් විශ්ව විද්‍යාල දේශනයේ දී ‘‘සමාජ සමානාත්මතාව සම්බන්ධ නිර්වචනය ඉදිරිපත් කරන්නට කාලය එළැඹ ඇති බව’’ අවධාරණය කරයි. ‘‘පවතින ස්වභාවය තුළ දළ දේශීය නිෂ්පාදිතය ගැන කතා කරනවාට වඩා ලෝකවාසී සියළු දෙනාට හොඳ ජීවන මටට්මකින් ගත කරන්නට අවකාශයක් සකස් කිරීම වර්තමාන නායකයන්ගේ කාර්ය භාරයක් බව’’ හෙතෙම වැඩිදුරටත් දක්වයි.

තාක්ෂණය සමග වැඩකරන ජනතාවගේ රැුකියාව තර්ජනයට ලක්වන බව මනංකල්පිත එකක් නොවේ. එය ලෝකයේ සිදුවෙමින් පවතී. 1980 දී ඇමරිකානු ඩොලර් මිලියනයක් වටිනා දේ නිපදවීමට සාමාන්‍යයෙන් රැකියා විසි පහක් අවශ්‍ය වී තිබේ. අද වන විට ඒ වෙනුවෙන් අවශ්‍ය රැකියා 6.5 ක් පමණක් බව අධ්‍යයන වාර්තා පෙන්වයි. එක පැත්තකින් එය තාක්ෂණය හා සම්බන්ධ වී ඇති අතර අනෙක් අතට ඵලදායීතාවයේ ප‍්‍රතිඵලයකි. මෙකී පර්වර්තනය තුළ නිෂ්පාදන පිරිවැය සෑහෙන ප‍්‍රතිශතයකින් පහත වැටෙන අතර කෙලින්ම වැඩ කරන ජනතාවගේ රැුකියාවට බලපාන ප‍්‍රශ්නයකි. තවත් දශකයක් දෙකක් කල් ගත වන විට ඇතැම් කර්මාන්ත අංශයන් හි මිනිස් ශ‍්‍රමය අවම ප‍්‍රතිශතයකින් භාවිතා වන තරමට නිෂ්පාදන ව්‍යුහය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නට ඉඩ තිබේ. පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි අද පවතින නිෂ්පාදන මෙහෙයුම් වලින් පවා සියයට තිස් පහක කොටසක් යන්ත‍්‍ර වලට භාර දෙන්නට හැකියාව තිබේ. නිෂ්පාදනය යන්ත‍්‍ර හා කෘතීම පාලනයකට පැවරෙන විට රස්සා බිහි කරන්නේ කෙසේද? දැන් පවතින සෑහෙන වෘත්තීත්ව අංශ අනවශ්‍ය තත්ත්වයට පත්වනු ඇති අතර මෙම පිරිස ජීවත්වෙන්නේ කෙසේ ද යන්න මුළු ලෝකයටම බලපාන ගැටළුවකි.

අන්තර් ජාතික මූලික ආදායම් මට්ටමක් සෑම මනුෂ්‍යයෙකුගේම අයිතියක් විය යුතුය යන සංවාදය ඇරඹෙන්නේ මෙයට අනුවය. පින්ලන්තය දැනට මෙම අදහසට අනුව ක‍්‍රියා කරන්නට පියවර ගෙන තිබේ. ද ගාඩියන් පුවත් පත පසුගිය කාලයේ වාර්තා කරන ලද පරිදි පින්ලන්තය දෙවසරක නියමු ව්‍යාපෘතියක් වශයෙන් එරට තෝරා ගත් පුරවැසියන්ට අන්තර් ජාතික මූලික ආදායම් මට්ටම තහවුරු කරන වැඩසටහනක් අරඹා ඇත. වසට අවුරුදු 25-58 අතර වයස් කාණ්ඩයේ රැකියා නැති දෙදහසක් තෝරා ඔවුන්ට යුරෝ 475 ක මාසික දීමනාවක් දෙන්නට කි‍්‍රයා කරයි. මෙය හුදෙක් දියුණු රටවල පවතින ආදායම් උත්පාදන ව්‍යාපෘතියකට ප‍්‍රවේශ වන තෙක් එදිනෙදා ජීවත් වෙන්නට අතට මුදලක් ගෙවන ආණ්ඩුවේ ව්‍යාපාරයක් නොවේ. ස්කැන්ඩිනේවියානු රටවල විරැකියා අනුපාතය සියයට 8.1 දක්වා ඉහළ නැග ඇති අතර මෙම විරැකියාව සංවර්ධන ව්‍යාපෘති තව තවත් ආරම්භ කරමින් මග හරවාගත හැකි තත්ත්වයක් නොවේ.

යුරෝපා රටවල රැකියාවක් ලැබෙන තුරු දීමනාවක් ගෙවන නමුත් එහි දී කිසියම් අවස්ථාවක මෙම දීමනාව ලබන අය නිෂ්පාදන ක‍්‍රියාවලියට සම්බන්ධ වෙන වෘත්තියක පිහිටනු ඇතැයි සැලකේ. නමුත් පින්ලන්තයේ යෝජිත අන්තර් ජාතික මූලික ආදායම් මට්ටම සලකා කරනු ලබන ගෙවීමට එවැනි අවසානයක් නැත. දිගින් දිගටම රස්සා නැති පිරිස වැඩිවෙන්නට ඉඩ තිබේ. යන්ත‍්‍ර සහ රොබෝ පද්ධති කම්හලේ වැඩ කරන අතරවායේ ඒ හෙයින් රස්සා නැතිවන ප‍්‍රජාවට ඒවායෙන් උපයන ආදායමෙන් වැඩ නොකර දීමනා ගෙවන්නට සිදුවෙයි. එය අලූතින් අවධානයට ගත යුතු තත්ත්වයකි. යුරෝපා සංවිධානයට අයත් රටවල් විසි අටක් තුළ කරන ලද සමීක්ෂණයක දී අනිවාර්යයෙන් පමණක් නොව නියත වශයෙන් ම මෙවැනි අන්තර් ජාතික මූලික ආදායම් මට්ටම උදෙසා වන දීමනාවක් ගෙවිය යුතු බව සමීක්ෂණයට සහභාගී වූ අයගෙන් සියයට 68 ක් ප‍්‍රකාශ කර තිබේ. මෙය හුදෙක් නිකම් දීමනාවක් ගැනීමක් නොවේ. සංවර්ධනයේ අන්තිම හිණිපෙත්තේ දී ලෝකවාසීන් මුහුණ දෙන හුදෙකලා තත්ත්වය වෙනුවෙන් කරන්නට සිදුවන වන්දියකි.

අන්තර් ජාතික මූලික ආදායම් මට්ටම උදෙසා ගෙවන මෙම දීමනාව හුදෙක් රැකියා උත්පාදනය කිරීමට නොහැකිවීමේ ප‍්‍රතිඵලයක් පමණක් නොව සමස්ථයක් වශයෙන් ආර්ථිකය කාර්යක්ෂම හා යන්ත‍්‍රානුසාරීවීමේ දී අත්පත් කරගත් ප‍්‍රතිඵලයකි. එය කොපමණ පීඩාවක් සේ නැගෙමින් වර්ධනය වෙමින් පවතී ද යන්න ලෝකයේ බුද්ධිමත් සහ අලූතින් හිතන කණ්ඩායම ඒ ගැන අවධානය යොමු කිරීමෙන් ම පෙනී යයි. ෆේස් බුක් සමාජ ජාලයේ සම නිර්මාතෘ මාර්ක් සුකර්බර්ග් සහ ටෙස්ලා විදුලිය කාර් ව්‍යාපාරයේ සහ ස්පේස් එක්ස් යන පුද්ගලික අභ්‍යවකාශ තරන ව්‍යාපෘතියේ අයිතිකරු වන ඉලොන් මස්ක් නව නිර්මාපකයෝය. සමාජ ව්‍යාපාරවල කොටස් කරුවන්ය. අද සිදුවන පරිවර්ථනයෙහි අවසානය දෙස දීර්ඝව සලකා බලන ඔවුන් නගන තර්කයෙන් ගෙන් ජාත්‍යන්තර ප‍්‍රජාවට මිදෙන්නට හැකියාවක් නැත. ලෝකය පුරා සංවර්ධනය හා කාර්යක්ෂමතාවය යන සංකල්ප සමග වේගයෙන් ආර්ථිකය හරවා ගමන් කිරීමේ අවසානය ලෝකයේ සෑම තැනෙකම අර්බුද මතු වීම බව පෙනේ. මිලියන ගණනින් රැුකියා නැති වනු ඇත. අලූතින් හදන කම්හල් වල නිර්මාණශීලී මිනිසුන් විනා ශ‍්‍රමිකයන් ඇත්තේම නැති ස්වභාවයක් මතු වෙන්නට ඉඩ තිබේ.

ශ‍්‍රී ලංකාව සංවර්ධන කාර්ය භාරයේ දී මෙම පැති දෙක අතරමැද ගමනකය. මෙරට කර්මාන්ත හා සේවා අංශ කාර්යක්ෂම නැත. ඉතා වැඩි පීඩනයක් එල්ල කරන්නේ කර්මාන්ත ඵලදායී තත්ත්වයට පත් කරන ලෙසය. අලූත් තාක්ෂණය උපයෝගී කරගෙන ලෝක වෙළඳ පොලට ගැලපෙන සේ නිෂ්පාදනය කරන්නට රට සූදානම් වෙමින් තිබේ. ඒ අතරවාරයේ දී ලෝකයේ සිදුවන මෙම පැති අවධානයට ගැනීම වැදගත්ය. සංවර්ධනය එක්තරා අවධියකට ප‍්‍රවේශ වීමෙන් ඉනික්බිති සමාජයේ අහිමිවන රැකියා වෙනුවෙන් අන්තර් ජාතික මූලික ආදායම් දීමනාවක් ගෙවන්නට මෙරට ආණ්ඩුව සුදානම්ද? එය කරන්නේ කෙසේද? ප‍්‍රතිපත්ති සම්පාදකයෝ මෙම අලූත් පැති ගැන අවධානය යොමු කිරීම සුදුසුය.

ශ‍්‍රී ලංකාව අඩු ආදායම් ලබන මටට්මක සිට මැදි ආදායම් තැනටත් එයින් පසු ඉහළ ආදායම් මට්ටමටත් ගමන් කරන විට සමාජය තුළ මතු විය හැකි අර්බුද, ගැටළු හා සංකීර්ණ ස්වභාවයන් කෙරෙහි කල්තබා අවධානයෙන් සිටිම වැදගත්ය. පින්ලන්තය පෙන්වන්නේ මෙම ව්‍යාපෘතියේ මුල් අදියරේදී සිය ජනතාව වෙනුවෙන් යමක් කරන්නට තීරණය කර ඇති බවයි. දුප්පත් ජනතාව වෙනුවෙන් සහන සලසන ආකාරයටම සමාජය පොහොසත් වීමෙන් පසු ආණ්ඩුවට රස්සා සම්පාදනය කරන්නට ඉඩ නැති හෙයින් ගෙවන්නට සිදුවිය හැකි වන්දිය ගැන දැන් සිටම තක්සේරුවකට යා යුතුය.