» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
02/06/2019 - ඉරිදා ලංකාදීප
හරිත පක්ෂ කෙරෙහි යුරෝපයේ පැතිරෙන ජනතා නැඹුරුව

යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිතයන් තෝරා ගැනීමේ මැතිවරණය ඉකුත් මැයි 23 සිට 26 වැනිදා දක්වා පැවැත්විණ. යුරෝපා රටවල මිලියන 512 ක ජනගහනයක පාලනය වෙනුවෙන් අලූත් නියෝජිතයන් තෝරා ගැනීම මෙහි අරමුණ විය. 1979 වසරේ සිට පවත්වන මැතිවරණ අතරින් නමවැනි මැතිවරණය සේ ඉතිහාසයට එකතු වන 2019 යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය අවධානයට ලක් විය යුතු කරුණු කිහිපයකින් යුක්තය. එකක් ඉන්දියාව හැරුණු කොට විශාල ජනගහනයක් ඡන්දය භාවිතා කිරීමයි. බි‍්‍රතාන්‍ය ඇතුළු රටවල් විසි අටක ජනතාව මෙම මැතිවරණයේ දී ඡන්දය පාවිච්චි කරති. බි‍්‍රතාන්‍ය යුරෝපා පාර්ලිමේන්තුවෙන් ඉවත්වන යෝජනාවක සිටින අතර එය එරට අභ්‍යන්තර අර්බුද ගණනාවක් මතු කර තිබේ. මෙම මැතිවරණය පවත්වන අවස්ථාව වන විට ද අතීරණයක තිබුණ හෙයින් සම්පූර්ණ නියෝජිතයන් 751 තෝරා ගැනීමට ඡන්දය තිබුණ අතර යුරෝපා ප‍්‍රජාවගෙන් ඉවත්වන තීරණය ස්ථිරව තිබුණේ නම් බි‍්‍රතාන්‍ය නියෝජනය රහිතව, තරග කරන රටක් පමණක් නොව ධුර ප‍්‍රමාණය ද 705 තෙක් පහතට වැටෙනු ඇත.

මෙම මැතිවරණයේ ප‍්‍රතිඵල අනුව සම්ප‍්‍රදායික දේශපාලන පක්ෂ වල බලය සසල වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය. ජාත්‍යන්තර වාර්තා කරුණු පෙන්වන අන්දමට දක්ෂිණාංශික හෝ වාමාංශික සන්ධාන ක‍්‍රම අභිබවා හරිත එනම් ගී‍්‍රන් පක්ෂ වේගවත් වර්ධනයක් පෙන්වා තිබේ. මෙම පක්ෂ සම්ප‍්‍රදායිකවම දකුණ වෙනුවට පරිසරය ගැන අවධානය යොමු කෙරේ. යුරෝපා පාර්ලිමේන්තුවේ තනි බලය ලබා ගන්නට හරිත පක්ෂ සමත්ව නැති නමුත් නැගී එන බලවේගයක් වශයෙන් ජනතාවගේ කැමැත්ත පැහැර ගැනීමට හැකිවී තිබේ. යුරෝපියන් ජනතා පක්ෂය පාර්ලිමේන්තුව නියෝජනය කරන විශාලම පක්ෂයයි. වසර හතලිස් හයක ඉතිහාසයක් ඇති පක්ෂය 1999 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරයි. ලිබරල් හා මධ්‍ය දක්ෂිණාංශික පක්ෂ ගණනාවකින් එය සමන්විතය. දෙවැනුව බලවත්ම පක්ෂය යුරෝපා සමාජවාදී පක්ෂයයි. සමහර රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ තවත් රටවල කම්කරු පක්ෂ එකතු වී මෙම පක්ෂය 1972 දී සංවිධාන ව්‍යුහය ගොඩනගා ගෙන තිබේ. 2004 වසරේ සිට යුරෝපා සංගමයට අයත් රටවල හරිත අදහස් ඇති සංවිධාන එකතු වී පක්ෂය ගොඩනගාගෙන ඇති අතර පසුගිය 2014 මැතිවරණය වන විට ආසන 50 ක් අත් පත් කරගන්නට සමත් විය. ගී‍්‍රන් ඇතුළු සුළු පක්ෂ ප‍්‍රසාරණය වන අතර රතු හා නිල් පැහැයෙන් යුතු යුරෝපීය ජනතා හා යුරෝපා සමාජවාදී පක්ෂ ක‍්‍රමයෙන් කෘෂ වන බව නිරීක්ෂණය කළ හැකි ප‍්‍රවනතාවයකි.

යුරෝපා රටවල නියෝජිතයන් තෝරා ගැනීමේ ඡන්දයේ අවසාන ප‍්‍රතිඵලය නිකුත් වන විට ප‍්‍රංශයේ හරිත පක්ෂයය 2014 දී සියයට 8.9 ක සමස්ථය අභිබවා සියයට 13.47 ක් ඡන්ද ගැනීමට හැකියාව ලැබුණි. ජර්මනියේ දී ද සම්ප‍්‍රදායික පක්ෂ අභිබවා තුන්වැනි තැනට එන්නට හැකිවී ඇත.

අවසාන ප‍්‍රතිඵලය අනුව ප‍්‍රධාන බලවේග දෙක අතර මෙවර ඡුන්දයේ දී සිටි මධ්‍යම දක්ෂිණාංශික ජනතා පක්ෂය ආසන 179 ක් දිනා ගෙන තිබේ. එය කලින් වතාවේ තිබුණ ආසන 217 ට වඩා අඩුවීමකි. මධ්‍යම වාමාංශික සමාජවාදී හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී යන පක්ෂ දෙක එකතු වී 2014 මැතිවරණයේ දී ආසන 186 ක් ලබා ගෙන තිබුණ නමුත් 2019 මැතිවරණයේ දී ආසන 150 ක ට සීමා වී තිබේ. හරිත පක්ෂය වසර විස්සක් තුළ වැඩිම වර්ධනය සහිතව ආසන හැත්තෑවක් ලබා ගන්නට හැකියාව ලැබී ඇති බව ප‍්‍රකාශ වෙයි. එය විශේෂයෙන් කැපී පෙනෙන තත්ත්වයකි. මෙතෙක් පැවැති පුද්ගල ප‍්‍රතිරූප දේශපාලනය වෙනුවට ප‍්‍රතිපත්ති වෙනුවෙන් ඡුන්දය ප‍්‍රකාශ කිරීමට යුරෝපා වැසියන් තීරණය කර තිබීම වශයෙන් සැලකිය යුතුය. පරිසරය වෙනුවෙන් පෙනී සිටින ගී‍්‍රන් පක්ෂය සෑහෙන ප‍්‍රගතියක් පෙන්වීම එය තහවුරු කරයි. ග‍්‍රීන් පක්ෂයේ කොන්දේසි අනාගතයේ දී යුරෝපා ප‍්‍රජාවගේ පැවැත්ම වෙනුවෙන් බලවත් සාධකයක් වනු ඇති බව අනාවරණය වෙමින් තිබේ.

හරිත නොඑසේනම් ග‍්‍රීන් පක්ෂයේ වැදගත්කම කුමක්ද? සම්ප‍්‍රදායික බලවත් දේශපාලන චරිත අතර ග‍්‍රීන් පක්ෂය අලූත් මාවතක් තෝරා ගත්තේය. එය ධනවාදී හෝ වාමාංශික අදහස් වලට වෙනස් පැත්තක් ගෙන තිබේ. නව ලිබරල් අදහස් වලින් සමන්විතය. මෘදු අදහස් ඇතිව සිටී. පරිසර තත්ත්ව ගැන ප‍්‍රබල අවධානයක් යොමු කරන අතර හරිත අදහස් සමාජය තුළ විසුරුවා හරිමින් සිටී. එය කාලයක් තිස්සේ පරිසර හිතකාමී සිතිවිලි කෙරෙහි නැඹුරු වෙමින් සිටි යුරෝපා සමාජය අවදි කිරීමක් වී තිබේ. ලෝකය විනාශ වීමට ඉඩ නොදී ආරක්ෂා කරගැනීමට එක පියවරක් හෝ තැබීම වැදගත් බව යුරෝපා සංගමයේ ප‍්‍රබල සාමාජිකයෙකු වන ජර්මනියේ හරිත පක්ෂ දිගින් දිගටම කියා සිටි කාරණයකි.

ශී‍්‍ර ලංකාවේ දේශපාලන ව්‍යුහය ද දෙදරමින් තිබේ. මෑත සිද්ධි පෙන්වන්නේ සම්ප‍්‍රදායික දේශපාලනඥයන් හා දේශපාලන පක්ෂ කෙරෙහි ඇති පිලිකුලයි. දශක හතක ඉතිහාසයක් සහිත දක්ෂිණාංශික හා වාමාංශික පක්ෂ ප‍්‍රතිපත්ති මෑතක් වන තුරු පැවැතින. මෙරට මැතිවරණ වල දී දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන ප‍්‍රතිපත්ති වලට වඩා ආකර්ශණීය චරිත ඡුන්ද ප‍්‍රතිඵලය කෙරෙහි ඉතාමත් වැදගත් විය. දුර දිග නොබලන පොරොන්දු දේශපාලනය විසින් මෙරට ජනතාව නොමග යවන ලද බව පැහැදිලිව පෙනේ. ආකර්ශණීය චරිත කතාකරන, ඔවුන් ඉදිරිපත් කරන දර්ශනය ගැන අවධානයක් යොමු කරන්නේ නැති ඡුන්ද දායකයෝ තම සම්ප‍්‍රදායික පක්ෂයේ නායකයා වටා එකතුවීම පවතින තත්ත්වයයි.

1950 සිට රටවල් විසි එකක දේශපාලන පක්ෂ ගැන ‘‘ද ගාඩියන්’’පුවත් පත පළ කරන ලද වාර්තාව මෙහි දී නැවත මතක් කළ යුතුය. එයට අනුව ලෝකයේ පවතින පැරණි යල් පැන ගිය පක්ෂ පැවැත්මෙන් ඉවත් වෙමින් තිබේ. ප‍්‍රංශය හා ඉතාලිය යන රටවල පැරණි ප‍්‍රබල දේශපාලන පක්ෂ නමයක් පැත්තකට විසි වී ඇති බව එමගින් අනාවරණය කර ඇත. ජර්මනියේ ද එය සිදුවෙමින් පවතින අතර යුරෝපා පාර්ලිමේන්තවේ සංයුතියට එල්ල වී ඇති තර්ජනය එය මැනැවින් දක්වයි. විශේෂයෙන් තරුණ පරම්පරාව මෙහි දී දක්වන ආකල්ප ඉතා තීරණාත්මක වී තිබේ.

ශ‍්‍රී ලංකාවේ පවා ඇතැම් දේශපාලන පක්ෂ විශේෂයෙන් වාමාංශික කදවුරෙ ඉදිරිපත් කරන අදහස් අද පුලූල්ව අවධානයට ගැනෙන්නේ නැත. නිර්ධන පංතිය ගැන සාකච්ඡා කරන අදහස් නොසලකා හරියි. තරුණ ඡන්ද පදනම හිතන හා ක‍්‍රියාකරණ ආකාරය වෙනස්ය. නිදහස ලබන විට තිබුණ පක්ෂ වල බලය බිඳ වැටෙමින් තිබේ. ඒවායේ පරිවර්තයක් සහිත අලූත් දේශපාලන පක්ෂ බිහි වී ඇත. මෑත කාලය තුළ අලූත් පක්ෂ බිහිවූයේ ප‍්‍රතිපත්ති අනුව නොවේ. පක්ෂයක පවතින අභ්‍යන්තර ප‍්‍රශ්න පදනම් කරගෙනය. නැතිනම් ජනප‍්‍රිය පුද්ගල චරිත කේන්ද්‍ර කරගෙනය. අලූත් පක්ෂ පවා ප‍්‍රතිපත්ති හෝ ගැන වෙහෙසෙන්නේ නැත. පොරොන්දු කෙරෙහි විශාල අවධානයක් යොමු කරයි. මෙරට දේශපාලන පක්ෂ සෑහෙන ප‍්‍රමාණයක ප‍්‍රතිපත්ති වෙනස්කම් නැති තරම් ඉතාමත් සීමිතය.දුෂණය හා වංචාව තුරන් කිරීම සෑම දේශපාලන පක්ෂයකම තේමාව වී ඇති අතර සංවර්ධනය ඇති කරන බව පුන පුනා ප‍්‍රකාශ කරන බව නිරීක්ෂණය කළ හැකිය.

නූතන තාක්ෂණික යුගයේ ජනතාව එකතු වන ජනතාව පක්ෂයක අනන්‍යතාවය හා දර්ශනය ගැන සැලකිල්ල යොමු කරන බව කල්පනා කළ යුතුය. පටු අරමුණු සහ අවස්ථාවාදී අරමුණු පදනම් කරගෙන මෑතක දී බිහිවූ දේශපාලන පක්ෂ ජනතා ආකර්ශණය ඉතාම ඉක්මනින් අහිමි කර ගෙන තිබේ. විශේෂයෙන් ජාතිවාදී හා ආගම්වාදී පක්ෂ වල පැවැත්ම පිරිහී යමින් තිබේ. ජාත්‍යන්තරයේ පවතින ආර්ථික හා සමාජ තරගකාරී ස්වභාවයට අනුව ඉදිරි ගමනක් අරමුණු කරගෙන මෙරට දේශපාලනය සකස් විය යුතු යුගය උදා වී තිබේ. අනාගතය භාර දිය හැකි දර්ශනයක් සහිත නායකයන් අවශ්‍යය.