ශ‍්‍රී ලංකාවට හිරු එලියෙහි බලය ඉහළින්ම දැනෙන මාසය උදා වී තිබේ. බක් මාසයයි. සූර්ය මංගල්‍යය පවත්වන්නේ එහි සංස්කෘතික වතාවතක් වශයෙනි. පෙරදිග රටවල් අතීතයේ සිට සූර්යයාගෙන් ලැබෙන ශක්තිය ගැන බලවත් කෘතගුණ දැක්වීමක සිටියේය. ජාත්‍යන්තරය අද ක‍්‍රමයෙන් සම්පූර්ණයෙන් සූර්යයාගෙන් යැපෙන මට්ටමට පර්වර්තනය වීමට සූදානම්ය. බක් හෙවත් භාග්‍යවන්ත මාසයේ දී ජාත්‍යන්තරයේ සිදුවන දේ සමග මෙරට පැවැත්ම පරිවර්තනය කර ගැනීම ගැන අවධානය යොමු කළ යුතුය.
ලෝක ආර්ථික සංසදය පසුගිය වසරේදී රැස්වූ විට ලෝකයේ ධනවත්ම ව්‍යාපාරිකයන් වශයෙන් මාර්ක් සුකර්බර්ග් සහ බිල් ගේට්ස් නවෝත්පාදන මෙහෙයුමක් වෙනුවෙන් ඔවුන් උපයන ධනයෙන් සෑහෙන කොටසක් වෙන්කරන්නට තීරණය කරයි. එය හරිත විදුලිය ජනන සංකල්පයක් උදෙසා කරන නවතම පර්යේෂණ වෙනුවෙන් වෙන් කෙරේ. මාර්ක් සුකර්බර්ග් ෆේස් බුක් සම නිර්මාතෘවරයාය. බිල් ගේට්ස් මයික්‍රොසෝෆ්ට් ආයතනයේ සම නිර්මාතෘ ධූරය උසුලයි. වර්ජින් සමාගමේ ප‍්‍රධානී බැරන්සන් ද මෙයට සම්බන්ධ වූ අතර තවත් ධන කුවේරයන් ගණනාවක් ඇමරිකානු ඩොලර් බිලියන ගණනින් මෙම හරිත විදුලිය පර්යේෂණ ව්‍යාපෘතිය වෙනුවෙන් යොදවයි. පරිසරයට හිතකර සේ විදුලිය නිපදවන, ඒවා ගබඩා කරන්නට අලූත් ක‍්‍රම සොයාගන්නා සහ විදුලිය බෙදාහරින අංශයන්හි නවෝත්පාදනයන්ට මෙම අරමුදල උදව් කරනු ඇත. චීනය, ඇමරිකාව, බි‍්‍රතාන්‍ය, ඕස්ටේ‍්‍රලියාව සහ ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක් මේ වෙනුවෙන් සංසදයක් සකස් කරගෙන ඇති බව නොරහසකි. මන්ද දියුණු මෙම රටවල් සියල්ල ඛනිජ තෙල් පරිභෝජනය එක්තරා කඩඉමකට පැමිණ ඇති බව අවබෝධ කරගෙන ඇති බැවින්ය.
ජාත්‍යන්තරය ගණන් බලා ඇති අන්දමට ඉදිරි වසර පනහ තුළ ලෝකයේ විදුලිය පරිභෝජනය දැන් පවතින තත්ත්වයට ඉක්වමා තවත් සියයට පනහකින් වැඩිවනු ඇත. එකී විදුලිය අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නේ කෙසේද? විදුලිය නිපදවීමට ගන්නා වැඩ පිලිවෙල දුප්පතුන් තවත් දුප්පත් කරන පමණක් නොව පරිසරය දූෂණය කරන වාතය අපිරිසිදු කරන එකක් වනු ඇත. හැකිතාක් බොරතෙල් සහ ගල් අගුරු භාවිතා කරන විදුලිය නිපදවන්නට සූදානම් වුවහොත් එය භයානක තත්ත්වයක් ඇති කරන බව ලෝකයේ ප‍්‍රධාන නගර වල අද පවතින තත්ත්වය සනාථ කර තිබේ. මිනිසුන්ට ජීවත්විය හැකි තැනක් බවට පත්කරමින් මිනිසුන්ගේ දෛනික පැවැත්ම අවශ්‍ය විදුලිය නිපදවන්නේ කෙසේද? යන්න අද ජාත්‍යන්තරයේ ඇති ප‍්‍රධාන මාතෘකා වලින් එකකි. සූර්ය බලය එහි ලා පළමු අවධානයට යොමු වී ඇත.
සූර්ය බලයෙන් ජීවත්වීම ගැන සිහින දකින මිනිස්සු තමන්ගේ නිවසේ වහලය සූර්ය කෝෂ වලින් සකස් කර ගැනීම ගැන සිතති. එතැනින් නිපදවා ගන්නා විදුලිය සියළු බලශක්ති අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමෙන් පසු වාහනය ධාවනය කරන මටට්මට ගෙන එන අන්දම ගැන සිතති. එය අද හිතන විශාල සූර්ය කෝෂ හෝ ඒවා මගින් බලගැන්වෙන විශාල ප‍්‍රමාණයේ බැටරි නොවේ. සාමාන්‍ය පරිහරණයට යොදාගත හැකි තරම් සරල හා කාර්යක්ෂම මෙවලම් හැටියටය. ඒවා ජයගත නොහැකි ඉලක්ක නොවේ. චීනයෙන් හා ඩුබායි නගරයෙන් ලැබුණ තොරතුරු වාර්තා කළේ මාස පහක් ඇතුලත සූර්ය කෝෂ බලාගාරයක් ඉදිකරන පිරිවැය සියයට විසිපහකින් අඩු වූ අතර එය තාක්ෂණයෙන් හා නිපදවිය හැකි විදුලිය ප‍්‍රමාණයෙන් විශාල සංවර්ධනයකට ලක් වූ බවය. ඉන්ධන ඉල්ලූම අඩු වීමෙන් බොරතෙල් මිල පහත වැටෙනු ඇති අතර හිරු තාපයෙන් ජනනය වන විදුලි බලයෙන් ධාවනය කළ හැකි මෝටර් වාහන නිපදවීම සීඝ‍්‍රයෙන් ඉහළ යනු ඇති බව ප‍්‍රකාශ වෙයි.
මෙයින් දශකයකට දෙකකට කලින් දුරකථනය ගැන ද තිබුණේ මෙවැනි පසුබිමකි. රැහැන් සහිත සන්නිවේදනයකි. වරප‍්‍රසාද ලත් පැලැන්තිය එය භාවිතා කළේය. එය තවත් ඉදිරියට පැමිණ ජංගම දුරකථනය සොයා ගන්නා විට එය විශාල බැටරියකින් සමන්විත සහ ඉතා මිල අධික එකකි. පාවිච්චිය ධනවත් පැලැන්තියට සීමා වන තත්ත්වයක තිබුණි. මෙරට ටෙලිෆෝන් ව්‍යාපාරය ආණ්ඩුවේ ඒකාධිකාරයක් විය. දුරකථන සම්බන්ධතාවයක් ගැනීමට මැති ඇමැතිවරුන්ගේ මැදිහත්වීම අවශ්‍ය විය. ඇමැතිවරයා තම පාක්ෂිකයෙකට දුරකථකයක් සඳහා ලිපියක් නිකුත් කළේ එය තම පාක්ෂික හිතවතාට මහා ප‍්‍රයෝජනයක් සලසන ආකාරයෙන්ය. නමුත් දිගින් දිගටම සිදුවූ තාක්ෂණික සොයා ගැනීම් අනුව අද දුරකතනය අතිශය සාමාන්‍ය දෙයකි. එහි තාක්ෂණය වේගයෙන් වෙනස් වී තිබේ. ටෙලිෆෝන් සැපයීම ටෙලිකොම් යනුවෙන් රාජ්‍ය ආයතයක් තිබුණා නම් අද එය ඉතාම අසාර්ථක ව්‍යාපාරයක් වන බව නිසැකය. ජනතාව අද ගාස්තු නොගෙවා නිදහසේ කතාකරන්නට අන්තර් ජාල දත්ත භාවිතා කරමින් සිටී. මෙම පරිවර්තනය සිදුවූයේ ඉතාමත් වේගයෙන් බව සඳහන් කළ යුතුය. ආණ්ඩුවට අයත්ව තිබූ ටෙලිකොම් ආයතනය පුද්ගලික අංශයට පවරන විට එය අති විශාල වටිනාකමක් ඇති මහජන දේපොලක් සේ අවධානයට ගත් පිරිස එයට විරුද්ධ වූහ. එයට අවනත වූවා නම් සිදුවිය හැක්කේ කුමක්ද? සමහර විට විදුලිය බල මණ්ඩලයට ද මෙම තත්ත්වය ඇති වෙන්නට බැරි නැත. ඛනිජ තෙල් සංස්ථාවට එසේ වෙන්නට ඉඩ තිබේ. ආණ්ඩුවේ සම්පත් සහ මහජන දේපොල වශයෙන් මහා ඉහළින් ආරක්ෂා කරගෙන සිටින නමුත් ලෝකයේ රටවල් ඉදිරියට යන අන්දම ගැන නිරීක්ෂණය කරන විට මේවා පලක් නැති දේපොල බවට පත්වීමට හොඳටම ඉඩකඩ තිබේ. කුඩා බැටරියකට හිරු එළිය ගබඩා කරගෙන එය තැනින් තැන ගෙන යා හැකි මට්ටමට තාක්ෂණය දියුණු කරන්නට සමත්වුවහොත් තව දුරටත් ඛනිජ තෙල් කර්මාන්තයක් හෝ තෙල් භාවිතා කරන නිපදවන විදුලිය ගැන විශ්වාසය තැබිය යුතු මන්ද?
වහලයට වැටෙන හිරු එලියෙන් බලය නිපදවා ගන්නට ආණ්ඩුවේ ආයතනයක් කුමටදැයි ප‍්‍රශ්න කරන යුගයක් අනාගතයේ දී එන්නට ඉඩ තිබේ. වසර දහයක් දොලහක් ගත වන විට ලෝකයේ පැවැත්ම කොතැනක දැයි කල් තබා තීරණය කරන්නට සිදුවී ඇත. ආණ්ඩුවේ ප‍්‍රධානීන්ට සහ ප‍්‍රතිපත්ති සම්පාදකයන් දාර්ශණික සේ හිතන්නට අවශ්‍යය. පටු එදිනෙදා බලය වෙනුවට වෙනස්වන ලෝක ස්වභාවයෙන් ජනතාවට කාර්යය කරගන්නට ඉඩ දෙන්නේ කෙසේදැයි විමසීම වැදගත්ය. එම සිතිවිලි අනුව වේගයෙන් ක‍්‍රියාත්මක වෙන්නට අවශ්‍යය. ඉක්මන් තීරණ ගෙන ක්ෂණයකින් වැඩ නොකළහොත් පශ්චාත්තාපයක් ඉතිරි වෙන්නට බැරි නැත. ලෝකයේ තත්ත්වය එයයි.
අනාදිමත් කාලයක් ශ‍්‍රී ලංකාව පෙරදිග රටක් වශයෙන් සූර්යයා ගැන බලාපොරාත්තු තබා තිබේ. බක්මාසයේ දී සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරන බව කියන විට එහි පිටුපස හිරු බලය ගැන තිබුන සංකල්ප ගැන පැහැදිලි කිරීමක් දැනෙයි. එය කිසිසේත් සරල කාරණයක් නොවේ. ආයතනික ව්‍යුහ තුළ නඩත්තු වෙමින් ඒවායෙන් යැපෙන පිරිස පවතින සම්ප‍්‍රදායික රාමුව විශාල බලයක් ඇති තැන් සේ සිතන බව පෙනේ. එයින් නඩත්තු වන කණාඩායම වෙනස්වීම් සඳහා සූදානම් නැත. පවතින තත්ත්වය ගැන පුලූල් අවධානයකින් අද ක‍්‍රියා කළ යුතුව තිබේ. ශ‍්‍රී ලංකාව රටක් වශයෙන් පළමුවෙන් තමන්ගේ ව්‍යුහය සකස් කරගත යුතුය. පරිවර්තන යුගය තුළ ආරක්ෂා වීමට වඩා එහි අලූත් මුහුණුවර ජනතාවට හදුන්වා දී රටත් සමාජයක් වෙනස් කරන්නේ කෙසේද යන්න ගැන අධ්‍යයනය කරන්නට අවශ්‍යය. විද්‍යාර්ථීන් හා ප‍්‍රතිපත්ති සම්පාදකයන් ගෙන් ලබාගත යුතු පණිවුඩය එයයි. ලෝකයේ වෙනත් රටවල් ක‍්‍රියා කරන වේගය හා සමානවන්නට අපොහොසත් වුවහොත් සූර්ය මංගල්‍යය යනුවෙන් සංස්කෘතික වතාවත් පැවැත්වීම පමණක් රටට උරුම විය හැකිය. එය බලාපොරොත්තු විය යුතු තත්ත්වයක් නොවේ.
|