» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
02/02/2020 - ඉරිදා ලංකාදීප
තීරණ ගත හැකි පරිසරයකින් අලූත් දශකයට ප‍්‍රවේශයක්

ශ‍්‍රී ලංකාවේ හැත්තෑ දෙවැනි නිදහස් දිනය උදාවෙමින් තිබේ. පසුගිය දශක හත තුළ ලෝකය පුදුම සහගත සේ වෙනස් වී තිබේ. කර්මාන්ත, ආයෝජන, බලශක්ති, සෞඛ්‍ය, අධ්‍යාපන, ප‍්‍රවාහන ඇතුළු සියළු ක්ෂේත‍්‍ර සම්පූර්ණයෙන් නවතම මුහුණුවරක් ගෙන ඇත. නිදහස ලැබූ කාල වකවානුවේදී මෙරට තිබුණ ආර්ථික සහ සමාජ තත්ත්වය ගැන මතක් කරන සේ ඇරයුම් කළහොත් වියපත් අය පුදුමයට පත් වනු නිසැකය. එම කාල වකවානුවේ සිහිනයකින් හෝ නොසිතන ලද දේ අද වන විට යතාර්ථයකි. කම්බියක සම්බන්ධතාවයක් නැතිව දුරකතනයෙන් කතාකළ හැකි. එම සම්බන්ධතාවයෙන්ම රූපය ඇතුළු නොයෙක් දත්ත හුවමාරු කරගත හැකි යුගයක් එළැඹෙනු ඇතැයි එදා පරපුර නොසිතන්නට ඇත. නමුත් එය සිදුවී තිබේ. ලෝකයේ වෙනත් රටවල සිදුවූ වෙනස්කම් ශ‍්‍රී ලංකාවට කාන්දු වී ඇති අතර එහි වාසි අවාසි සෑහෙන ප‍්‍රමාණයක් අත් විදිමින් සිටින බව සදහන් කළ යුතුව ඇත.

තීරණගැනීමේ දී ඉක්මන් හා නිවැරදි ප‍්‍රතිපත්ති අනුගමනය කළේ නම් අද ශ‍්‍රී ලංකාව උසස් තැනකය. ජනතාවගේ ජීවන මට්ටම ඉහළය. සාමය හා සමෘද්ධිය ජනී ජනයාගේ සතුටට හේතුවක් වනු නිසැකය.

පසුගිය දවසක බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නගරයට ආසන්න මැතිවරණ කොට්ටාශයක් නියෝජනය කරන මන්තී‍්‍රවරයෙකු හා සාකච්ඡා කරන්නට අවස්ථාව ලැබුණි. එයට පසුබිම සකස් වූයේ මෙරට බලශක්ති අංශයේ ආයෝජන ව්‍යාපෘතියක් වෙනුවෙන් කටයුතු සිදුවූ ආකාරය ගැන කතාබහක නිරත වන අතරවාරයේ දීය. මෙම මන්තී‍්‍රවරයාගේ මැතිවරණ කොට්ඨාශයේ ද අලූතින් බලාගාරයක් ඉදිවී තිබුණි. ඔහු ඒ වගක් දැනගෙන සිටියේ නැත. අලූත් බලාගාරය ඉදිකරන ලද පසුබිම සොයා බලන්නට හෙතෙම එහි නිල සංචාරයක නිරත විය. තම මැතිවරණ කොට්ඨාශයේ තමන් නොදැන අලූත් විදුලිය බලාගාරයක් ඉදිකර තිබීම ගැන මුණ ගැසුණු වහා එම සමාගමේ බලධාරීන් හමුවේ නෝක්කාඩුවක් සේ කියා ඇත. බලාගාරයට අනුමැතිය දෙන්නේ එම ප‍්‍රදේශයේ පලාත් පාලන ආයතනයයි. ප‍්‍රදේශයේ කර්මාන්ත, වෙළ`ද, නේවාසික හා ගොවිපොල තිබිය යුතු තැන් වෙනම ලකුණු කර ඇත. ඉඩ ඇති තැනක අනුමැතිය ලබාදීම පලාත්පාලන ආයතනයේ වගකීමකි. පරිසර වාර්තා පලාත් පාලන ආයතන සතුව ඇත. ආයෝජනයකට කැමැත්ත ඇති ව්‍යවසායකයා අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කර අභිමතය දැක්විය යුතු අතර සති දෙකක් හෝ තුනක් ඇතුලත අවසර ලැබුණත් නොලැබුණත් ආයෝජනය කරගෙන යා හැකිය. ලන්ඩන් නගරයට නුදුරු එම ප‍්‍රදේශයේ නීතිය අනුව ආයෝජනයට අවසර ලැබෙන තෙක් ආයෝජනය කරන ව්‍යවසායකයා කල්මැරිය යුතු නැති අතර නියමිත දින ගණනට කලින් නිලධාරීන් විරෝධයක් නොදැක්වුවහොත් අනුමැතිය ලැබීම විශේෂත්වයකි. මෙම විදුලිය උත්පාදන සමාගම විදුලිය මිල දී ගැනීමේ ගාස්තු ගැන එකගවීමෙන් පසු ආයෝජනය සම්පූර්ණ කරගෙන ඇත. ආයෝජනය ගැන කැබිනට් අනුමැතියක් හෝ වෙනත් බාධාවක් තිබී නැති අතර අඩුම තරමින් ප‍්‍රදේශයේ මහජන නියෝජිතයා පවා දැනගන්නේ සෑහෙන පසු කාලයක දී ය.

බලාගාරය නැරඹීමෙන් පසු තමන්ගේ නෝක්කාඩුව ගැන කනස්සල්ලට පත් වූ බව මන්තී‍්‍රවරයා දක්වන ලද අතර ශ‍්‍රී ලංකාවේ විදුලිය උත්පාදන බලාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය අනුමැතිය ගැනීමට වසර හයක් ගත වූ බව මෙම බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරයා අවසානයේ දී මා සමග කියා සිටියේය. ඔහු බි‍්‍රතාන්‍ය සමාගමකට මෙරට ආෙයෝජනයට ඇති අවස්ථා පෙන්වා දී තිබේ. මැති ඇමැතිවරුන්, නිලධාරීන් පසුපස යමින් දීර්ඝ වෙහෙසකර ගමනක් අවසානයේ දී විදුලිය උත්පාදන වැඩ ආරම්භ කර ඇති අතර එහි අලෙවිය ස්ථිරව කරගත හැකි දැයි අදටත් තහවුරු වී නැත.

බි‍්‍රතාන්‍යයේ ආයෝජනය හා ශ‍්‍රී ලංකාවේ ඒ හා සමාන ව්‍යාපෘතියක් කරන්නට උත්සාහ කරන විට ලැබෙන බාධා ගැන කල්පනා කරන විට සෑහෙන පරස්පරතා තිබේ. ආයෝජනය පහසු කරන ප‍්‍රතිපත්ති කෙරෙහි වැඩි අවධානයක් යොමු කළහොත් ශ‍්‍රී ලංකාව වේගයෙන් පරිවර්තනයකට යොමු කළ හැකිය.

බලශක්තිය මෙහි ලා ඉතාම වැදගත්ය. මැදි ආදායම් රටක් වශයෙන් කර්මාන්ත, ව්‍යවසාය හා නේවාසික කටයුතු වලට බලශක්තිය බෙහෙවින් ප‍්‍රයෝජනයට ගැනේ. අඩු මිලකට අඛණ්ඩව සැපයීම ඉතා වැදගත්ය. සුළු නියගයකදී පවා විදුලිය සැපයීම ගැන ප‍්‍රශ්න ඇතිවීම සුදුසු නැත. මෙරට විදුලිය උත්පාදනයේ දී විවිධාංගීකරණය පමණක් නොව උපරිම කාර්යක්ෂමතාව ද සලකා බැලිය යුතුය. නිවාස වල පවා සෑහෙන විදුලිය උපකරණ ප‍්‍රමාණයක් භාවිතා කෙරේ. වර්ණ රූපවාහිනිය. ශීතකරණය, වතුර මෝටරය හා විදුලිපංකා සෑම නිවසකම පාහේ සාමාන්‍ය දේ බවට පත්ව ඇත. රෙදි සෝදන යන්ත‍්‍ර හා වායු සමීකරණ යන්ත‍්‍ර භාවිතාව වැඩි වී ඇත. මෙම සියළු මෙවලම් වෙනුවෙන් අධික විදුලිය පරිභෝජනයක් සිදුවෙයි. විදුලිය බිල ඉහළ යන විට පාරිභෝගිකයන්ට එය ගැටළුවකි. අඩුම මිලට නිපදවනු නොහැකි වන විට අඩු මිලට විදුලිය සැපයිය නොහැකිය. රටට අවශ්‍ය විදුලිය සැපයීම වෙනුවෙන් අලූත් තීරණ ගත යුතුව තිබේ. දැවිතෙල් හෝ ගල්අ`ගුරු බලාගාර තවතවත් ඉදිකිරීම උත්තරයක් නොවේ. බලශක්ති අංශයෙහි සිදුවී ඇති බලවත් පරිවර්තනය වෙනුවෙන් රට තුළ දොරටු විවෘත කළ යුතුය.

හොදින් හිරු පායන රටක් වශයෙන් සූර්ය බලයෙන් ප‍්‍රයෝජන ගැනීමට රටට අවකාශයක් තිබේ. ප‍්‍රධාන පෙලේ සමාගම් නොයෙක් රටවල විදුලිය උත්පාදන ව්‍යාපෘති අරඹයි. සූර්ය විදුලිය බලාගාර ඉදිරිකීම ආයෝජන අතරින් වාසිදායක බව තහවුරු වී ඇත. නිපදවන තැන හා විදුලිය ලෝකයේ වෙනත් රටකට විකිණීම ගැන තිබුණ බාධා ඉවත්ව ඇත. ඔස්ටේ‍්‍රලියාවේ සමාගමක් ඇමරිකානු ඩොලර් බිලියන විස්සක් ආයෝජනය කර ඇති අතර එම විදුලිය සිංගප්පූරුවට අලෙවි කරන ගිවිසුමක් අත්සන් කර ඇත. ගුවනින් ගමන් කළහොත් ඔස්ෙටි‍්‍රලියාව හා සිංගප්පූරුව අතර දුර ගමන් කරන්නට පැය අටක් ගතවෙයි. එයින් පෙන්වන කරුණ සැලකිල්ලට ගැනීම සුදුසුය. මෙම දුර ගෙවා විදුලිය බෙදාහැරීම පවා ලාභදායක ව්‍යාපෘතියක් බව ඔස්ට්‍රේලියානු සමාගම තීරණය කර තිබේ. එයට ප‍්‍රධාන හේතුව ආයෝජනය කිරීමෙන් පසු විදුලිය නිපදවීමට වියදමක් නැතිවීමය.

සුදුසු ප‍්‍රදේශ හදුනාගෙන සූර්ය විදුලිය උත්පාදන මහා පරිමාන ව්‍යාපාර ආරම්භ කළ හැකිය. ආයෝජන අනුමැතිය ගැනීමට වසර පහක් හයක් ගතවන විට ප‍්‍රයෝජනයක් තිබේද? පලාත්පාලන ආයතන, පලාත් සහා හා කැබිනට් අනුමැතිය ගැනීම පහසුද? මෙම සියළු අනැමැතිය ලබා ගැනීමෙන් පසු පවා පරිසර වාර්තා කැදවෙයි. කිසිම ආයෝජනයකට ඉඩ දෙන්නට සූදානම් නැති බව එයින් පෙන්නුම් කෙරේ. ලෝකයේ ප‍්‍රකට සමාගමක් මෙරටට පැමිණ මහා පරිමානයෙන් විදුලිය නිපදවුවහොත් දිවා කාලයේ දී ඉන්දියාවට පවා විදුලිය සැපයිය හැකිය. රාත‍්‍රියේ දී ඉන්දියාවෙන් මිල දී ගැනීමෙන් පද්ධතිය සමබර කරන්නට පුලූවන්කමක් තිබේ. මෙවැනි පැති ලෝකයේ සිදුවන නමුත් නිදහසින් දශක හතකට පසු පවා නිවහල්ව හිතන්නට හැකියාවක් ලැබී නැත. චක‍්‍රලේඛන හෝ නිලධාරීවාදය හරස් වී ඇත.

සෑම නිවෙසකටම සූර්ය කෝෂ සැපයිය හැකිය. ප‍්‍රධාන කර්මාන්ත ශාලා, සේවා හෝ ව්‍යාපාරික ස්ථාන සූර්ය විදුලියෙන් බල ගැන්විය හැකිය. එය ආණ්ඩුවට විශාල වාසියකි. එවැනි යෝජනා දිරිගැන්විය යුතුය. නමුත් සූර්ය විදුලිය වෙනුවෙන් ආයෝජනය කර මාස හයකට වඩා වැඩි කාලයක් තිස්සේ එය ජාතික විදුලිය බල පද්ධතියට සම්බන්ධ කරගත නොහැකිව සිටින ආයතයක් ගැන සාක්ෂි ඉදිරිපත් කළ හැකිය. එම ආයතනය බස්නාහිර පලාතේ කොළඹ නගරයට නුදුරින් පිහිටා තිබේ. එහි ප‍්‍රමාදය දකින කිසිම සමාගමක් සූර්ය විදුලියට ආයෝජනය කරන්නට යුහුසුළු වන්නේ නැත. මෙවැනි තීන්දු වලින් රටට ඇති වාසිය කුමක්ද?

ක‍්‍රමය වෙනස් කරන්නට අවශ්‍ය බව ජනතාව තීන්දු කර තිබේ. ජීවිතකාලය තුළ සෑහෙන කරදර හා වේදනා වලට මුහුණ දී ඇති මෙරට වැසියෝ ඒවා තවදුරටත් නොතිබිය යුතු බව ප‍්‍රකාශ කරති. නමුත් ආයතනික වශයෙන් නීති රීති හා චක‍්‍රලේඛන වෙනස් නොවේ. ක‍්‍රියාකරන ආකාරය ගැන ආකල්ප පසුගාමීය. අන්තර් ආයතන සම්බන්ධතාවයක් නැත. දියුණුම සන්නිවේදන යුගයක ආණ්ඩුවේ ආයතන දෙකක් එකිනෙක ආයතන ගැන නොදනී. වාර්ෂික සැලසුම් වල මූලික පැති රහස් වශයෙන් තබා ගෙන සිටී. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මහජන මුදල් නාස්ති වන අතර ජනතාව නගා සිටුවන සේ කියා බලයට පත්වන ආණ්ඩු ඉක්මනින් අප‍්‍රසාදයට පත්වෙයි. මෙම පැති ගැන අලූතින් හිතන්නට අවශ්‍යය. නිදහස යනු උත්සවාකාරයෙන් සමරන උළෙලක් පමණක් නොවේ.