» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
01/12/2019 - ඉරිදා ලංකාදීප
ජනතාව අතට බලය බෙදන නව පාලන ව්‍යුහයක්

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එරට රජයේ ප්‍රධානියා නමුත් ඔහුගේ අත්සන බැංකු චෙක්පතකට වලංගු නැත. එහෙත් ජනතාවගේ ඡන්දයෙන් පත්වන ඉන්දියාවේ පාලන ඒකකයේ පහලම තැන වශයෙන් ගැනෙන පංචායත් රාජ්‍ය සභාවේ ප්‍රධානියා ගේ අත්සන බැංකුව පිලිගනී. ඔහුට සෘජුව ජනතාව හා බැදීමක් සහ සම්බන්ධතාවයක් පවතින බව පෙන්වීම සදහා ඇතැම් පරිපාලන අංශ මෙම උදාහරණය භාවිතා කරති. පංචායත් පාලන ක්‍රමය ඉන්දියාවට හදුන්වා දීමේ ඉතිහාසය මහත්මා ගාන්ධි ගේ සංකල්පයක් දක්වා අතීතයට විහිදෙයි. නිදහස ලැබූ ඉන්දියාව ජනතාවට සේවය කරනු සදහා අලූත් ව්‍යුහ සොයා බලමින් සිටි අතර එය සුදුසු බවට යෝජනා කෙරිණි. 1959 දී පමණ රාජස්ථාන් ප්‍රාන්තයේ නිල වශයෙන් මෙම ක්‍රමය අත්හදා බලා තිබේ. එයින් වසර දහයක් දොලහක් ගත වන විට ඉන්දියාව පුරා එය විහිදී විසිරියන පාලන ඒකකයක් බවට පත්ව ඇති බව සදහන්ය.

ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක දරුණු නියගයක් පැවැති පසුගිය වසරේ ඉන්දීය අගමැතිවරයා පංචායත් ප්‍රධානීන්ට ලිපියක් යවමින් ජල සංරක්ෂණය හා සියළු පුරවැසියන්ට ප්‍රමාණවත් ජල සැපයුම ලබා දීමේ වැදගත්කම අවධාරණය කළේය. ඉන්දියානු විචාරකයන් දක්වන අන්දමට වත්මන් අගමැතිවරයා මෙම පංචායත් ක්‍රමය පවත්වාගෙන යනු සදහා පවරන ලද ප්‍රබල අනුබලයක් සේ සැලකේ. ඉන්දියාව 1993 වසරේ දී සිය ව්‍යවස්ථාව හැත්තෑ තුන්වැනි වතාවට සංශෝධනය කරන අතර එය පංචායත් රාජ්‍ය ක්‍රමය බලගන්වන සංශෝධනයක් විය. එයට අනුව විෂයයන් විසි නමයක් යටතේ ක්‍රියාත්මක වනු සදහා පංචායත් ක්‍රමයට නෛතික බලය ලැබේ. එම සංශෝධනය ආර්ථීක සංවර්ධනය හා සමාජ සාධාරණත්වය වෙනුවෙන් අනුගමනය කරන පියවරක් වශයෙන් සැලකේ. බදු හෝ ගාස්තු අය කිරීම ඇතුළු අංශ ගණනාවකට බලය දී ඇති අතර වසර පහකට වතාවක් පවත්වන මැතිවරණ වලින් එයට සාමාජිකයෝ පත් කිරීමට බලය දී ඇත.

ඉන්දියාව පමණක් නොව ප්‍රංශය, බ්‍රිතාන්‍ය, නෝර්වේ සහ ස්කැන්ඩිනේවියානු රටවල් සෑහෙන ප්‍රමාණයක් ආණ්ඩුව හා සමාජයේ පහලම ඒකකය අතර බලය ඛෙදා ගෙන ජනතාවට උසස් සේවයක් සම්පාදනය කරනු සදහා පියවර ගනී. තොරතුරු තාක්ෂණය එයට විශේෂ පිටිවහලක් වී තිබේ. ආණ්ඩුව ගන්නා තීරණ ඉක්මනින් දැනුම් දිය හැකි අතර එය ක්‍රියාත්මක වන ආකාරය ප්‍රධාන ආණ්ඩුවට නිරීක්ෂණය කළ හැකි රාමුව තොරතුරු තාක්ෂණය සතුව ඇත. ඇමරිකාවේ පවා පාසල, පොලිසිය පහලම පාලන ඒකකයෙන් පාලනය වන අතර නෝර්වේ හි පහල පාලන ඒකකයට තමන්ගේ ප්‍රදේශයේ පිහිටි සියළු කර්මාන්ත හා සේවා පාලනය කිරීමේ බලය ඇත. උදාහරණයක් වශයෙන් බලශක්තිය නිපදවන බලාගාරය රජයට අයත් නැත. එය පිහිටි ප්‍රදේශයේ පලාත් ආයතන එහි අයිතිය හා නිපදවන විදුලිය මධ්‍යම රජයට සපයන වගකීම උසුලන බව සදහන් කළ යුතුය. ප්‍රංශය මුදල් අය කරන මාර්ග වල අයිතිය ප්‍රාදේශීය පාලනයට පවරා තිබේ.

ශ්‍රී ලංකාව සෑහෙන කාලයක් තිස්සේ බලය ඛෙදීම ගැන සාකච්ඡා කරයි. නිදහස දිනාගත් දිනයේ සිට ඒකීය හා පෙඩරල් යන වචන භාවිතා කෙරේ. ඒකීය යන වචනයෙන් රට නොඛෙදන බව සංකේතවත් කරන අතර පෙරඩරල් ක්‍රමයකින් රට ඛෙදා වෙන් කරන බව ජනතාව උපකල්පනය කරති. මෙම අර්ථකතන ජනගත කරන්නේ දේශපාලනඥයන්ය. එය සමාජයේ තහවුරු වී තිබේ. හැගීම් අවුලවන විවාදයක සිටින දෙපාර්ශවයම අද වන විට ලෝකයේ පවතින යතාර්ථය අධ්‍යයනය කර නැත. තාක්ෂණික යුගයේ දී පැවැත්ම වෙනස්ය. එය ඔස්සේ පාලන බලය ජනතාව අතට ලැඛෙනු හැර එක කොටසකට අසීමිත වරමක් නොලැඛෙන බව අවධාරණය කළ යුතුව තිබේ. ශ්‍රී ලංකාව අලූත් පැති ගැන අවධානය යොමු කළ යුතුය. ජනාධිපතිවරණයෙන් අත්පත් කරගත් ජන වරම අනුව පැවැත්ම වෙනස් කරගත යුතු අතර බලය ඛෙදන සංකල්පය ගැන අලූත් රාමුවකින් සාකච්ඡා කිරීම වැදගත්ය. එහි ලා තාක්ෂණය උපයෝගී කරගත හැකිය. සන්නිවේදනයේ දී මතුවන භාෂා ප්‍රශ්නයට ද එය විසදුමකි. එක භාෂාවක් කෙරෙහි යැපෙමින් සිටි ජනී ජනයා පරිගණකය හා කෘතීම බුද්ධිය සමග ද සන්නිවේදනය කරමින් සිටී. අප මෙම යුගය තෝරාගත යුතු අතර එය දැනට පවතින ගැටළු වලට විසදුමකි.

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටළුවක් පවතින බවට තක්සේරුවක් තිබුණ 1980 ගණන්වල එයට විසදුමක් වශයෙන් ප්‍රධාන ආණ්ඩුව සතු බලතල යම් ප්‍රමාණයකින් ඛෙදාදෙන්නේ කෙසේදැයි සාකච්ඡා කළේය. ඉන්දියාව එයට ප්‍රවේශ වන අතර එවකට එරට සාර්ථකව අත්හදා බලමින් සිටි ව්‍යුහය අනුව දහ තුන් වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළේය. ඉන්දියාව විශාල ජනගහනයක් සහිත රටකි. ජාති, ආගම් හා භාෂා සෑහෙන ප්‍රමාණයක් භාවිතා වෙයි. ඉන්දියානු ප්‍රාන්ත අතරින් සමහරක් ශ්‍රී ලංකාව මෙන් දෙතුන් ගුණයක් විශාල වන අතර තවත් රටවල් වලට ඛෙදීම වලකනු ස`දහා ප්‍රාන්ත ක්‍රම වැනි පුලූල් අංශ ප්‍රයෝජනවත් වන්නට ඇත.

යුද තත්ත්වයක් පවතින කාල වකවානුවේ දී පමණක් නොව ත්‍රස්තවාදය පරාජය කර සාමය තහවුරු කිරීමෙන් පසු පවා බලතල ඛෙදන පාලන ක්‍රමයක් ගැන සාකච්ඡා කෙරේ. දහතුන් වන සංශෝධනයෙන් පවරන ලද ප්‍රමාණයට වඩා පුලූල් බලතල අවශ්‍ය බව දක්වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඉඩම් හා පොලිස් බලතල ගැන වැඩිම අවධානයක් පවතින අතර රට තුළ පමණක් නොව රටින් බැහැරව සිදුවන සෑම සාකච්ඡාවක දී ම බලය ඛෙදාහැරීම පළමුව අවධානයට ගැනේ. අලූත් ජනවරමක් ලැබී ඇති, අලූත් ප්‍රවේශයක් ගැන හිතන ශ්‍රී ලාංකිකයන්ට බලය ඛෙදීම ගැන පැරණි ආකල්ප වලට එහා ගිය අලූත් ආකල්ප තිබිය යුතුය. ජනතාවට සේවය කරනු ස`දහා ලෝකයේ වෙනත් රටවල පහලම ඒකකයට ඇති පුලූල් අවස්ථා හා සමාන ව්‍යුහයක් ගොඩනගා ගැනීම කෙරෙහි සොයා බැලීමේ වගකීමක් අප සියළුදෙනාට ඇත.

නිසි පිලිතුරක් ලැබී නැති පලාත් සභා අහෝසි කර ප්‍රාදේශීය සහා හා නගර සභා මට්ටමට බලය ඛෙදාහරින නවතම ක්‍රමවේදයක් ගැන අවධානය යොමු නොකරන්නේ මන්ද? බලය ඛෙදා හැරීම යන කාරණයෙන් අගවන දේ තේරුම් ගැනීම ඉතාම වැදගත්ය. ජනතාවට එදිනෙදා ජීවත්වීමේ දී මුහුණ පාන ගැටළු වලට ඉක්මන් විසදුම් අවශ්‍යය. ප්‍රධාන ආණ්ඩුවෙන් කරගන්නා දේ ගමේ දී කරගත හැකි ක්‍රමයක් යෝජනා කරන්නේ නම් රට තුළ පවතින්නේ පෙඩරල් ද නොඓසේනම් ඒකීය ක්‍රමයක් ද යන්න ජනතාවට වැදගත් නැත. සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කාරණය එයයි.

මධ්‍යම ආණ්ඩුවේ අනුමැතිය ඇතිව ගමන් බලපත්‍රයක්, රියැදුරු බලපත්‍රයක් තමන් ජීවත්වන ගමේ දී වහා ලබාගත හැකි ක්‍රමයක් සකස් කරන්නට බැරිකමක් නැත. හැදුනුම්පත, උප්පැන්න සහතිකය වැනි දේ සරල ලියැකියැවිලි බවට පත්කරන හැකියාවක් තිබේ. පාසල, රෝහල, පොලිසිය වැනි අංශ ගැන පවතින තත්ත්වයට වඩා වෙනස් තීරණ අනුගමනය කළ හැකිය. එය රට ඛෙදන යෝජනාවක් නොවේ. පරිපාලනය ගමට ගෙන යාමය. පලාත් සභා ක්‍රමය අහෝසි කරන අතර ඉන්දියාවේ පංචායත් ක්‍රමය හා සමානව ගමේ රාජ්‍යය ගොඩනැගීම සුදුසුය. දැනට පවතින පලාත් පාලන ආයතන වල ශක්තිය එහි ලා උපයෝගී කරගත හැකිය.

මෙහි දී සලකා බැලිය හැකි වැදගත් කාරණයක් තිබේ. රට පුරා ජනතාව විහි දී විසිරී ගොස් ඇත. සිංහල, දෙමල හා මුස්ලිම් ජනවර්ග විවිධ ප්‍රදේශවල මිශ්‍රව ජීවත්වන බව පෙනේ. නිජ බිම සංකල්පයක් අදට ගැලපෙන්නේ නැත. දිළිදු ජනතාව ඉඩම විකුණන අතර එය මිල දී ගන්නේ කවර ජාතියක කොතැනක සිට පැමිණි කෙනෙකුදැයි ජනතාව කල්පනා කරන්නේ නැත. එවැනි වාතාවරණයක් තුළ පැරණි ඛෙදීම්, අනන්‍ය කලාප, වෙනස් භාෂාව කතා කරන පිරිස ජීවත්වන ආවේනික තැන් යනාදී කරුණු කෙසේවත් වැදගත් නැති බව සදහන් කරන්නට අවශ්‍යය.

පලාත් සභා අහෝසිකර පලාත් පාලන ආයතන මට්ටමට බලය ඛෙදන තීන්දුවකට ගමන් කරන්නේ නම් අවධානයට ගත යුතු කරුණක් ද තිබේ. මෙම පලාත් පාලන ආයතන වල ව්‍යුහය ශක්තිමත් කළ යුතුය. දූෂණයට ඉඩ නොලැඛෙන පරිදි ක්‍රමය හා විනය සකස් කරන්නට අවශ්‍යය. බලය ඛෙදන අතරවාරයේ උතුරට හා දකුණට එකම සරල ඒකකයක් සකස් කරන්නේ කෙසේද යන්න පමණක් නොව ඒ වෙනුවෙන් පොදු ජනතාවගේ ආකල්ප වෙනස් කරන ආකාරය ද සාකච්ඡා කළ යුතුව තිබේ. එළැඹෙන තාක්ෂණික යුගයේ පහසුවෙන් කළ හැකි දේ වෙනුවෙන් සමාජය නැඹුරු කිරීම වැදගත්ය.