» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
01/10/2017 - ඉරිදා ලංකාදීප
ජන සමාජයේ අනන්‍යතාව පදනම් කරගත යුතු අලූත් ව්‍යවස්ථාව

සිංගප්පූරුව පළමු වතාවට තම ජනාධිපති ධුරය සඳහා කාන්තාවක තෝරා පත් කරගෙන තිබේ. හලිමා යේකෝබ් මැතිණිය ජනාධිපතිනිය බවට පත්වීමට වඩා ඇයගේ පත්වීමට හේතු වූ පසුබිම ඉතාම අවධානයට ලක්විය යුතුය. නාමයෝජනා ප‍්‍රකාශයට පත් කිරිමෙන් පසු එවකට සිංගප්පූරු පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරියක හා කථානායක ධුරය හෙබවූ ඇය ඉකුත් අගෝස්තු හත්වන දා ජනාධිපතිවරණයට තරග කිරීම අරමුණු කරගෙන තනතුරුවලින් ඉල්ලා අස් වූ අතර එයින් මාසයකුත් දින හයකට පසු ජනාධිපතිවරිය සේ නිල වශයෙන් පත්වීම් ලැබුවාය. ජනාධිපති මැතිවරණයක් පවත්වන්නට සූදානම් කර තිබුණ අතර රටවැසියන් අලූත් ජනාධිපති තෝරා ගැනීමේ ඡන්දයට මුහුණ දෙන්නට බලා සිටියේය. නමුත් එරට ව්‍යවස්ථාව අනුව වෙනත් අපේක්ෂකයන් කිසිවෙකු තරග කිරීමට සුදුසු නැති බව තීරණය වූ හෙයින් හලිමා යේකෝබ් මැතිණිය නිතරඟ ජයක් හිමිකරගත්තාය.

රටක ජනාධිපති ධුරය නිතරඟයෙන් තෝරා ගැනීම විශේෂ සිද්ධියකි. එයට පසුබිම සකස් කර තිබුණ එරට ව්‍යවස්ථාව එයට වඩා විශේෂිත එකකි. 1991 සම්මත කරගත් අලූත් ව්‍යවස්ථාව අනුව ජනාධිපති තෝරා ගන්නේ ඡන්දයෙනි. එයට කලින් සිංගප්පූරු පාර්ලිමේන්තු සාමාජිකයන් අතරින් කෙනෙකු තෝරා පත් කරගත්තේය. ජනාධිපති ධුරය සංකේතාත්මක එකකි. නමුත් ඇතැම් විධායක බලතල තිබේ. 2016 වසරේ දී සිංගප්පූරුව සිය ව්‍යවස්ථාවට සංශෝධනයක් එකතු කළේය. මෙයට කලින් පස් වතාවක දී ජනාධිපති ධුරයට පත්වනු සඳහා අවස්ථාව නොලැබුණ ජන වර්ගයක් නියෝජනය කරන අපේක්ෂකයෙකුට බලයට පත් විය හැකි පරිදි අපේක්ෂකයන් අතර තරගයක් වන පරිදි එය සකස් කර ඇත. චීන, මැලේ, ඉන්දියන් හෝ වෙනත් සුළු ජාතියක අපේක්ෂකයෙකුට ඒ අනුව අවස්ථාව ලැබෙන අතර මෙවර ජනාධිපතිවරණයේ දී මැලේ ජාතික ජනාධිපති ධුරයකට ඉඩ ලැබෙන්නේ ඒ අනුවය. සියළු අවශ්‍යතා සම්පූර්ණ කරන පූර්ණ සුදුසුකම් සහිත මැලේ ජාතික කාන්තාවක සේ ඡන්දයට ඉදිරිපත් වූ හලිමා යේකෝබ් නිතරඟයෙන් පත්වීම ලබන්නීය.

සිංගප්පූරු ව්‍යවස්ථාව අනුව ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම පහසු නැත. වයස අවුරුදු හතලිස් පහට අඩු පුරවැසියෙකු විය යුතු අතර වෙනත් කිසිම රටක ගෞරව පුරවැසිභාවයක් හෝ පිලිගෙන නොතිබිය යුතුය. නාමයෝජනා භාරගන්නා දිනය වන විට අඛණ්ඩව අවුරුදු දහයක් පුරවැසියෙකු විය යුතු අතර අධිකරණයකින් සිංගප්පුරු ඩොලර් දෙදහසකට වැඩි දඩයක් නියම වූ වරදකරුවෙකු නුසුදුස්සෙකි. මානසික යෝග්‍යතාව සහ මූල්‍ය අපරාධයකට සම්බන්ධ නොවී තිබීම අවශ්‍යය. කිසිම ලාභ උපයන ව්‍යාපාරයක කොටස්කරුවෙකු හෝ අයිතිකරුවෙකු විය යුතු නැත.

සිංගප්පූරුව සිය ජනාධිපතිධුරය සඳහා සුදුසු අය කෙරෙහි කොපමණ සැලකිල්ලක් දක්වනවාද යන්න එරට ව්‍යවස්ථාවෙහි සඳහන් වගන්ති වලින් සැලකිල්ලට ගැනීම ප‍්‍රයෝජනවත්ය. එම වගන්ති අතර ඇති දේ තවදුරටත් ගැඹුරට සලකන විට අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව අඩුම තරමින් පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර හෝ එයට ඉහළ තනතුරක් හොබවා සිටිය යුතු අතර පුද්ගලික අංශයේ නම් ආයතන ප‍්‍රධානි ධුරයක් එකී නියමිත කාලය තුළ දරා සිටි අයෙකුය. එම සමාගම සුළු එකක් නොවේ. අඩුම තරමින් සිංගප්පූරු ඩොලර් මිලියන 500 ඉක්මවන කොටස් හිමියන් සහිත රජයට සම්පූර්ණ බදු ගෙවා ඇති නීත්‍යානුකූල එකක් නොවේ නම් අපේක්ෂකත්වයට කිසිසේත් නුසුදුසු කෙනෙකි.

මෙකී කරුණු සලකා බලා සිංගප්පූරුවේ ජනාධිපති ධුරය සඳහා හලිමා යේකෝබ් නිතරගයෙන් පත්වන අතර එය එරට අනුගමනය කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයේ ප‍්‍රතිපත්තියට අනුකූලව බව සඳහන් කිරීම අවශ්‍යය. සිංගප්පූරුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශ‍්‍රී ලංකාවේ අප අත්විඳීන අප දන්නා ක‍්‍රමය නොවේ. එහි යම් ප‍්‍රමාණකයට තනි මතය ඇත. දුර දිග බලා සමාජ ප‍්‍රශ්න වලට විසදුම් දෙන සේ ව්‍යවස්ථාව සම්පාදනය කර තිබේ. දේශපාලනඥයන් තෝරා ගන්නා අන්දම හා ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් ගෙන ඇති පියවර විවෘත ඒවා බව එරට වැසියන්ගේ පිලිගැනීමයි.

ශ‍්‍රී ලංකාව පවතින ව්‍යවස්ථාව වෙනස්කරනු කෙරෙහි අවධානය යොමු කර තිබේ. සෑහෙන කාලයක් විවිධ පැති වලින් සාකච්ඡා කර ඇත. විධායක ජනාධිපති ක‍්‍රමය සහ මනාප මැතිවරණ ක‍්‍රමය වෙනස් කළ යුතු බවට සෑම පැත්තකින්ම අදහස් ඇති අතර එයට එකඟ නොවෙන පිරිසක් ද සිටී. ව්‍යවස්ථා සම්පාදක කමිටුව සකස් කරන ලද මූලික අදහස් වලින් සමන්විත අලූත් ව්‍යවස්ථා කෙටුම් පතක් නොබෝදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහි මහජන නියෝජනය, විධායකය හා මැතිවරණ ක‍්‍රමය ගැන අදහස් තිබේ. මේවා ගැන පුළුල් සාකච්ඡාවක් කළ යුතුය. අද පවතින ප‍්‍රශ්න වලට පමණක් නොව අනාගතයේ දී ශ‍්‍රී ලංකාවේ සම්මුතිය, පැවැත්ම හා අනුකූලතාවය වෙනුවෙන් ව්‍යවස්ථාව මගින් අවස්ථාව ඇති කළ යුතුය. එය ඉතාම විශාල වගකීමකි.

ව්‍යවස්ථා සම්බන්ධව ජාත්‍යන්තර සමාජයේ සෑහෙන්න විවාදයක් පවතී. බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රමය හා පුද්ගල අයිතිය පදනම් කරගත් එකකි. නිදහස ලැබීමෙන් පසු ශ‍්‍රී ලංකාව පදනම් කරගත්තේ ද ව්‍යවස්ථාව ගැන බටහිර පවතින ලක්ෂණ වලින් සමන්විත එකකි. පසු කාලය තුළ ව්‍යවස්ථා වෙනස් කරන ලද නමුත් මූලික රාමුව වෙනස් වූයේ නැත. බටහිර ව්‍යවස්ථා වලට අනෙක් පැත්ත නැගෙනහිර විශේෂයෙන් චීනයේ කොන්ෆියුසියස් ක‍්‍රමය බව අවධානයට ගැනී තිබේ. ශ‍්‍රී ලංකාව යටත් වෙන්නට කලින් ඉතාම දීර්ඝ කාලයක් අනන්‍ය පාලන ක‍්‍රමයක් අනුගමනය කරන ලද බව අමතක කළ යුතු නැත. වත්මන් ව්‍යවස්ථා සංකල්ප රටට ලැබෙන්නේ නිදහසට පසු බටහිර උවමනාව අනුවය. ශ‍්‍රී ලංකාව අලූත් ව්‍යවස්ථාවක් සකස් කරන විට මෙම පැති ඒවායෙන් මිශ‍්‍රවීම් ගැන සියුම් අවධානයක් යොමු කිරීම අවශ්‍යය.

බටහිර ව්‍යවස්ථා සහ පාලන රටා අනුව ලෝකය පුරා අන්තවාදය ගොඩනැගී ඇති බව අද පවතින විවාදයකි. රටවල් අස්ථාවර වන අතර එය ඉදිරි ගමනට බලපාන බව ප‍්‍රකාශ වී තිබේ. පුද්ගලයා ගැන වැඩිපුර අවධානය යොමු කිරීම එයට හේතුව යැයි විචාරකයෝ දක්වති. චීන කොන්ෆියුසියස් ව්‍යවස්ථා ක‍්‍රමයේ දී පුද්ගලයාගේ අවශ්‍යතාවයට වඩා සමාජ උවමනාව ගැන අවධානය යොමු කරන අතර එය මගින් සමාජ ස්ථාවරයට මග හෙළි කරන බව පිලිගෙන ඇත. එසේම සමාජයේ සියළු දෙනා ධුරාවලිය අනුව තැනක් හැදෙන අතර එය අනන්‍ය ලක්ෂණ ඇති කරන්නට හේතු වී ඇති බව පැහැදිලිව සදහන් කළ යුතුය. ධුරාවලිය වැදගත් වන හෙයින් සෑම පුරවැසියෙකුටම එයට අනුව අයිතිවාසිකම් ලැබේ. මෙම පසුබිම සකස් වෙන්නේ සමාජය තුළ වන අතර පුද්ගල අයිතියට වෙනස් එකකි. අද ලෝකයේ අවධානය මෙම පැති දෙක මගින් ඇති කරන අවකාශය ගැන යොමු කර තිබේ.

ශ‍්‍රී ලංකාව අලූත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන විට පුද්ගලයා පදනම් කරගෙන බටහිර එනකක් ද නැත්නම් සමාජය පදනම් කරගත් ආසියානු එකක් ද යන්න අවධානයට ගත යුතුය. ශ‍්‍රී ලංකාව යටත් වෙන්නට කලින් තිබුණ අනන්‍යතාවය ගැන ද හිතන්නට අවශ්‍යය. සමාජ ස්ථාවරත්වය හදන, සමාජය තුළ අනන්‍ය ලක්ෂණ ගොඩනගන සියුම් වගන්ති ව්‍යවස්ථාවට ඇතුලත් ද යන්න ගැන කතිකාවක් ඇරඹිය යුතුය.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු ද නැද්ද යන්න පවා අද එකඟතාවයක නැත. බලය බෙදන තරම අනුව රටට විධායක බලය ඇති ජනාධිපතිවරයෙකු අවශ්‍ය බව සෑහෙන පිරිසක් මතු කරන අතර තවත් කොටසක් ජනාධිපති වෙනුවට විධායක අගමැති සහ එම ධුරය පාර්ලිමේන්තුවට වගකියන තත්ක්වයට පත් කළ යුතු බව දක්වයි. අනාගත ශ‍්‍රී ලංකිකයන්ගේ උවමනා එපාකම් සම්පාදනය කරන්නට අද ගත යුතු පියවර මෙහි දී සැලකිල්ලට ගැනීම වැදගත්ය. සිංගප්පූරුවේ වත්මන් ජනාධිපතිවරිය නිතරඟයෙන් පත් වීමට හේතුව එරට ව්‍යවස්ථාව අනුව අපේක්ෂකත්වය වෙනුවෙන් ඒ වන විට වෙනත් සුදුසු අයෙකු නාම යෝජනා භාර දී නොතිබීමය. මැලේ ජාතිකයන්ට සාධාරණය වෙනුවෙන් මෙම ජනාධිපතිවරණය අවස්ථාවේ පසුබිම සකස්වන අන්දමට කරුණු පදනම්ව තිබිණ. එය හේතු කරගෙන නිතරඟ ජනාධිපතිවරයෙකු පත්වූ අන්දම ගැන හිතන විට පමණක් නොව ජනාධිපතිධුරය වෙනුවෙන් තිබිය යුතු සුදුසුකම් මතුකර පෙන්වන විට ආසියානු කලාපයේ හෝ වෙනත් සාමකාමී රටවල තත්ත්වය ආදර්ශයට ගැනීම සුදුසුය.