» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
01/09/2019 - ඉරිදා ලංකාදීප
අපටම උරුම වූ ශරීරයක් හිමි අවසාන පරම්පරාව

ලෝකයේ නොයෙක් විවාද සම්පන්න මාතෘකා සාකච්ඡා වෙමින් තිබේ. ධනය හා බලය වෙනුවෙන් සටන් කරන සමාජ ව්‍යුහයක ශරීරයේ පැවැත්ම ගැන බරපතල පර්යේෂණ සිදුවෙමින් පවතී. ඉදිරි ඡන්දයෙන් බලයට පත්වන විධායකයා ගේ මුහුණුවර හා ආණ්ඩුවක ස්වභාවය ගැන විශාල තර්ක ගොඩනගන මෙරට සමාජය අන්තර් ජාතිකව සිදුවන පරිවර්තනය ගැන ද අවධානය යොමු කළ යුතුය. ජීව විද්‍යාඥයන් අනුමාන කරන පරිදි ස්වභාවිකව මනුෂ්‍යයාට හිමි අනන්‍ය සිරුරක් සහිතව ජීවත්වන අවසාන පරම්පරාව අද අප හමුවේ සිටී. මෙයින් ඉදිරි පරම්පරාව තමන්ට අවශ්‍ය අන්දමට සිරුරේ අවයව නිර්මාණය කරගන්නට සමත්වනු ඇත. අත පය, මුහුණුවර හා බුද්ධිය වෙනස් කරගත් නවතම පරම්පරාවක් ඉදිරි සියවස තුළ වැජඹෙනු ඇති බව අනාවරණය වෙමින් තිබේ.

කලලයක් බිහිකරන ජීවී සෛල ගබඩා කරන හැකියාව ලැබී ඇත. ධනය ඇති සමාජයට තමන්ගේ ජාන ආරක්ෂා කළ හැකි අතර අවශ්‍ය අවස්ථාවක ගැබ් ගැන්වීමට හැකිය. අවශ්‍යනම් ගර්භාෂයක් කුලියට ලබා ගත හැකිවේ. කෘතීම ගර්භාෂ නිපදවන දිනය ද වැඩි ඈතක නොවේ. ලිංගික රොබෝවරු නිපදවා තිබේ. ගැබ් ගැනීම කරදරයක් සේ හිතන සීමාසහිත සමාජයක් බිහිවෙමින් පවතින අතර ඒවා බාහිරව කළ හැකි තරමට පර්යේෂණ දියුණු වී ඇත. මේවා වාර්තාවන අවකාශය තුළ මවුවරුන්ගේ හා දරුවන්ගේ අයිතිය වෙනුවෙන් අලූත් නීති පනවන්නට ද සමහර රටවලට සිදුවී ඇත. ඇමරිකාව එයට එක උදාහරණයකි. ගැබිණි මවුවරුන්ට දුම්කොල හා මත් පැන් තහනම් කරන නීති ගෙනැවිත් ඇත. ගබ්සා සඳහා ඉඩ දෙන අවස්ථා පාලනය කර තිබේ. මේවායෙන් හැකිතාක් දුරට මානව ශිෂ්ඨාචරායේ පැවැත්ම තුළ පවතින ස්වභාවිකත්වය ආරක්ෂා කරන්නට උත්සාහ කරන නමුත් එය සහමුලින්ම අසාර්ථක වන ලකුණු පෙනෙන්නට ඇත. ඇමරිකාවෙන් වාර්තා වන අන්දමට දැරියෝ ආර්ථවය අවශ්‍ය නැති කරන පෙති භාවිතා කරන්නට පටන්ගෙන තිබේ. ආර්ථවහරණය වන වයස්ගත කාන්තාවෝ කලින්ම සූදානම්වෙති. ස්වභාවික සංසිද්ධි පාලනය කරන්නට විද්‍යාව සමත්ව ඇති තරම දක්වයි.

ආබාධයක් පවතින අවස්ථාවක අවයව බද්ධ කළ හැකිය. වකුගඩු, අක්මාව, ඇස් හෝ ශරීර පටක බද්ධ කිරීම සාමාන්‍ය වෛද්‍ය විද්‍යාත්මක සිද්ධි වශයෙන් සැලකේ. රුධිරය මාරු කිරීම එවැනි අවයව මාරු කිරීමටත් වඩා සරලය. කෘතීම අත් හා පාද නිපදවෙයි. දත් හා අස්ථි කෘතීමව හදා බද්ධ කිරීම කළ හැකිය. කෙස් හෝ නිය වෙනස් කිරීම ඉතාම සුලබව සිදුවෙයි. මේවා මගින් මෙතෙක් පැවැති මනුෂ්‍ය අනන්‍යතා වෙනස් කරගන්නට පුලූවන්කම ලැබී ඇත.

ජාත්‍යන්තර වාර්තා පෙන්වන අන්දමට ප්ලාස්ටික් සැත්කම දකුණු කොරියාවේ ඉතා සාමාන්‍ය දෙයකි. සැත්කම් උපාංග හා ඒවායේ නිර්මාණ වීදුරු භාජන වල බහා ප‍්‍රදර්ශනයට තබා තිබේ. තමන්ට අවශ්‍ය ශරීර අවයව තමන්ට තෝරා ගත හැකිය. ඇතැම් නිරූපිකාවෝ සිය නිරූපන එකිනෙකට වෙනස් අවස්ථා මිලියන ගණනක් සකස් කර අන්තර් ජාලයට මුදා හැර තිබේ. මේවා අස්වාභාවිකය. එක්තරා දත්ත විදහා දැක්වීමකට අනුව ප‍්‍රකට බාබි බෝනික්කියක මිලියන තිස් තුන් වාරයක් වෙනස් පෙනුමකින් සකස් කර ඇති අතර සාමාන්‍ය මුහුණු එපමණ වෙනස් කළ හැකි බවට එය උදාහරණයක් ලෙස දක්වා තිබීම මවිත කරන සුළුය. ඇඟිල්ල, මුහුණ, දෙතොල, කෙස් වල ස්වභාවය යනාදිය වෙනස් කළ හැකි ආකාරය දක්වන සමාජ මාධ්‍ය විදහා දැක්වීම් අන්තර් ජාලයේ ඉතා ජනප‍්‍රිය වී ඇති අතර නොබෝදා වන විය ඒවා මිලියන දහසයක් පරිහරණය කර තිබේ. මේවායෙන් අඟවන්නේ සමාජයක් තුළ තමන්ගේ පෙනුම වෙනස් කරගන්නට දක්වන කැමැත්ත බව දැක්විය යුතුය. කිසිසේත් කළ නොහැකි දේ නොවේ. උරුමයෙන් ලැබුණ අවයව හා පෙනුම වෙනස් කරගැනීමට ඇති අවස්ථා ප‍්‍රමාණය එයින් දක්වයි.

ලෝකයේ නොයෙක් රටවල ජනවර්ගය හා අනන්‍යතාවය හදුනා ගැනීමට බාහිර පෙනුම ප‍්‍රයෝජනවත්ය. ශරීරය බලවත් සංස්කෘතියක් විදහා දක්වයි. භූගෝලීය වෙනස්කම් අනුව ශරීරයේ පැහැය හා අවයව වල ස්වභාවය වෙන්කර දැකිය හැකිය. නුදුරු අනාගතයේ දී පෙනුම අනුව පුද්ගලයෙකු අනුමාන කරන හැකියාව තුරන් වෙයි. ලෝකයේ ඉහළම ධනවතුන් තමන්ගේ වස්තුව මනුෂ්‍ය සංහතිකයේ පෙරැලියක් වෙනුවෙන් වියදම් කරන්නට පටන්ගෙන ඇත. වැඩිම කාලයක් ජීවත්වීම හා ඉතාම බුද්ධියක් සහිත ජනගහනයක් තැනීම උදෙසා පර්යේෂණ වෙනුවෙන් අරමුදල් පවත්වාගෙන යයි. සුපිරි ධනවතුන් ගේ අදහස අලූත් යුගයක් තැනීමය. එය සංස්කෘතික අනන්‍යතා සහිත මිනිස් පරපුරක අවසානය ළඟා කරනු නිසැකය.

2006 වසරේ දී ඇමරිකාවේ ආහාර හා ඖෂධ අධිකාරිය අනුමත කරන ලද කෘතීම හදවතක් සාර්ථකව මනුෂ්‍ය ශරීරයට බද්දකර තිබේ. තවමත් පර්යේෂණ මටට්මින් පවතින නමුත් එය සාර්ථකවනු නිසැකය. දිග කාලයක් ජීවත්වන්නට කැමැති නූතන ධනවතුන් සිය ධනයෙන් සෑහෙන කොටසක් වයසට නොගොස් වැඩි කාලයක් ජීවත් විය හැකි ආකාරය ගැන කරන පර්යේෂණ වලට පරිත්‍යාග කරන බව අනාවරණය වෙයි. ගූගල් හි ඇල්ෆබට් නමැති සමාගමේ ප‍්‍රධානීහු මහළු නොවී වැඩිකල් ජීවත්වීමේ පර්යේෂණ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන ගණනක් පරිත්‍යාග කර තිබේ. ජෙෆ් බිසෝස්, පාවුල් ඇලන් වැනි බිලියනපතියන් ද එයට එකතු වී සිටී. සියව්‍යාපාර වලින් අති විශාල ධනයක් උපයන ප‍්‍රධාන පෙලේ සමාගම් ඒවායේ ලාභයෙන් කොටසක් කෘතීම බුද්ධිය බිහිකරන පර්යේෂණ, පිලිකා සංහාරක වැඩසටහන්, දීර්ඝායුෂ ලැබිය හැකි ආකාරය අනාවණය කරන සොයා ගැනීම් වෙනුවෙන් ධනය පරිත්‍යාග කර තිබේ.

රුධිර සාම්පලයක් පරීක්ෂා කිරීමෙන් තව අවුරුදු දහයකින් හෝ විස්සකින් හැදෙන්නට ඉඩ ඇති අනතුරුදායක රෝගයක් ගැන අනාවැකි කියන්නට පුලූවන්කම පවතී. මුත‍්‍රා හෝ ශරීර සෛල සාම්පලකයකින් මෙම අධ්‍යයනය කළ හැකිව තිබේ. වෛද්‍ය විද්‍යාවේ නවීන පර්යේෂණ අනාවරණය කරන පරිදි අනාගත රෝගී තත්ත්ව පරීක්ෂා කරන්නට උපකාරී වන ප‍්‍රයෝජනවත් සාම්පලයක් ශරීරයේ අස්ථි පංජරයෙන් ලබාගත හැකිය. අස්ථි කොටස් පරීක්ෂාවකින් රෝග නීර්ණය මෙතෙක් අවධානයට යොමු නොවී තිබුණ පැත්තකි. නමුත් ස්ථිර වශයෙන්ම අනාගතයේ දී වැළඳීය හැකි අනතුරුදායක රෝග ගැන පූර්ව විනිශ්චයකට එළැඹීමට අස්ථි කොටස් පරීක්ෂා කර බලන අනාගත වෛද්‍යවරයෙකු සමත්වනු ඇත. ඩිමෙන්ෂියා වැනි මොලය ආශි‍්‍රතව සිදුවිය හැකි වෙනස්කම් ගැන කලින් දැනගත හැකිය. වසර හතරකට කලින් කැලිෆෝනියාවේ සෙන් ෆැන්සිස්කෝ හි කෘතීම බුද්ධිය ගැන පර්යේෂණ කරන සමාගමක් පිහිටුවාගෙන තිබේ. විශාල ධනවතුන් හා අලූත් දේ සොයා යන නවෝත්පාදකයන් එයට මූලික වී ඇත. සමහරවිට කෘතීම මොලය බද්ධ කළ හැකි දිනයක් එන අතර එය ඩිමෙන්ෂියා රෝගීන්ට පළමුවෙන් සාර්ථක ප‍්‍රතිඵල අත්පත් කරනු ඇතැයි පුරෝකථනය වෙයි.

මේවායෙන් තහවුරුකරන්නේ අප නොදන්නා සමාජ ව්‍යුහයක් අනාගතයේ දී හැදෙන බවය. මතු පරම්පරාවේ දරුවන් අත්විඳින අවකාශය අපට හිතා ගැනීමට හෝ පුලූවන්කමක් නැත. අද අප සියළුම දෙනා ගෞරවයෙන් කතා කරන සංස්කෘතික ඇවතුම් පැවතුම් හා සිරිත් විරිත් වලට අත් වන ඉරණම ඉතාම ගැටළු සහගතය. රටක්, රටක පැවැත්මක් තුළ අර්බුද ඇතිකරනු නිසැකය.

ශ‍්‍රී ලංකාවේ සමාජ හා දේශපාලන නායකයන් අනාගතයේ දී ඇති විය හැකි ස්වභාවය දෙස විචක්ෂණශීලී විය යුතුය. නායකයන් වශයෙන් සමාජයේ ඉරිදියෙන් සිටින කණ්ඩායමට ඇති අභියෝගය සුළු එකක් නොවේ. වේදිකාවේ දී අලූත් යුගයක් නිර්මාණය කරන බවට සහතික වන දේශපාලන නායකයන්ට මෙවැනි වෙනස්කම් පාලනය කළ හැකිද? එයින් අත්පත්වන පීඩනය දෙස විවෘතව බලන්නට පුලූවන්කමක් තිබේද? දේශපාලන හෝ සමාජ නායකයන් පමණක් නොව ආගමික නායකයන් ද උදාවන යුගයේ පරිවර්තනය වෙත මුහුවෙන්නේ කෙසේදැයි කල්පනා කරන්නට අවශ්‍ය කාල වකවානුවක් බිහි වී තිබේ. අපට අයිති නැති, එහෙත් අපේ යැයි කියනා පරපුරක් අප පිලිගන්නේ කොහොමද? මෙය කෙසේවත් සාමාන්‍ය ප‍්‍රශ්නයක් නොවේ.