» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
01/07/2018 - ඉරිදා ලංකාදීප
මිල කළ නොහැකි සමාජ වටිනාකම් වලින් රටට ලැබෙන කීර්තිය

මහනුවර බලා යමින් සිටි ඕස්ටේ‍්‍රලියානු යුවලක් වටිනා ලියැකියැවිලි සහිත ගමන් බෑග් බස් රියේ තිබිය දී අතරමගින් බැස ඇත. ඒවා හදුනාගත් තරුණන් දෙදෙනෙකු නැවත ලැබෙන්නට සැලැස්වූ ආකාරය ගැන ඔවුන්ගේ දියණිය කරන ප‍්‍රකාශයක් ඇතුලත් කෙටි වීඩියෝවක් අන්තර් ජාලයේ විශේෂ අවධානයට ලක්ව තිබේ. එම වීඩියෝව සමාජ මාධ්‍ය අතර නැවත නැවතත් පරිහරණය වන බව දැකගත හැකිය. මතබේධාත්මක සිද්ධි බොහෝ අවස්ථාවල සමාජ මාධ්‍ය වල විශේෂ ආකර්ශනයක් දිනා ගන්නා නමුත් යහපත් මිනිසුන් ගැන හොඳ හිතින් කරන දේ වැඩි අවධානයකට ලක්වන අවස්ථා විරලය.

මෙම සිද්ධිය අනාවරණය කරන එයට මුහුණ පෑ යුවලගේ දියණියට අනුව මෙරට සංචාරයකට පැමිණි දෙමව්පියෝ නුවර බලා යන බස් රථයක දී ඔවුන්ගේ ගමන් මළු අමතක කර අතර මග දී බසයෙන් බැස ඇත. ස්වල්ප දුරක් ඇවිද යන විට වටිනාම දේ අඩංගු බෑග් තමන් සතුව නැති බව වැටහී තිබේ. වෙනත් වාහනයක නැගී බස් රිය හඹා යන්නට උත්සාහ කරන අවස්ථාවේ දී එම බස් රියෙන් බැස ගත් තරුණන් දෙදෙනෙකු වහා පැමිණ එම බෑග් ආපසු ලබාදී ඇත. විදේශික යුවල ගමන් මළු වලින් කොටසක් අමතක කර බැස ගිය බව එම දෙදෙනා නිරීක්ෂණය කර ඇති බව පෙනේ. ගමන් බලපත‍්‍ර හා විදේශ මුදල් සහිත එම ගමන් මළු අහිමි වූවා නම් දෙමාපියන් මුහුණ දෙන අසරණ තත්ත්වය විග‍්‍රහ කරන තරුණිය කියන පරිදි මෙම ගමන් මළු සොයා දුන් තරුණන් වෙනත් බසයක නැගී ආපසු ඔවුන්ගේ ගමන ගොස් ඇති අතර කිසිම මුදලක් හෝ තෑග්ගක් ප‍්‍රතික්ෂේප කර තිබේ. විදේශිකයෙකු ගේ යමක් ‘සුද්ධකරන’ ආකල්ප මෙරට සමහර දෙනෙකුට ඇති බව රහසක් නොවේ. අතරමග දී අහම්බෙන් ලැබෙන යමක් බෙදා ගැනීම හැර කෙසේ හෝ අයිතිකරු සොයා බාරදෙන අදහසක් ඇතිව හැසිරෙන අය විරලය. එවැනි දෘෂ්ඨි කෝණයකින් බලන විට මෙම තරුණන්ගේ ආදර්ශය ඉතාම වැදගත්ය.

ශී‍්‍ර ලංකාව ගැන අමිහිරි සිද්ධි වාර්තා වන සෑහෙන වාර ගණනක් අතරවාරයේ ආදර්ශයට ගත යුතු යහපත් අවස්ථා සුළු ප‍්‍රමාණයක් මෑත භාගය තුළ අනාවරණයවූ බව සඳහන් කළ යුතුය. ජාත්‍යන්තර සමාජයෙන් පැසසුම් ලබන මෙම සිද්ධිය ඒ අතර වටිනාකමක් ඇති එකකි. අඩුම තරමින් මෙම තරුණන්ගේ නම, ගම වැනි පසුබිම පවා අනාවරණය නොවේ. නිහඩව යුතුකම ඉටු කළ මෙම දෙදෙනාට නොයෙක් පැති වලින් තුති පැසසුම් ලැබෙමින් තිබේ.

ආදර්ශයට ගත යුතු මෙවැනි වටිනාකම් ලැබෙන්නේ කොතැනින්ද? අවධානය යොමු කළ යුතු වැදගත්ම කාරණය එයයි. පවුල් පසුබිම අනුව දෙමාපියන්ගෙන්ද? නොඑසේනම් ජීවත්වන වන සමාජ වටපිටාවෙන්ද? පාසල, දහම් පාසලේ ගුරුවරුන්ගෙන් ද? සියළු වැසියන් තුළ මනුෂ්‍යත්වය තිබේ. හොඳ නරක, ගුණ දහම් හදුනයි. අනුකම්පාව හා පරිත්‍යාගශීලීත්වය හදවත් තුළ ඇත. නමුත් කිසියම් අභාග්‍ය සම්පන්න හේතුවක් නිසා වත්මන් සමාජය තුළ හොඳ සිරිත් යටපත්ව නරක, මිලේච්ඡ ගති වැඩි ප‍්‍රතිශතයකින් මතු වී තිබේ. ප‍්‍රචණ්ඩත්වයට නැඹුරු වී ඇති බව පැහැදිලිව පෙනේ.

ජන සමාජය යහපත් තැනක් කිරීමට නම් පුරවැසියන් තුළ වටිනාකම් ඇති කළ යුතුය. අධ්‍යාපනය මගින් පමණක් යහපත් සිතිවිලි ඇති කළ හැකිද? අද පවතින නිදහස් අධ්‍යාපන ක‍්‍රමය අතිශය තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ තිබේ. අධ්‍යාපනය ලබන දරුවන් තරගකාරී වටපිටාවකට යොමු කර ඇති අතර ආත්මාර්ථකාමී බව පාසල් වියේ සිටම බලපැවැත්වෙන බව පැහැදිලිය. රටක් ගොඩනගන්නට නම් කැපවීමක් ඇති අනුන් ගැන සිතන පරපුරක් බිහි කළ යුතුය. අධ්‍යාපනයට පමණක් කළ හැකි දෙයක්ද? යුද්ධය, ධන හෝ බලලෝභීත්වය නිසා විකෘති වී ඇති තැන් යළි පිලිසකර කරගැනීම අවශ්‍යය. ක්ෂණයකින් කළ හැකි පරිවර්තනයක් නොවේ. කාලයක් ගතවන දීර්ඝ වෙහෙසකර කටයුත්තකි. අද පවතින සමාජ රාමුව තුළ මතුවී තිබෙන ප‍්‍රතික්ෂේප කළ යුතු අසෝබන ලක්ෂණ දුරු කරන්නේ කෙසේද? ගැටළුව එයයි.

අධ්‍යාපනයෙන් පමණක් යහපත් මනුෂ්‍යයෙකු බිහි කළ නොහැකිය. වෘත්තීය පුහුණුව, විද්‍යා, කලා සහ වානිජ ශිල්ප ගැන දැනුම පාසලක ඉගැන්විය හැකිය. පාසල් අධ්‍යාපනයට විකල්ප වශයෙන් අන්තර් ජාලයෙන් ද ඉගෙනගැනීම කළ හැකි මටට්මට තාක්ෂණික දියුණුවක් ලබා තිබේ. අවබෝධය හා ඒ වෙනුවෙන් වියදම් කරන්නට මුදල් ඇති සමාජයට අධ්‍යාපනය ලැබීම බරපතල අපහසු කාරණයක් නොවේ. මෙරට නැති අවස්ථා ලෝකයේ වෙනත් රටකින් ලබා ගත හැකි අතර අවශ්‍ය නම් අධ්‍යාපනය දුරස්ථව ලබා ගැනීමට ද බාධාවක් නැත. අධ්‍යාපනය නැංවීම අරමුණු කරගෙන රට තුළ විශාල සාකච්ඡා පවතී. අධ්‍යාපනයේ අයිතිය ගැන සටන් කරන ප‍්‍රජාව තුළ පවා සමාජ වටිනාකම් ඇති කිරීමට සඳහා කරන බල කිරීම ඉතාම සුළු එකකි. ඉගෙන ගැනීමට කලින් සමාජය ගරුකරන පිරිපුන් දරුවෙකු තනන්නට අවශ්‍යය. රටට ආඩම්බරයක් විය හැකි සිරිමත් දරුවන් තැනෙන පසුබිම කුමක්ද? එවැනි දරුවන් තනන ව්‍යායාමය පහසු එකක් ද? බස් රියක දී අතපසු වූ බෑග් සොයා දීමෙන් තරුණන් දෙදෙනෙකු කරන ලද යහපත් ක‍්‍රියාව පදනම් කරගෙන ආරම්භ කළ යුතු සංවාදය එයයි.

මෙහි දී අවධානයට ගත යුතු තවත් පැත්තක් තිබේ. අප විශ්වාස කරන පරිදි සමාජයේ බහුතර පිරිසක් නරක පුද්ගලයෝ නොවෙති. යහපත් සිද්ධි අප‍්‍රමාණව නිති පතා සිදුවෙමින් තිබේ. ඒවාට සමාජයේ ලැබෙන පිලිගැනීමට වඩා නරක දුෂ්චරිත හෙලා දකින තොරතුරු වාර්තා වෙමින් තිබේ. කොල්ලකෑම්, මරාගැනීම්, දුෂණ හෝ වංචා ගැන තොරතුරු බහුලය. ජනමාධ්‍ය මගින් ඒවා ගැන වාර්තා නිතිපතා විසුරුවා හරින අතර ප‍්‍රතික්ෂේප කළ යුතු දේ වඩා විස්තරාත්මකව වාර්තා කරන්නේ ඒවා ආදර්ශයට ගැනීමට දැයි ප‍්‍රශ්නයක් තිබේ. නිතිපතා වාර්තාවන තොරතුරු අනුව ශ‍්‍රී ලංකාව පාතාලයේ අගනුවරදැයි හිතන්නට බැරිකමක් නැත. වාර්තාකරණය මගින් පණිවුඩයක් නිකුත් කරන්නට මාධ්‍ය බලාපොරොත්තු වන නමුත් එකී අරමුණ සාක්ෂාත් කරගත හැකිවී තිබේදැයි විමසා බැලිය යුතුය.

ශ‍්‍රී ලංකාව ගැන ආඩම්බරයක්, වටිනාකමක් ඇති කරන්නේ කෙසේද? ආගමික නායකයන්, ජනමතධාරීන්, සමාජ නායකයන් සහ විශේෂයෙන් රාජ්‍ය පාලකයන් අවධානය යොමු කළ යුතු කාරණයකි. බාල වියේ සිට දරුවන්ට යුතු අයුතුකම් ගැන අවබෝධයක් ඇති කළ යුතුය. ජීවත්වන වටපිටාව නොසලකා යුක්තිය හා සාධාරණත්වය ගැන හිතන පසුබිම දරුවන් තුළ නිර්මාණය කළ යුතුය. යහපත් දේ කරන සහ සමාජ වටිනාකම් අනුව ජීවත්වන චරිත වලට නිසි ඇගයීමක් අවශ්‍යය. රට වෙනස් කරන්නට නම් අද ඉල්ලා සිටින්නේ එයයි.