» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
01/04/2018 - ඉරිදා ලංකාදීප
අමතකවීමේ රෝගයෙන් පෙලෙන්නන් රැකබලාගන්නා රටක්

අසාමාන්‍ය ආකාරයට මතකය අමතකවීම බරපතල රෝගයකි. බැලූ බැල්මට රෝගයක් ඇති බවක් නොපෙනේ. සාමාන්‍ය සේ කතා බහ කරයි. එදිනෙදා වැඩ කරන්නට පුලූවන්කමක් ඇත. කායික දුබලතාවයක් නැත. නමුත් කතාබහ කරන හැසිරෙන අන්දම අනුව මෙම රෝගය වැළදුන පුද්ගලයන්ට අමුතුම ව්‍යාධියක් ඇත. එය මානසික ප‍්‍රශ්නයකි. සමහරවිට මෑත කාලය ගැන කිසිම මතකයක් නැත. අතීතයේ ගත කළ ජීවිතය ගැන හොඳට මතක තිබේ. ඩිමෙන්ෂියාව සේ මෙම රෝගය හැඳින්වෙයි. සාමාන්‍ය සේ ජීවිතය ගත කරමින් සිටින ඩිමෙන්ෂියා රෝගීහු ක්ෂණයකින් වෙනස් වෙයි. මතකය සහමුලින්ම පහවූ අය සිටිති. තුෂ්නිම්භූත ස්වභාවයට ලක් වූ අය වශයෙන් හැසිරෙන අයද රෝගීන් අතරින් හදුනාගෙන ඇත. අල්සයිමාරර් යනු එවැනි තවත් ලෝකයේ පැතිරෙමින් පවතින මෑතකදී හදුනාගත් රෝගයක් වන අතර විශේෂයෙන් ඕනෑම වයසක කෙනෙකුට එය වැළදිය හැකිය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙම රෝග මහජන සෞඛ්‍ය ක්ෂේත‍්‍රයෙහි අවධානයට ගත යුතු වැදගත් අංශයක් සේ හදුනාගෙන තිබේ. රෝගය ගැන පමණක් නොව සමාජයේ සෙසු අය රෝගීන් ගැන දක්වන අවධානය පුළුල් විය යුතු බව එම සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. එයට අනුව මතකය ගිලිහී යාම සහ ඒ ඇසුරෙන් සාමාන්‍ය හැසිරීම වෙනස් වූ ජනයා මිලියන 35.6 ක් අද වන විට ලෝකය පුරා ජීවත් වෙති. වසර 2030 වන විට මෙම ප‍්‍රමාණය දෙගුණ වන අතර 2050 වන විට තෙගුණ විය හැකි බව ද මෙම වාර්තාව පෙන්වා දෙයි. රෝගය ගැන දක්වන නොසැලකිල්ල, පවුල්වල ප‍්‍රශ්න ඇති කර ඇති අතර සමස්ථයක් වශයෙන් රටක ආර්ථික සහ සමාජ තත්ත්වයන්ට බාධා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව අනාවරණය කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ ස්වභාවය නිරීක්ෂණය කරන විට අමතකවීමේ රෝගයක් ඇති බව පිලිගත හැකි සාධක තිබේ. දේශපාලනඥයන් බහුලව එයට ගොදුරු වී ඇති යැයි උපහාසයෙන් දක්වන නමුත් සමාජයේ සෑම තරාතිරමකම ජීවත්වන පිරිස අතරින් සැලකිය යුතු ප‍්‍රමාණයක් ඩිමෙන්ෂියාවට ගොදුරු වී සිටිති.

ඩිමෙන්ෂියාව වැළඳී ඇති රෝගීන් සඳහා පමණක් වෙන් වූ ලෝකයේ පළමු ගම්මානය නෙදර්ලන්තයේ ඇම්ස්ටඩෑම් හි දී පවත්වාගෙන යයි. රෝගීව අසරණ වූ තම ජන කොටසක් රැකබලා ගැනීම සඳහා නෙදර්ලන්තය දක්වන කැපවීම මෙයින් තේරුම් ගත යුතුය.

නෙදර්ලන්තය යහපත් ආර්ථික සහ සමාජ පසුබිමක් සහිත රටකි. ජීවත්වීමට සුදුසුම නගර අතරින් ඇමැස්ටඩෑම් වෙත දෙවන ස්ථානය ලැබී තිබේ. ලෝකයේ ප‍්‍රබල සමාගම් ගණනාවක් සිය මූලස්ථානය බවට පත් කරගෙන ඇති ඇමස්ටඩෑම් ප‍්‍රබල මූළ්‍ය හා වෙළඳ නගරයක් සේ සැලකෙයි. ටෙස්ලා, නෙට්ෆ්ලික්ස් සහ ඌබර් වැනි නූතන යුගයේ තොරතුරු තාක්ෂණයේ ප‍්‍රතිඵලයක් වශයෙන් බිහිවූ සමාගම් වල ද මූලස්ථානය එහි පිහිටා තිබේ. ආර්ථික වශයෙන් සවිමත් වූ නෙදර්ලන්තය අමතකවීමේ රෝගය වැළඳී ඇති තම ගේ පුරවැසියන් රැක බලා ගැනීමට ඉතාම සුදුසු වැඩ පිලිවෙලක් සකස් කර තිබේ. ඩිමෙන්ෂියා නගරය නිර්මාණය වෙන්නේ ඒ අනුවය.

පසුගිය වසරේ තොරතුරු වලට අනුව ඩිමෙන්ෂියා රෝගීහු දෙසිය ගණනක් එහි ජීවත් වෙති. නෙදර්ලන්ත රජය රෝගීන්ගේ මානසික තත්ත්වය හදුනාගෙන ඒ වෙනුවෙන් පරෙස්සමෙන් ක‍්‍රියාකර ඇති ආකාරය පැසසුම් කටයුතුය. රෝගී වූවෝ හොද සත්කාරක පහසුකම් සහිතව බලා ගන්නා අතර ඥාති හිතවතුන් අසල්වැසියන් පැමිණ කිසිම වෙනස්කමක් නොදක්වා කතා බහ කර දවස ගත කරන්නට ද ඉඩ කඩ සලසා ඇත.

එහි ජීවත්වන අයෙකු සාමිචියේ යෙදෙන විට ‘‘අනේ මම මේ බඩු වගයක් ගන්නට ඇවිත් දැන් පැය ගණනක් වෙනවා’’ යනුවෙන් සඳහන් කරනු ඇති නමුත් හෙතෙම එම ගම්මානයට පැමිණ වසර ගණනක් ගතව ඇති බව ඔහු දන්නේ නැත. අමතක වූ තව අයෙකු හොඳට හැඳ පැළඳ වැඩට යන්නට පැමිණෙයි. බස් නැවතුම් පොලට ගොස් පැය ගණනක් බලා සිට ආපසු එන්නේ ප‍්‍රවාහන පද්ධතියටම දොස් කියමින්ය. එම තැනැත්තාට රස්සාවට යෑමට අවස්ථාවක් නැති අතර එම බස් නැවතුම් පොල කෘතීමව සකස් කරන ලද එකකි. කාන්තාවෝ හොදට සූදානම් වී සාප්පු සංචාරයෙහි නිරත වෙති. සුපිරි වෙළඳ සැල් ආකෘති එම ගම්මානයේ තනා තිබේ. හැබෑ කාසි පමණක් නොව ව්‍යාජ කාසි වලින් ද ගණු දෙනු කළ හැකි අතර අවශ්‍ය දේවල් තෝරා ගන්නා නේවාසිකයෝ සාමාන්‍යයෙන් ඒවා මිලදී ගෙන තමන්ගේ කාමරයට ගෙන යනවා පමණක් නොව සමහර දෙනෙක් ඒවා අතරමග දී අමතක කරන්නේ කිසිම දෙයක් නොදන්නා අන්දමටය. මෙම ඩිමෙන්ෂියා රෝගීන් ගේ ආරක්ෂාවට ඉන්නා සාත්තු සේවක සේවිකාවෝ ඒවා ඉවසති. රෝගීන් ගේ මානසික මටට්මට බාධාවක් නොවන සේ අවස්ථාවෝචිතව හිසිරෙන බව මෙම ගම්මානය ගැන අනාවරණය කර තොරතුරු දක්වයි. සමහර රෝගීන් කාලගුණය ගැන දීර්ඝ විවේචන කරන අතර සෑහෙන කාලයකට කලින් නරඹන ලද ටෙලි නාට්‍යයක් හෝ කියවන ලද පුවත්පතක කොටසක් ගැන සිය අර්ථකථනය දක්වන්නේ හැබෑවටම කිසිම දෙයක් ගැන නොදැනය.

ඩිමෙන්ෂියා ගම සාමාන්‍ය වශයෙන් සියළු අංගෝපාංග වලින් සමන්විතව සකස් කර ඇත. ඩිමෙන්ෂියා රෝගීන්ට ප‍්‍රතිකාර ද සිදු කෙරේ. සාමාන්‍යයෙන් වසරකට දෙදහසක පමණ පිරිසක් මෙම ගමට පැමිණ රෝගීන් සමග කතාබහ කර ඔවුහු සනසා පිටත්ව යන බව දැක්වෙයි. එරට රක්ෂණ සමාගම් මෙම රෝගීන්ගේ පිරිවැයෙන් හරි අඩක් පියවයි. කොටසක් රෝගීන්ගේ පවුල් වලින් ද ලැබෙන අතර නෙදර්ලන්තයේ ධනවත් පරිත්‍යාශීලීහු ද එයට ආධාර කරන බව දැක්වෙයි. ලෝකය පුරා ඩිමෙන්ෂියාව පැතිරෙන හෙයින් ජාත්‍යන්තර ප‍්‍රජාව ද මෙම නගරය ගැන විශාල විමර්ෂණයක් කරන බව වාර්තා වෙයි. කැනඩාව ලබන වසර වන විට මෙයට හා සමාන නගරයක් ඉදි කරන්නට සැලසුම් කර තිබේ. ජර්මනිය ද එය ගැන උනන්දුවක් දක්වා ඇත.

අමතකවීමේ රෝගය නිසා රට තුළ අසරණව දුඛිත ජීවිත ගතකරන්නට නියමව සිටි පිරිසක් හොඳ ජීවිතයකට හරවන්නට ස්විට්සරලන්තය සමත්ව සිටී. එම කාර්යය වෙනුවෙන් වෙන් කරන්නට සෑහෙන ධනයක් එරට තිබේ. සමාජය ඒ වෙනුවෙන් කැපවීමක් කරයි.

ශ‍්‍රී ලංකාව දීර්ඝ කාලයක් යුද්ධයක පැටලී සිටි රටකි. මානසික ව්‍යාධි වලින් පෙලෙන ජනගහනය වැඩි බව මෙරට වාර්තා පෙන්වයි. සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා ආබාධිත අය බහුලය. යම් යම් ආකාරයකට මෙම පිරිස් වෙනුවෙන් ප‍්‍රතිකාර හා රැකවරණ ඇති බව පිලිගත යුතුය. නමුත් ඒවා උසස් සමාජ මටට්මකට කැදවීම අවශ්‍යය. අසරණයන් වෙනුවෙන් වැඩ පිලිවෙලක් ඇති කිරීම වැනි ආකල්ප වලින් දුරස්කරන වගකීමක් අප සියළු දෙනාටම තිබේ. වකුගඩු, පිලිකා, දියවැඩියාව වැනි රෝග තත්ත්ව වලින් පෙලෙන රෝගීන් සෑහෙන ප‍්‍රතිශතයක් මෙරට ජීවත් වෙති. මෙම ජන කොටස් ජීවත්වීම සදහා දරන ප‍්‍රයත්නය සැලකිල්ලට ගත යුතුය. රෝගීන් කෙරෙහි අනුකම්පා කර ඔවුන් සමාජයෙන් යැපෙන කොටසක් නොව සමාජයේම කොටසක් සේ ජීවත්කරන්නට අවශ්‍යය. රෝගීන් හෝ ඔවුන්ගේ පවුල් වලට කිසියම් ආධාරයක් පිරිනමා වගකීම ඉටු කළා යැයි තෘප්තිමත් විය හැකිද? ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික පසුබිම අනුව වඩා වැඩි දියුණු රැකවරණයක් වෙනුවෙන් කැපවීම අපහසු බව පිලිගත හැකිය. නමුත් රට දියුණු වන විට, ආකල්ප වලින් පෝෂණය වන විට ලෝකයේ තැනින්තැන සිදුවන වඩා වැදගත් සමාජ කර්තව්‍යයන් ගැන අවධානය යොමු කිරීම අවශ්‍යය.