» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
01/03/2020 - ඉරිදා ලංකාදීප
කෙන්යාවේ අපූරු අධිකරණ තීන්දු ගැන පවතින විවේචනය

ප‍්‍රසිද්ධ රාත‍්‍රී සමාජ ශාලාවක හටගත් ගැටුමක් වෙඩි තැබීමකින් කෙළවර වී ඇත. සාමාන්‍යයෙන් සිදුවන පරිදි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු එයට මුල් වී තිබේ. මාධ්‍ය එය වාර්තා කරයි. වෙඩි තැබීමෙන් තුවාල ලබන සමාජ ශාලවේ ඞීජේ සංගීත ශිල්පියා වහා රෝහල් ගත කරන අතර ඔහුගේ ගේ ජීවිතය අනූනමයෙන් ගැලවී ඇති බව තවදුරටත් සදහන්ය. අත් අඩංගුවට ගන්නා මන්ත‍්‍රීවරයා දින දහයකට බන්ධනාගාරගත කරන අතර පසුව ඇප පිට නිදහස් කෙරේ. ඉතාම කෙටි නඩු විභාගයකට පසු මන්තී‍්‍රවරයා නිදහස ලබයි. විවෘත අධිකරණයේ එම තීන්දුව ප‍්‍රකාශයට පත්කරන විනිසුරුවරයා දින දහයක් බන්ධනාගාරගතව සිටීම දඩුවම වශයෙන් ප‍්‍රමාණවත් බව කියා සිටී. සංගීත ශිල්පියාගේ රෝහල් බිල මන්ත‍්‍රිවරයා ගෙවිය යුතු යැයි නියම වන නමුත් එය කෙරෙහි අවනත වූ බවක් අනාවරණය නොවේ.

වරදවා වටහා ගත යුතු නැත. මෙම සිද්ධිය වාර්තා වෙන්නේ කෙන්යාවෙන්ය. ශ‍්‍රී ලංකාවේ නොවේ. මෙරට අධිකරණ සිදුවීමකට කිසිසේත් සම්බන්ධ කරගත යුතු නැත.

ලෝකයේ සෑහෙන රටවල් ප‍්‍රමාණයක අධිකරණ ක‍්‍රමය ගැන විවේචන තිබේ. කෙන්යාව ද ඇතුලත්ය. අධිකරණ තීන්දු ගැන ගැටළු මතු වී ඇත. විනිශ්චයක් අවසානයේ දී යුක්තිය හා සාධාරණත්වය ඉශ්ඨ නොවන බව ප‍්‍රකාශවෙයි. මේවා විවෘතව සාකච්ඡා කළ යුතුය. පොදු ජනතාව තමන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන්නේ අධිකරණයටය. ඉතාම බැගෑපත්ව පිලිසරණක් සොයන ජනී ජනයා අතරින් බහුතරයක් අතෘප්තියට පත්වෙති.

නැගෙනහිර අප‍්‍රිකානු රටක් වන කෙන්යාව විශාලත්වය අතින් ලෝකයේ හතලිස් අට වැනි තැන ගෙන තිබේ. මිලියන හතලිස් හතකට වැඩි ජනගහනයක් එරට ජීවත් වෙති. කෙන්යානු ඉතිහාසයට අනුව වසර මිලියන විස්සක් දක්වා ඈත කාලයේ පවා ජනාවාස තිබුණ බවට සාක්ෂි ඇත. විවිධ කණ්ඩායම් එරට යටත් කරගෙන සිටියේය. අවසානයේ දී බි‍්‍රතාන්‍යයට යටත්ව තිබුණ එරට ජන කණ්ඩායම් නිදහස පතා සටන් කර තිබේ.

විශේෂයෙන් කෙන්යාවේ දුම්රිය මාර්ග ඉදිකිරීමට එරෙහිව පැවැති සටන් ගැන වාර්තා බහුලව ඇත. නිදහස ලැබූ පසු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයකට ඇතුළු වී සිටින අතර රෝම ලන්දේසි නිතිය ක‍්‍රියාත්මකය.

අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා ස්වදේශිකයන් ගේ පාලනය ක‍්‍රියාත්මකව වසර පනස් හයකි. මෙම කාලය තුළ ජනී ජනයා අනන්‍ය පාලක ක‍්‍රමයක් ගැන සිහින මවා තිබේ. ජනතා ඡන්දයෙන් බලයට එන බලවත්හු නීතිය තමන්ගේ පැත්තට නමාගෙන තිබේ. සමාජ ශාලාවේ සිද්ධිය එයින් එකක් පමණකි. මෙම සිද්ධියට මුල් වූ දේශපාලනඥයා අලූයම තෙක් එහි ගතකර ඇත. බහින්බස්වීම කෙළවර ගිනි අවිය ගෙන සංගීත ශිල්පියාට වෙඩිතබා ඇති අතර අහිංසක පුද්ගලයා රෝහල් ගත කරන අයුරු සී.සී. කැමරාවල සදහන්ය. වෙනත් සාක්ෂි අවශ්‍ය නැත. නමුත් ඒවා පැත්තකට කෙරේ. ඝාතන තැත යටපත් වන අතර දින දහයක රිමාන්ඞ්ගත කිරීමෙන් සිද්ධිය අවසන්ය.

දීර්ඝ කාලයක් තිස්සේ නඩු විභාග කිරීම කෙන්යාවේ සිරිත වී තිබේ. අධිකරණයේ අනුග‍්‍රහය ඇති බව පෙනේ. දිග දිනවකවානු සලකා නඩු කල්තබයි. චෝදනාවලට ලක්වන බලවතුන් ගැන මාධ්‍ය මගින් හෙළිකරන විට රිමාන්ඞ් කරයි. පසුව ඇප ලැබේ. එරට හිටපු බලශක්ති ඇමැතිවරයා හා විදුලිය උපයෝගීතා ඇමැතිවරයෙකු බරපතල දූෂණ චෝදනා වලට ලක් වී තිබේ. වසර නමයක් තිස්සේ මෙම නඩු විභාගවෙයි. කෙන්යා ජනාධිපති ‘උහුරු කෙන්යාටා’ මෙම ක‍්‍රමය වෙනස් කරන්නට උත්සාහ කරන බව පෙනේ. නීතිය බලගන්වන බව එකහෙලා කියා සිටී. හෙතෙම දූෂිත විනිසුරුවන්ට විරුද්ධව මතයක් ද ඇති කර තිබේ. නමුත් නීතිඥයන් දක්වන පරිදි නඩු පවරන නීති අංශ ද මේවාට වගකිව යුතුය. නඩු චෝදනා අවුල් කරන අතර නීති වගන්ති පහසුවෙන් පැත්තකට කළ හැකි පරිදි දක්වයි. මෙවැනි සූක්ෂම ක‍්‍රම නඩුවක් ගෙන යා නොහැකි සේ බිද පැත්තකට කරන්නට ප‍්‍රමාණවත්ය. මේවා ඉතා සහයෝගයෙන් සිදුවන බවට ප‍්‍රමාණවත් තොරතුරු තිබේ. එහෙත් කිසිවක් කරකියා ගන්නට පුලූවන්කමක් නැත. පසුගිය වසරේ දී කෙන්යානු මුදල් අමාත්‍යවරයා හා නයිරෝබි නගරාධිපතිවරයාට එරෙහිව මහජන මතය බලවත්ව නැගී ආවේය. මහා දූෂිතයන් බවට කියැවිණ. ජන මතය එන විට දෙදෙනා අත් අඩංගුවට ගත් නමුත් අධිකරණයේ දී ඔවුහු කියා සිටියේ තමන් ඉතාමත් නිර්දෝෂී අහිංසකයන් බවය. එම සිද්ධි හුදෙක් මවාපෑමක අවසානයක් ගත් අතර ප‍්‍රබල චෝදනා ලැබූ දූෂිත දේශපාලනඥයන්ගේ මඩ හා දූවිලි පිස පිරිසිදු කිරීම අධිකරණයට භාර කටයුත්තක් බවට පත්ව ඇති වග ජනතාව කියා සිටිති.

දේශපාලනඥයන් පමණක් නොව ඔවුන්ගේ හිතවතුන්ට ද නීතිය බලගැන්වෙන්නේ නැත. සමාජ ක‍්‍රියාකාරිණියක දුරකතන ඇමැතුමක් ගනිමින් රිය පදවන අවස්ථාවක පොලිස් නිලධාරියෙකු නතර කර තිබේ. ඇය නිලධාරියා වාහනයට නංවා ගෙන ඇති අතර පසුව චෝදනා එල්ල වූයේ පොලිස් නිලධාරියාටය. හෙතෙම වාහනය නතර කර එයට නැග අල්ලසක් ඉල්ලා ඇතැයි චෝදනා ගොනු විය.

අධිකරණය ජනතාවගේ පැත්ත ගත යුතුය. යුක්තිය හා සාධාරණත්වය තහවුරු කළ යුතුය. අසාධාරණය හමුවේ ජනතාවට අනෙක් සරණක් නැත. නමුත් ලෝකයේ සෑම රටකම පාහේ සිදුවන්නේ අනෙකකි. නීතිය ගැන ගැටළු තිබේ. අධිකරණ ක‍්‍රමය ගැන ප‍්‍රශ්න ඇත. යුක්තිය සොයා යන ගමන වෙනුවෙන් වැය කරන කාලය හා ධනය බරපතලම තත්ත්වය බව ස්වාධීන නිරීක්ෂකයන්ගේ අදහසයි.

ශ‍්‍රී ලංකාවේ පවා අධිකරණය ගැන ජනතා සැකය මතුවී ඇත. සාමාන්‍ය සිද්ධි වල දී අකුරටම ක‍්‍රියාවට නගන නීති වගන්ති බලය ඇති පාර්ශව හමුවේ දුර්වල වන බව ප‍්‍රකටය. නීතිය ගැන ජනතාවට විශ්වාසයක් නැත. නීතිය පලක් නැති බව හිතන බව පෙනේ. සාමාන්‍ය ජනතාව අසාධාරණයක දී නඩු යන්නේ නැත. නඩුවක් දැමීම තමන් කරගන්නා විපතක් බව සිතන තැනට පත්ව තිබේ. අධිකරණයෙහි ගොඩ ගැසී ඇති නඩු ප‍්‍රමාණය විශාල බව දැක්වේ. නීති තර්ක හා නීතිඥවරුන්ගේ විලාසය හෙයින් දිගින් දිගටම නඩු වාර ගණන කල් යන අතර එයට විශාල මුදලක් වැය වෙයි. පැමිණිල්ල හෙම්බත්වන අතර සාධාරණ සැකයෙකින් තොරව ඔප්පු කරන තෙක් විත්තිය නිදැල්ලේ සිටී.

සාමාන්‍ය සිද්ධි කෙසේ වෙතත් වංචා හා දූෂණ නඩු ගැන ජනතාව කෙරෙහි විශ්වාසයක් නැත. අති විශාල දූෂිතයන් ගැන සදහන් කරන නමුත් අවසානයේ දී නිදොස් කොට නිදහස්ය. මාධ්‍ය මගින් මවන චිත‍්‍රය අධිකරණයේ දී වෙනත් පැත්තකට හැරේ. අධිකරණ ක‍්‍රමය හා එයින් යුක්තිය පසිදලන ස්වභාවය ගැන ජනතාව තුළ විශ්වාසය තහවුරු කළ යුතුය. එය කරන්නේ කෙසේ ද යන්න ගැන තීරණ ගැනීම පාලකයන්ගේ වගකීමකි. නීතිය එක කණ්ඩායමකට පමණක් බලපාන බවට අදහසක් තහවුරුවීමට ඉඩ දිය යුතු නැත.