» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
01/01/2017 - ඉරිදා ලංකාදීප
සංහිදියාව ඇති කරන්නේ කෙසේද?

ජපානයේ කියෝතෝ හි චියොන් ඉන් විහාරස්ථානයේ දැවැන්ත ඝාංඨාරය අද මධ්‍යම රාත‍්‍රියේ දී එකසිය අට වතාවක් නාද කෙරේ. අලූත් අවුරුද්දක් එළැඹුන බව නිල වශයෙන් සන්නිවේදනය කරන සංඥාවයි. චියොන් ඉන් විහාරස්ථානයේ ඉතිහාසය වසර 1234 තෙක් ඈතට විහිදෙයි. මෙම ස්ථානයේ දැවැන්ත ඝාංඨාරය ස්ථාපිත කරන්නේ එයින් වසර හාරසියයකට පසුවය. අද මධ්‍යම රාත‍්‍රිය එළැඹෙන්නට සෑහෙන වෙලාවකසිට එහි ඝාංඨාව නාද කෙරේ. එකසිය හත්වතාවක් පරණ අවුරුද්දේ දී නාද කරන අතර අන්තිම නාදය එනම් එකසිය අටවැන්න නාද වෙන්නේ හරියටම අලූත් අවුරුද්ද උදා වූ වේලාවටය.

මෙම ඝාංඨාරය සාමාන්‍ය එකක් නොවේ. එහි බර ටොන් හැත්තෑ හයක් බව දැක්වෙයි. අති විශාල මෙම ඝාංඨාරය නාදකරන්නට විසි හය දෙනෙකු අවශ්‍යය. ස්වාමීන් වහන්සේලා විසි හයදෙනෙකු එහි නිරත වෙයි. එය වෙලාවට, රිද්මයට නාද කරනු සඳහා මෙම හිමිවරු සති ගණනක් එහි ලා අභ්‍යාසයෙහි නිරත වෙති. මන්ද නිසි කාල ගණනයක් නොවුන හොත් එය හරියටම අන්තිම වාරය අලූත් අවුරුද්දට හඞ නැගෙන්නේ නැත. ජපානයේ එන්.එච්.කේ. රූපවාහිනිය මෙම අපූරු වතාවත නිල වශයෙන් විකාශය කරයි. වැදගත් වෙන්නේ මෙම ඝාංඨාරයේ බර, එය හැදු ප‍්‍රධානියාගේ වතගොත නොවේ. හරියටම එම නාද අනුකරණය කරමින් ජපානයේ සියළුම විහාරස්ථාන වල ඝාංඨාරය නාද වෙයි. එය විස්මිත, ආවේනික ප‍්‍රතිපත්තියකි.

පන්සලක ඝාංඨාරක් නාද කිරීම ජාත්‍යන්තර අවධානයට ලක් වෙන්නේ නැත. නමුත් හරිටම අකුරට, මුළු ජපානයම එකම හඞකට අවනතව එක රට පුරා ඝංඨා හඩින් නාද වනු දකින ජගත් ප‍්‍රජාව එය තුළ ගැබ්ව ඇති අනන්‍ය ලක්ෂණය හªනාගන්නට උත්සාහ කරති. ඉතාම වැදගත් කාරණය එයයි. රටක පවතින සමගියට එය උදාහරණයකි. සමාජ සංහිදියාව වශයෙන් හªනාගත යුතු මෙවැනි කුඩා, නමුත් ඉතාමත් ගරු කටයුතු සිද්ධි බව සඳහන් කරන්නට අවශ්‍යය.

ජපානය, චීනය, ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල අලූත් අවුරුද්ද උදා වෙන්නේ අස්වැන්න නෙලා ගෙන සශී‍්‍රකත්වය සංකේතවත් කරමින්ය. ජපානය ද ඔවුන්ගේ සම්ප‍්‍රදායික කැලැන්ඩරය බටහිර දින දර්ශනයට අනුව වෙනස් කළේය. බක් මාසයේ සිංහල අවුරුද්ද උදාවෙන බව තිබිය දී ජනවාරියේ අවුරුද්ද ආරම්භ කරන අන්දමටය. නමුත් සංස්කෘතික අනන්‍යතාව වෙනස් කරගෙන නැත. ජපානයේ රට වැසි සියළුම දෙනා අවුරුද්ද ආරම්භ කරන්නේ මෙම ඝාංඨාර නාදය අනුව යමින්ය. එකසිය අට බෞද්ධ දර්ශනයට සමීපය. නාදකරන වාර ගණන තීරණය වෙන්නේ එයින්ය. වීදියේ උත්සව, රතිඤ්ඤා, මල්වෙඩි පත්තු කර අවුරුද්ද පිලිගන්නා ජපන් වැසියෝ වරද්දන්නේ නැතිව හරියටම වෙලාවට පන්සලකට පැමිණ මෙම ඝාන්ඨාර නාදය අනුව අවුරුද්ද අලූත් වූ බව පිළිගනිති. එයට මූලාරම්භය දෙන්නේ ජපානයේ කියෝතෝ හි චියොන් ඉන් විහාරස්ථානයේ දැවැන්ත ඝාන්ඨාරයයි.

අපට ද පන්සලේ ඝාන්ඨාරය සමීපය. සිරිපා වන්දනා කරන බැතිමත්හු තමන් ගිය වාර ගණන අනුව ඝාන්ඨාරය නාද කරති. පන්සල එය නාද කරන්නේ ආගමික වතාවත් වලට කලින්ය. කෝවිලේ සීනුව නාද කෙරෙති. පල්ලියේ සීනුව නාද වෙයි. ඉස්ලාම් පල්ලියේ යාඥාව හඞ නැගෙයි. මේවා එකිනෙකට වෙනස් ආගමික වතාවත් සේ සිදුවෙයි. රටක් එකතු කරන්නේ කෙසේද?

ත‍්‍රස්තවාදී යුද ගැටුම් හෙයින් රට බෙදුන බව අද පවතින පිළිගැනීමයි. බෙදීම නතර කර සංහිඳියාව ඇතිකරන්නට විශාල සූදානමක් තිබේ. ජපානයේ ඝංඨාර හඩට මුළු රටම එකතුකරන්නට හැකියාව ලැබී තිබේ. ශ‍්‍රී ලංකාව එකතු කරන සංඥාව කුමක්ද? අලූත් අවුරුද්දට එකම නැකතයක චාරිත‍්‍ර කරන බව ප‍්‍රකාශ වෙයි. නොනගතය, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ අනුභවය යනාදිය මුළු රටම එක වෙලාවට කරන නමුත් එය ලාංකිකත්වය නොවේ. එහි ඇත්තේ සිංහල අවුරුද්දයි. රට එකතු කරන්නට නම් යම් සංකේතයක් අවශ්‍යය. මුළු රටටම පොදු දෙයක් හදුනාගත යුතුය. සංහිදියාව ඇති වෙන්නට එය එක් පියවරකි.

ත‍්‍රස්තවාදය පමණක් නොව රට බෙදන්නට බෙදී වෙන්වෙන්නට ඉතිහාසයක් තිබේ. එය සමහර විට යටත් විජිත කාලය හෝ එයින් ඔබ්බට විහිදිය හැකිය. ස්වදේශිකයන් බෙදා වෙන්කර ඔවුන් පාලනය කිරීම පහසු බව අධිරාජ්‍යවාදීහු තේරුම් ගත්හ. එහෙයින් උඩරට පහතරට, කුලගෝත‍්‍ර වශයෙන් තිබුණ බෙදීම් තවත් උත්සන්න කර සමාජ පැලැන්ති දක්වා වර්ධනය කළෝය. එය තවමත් තව තවත් විකාශය වෙයි. අද ජාතීන් වශයෙන් පමණක් නොව ආගමික වශයෙන් ද බෙදී ඇති රටකි. දේශපාලනය එය ඉතා නරක සහ සංකිර්ණ තැනකට පත් කර ඇත. කුලය, ජීවත්වන ප‍්‍රදේශය, අධ්‍යාපනය ලැබූ පාසල, කතා කරන භාෂාව සහ කරන රැකියාව වශයෙන් ලාංකේය සමාජය බේධ බින්න වී තිබේ. එකමුතු වෙමු, එක ලක්වැසියන් යැයි කියන නමුත් එය වචන වලට සීමා වී තිබේ. මෙම තත්ත්වය වෙනස් කරන්නේ කෙසේද? ජපානයෙන් ඉගෙනගත හැකි යමක් තිබේද?

අලූත් අවුරුද්ද, නිදහස ලැබූ දිනය හෝ වෙනත් දිනයක් තෝරාගෙන එය සංහිදියාවේ දිනයක් බවට පත් කළ නොහැකි මන්ද? අලූත් අවුරුද්ද උත්සවශී‍්‍රයෙන් සමරන්නට සූදානම් වන රටට හිතා බලන්ට වැදගත් කාරණයකි.

නමුත් ගැටළුවක් තිබේ. රටට එක දවසක, එක හොරාවක ඝාංඨාරයක් නාද කරන්නට ප‍්‍රතිපත්ති තීරණයකට එළැඹුනහොත් එය අනුගමනය කළ හැකිද? සංහිඳීයාවේ තරම එයින් තේරුම් ගන්නට පුලූවන්කම ලැබේ. පන්සල පවා එකඟ කරගත නොහැකි වන බව නිසැකය. දේශපාලනඥයන් ගේ මෙහෙයැවීම බලවත්විය හැකි අතර පන්සල පොදුවේ පණිවුඩයක් තේරුම් ගන්නේ නැත. කිතුණු පල්ලිය, කෝවිල හෝ මුස්ලිම් පල්ලිය සම්බන්ධ කරගත හැකිද? ඝාංඨාරයක් එන වෙලාවක එකට නාද කරන්න කියා එකඟවුවහොත් එය විකාශය කරන නාලිකාව කුමක්ද? පන්සල් කීයක් එය වෙලාවට නැවත නාද කරනු ඇත්ද? සෙසු ආගමික ස්ථාන එයට එකඟ වෙන්නට ඉඩ තිබේද? ජපානයේ කියෝතෝ හි චියොන් ඉන් විහාරස්ථානයේ දැවැන්ත ඝාංඨාරයේ නාදය ගැන දන්නා අපට අහන්නට සිදුවී තිබේ. දකුණේ නාද කළහොත් උතුර එයට එකඟවනු ඇත්ද? එක්සත් ජාතික පක්ෂය කියන දේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ නොවෙන්නට බැරි නැත. ඒකාබද්ධ විපක්ෂය වෙනම පුවත් පත් සාකච්ඡාවක් කැදවන්නට ඉඩ තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය අනෙකක් වෙන්නට බැරි නැත. දෙමල, මුස්ලිම් පක්ෂ එය වෙන වෙනම තමන්ගේ පක්ෂ තුලාවෙන් කිරා වෙන්කර සලකා බලනු ඇත. අවසාන වශයෙන් වානිජ සමාජය එයට ද අනුග‍්‍රාහකයන් සොයන්නට බැරි නැත.

අප ජීවත්වන්නේ එවැනි වට පිටාවකය. අති විශාල උනන්දුවකින් සංහිඳීයාව, සමාජ ඒකාබද්ධතාවය ගැන උනන්දු වන වත්මනෙහි අභ්‍යන්තරය එයයි. එය සඳහන් කරන්නේ පටු අන්තවාදී අදහසකින් නොවේ. පවතින තත්ත්වය ගැන සියුම් ගවේශනයකින් ඉනික්බිතිවය. රට එකතු කරන්නට නම් පොදු වැඩ පිලිවෙලක් අවශ්‍යය. බෙදීම් නතර කර එකතු විය යුතුය. එකමුතුව එහි ලා එකම වැඩ පිලිවෙලයි. රට එකමුතු කළොත් පවතින බෙදීම් අවසන්ව ශ‍්‍රී ලාංකික අනන්‍යතාවයක් බිහිවෙයි. එය විශාල අභියෝගාත්මක කාර්යයකි. අද විශාල යාන්ත‍්‍රණයක් බව නිරීක්ෂණය කළ හැකි සංහිඳීයාව, සම්මුතිය, පොදු එකඟතාව වෙනුවෙන් අලූත් තීරණයක් ගැනීමට කාලය එළැඹ තිබේ. අප සියළු දෙනාගේ අනන්‍යතාව විදහා දක්වන එක ගුණයකට පොදුවේ එකඟ විය යුතුය. එක ඝාංඨාරයක් හඞ නැගෙන්නේ කවදාද? එකම ස්වරයක් ඇහෙන්නේ කොතැනකද? අපේක්ෂා කරන සංහිඳීයාව එතැන බිහිවනු නිසැකය. ජපානයේ කියෝතෝ හි චියොන් ඉන් විහාරස්ථානයෙන් උදාවෙන අලූත් අවුරුද්දේ උපයා ගත හැකි ආදර්ශය එයයි.