» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
31/10/2021 - ඉරිදා ලංකාදීප
බුදු දහම ගැන ජාත්‍යන්තරයට පුලූල් දැනුමක් සපයන මග

බුද්ධ ධර්ම කෙරෙහි සෑහෙන උනන්දුවක් ජාත්‍යන්තරය තුළ මතුවෙමින් තිබේ. පැවැත්ම ගැන ධර්මයෙන් කියා දෙන පණිවුඩය ජගත් ප‍්‍රජාවගේ අවධානය දිනා ගෙන ඇත. ප‍්‍රශ්න කරන සමාජයක් තාක්ෂණ යුගය තුළ ජීවත් වෙති. ඇදහිල්ල වෙනුවට දර්ශනයක් සොයති. බුදු දහම තුළ දැක්ම තිබේ. ජන ජීවිතය තුළ තිබිය යුතු පැවැත්ම අර්ථ දක්වයි.

අලූතින් ඉදිකරන ලද ජාත්‍යන්තර ගුවන් තොටුපොලක් පසුගිය දා ඉන්දියාවේ විවෘත කෙරිණ. උත්තර ප‍්‍රදේශයේ කෘෂිනාගර් හි ඉදිකෙරුණ මෙම ගුවන් තොටුපොල විවෘත කිරීමට මහා සංඝරත්නය පෙරටුකරගෙන ශ‍්‍රී ලංකාවේ දූත පිරිසක් සහභාගීවීම විශේෂත්වයකි. වස්කඩුව ශ‍්‍රී රාජගුරු ශ‍්‍රී සුභූතී විහාරස්ථානයේ තැන්පත්කර ඇති කපිලවස්තු ධාතූන්වහන්සේලා සමග විහාරාධිපති වස්කඩුවේ මහින්දවංශ අමරපුර නිකාය මහා සංඝ සභාවේ උප සභාපති නාහිමියෝ ඉන්දියාවට වැඩම කළහ. මෙම ගමනට සම්බන්ධ වූ අමරපුර මහා සංඝ සභාවේ නියෝජ්‍ය මහා ලේඛකාධිකාරී ආචාර්ය මාදම්පාගම අස්සජී අනු නායක හිමිපාණෝ ගුවන් තොටුපොල විවෘත කරන අවස්ථාවේ පවත්වන ලද බෞද්ධ ආගමික වතාවත් ගැන විචාරාත්මකව සලකා බලන ලදහ. පැවැදි වී උපසම්පදාව ලැබූ ස්වාමීන් වහන්සේලා ඉන්දියාවේ ද සිටී. අස්සජී අනුනායක හිමිපාණන් සදහන් කරන පරිදි ධර්මය සම්බන්ධ අවබෝධය පැතිරවිය යුතුය. බෞද්ධ සංස්කෘතිකත්වයක් අවශ්‍යය. ශ‍්‍රී සම්බුද්ධ සාසනයේ පැවැත්ම ආරක්ෂා කරන රටක් වශයෙන් ශ‍්‍රී ලංකාවට පුලූල් වගකීමක් ඇත. ධර්මය උගන්වන, ශාස්ත‍්‍රීය දැනුම බෙදාදෙන ද්වී පාර්ශවික වැඩ පිලිවෙලක් අරඹන්නට සුදුසුම කාලයකි.

සිදුහත් කුමාර උපත, බුද්ධත්වයට පත්වීම සහ බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණය ගැන පැහැදිලි සාක්ෂි හමු වී ඇත. හින්දු ආගමට නැඹුරු නමුත් බුදු දහමට ගෞරවයක් ඉන්දීය සමාජයේ තිබේ. බුද්ධෝත්පාද කාලවකවානුවේ පවා අනෙක් ආගම් සෑහෙන ප‍්‍රමාණයක් ඉන්දියාවේ පැවැතී ඇත. අනුගාමිකයන් විශාල පැතිරීමක සිටි බවට සාධක පවතී. නවදිල්ලියේ පිහිටි ජාතික කෞතුකාගාරයේ බුදු දහම සම්බන්ධ සාධක අනාවරණය කරගෙන සංරක්ෂණය කරයි. එහි වෙනම ඒකකයක් ප‍්‍රතිශ්ඨාපනය කරමින් සිටින බව දැක්විය යුතුය. එය තවදුරටත් බෞද්ධ ප‍්‍රබෝධයට හේතු වෙයි. බුද්ධ පරිනිර්වානය සිදුවූ කුසිනාරා එනම් අද කෘෂිනාගර් වශයෙන් හැදින්වෙන ස්ථානයෙහි ජාත්‍යන්තර ගුවන් තොටුපොලක් ස්ථාපිත කරන්නේ ද බෞද්ධ සංචාරක පහසුව සදහාය. ශ‍්‍රී ලංකාව හැරුණු කොට තායිලන්තය, ජපානය, කොරියාව මියන්මාරය ඇතුළු රටවලින් නිති පතා ලක්ෂ ගණනින් බැතිමතුන් එහි පැමිණෙති. කොවිඞ් වසංගත තත්ත්වය මෙම ගමන් සීමා කර ඇති නමුත් ඉදිරියේ දී සියළු සංචාරක කටයුතු නැවත අරඹන්නට ඉන්දියාව සූදානම්ය. ශ‍්‍රී ලංකාවේ බැතිමතුන් කෙරෙහි විශේෂයෙන් අපේක්ෂා කරන බව සදහන් කළ යුතුය. අනෙක මෙම සෑම සිද්ධස්ථානයක් ආශ‍්‍රිතවම පාහේ මහාබෝධි සංගමය ඇතුළු විවිධ සංවිධාන ශ‍්‍රී ලාංකේය බෞද්ධ අනන්‍යතාව ආරක්ෂා කරගනිමින්, කැපවීමෙකින් කටයුතු කරමින් සිටී.

දහමට හා සාසනයට සිදුවූ බලපෑම ලංකා ඉතිහාසය අධ්‍යයනය කරන විට නිරීක්ෂණය කළ හැකිය. විවිධ ආක‍්‍රමණ හේතුවෙන් ශාසනය විශාල පිරිහීමකට ලක්විය. බුදු සසුන නැවත නගා සිටුවීමට හේතුවිය. කීර්ති ශ‍්‍රී රාජසිංහ රජ සමයේ දී නැවත උපසම්පදාව ඇති කරන ලදහ. වැලිවිට ශ‍්‍රී සරණංකර සංඝරාජ හිමිපාණෝ එයට මුල් වූ අතර විනය පිරිහීම සලකා නැවත සියම් දේශයෙන් වැඩම කළ උපාලි හිමිපාණන් ගේ උපදෙස් මත උපසම්පදා විනය කර්මය ඇති කරන්නට පියවර ගෙන තිබේ. පසුව ඇති වූ හේතු මත අමරපුර මහා නිකාය පිහිටුවන අතර දැන් මියන්මාරය සේ හදුන්වන බුරුමයේ අමරපුර නුවරින් උපසම්පදාව ලැබීම එයට පසුබිම බව ප‍්‍රකාශ කළ යුතුය. රාමඤ්ඤ නිකාය ද බිහිවෙන්නේ බුරුමයේ උපසම්පදාව ලැබීම පදනම කරගෙනය. මෙම නිකාය වශයෙන් උපසම්පදා විනය කර්මය කරගෙන යන නමුත් රට තුළ ධර්ම ශාස්ත‍්‍රීය කටයුතු උසස් අන්දමකින් පවතින බව තක්සේරු කිරීම සුදුසුය.

විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් ඇතුළු උසස් පිරිවෙන වල පිටරටවලින් පැමිණි භික්ෂුන් ඇතුළු ශිෂ්‍ය ප‍්‍රජාව අධ්‍යාපනය ලැබූහ. පසුව බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාල පිහිටුවා ශාස්ත‍්‍රීය අධ්‍යාපනය ප‍්‍රගුණ කරවුහ. දැනට තාවකාලිකව නතර වී ඇති දහම් අධ්‍යාපනය නැවත පුනර්ජීවනයට ලක් කළ යුතුව ඇත. ධර්ම ශාස්ත‍්‍රීය සේවා ව්‍යාප්ත කරවීමට පියවර ගැනීම උචිතය. අස්සජී අනු නායක හිමිපාණන් ගේ ඇතුළු ශ‍්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවන්නට කැපවී මෙහෙවරක යෙදෙන හිමිපාණන්වහන්සේ ලා ගේ අදහස එයමය. මල්වතු මහා විහාරයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිත හිමිපාණන් නොයෙක් වර මෙම අදහස මතු කොට තිබේ. ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමිපාණන්, මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමිපාණන් මෙම අදහස වෙනුවෙන් පෙනී සිටිති. මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත සහ තිරිකුණාමලයේ ආනන්ද හිමිපාණන් වහන්සේලා නිතර මෙම අදහස හුවා දක්වා ඇත. ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඇතුළු පිරිසක් සමග සාකච්ඡා කළ අවස්ථාවක පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වැඩබලන අධ්‍යක්ෂක වැලමිටියාවේ ඥාණරතන හිමියෝ මෙම අදහසම දැක්වූහ. මල්වතු අස්ගිරි මහා විහාර ආශ‍්‍රිතව අමරපුර හා රාමඤ්ඤ වාහාරස්ථානවල සුදුසු පරිදි වෙනත් රටවල ගිහි පැවිදි පිරිසට ධර්මයෙහි විනය හා සංස්කෘතික පැති පුහුණු කළ හැකිය. අමරපුර හා රාමඤ්ඤ නිකායයන් දෙක එකතු වී සාමග‍්‍රී සංඝ සභාවක් පිහිටුවාගෙන තිබේ. සියළු පාර්ශය එකතු වී අලූත් දැක්මක් ලෝක ප‍්‍රජාවට ඉදිරිපත් කළහොත් ශ‍්‍රී ලංකාවේ අපට කළ හැකි මහත් සත්කාරයකි.

දහම වැදගත් තැනකට පැමිණ ඇත්තේ ඇයි? විද්‍යාර්ථීහු දක්වන පරිදි ලෝකයේ පැවැත්ම වමට නැඹුරුව තිබිණ. පසුව දක්ෂිණාංශය කරා වේගයෙන් ගමන් කළේය. වම හා දකුණ යන දෙකෙළවරම විසදුමක් රහිත අන්ත දෙකක් බව සනාථ වෙමින් තිබේ. බුදු දහම අන්තවාදයෙන් තොරය. අධික කාමසුඛල්ලිඛානු හා අත්තකිලමතානු යන දෙපැත්තටම නැත. මැදහත්ය. මධ්‍යම ප‍්‍රතිපදාවෙහි සිටී. සත්‍ය ගවේශනය එකම හරය බවට පත්ව ඇත. බුදු දහම පවා ගවේශනය නොකර විශ්වාස නොකරන සේ බුදු රජාණන් වහන්සේ කාලාම සූත‍්‍රයෙහි දී දේශනා කරන්නේය. අදට ගැලපෙන, අන්තවාදය ප‍්‍රතික්ෂේප කරන බුදු දහම නිවැරදිව දැක්වීම අප සියළු දෙනාගේ වගකීමකි. ධර්මය පැතිරවීම වෙනම කර්තව්‍යයකි. ධර්මය තුළ එය කියැවිය හැකි, ඉගෙනගන්නා සංස්කෘතියක් තිබේ. පැවැත්ම සම්බන්ධ වතාවත් ඇත. අනන්‍ය ක‍්‍රමවේද තිබේ. පොත පතෙහි ලියා ඇති ධර්මය පරිහරණය කරන ආකාරය ගැන හැදෑරිය යුතුය, ශ‍්‍රී ලංකාවේ වෙහෙර විහරස්ථානවල පැවැදි වන සාමනේර හිමිවරු ආචාර්යයන් වහන්සේලා ඇසුරෙහි සම්ප‍්‍රදාය ඉගෙන ගනිති. එහි වැදගත්කම දැනෙන්නේ අනාගතයටය.

ක‍්‍රමානුකූලව ආගමික වතාවත් කරන ආකාරය, සිවුර පිරිකර ගැන අලූත් පරපුරට ඉගැන්විය යුතුය. ධර්ම දේශනාවක් කරන්නේ කෙසේ ද යන්න ශාස්ත‍්‍රියව හදාරන්නට අවශ්‍යය. ඇතැම් ස්වාමීන්වහන්සේලා ජනප‍්‍රියත්වය අරමුණු කරගෙන කරන දේශනා වරින්වර ඇති වී නැතිවී යයි. ඒවායේ නිස්සාරත්වය සමාජය හැදින ගෙන තිබේ. ශ‍්‍රී ලංකාව අතරමැද යුගයක පසුවෙයි. ලෝක ප‍්‍රජාවට මෙරටින් ලබාදිය හැකි දර්ශනය ගැන විවිධ මතවාද ඇත. තාක්ෂණික යුගය තුළ මධ්‍යස්ථභාවය හා සැනසිලි සහගත බව ඇති කරන්නට දහම හැර අනෙක් මගක් නැත. මහා සංඝරත්නය එකතු වී ගත යුතු මග ගැන කතිකාවතක් ඇරඹීම සුදුසු බව හැගේ. පිලිගත් විධිවිධාන අනුව ධර්ම සංස්කෘතික පුහුණුවක් ලබාදෙන යෝජනා සකස් කර සම්මත කරගත හැකිය. ගැලපෙන ක‍්‍රම ඇසුරෙන් රජයට මැදිහත්විය හැකිය. විදේශීය දුත පිරිස් සම්බන්ධ කරගත හැකි අතර පුලූල් අදහස් පැතිරවීමෙන් ලෝකය පුරා අලූත් පැවැත්මක් ඇති කරන්නට මගක් සොයාගන්නට හැකියාවක් තිබේ. දැනට පවතින වසංගත තත්ත්වය දුරුකොට නැවත පුනර්ජීවනයක් කරා ගමන් කරන අවස්ථාවේ දී ලෝක ප‍්‍රජාවට ශ‍්‍රී ලංකාවෙන් පිරිනැමිය හැකි වැදගත් අවකාශයක් බව සදහන් කළ යුතුය.