» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
30/10/2022 - ඉරිදා ලංකාදීප
නීතියෙන් පමණක් දරුවන්ගේ ආරක්ෂාව අපේක්ෂා කළ යුතු නැත

අසාධාරණය හා අයුක්තිය ඉදිරියේ අධිකරණයෙන් ලැබෙන තීන්දුව කෙරෙහි ශ‍්‍රී ලාංකේය සමාජය බොහෝවිට හුරුවී තිබේ. නීති වගන්ති ඇත. තර්ක කෙරේ. යුක්තිය පසිදලීමට විශාල කාලයක් සහ ධනයක් වැයවේ. දරුවන්ට සිදුවන අඩන්තේට්ටම් හා අතවර ගැන නැවතත් රට තුළ ආන්දෝලනයක් හටගෙන තිබේ. නොදරුවන් ගොදුරුවී ඇති සිද්ධි විශ්වාස කළ නොහැකි තරම් බරපලය. සංස්කෘතිය හා සමාජ සාරධර්ම ගැන ඉහළ ප‍්‍රමිති සහිත නමුත් හෙළිදරව්වන අභ්‍යන්තර සිද්ධි කම්පාවට හේතුවකි. දරුවන්ගේ ආරක්ෂාව අරමුණු කරගෙන සංවිධාන ව්‍යුහයක් ඇත. වෙනම පොලිස් ඒකක, අධිකරණ නඩත්තු කෙරේ. ජනමාධ්‍ය මගින් වරින් වර අනාවරණය කරන වාර්තා අනුව සිද්ධි පාලනය වී නැත. අධිකරණය ඉදිරියේ විභාග වන නඩු සෑහෙන ප‍්‍රමාණයක් ගැන සදහන්ය. මේවා දීර්ඝ කාලයක් ගතවන නඩු විභාග බව නොරහසකි. අධිකරණයේ දී විත්තිය හා පැමිණිල්ලේ සාක්ෂි විභාග කරන කාලය තුළ නැවත නැවතත් කරුණු විමර්ෂණය හමුවේ දරුවන්ගේ මනසට සිදුවන බලපෑම තියුණු බව පිලිගත යුතුය. දරුවන්ගේ සිද්ධියක තින්දුව ලැබෙන විට ඔවුහු වැඩිහිටියෝ බවට පත්ව ඇත. අධිකරණයෙන් පමණක් දරුවන් ආරක්ෂා කරගත හැකිද?

ළමා අතවර, ළමා හිංසන, ළමා ශ‍්‍රමය වැනි විශේෂිත තෝරාගත් පැති ගැන විවිධ සමාජ සැලකිල්ලෙන් කටයුතු කරමින් සිටී. ඉන්දියාවේ කයිලාෂ් සත්‍යාර්ථි ළමා පදනම ලක්ෂ සංඛ්‍යාත එවැනි ස්වේච්ඡා ආයතන අතරින් එකකි. කයිලාශ් සාර්ථී ආයතනය ගැන සදහන් කරන්නට හේතුවක් තිබේ. දරුවන් වෙනුවෙන් ඉටුකරන ලද විශිෂ්ඨ සේවාව සලකා 2014 වසරේ දී කයිලාෂ් සත්‍යාර්ථි නිර්මාතෘ කයිලාශ් ශර්මා වෙත නොබෙල් ත්‍යාගය පිරිනැමිණි. පකිස්තානයේ මලාලා යුසුෆානි ද සමග සම නොබෙල් ත්‍යාගය දිනාගත්තේ කයිලාෂ් ශර්මා බව සදහන් කළ යුතුය. ඔවුන් දෙදෙනාම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටියහ. කයිලාශ් විශේෂයෙන් පෙනී සිටියේ මෙහෙකාර සේවයේ නිරත දරුවන් ගේ අධ්‍යාපනය වෙනුවෙන්ය. එයට අමතරව ඔහු ළමයින් මුහුණ දෙන ලිංගික අතවරවලින් ගලවා ගැනීම අරමුණු කරගෙන ද ක‍්‍රියා කළේය. දරුවන්ට අධ්‍යාපනය ලැබෙන පසු අන්ධකාරයෙන් මිදෙන අවස්ථා උදාවෙන බව ඔහුගේ තර්කය වී තිබේ. සමාජයේ ඇතැම් අවිනීතික හා අසම්මත පිරිස් ගොදුරු බවට පත් කරගෙන ඇති දරුවන් සුරක්ෂිත අනාගතයක් කරා කැදවාගෙන යන අරමුණ ඇතිව ක‍්‍රියාකරන කයිලාෂ් ඒ වෙනුවෙන් පදනමක් හා අරමුදලක් ස්ථාපිත කර තිබේ. දීර්ඝ කාලයක් එහි නිතරවීම හා කැපවීමෙන් කරන ලද සේවය නොබෙල් ත්‍යාගය ලැබීමට හේතුවිය. එය අත්පත්කරගත් කීර්තියත්, ධනයත් ඔහු නැවත නැවතත් දරුවන් වෙනුවෙන් ආයෝජනය කරමිනි සිටී.

ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශ් හි උපත ලැබූ කයිලාශ් ශර්මා රජයේ විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලැබීය. වත් පොහොසත්කමක් නැති සාමාන්‍ය පවුලක උපත ලැබූ හෙතෙම අධ්‍යාපනය සදහා ගමන් කළේ සුව පහසුවෙන් නොවේ. දුෂ්කරතා නිහා ඔහු හෙම්බත්ව සිටියේය. එහෙත් ඉහළටම අධ්‍යාපනය ලැබූ හෙතෙම විදුලි ඉංජිනේරුවෙකු වශයෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. තමන් පැමිණි දුෂ්කර ගමන පමණක් නොව අතිශය කටුක ජීවිත ගතකරන ඉන්දියානු වීදි දරුවන් කෙරෙහිහ සානුකම්පිත වූ කයිලාශ් දරුවන්ගේ ළමාකාලය ආරක්ෂා කරන පියවරක් වෙනුවෙන් මුලිකත්මය ගත්තේය. දරුවන් ගේ ශ‍්‍රමය සූරාකන අතර ඉගෙනගන්නට ඇති අවස්ථා අහිමිවන තැන් ගැන කම්පාවට පත්වූ ඔහු පළමුවෙන් උත්සාහ කළේ ළමා ශ‍්‍රමය උපයෝගී කරගැනීම වැලැක්වීමටය. නිෂ්පාදන ආයතන වල තොරතුරු සොයා දරුවන් සේවයේ නිරත නැති බවට සහතිකයක් නිකුත් කළ කයිලාශ් පාරිභෝගික ජනතාවට භාණ්ඩ මිල දී ගැනීමේ දී මෙම සහතිකය ගැන හිතන ලෙස ආයාචනා කළේය. පසුව ළමා මෙහෙකාර සේවාවට විරුද්ධ ලෝක ව්‍යාප්ත ජනමතයක් ගොඩනැගීම සදහා ලෝකයේ රටවල් 130 ක් ඔස්සේ ගමන් කරන ගමනක් සංවිධානය කරන ලදී. එය දරුවන් ගේ අයිතිවාසිකම් ගැන මහත් ආන්දෝලනයක් ඇති කළ අවස්ථාවකි. දරුවන් ගේ ශ‍්‍රමය ප‍්‍රතික්ෂේප කරන අතර අධ්‍යාපන අයිතිවාසිකම් වෙනුවෙන් පියවර ගන්නා ලෙස මිනිසුන්ට කතා කරන එම පෙලගැස්මට නොසිතන පැතිවලින් ප‍්‍රතිචාර හිමිවිය. කිලෝ මීටර් අසූ දහසක් පුරා ගෙන ගිය එම ප‍්‍රචාරය අවසන්වන විට ඔහු සුරක්ෂිත ළමා පරපුරක් වෙනුවෙන් අවධාරණය කළ කරුණු ගණනාවක් ජන හදවත්වල ස්ථිරවම තැන්පත් විය. ළමා හිංසනය, දරුවන් ලිංගික අතවරවලට පත්වීම, අවයව සදහා දරුවන් පැහැරගැනීම, මත් ද්‍රව්‍ය ජාවාරම් වැනි බිහිසුණු කටයුතු ගැන ඇස් අරවන්නක් විය.

භාරත් යාත‍්‍රා යනුවෙන් කළ කිලෝ මීටර් දහනම දහසක සංචාරයක් දින තිස් පහහක දී අවසන් කළ ඔහු ඇතුළු විශාල පිරිසක් ළමා අපචාර හා ලිංගික අතවර ගැන නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ඉන්දීය බලධාරීන්ට බලකර සිටියේය.

යහපත් ජන සමාජයක් වෙනුවෙන් කරන කැපවීම අගය කළ ජන කොටස් කයිලාශ් ගේ සංකල්පවලට එකතු වූහ. ඔහුට ආධාර කළහ. ඉන්දියාවේ සංවිධාන හා ආයතන විශාල ප‍්‍රමාණයක් දරුවන් වෙනුවෙන් කටයුතු කරමින් සිටිති. කයිලාශ් ඔවුන් ඒකරාශී කරන ලද අතර අදහස් හුවමාරු කරගත්තේය. නොබෙල් ත්‍යාලයෙන් ලැබුණ වත්කම් පවා ආයෝජනය කළේ දරුවන් සදහාය.

ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් චරිතවලට දරුවන් වෙනුවෙන් පෙනී සිටිය හැකිය. ඔවුන්ගේ ශක්තිය හා බලය සමාජය එකතු කරන්නට ප‍්‍රමාණවත්ය. දහස් ගණනක් දරුවෝ අතවරවලට ලක්ව ඇත. නොයෙක් කාමුක පීඩාවලට ගොදුරු වී ඇති බව ලොකු සිරස්තලවලින් මාධ්‍ය අනාවරණය කරයි. පුද්ගලයන් අත් අඩංගුවට ගත් බව ද කියැවේ. එයින් පිටස්තරව සමාජය ආක‍්‍රමණය කර දැනුම්වත්කරන පියවරක් අවශ්‍ය කෙරේ. නීතියට, විධිවිධානවලට හෝ අධිකරණයට හුදෙකලා ක‍්‍රියාමාර්ග නැත. නිතියෙන් දඩුවම් දෙන තෙක් බලා සිටීම අප කරගන්නා වරදකි. අපට දරුවන්ගැනත්, දරුවන්ගේ අනාගතය ගැනත් සාධාරණ වටපිටාවක් ඇති කරන වගකීමක් තිබේ. මාධ්‍යයෙන් හෙළිදරව් කරන කරුණු ඉදිරියට ගෙන ඒවා පුලූල් වේදිකාවක දී සමාජ සාධාරණත්වය වෙනුවෙන් හඩක් නැංවීම අවශ්‍යය. ලෝක ප‍්‍රකට චරිත ඉදිරියට පැමිණ සමාජය අවදිකළහොත් රටට අවස්ථාවකි. දරුවන් ගැන පමණක් නොව නොයෙක් ක්ෂේත‍්‍රවලට නායකත්ව අවශ්‍යය. දේශපාලනය නායකත්වය විශාල අවස්ථා බව හිතන්නට අප ඇබ්බැහි වී ඇත. සමාජය නගා සිටුවන ක‍්‍රියාකාරකම් සදහා ඉදිරියට පැමිණිය හැකි චරිත අපට තිබේ. සම්මානනීය පුද්ගලයෝ වෙති. ඔවුන්ගේ හඩ, ශක්තිය හා ජවය ශ‍්‍රී ලංකාව ගිලී ඇති ශෝචනීය තැන් තුරන් කරන බලවේගය බවට පත්විය යුතුය.