» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
30/07/2023 - ඉරිදා ලංකාදීප
ඉන්දියාවේ සිට අධිවේගී මාර්ගය ලබන වසරේ පරිහරණයට

ඉන්දියාවේ මනිපූර් ප‍්‍රාන්තයේ සිට මියන්මාරය හරහා තායිලන්තය දක්වා ඉදිකරන අධිවේගී මාර්ගයේ කටයුතු අවසන්වෙමින් පවතින අතර ලබන වසරේ දී සාමාන්‍ය ජනතාවට පරිහරණය කළ හැකිවනු ඇත. වසර දෙදහස් පන්සියයකට කලින් ඉන්දියන් අර්ධද්වීපයේ සිට මධ්‍යම, දකුණු හා සෙසු ප‍්‍රදේශවලට සංක‍්‍රමණ හා සංස්කෘතික මිශ‍්‍රවීම් මනිපූර් ප‍්‍රදේශය ඔස්සේ සිදුවූ බව සැලකේ. ආසියාවේ සෙසු ප‍්‍රදේශ අතර වෙළද කටයුතු සදහා ද මෙම මාර්ගය භාවිතා කර ඇත. පසුකාලීනව දේශසීමා පාලනය හා වරාය හා ගුවන් ප‍්‍රවාහනය දියුණුවීම සමග ගොඩබිම මාර්ග භාවිතය අවම වී ඇත.

රටවල් තුනක් යා කරන ගොඩබිම මාර්ගයක් ඉදිකරන අදහස 2002 වසරේ සාකච්ඡාවට ගැනී තිබේ. ඉන්දියාවේ අගමැති අතල් බිහාර් වජ්පායි මහතා මෙම අදහස ඉදිරිපත් කර ශඛ්‍යතා වාර්තා කැදවා තිබුණි. ඉන්දියාව, මියන්මාරය හා තායිලන්තය යන රටවල්වල මහා මාර්ග ඇමැතිවරු මුණ ගැසී ඉදිරි පියවර තීරණය කළ අතර කල්කටාවේ සිට බැංකොක් දක්වා අලූත් ආර්ථික විහිදීමක් මෙමගින් සැලසුම් කළේය. ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසු වසරකට ඇමරිකානු ඩොලර් බිලියන හැත්තෑවක් බැගින් රටවල් වල ආර්ථිකය ප‍්‍රසාරණයවනු ඇතැයි සැලකේ. අවම වශයෙන් මිලියන විසි පහකට රැකියා අවස්ථා නිර්මාණය වනු ඇත. අධිවේගී මාර්ගය මංතීරු හතරකින් යුක්ත අතර එය මියන්මාර් ඔස්සේ තායිලන්තයේ බැංකොක් දක්වා කාණ්ඩ වශයෙන් ඉදිකිරීම් ආරම්භ කෙරිණ. විවිධ ජාතීන්, විවිධ සංස්කෘතික අනන්‍යා සහ දේශපාලන මුහුණුවර මෙම දැවැන්ත කාර්යයයේ දී අභියෝග වශයෙන් මතු වී ඇත.

2015 දී පැවැත්වුණ මියන්මාර් මැතිවරණය ව්‍යාපෘතියේ සැලැස්ම අඩාල කළේය. කටයුතු නතර කරන ලද නමුත් පසුව ඉන්දියාවේ සංචාරය කළ මියන්මාර් ජනාධිපතිවරයා අලූත් ගිවිසුමක් අත්සන් කර ඉදිකිරීම් අනුමැතිය නැවත ප‍්‍රකාශයට පත් කර ඇති බව දැක්වේ.

මියන්මාරය මුහුණ පෑ ආයෝජන අපහසුතා ද පැන නැගුණ ප‍්‍රශ්නයකි. ඉදිකරන, පවත්වාගෙන යන හා පසුව මියන්මාරයට පවරන පදනම මත ඉන්දියාව අධිවේගී මාර්ගයේ විශාල පාලම් හැත්තෑ එකක් සදහා වගකීම බාරගැනීම ද විශේෂ සිද්ධියකි. පසුගියදා ප‍්‍රකාශයට පත් කරන ලද පරිදි ඉදිකිරීම් සම්පූර්ණ කිරීමෙන් පසු මගී ප‍්‍රවාහනයට සාමාන්‍ය බස් රථ යෙදවීමට ද සූදානම්කර ඇති බව දැක්වේ. දේශ සීමා වල දී වීසා අනුමත කරගැනීමෙන් පසු පැය දහසයක් හෝ දහ අටක් ඇතුලත ඉන්දියාවේ සිට තායිලන්තයට ප‍්‍රවේශ විය හැකි වනු ඇත. ගුවන් ගමන පහසු හා ඉක්මන් නමුත් වෙළද කටයුතු හා සංචාරක අවශ්‍යතා සදහා මාර්ගය ඉවහල්වනු ඇතැයි සැලකේ.

ආර්ථික වශයෙන් වේගවත් දියුණුවක් ලබාගෙන, විශාල ජනගහනයක් සහිත ඉන්දියාවේ අවස්ථා ලබාගැනීමට ආසියාවේ රටවල් ගණනාවක් සූදානම්ය. ආසියාන් සංවිධානය මෙම අධිවේගී මාර්ගය ලා ඕසය, කම්බෝජියාව සහ වියට්නාමය යා කෙරෙන පරිදි තවත් රටවල් තුනකට දිර්ඝ කරන ලෙස ඉල්ලා ඇත. බංගලාදේශය ද මෙම අධිවේගී මාර්ගය එරටට යොමු කරන ඉල්ලීමක් කරන අතර එය අවධානයට ගෙන ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යංශය දක්වයි.

අනාගතයේ දී දුපත් හුදෙකලා නොවන බවට මතයක් මෙවැනින ගොඩබිම් මාර්ග සමග නිර්මාණය වී ඇත. ගුවනින්, මුහුදෙන් පමණක් නොව යා කෙරෙන මාර්ගවලින් ද රටවල් සම්බන්ධ වේ. බි‍්‍රතාන්‍යයේ සිට යුරෝපය දක්වා මුහුද යටින් නිර්මාණය කළ උමං මාර්ගය එයට කදිම සාක්ෂියකි. හීත්‍රෝ ගුවන් තොටුපොලට ගොස් එතැනින් බ‍්‍රසල්ස් නගරය කරා ළගාවෙන්නට පැය හතරක් පමණ වැය කළ නමුත් දැන් ගතවන කාලය පැය එකහමාරක් පමණ වේ. උමං මාර්ගය යෝජනා කරන්නේ 1802 දී නමුත් අනුමැතිය ගැනීමට දීර්ඝ කාලයක් ගත කර ඇත. 1988 දී ඉදිකිරීම් අරඹයි. 1994 දී විවෘත කෙරේ. උමං මාර්ගය භාවිතා කළ පිරිස 2014 වසරේ දී මිලියන විසි එකකි. රටවල් දෙක අතර සබදතා සම්පූර්ණයෙන්ම වෙනස් කළ මෙම මුහුද යට මාර්ගය තැනීමට පවුම් බිලියන නමයක් වැය කර ඇති අතර දැන් ඉදිකළහොත් එයට පවුම් බිලියන තිහක් පමණ වැය කරන්නට සිදුවන බව පර්යේෂණ වාර්තා දක්වයි.

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව යා කරන ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමට යෝජනා වී ඇත. එය ඉදිකළහොත් සාමාන්‍ය ජනතාවට විශාල සහනයකි. කොළඹින් ගමන් අරඹන පසු ගොඩබිම ඔස්සේ තායිලන්තය දක්වා පමණක් නොව තවත් නොබෝ කාලයකින් වියට්නාමයටත් ගමන් කළ හැකිවේ. සම්බන්ධතා හේතුවෙන් ජීවන රටාව වෙනස් වනු ඇති අතර ආකල්ප වෙනස්කම් ඇති කෙරේ. අනාගත පැතිකඩ අනුව රටවල් යා කෙරෙන පසු ඇති වන පසුබිමට නොසලකා කටයුතු කළහොත් හුදෙකලා වියහැකිය. එය ආර්ථික පරිහානියකට ද හේතුවේ.

ඉන්දු ලංකා ඉතිහාසය අධ්‍යයනය කරන විට ගොඩබිම් මාර්ගයක් ගැන සදහන්වේ. හනුමන් පාලම එහි සාක්ෂියකි. වසර ලක්ෂ ගණනකට කලින් තිබුණ භූගෝලීය තත්ත්වය ගැන නූතන විද්‍යාඥයෝ කරුණු ගවේශණය කර ඇත. ලංකාවේ මුල් කාලීන ජනාවාස පෙරදිග ප‍්‍රදේශයෙන් පැමිණි පිරිස් විසින් ඇති කරන ලද බව දැක්වේ. ශිෂ්ඨාචාරයේ පැතිරීම මෙම ගවේශණ වලින් හෙළිකර තිබේ. අනුරාධපුර රාජධානිය බිහිවීම තුළ වෙළද අවශ්‍යතා තිබුණ අතර නොයෙක් ප‍්‍රදේශවලින් පැමිණි වෙළද කණ්ඩායම් සමග ලාංකිකයෝ ගනුදෙනු කර ඇත. අධිරාජ්‍යවාදීන් ගේ ආක‍්‍රමණවලට පසු ඔවුහු ලාංකිකයන් දුපතකට සිමා කළ අතර නාවික බලය හා අනෙක් රටවල් සමග කරන ගනුදෙනු ඔවුන්ගේ සමාගම්වලට පවරා ගත්හ. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ලංකාව පිටස්තර ලෝකය දෙස අවධානය යොමු නොකරන හුදෙකලා කණ්ඩායමක් බවට පත් විය. වරප‍්‍රසාද සහිත රදල පිරිසට පමණක් වෙනත් රටවලට ගොස් ඉගෙනගැනීම, ව්‍යාපාර කිරීම හෝ සෞඛ්‍ය ප‍්‍රතිකාර ලබාගත හැකි විය.

විවෘත ආර්ථිකය සමග මෙම මානසිකත්වය වෙනස් වී තිබේ. සාමාන්‍ය ජනතාවට ද ලෝකයේ රටවල්වලට ගමන් කරන, අත්දැකීම් ලබන හා අනාගතය සාක්ෂාත් කරගන්නා අවස්ථාව හිමි වී ඇත. සමාජ පරිවර්තනය වැලැක්විය නොහැක. අවස්ථා සොයා යන සමාජය බැද තැබීමට කරන උත්සාහය හුදෙක් නූගතුන් හා ක‍්‍රමයෙහි තව දුරටත් ගැලී ජීවත්වීමට තල්ලූ කිරීමකි. පටු අදහස් ඇති පිරිස් ජාත්‍යන්තරය සමග ඇතිකරගන්නා සබදතා ඔවුන්ට පමණක් සීමා කරගැනීමට වෑයම් කරති. ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර ගොඩබිම් සබදතා ඇතිවුවහොත් ඉන්දියානුවන් රටට එන බව දක්වා භීතියක් ඇති කරන නමුත් ශ‍්‍රී ලාංකිකයන්ට විහිදෙන්නට, විසිරීගොස් අවස්ථා ලබාගන්නට ඇතිවන පරිවර්තනය හුවාදක්වන්නේ නැත.