» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
30/04/2023 - ඉරිදා ලංකාදීප
අභ්‍යවකාශ ගවේශන තාක්ෂණය පුද්ගලික අංශයට පැවරේ

අභ්‍යවකාශ තාක්ෂණය සදහා කරන ආයෝජනය අලූතින් ප‍්‍රසාරණය වන දැවැන්ත ව්‍යාපාරික ක්ෂේත‍්‍රයක් බට පත්ව තිබේ. රොකට් එන්ජින් නිපදවීම සහ ඒවා අත්හදා බැලීම පුද්ගලික අංශයේ තාක්ෂණික ශිල්පීන්ගේ උත්සාහයක් වූ නමුත් පසුව එම අංශයෙහි නිරතවීම රාජ්‍යයේ කාර්ය භාරයක් බවට පත්විය. 1920 ගණන් වලින් ඇරඹුන අභ්‍යවකාශයට ප‍්‍රවේශවීම පසුකාලීනය සෝවියට් දේශය හා ඇමරිකා එක්සත් ජනපදය අතර තරගයක මුහුණුවර ගත් අතර වර්තමානයේ චන්ද්‍රිකා සහ අභ්‍යවකාශ ගවේශණය ධනය ඇති රටවලට හා ආයෝජන හැකියාව ඇති සමාගම්වලට විවෘත වූ අංශයක් බව සදහන් කළ යුතුය.

ඉන්දියාව 1961 වසරේ දී අභ්‍යවකාශ තාක්ෂණයට අවතීර්ණ වී ඇත. එම කාල වකවානුව ඉන්දියන් ආර්ථිකයේ නරකම තැනක පසු වූ කාලයකි. ජාත්‍යන්තර වාර්තා දක්වන පරිදි ඒක පුද්ගල ආදායම අඩුම රටවල් අතලොස්ස අතර ඉන්දියාව ද එක රටකි. ජනතාව දුප්පත් භාවයේ ගිලී සිටි අතර දරිද්‍රතාවය මැන බලන ආකාරය අනුව දිළි`දු පවුල් හ`දුනා ගැනීමක් කර තිබුණි. මාසයකට ඉන්දීය රුපියල් විස්සකට අඩු ආදායමක් ලබන පිරිස දුප්පතුන් සේ සැලකිණ. එපමණ ගැහැට මැද තිබුණ ආර්ථික තත්ත්වයක් ඉදිරියේ පවා එවකට ඉන්දීය අගමැති ජවහල්ලාල් නේරුහ් මහතා අභ්‍යවකාශ තාක්ෂණය ගැන පරීක්ෂණ පවත්වන අරමුණ ඇතිව වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවන ලද අතර මූලික වටයේ පර්යේෂණ එහි දී සිදු කර තිබේ. අභ්‍යවකාශ තාක්ෂණය ගැන පරීක්ෂණ කරන්නට ධනය යොදවන අවස්ථාවේ දී, ජනතාවට අවශ්‍ය ආහාර ප‍්‍රමාණවත්ව සැපයීමට හෝ වත්කමක් නැති පසුබිමක කරන නිරර්ථක උත්සාහයක් වශයෙන් එම කාලයේ විවේචනයක් තිබුණි. දශක නමයකට පසු ලෝකයේ අභ්‍යවකාශ තාක්ෂණයේ දියුණුව තරග වදින ප‍්‍රධාන රටවල් අතර සිටින ඉන්දියාව සිය නිර්භීත භාවය තව දුරටත් සනිටුහන් කරමින් පුද්ගලික අංශයට ද මෙම ක්ෂේත‍්‍රයට ප‍්‍රවේශවන දොරටු විවෘත කර ඇත.

ඉන්දියාවේ ප‍්‍රධාන පෙලේ සමාගම් ගණනාවක් අභ්‍යවකාශ තාක්ෂණයට ආයෝජනය කරන අතර රාජ්‍ය පෞද්ගලික හවුල්කාර ව්‍යාපෘති හා පුද්ගලික අංශයට පමණක් ධනය යොදවන ව්‍යාපාර වශයෙන් ද පවත්වා ගෙන යන බව ස`දහන් කළ යුතුය.

ජී 20 රටවල සභාපතිධුරය හොබවන ඉන්දියාව අපි‍්‍රයෙල් මාසයේ මැද භාගයේ එරට මේඝලාය ප‍්‍රාන්තයේ දී අභ්‍යවකාශ ආර්ථිකය සම්බන්ධ අනාගතය සාකච්ඡා කරන සමුළුවක් සංවිධානය කර තිබුණි. ලෝකයේ නොයෙක් රටවලින් පැමිණ සිටි විද්වතුන් මෙම ක්ෂේත‍්‍රයේ පර්යේෂණ හා එයින් නිර්මාණය වන ආර්ථිකයේ පැතිකඩ ගැන අවධානය යොමු කළහ.

වසර 2025 වන විට ඉන්දියාවේ අභ්‍යවකාශ පර්යේෂණ අංශයේ ඉපැයීම් හා එයින් නඩත්තුවන ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන දහ තුනක් බවට පත් වෙතැයි සැලකේ. ඉතාම සුළු ආර්ථිකයක්ව තිබුණ රටක් ආරම්භ කළ ගමන වසර 2009 වන විට තමන්ගේ ප‍්‍රථම චන්ද්‍රයාන් යානය කක්ෂගත කරවන අතර වර්තමානයේ දී මෙම ක්ෂේත‍්‍රය ව්‍යාපාරික මටට්මකට කැදවන්නට සමත්ව තිබේ. ඉන්දියාවේ ප‍්‍රධාන හා මධ්‍ය පරිමාන සමාගම් 368 ක් වසර 2021 වන විට ප‍්‍රවේශ ව්‍යාපාර වශයෙන් ජාත්‍යන්තරයට ඇතුළු වී සිටී. අඩු පිරිවැයකින් චන්ද්‍රිකා කක්ෂගත කරන තාක්ෂණය හදුන්වාදෙන්නට මෙම ව්‍යාපාර සමත්ව ඇති අතර මෙම සියළු කටයුතු සම්බන්ධීකරණය සදහා කර්නාටක ප‍්‍රාන්තයේ බැංගලෝර් හි ජාතික අභ්‍යවකාශ ඒජන්සිය ස්ථාපිත කර තිබේ.

අභ්‍යවකාශ අංශයේ කටයුතු කරගෙන යන රටවල් අතර පස්වැනි ස්ථානය ඉන්දියාවට හිමි වී ඇත. ජාත්‍යන්තර වාර්තා අනුව මෙම අංශය ඇමරිකානු ඩොලර් බිලියන 440 ඉක්මවන දැවැන්ත කර්මාන්තයකි. අශ්‍යවකාශ තාක්ෂණය අත්පත් කරගෙන සිටි ඇමරිකාව පවා ප‍්‍රතිපත්ති හා නීති රීති සකස් කර පදනමක් සකස්කරන අතර පුද්ගලික ව්‍යවසායකයන්ට පර්යේෂණ කරන්නටත්, තාක්ෂණයේ අවස්ථා ප‍්‍රසාරණය කරන්නටත් ඉඩ දී තිබේ. ඉන්දියාව ද නීති රීති සකස්කර, ප‍්‍රතිපත්ති අනුමත කරන අතර ඒවාට යටත්ව නිදහසේ මෙහෙයවන්නට අභ්‍යවකාශ ක්ෂේත‍්‍රයේ ආයෝජනය කරන ව්‍යවසායකටන්ට ඉඩ දී තිබේ. තොරතුරු තාක්ෂණය හා සන්නිවේදනය, කෘෂිකාර්මික හා ධීවර කටයුතු, සෞඛ්‍ය, ඇතුළු විවිධ ක්ෂේත‍්‍ර එයින් විශාල අවස්ථා ලබාගෙන ඇත.

ආතර් සී ක්ලාක් මහතා ගේ වාසස්ථානය වශයෙන් ශ‍්‍රී ලංකාව අභ්‍යවකාශ හා චන්ද්‍රිකා තාක්ෂණය සම්බන්ධ ප‍්‍රවේශයකට මග පෑදෙන අතර 1979 වසරේ දී එතුමා අභ්‍යවකාශයට ප‍්‍රවේශවිය හැකි සුදුසුම ස්ථානයක් වශයෙන් ශ‍්‍රී ලංකාව ගැන සදහන් කර තිබේ. ඔහුගේ අනාවැකි හා දුරදර්ශී අනාවරණ හෙයින් ප‍්‍රබෝධමත් වූ අභ්‍යවකාශ පර්යේෂණ අංශය ඔහු වෙනුවෙන් වෙනම තීරයක් හා ශ‍්‍රී ලංකාවට සන්නිවේදන තාක්ෂණ පහසුව ද සපයා ඇත. ඉන්දියාව ඇතුළු සාක් කලාපයේ රටවල අභ්‍යවකාශ තරණයේ අවස්ථා ගැන අවධානය යොමු කරනවිට සෑහෙන ඉදිරි ගමනකට කටයුතු කළ හැකිය. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් සාක් රටවලට ප‍්‍රයෝජනයට ගත හැකි චන්ද්‍රිකා ප‍්‍රතිශතයක් පවතින නමුත් ඒවා ප‍්‍රොය්ජනයට ගන්නට තරම් අවධානයක් රටට නැත.

අනාගත ආර්ථික හා සේවා අංශවල පෙරැළියක් සිදුවන අභ්‍යවකාශ කර්මාන්තයේ ආයෝජනය හෝ අවශ්‍ය පර්යේෂණ කරන්නට ශ‍්‍රී ලංකාවට ධනය නැත. ආර්ථික දුෂ්කරතා මැද පසුවන රටකට අත පෙවීමට හැකියාවක් නැත. ඉන්දියාව අභ්‍යවකාශ අංශයට අවතීර්ණවන විට පැවැති ස්වභාවය ශ‍්‍රී ලංකාවේ අද තත්ත්වයට වඩා අයහපත්ව තිබුණ බව මතක් කළ යුතු කරුණකි. ඉන්දියාව මෙම කර්මාන්තය පුද්ගලික අංශයට ද විවෘත කරන නමුත් ශ‍්‍රී ලංකාව ඩ්‍රෝන යානා සම්බන්ධ ව්‍යාපාරයකට පවා අවසර නිකුත් කරන්නට සෑහෙන කාලයක් ගනී. විශාල පරීක්ෂණ ගණනාවකට මුහුණ දෙන්නට ආයෝජකයන්ට සිදුවේ. ඉන්දියාවේ කෘෂිකාර්මික ප‍්‍රදේශවල ගොවීහු තමන්ගේ ගොවිබිම්වලට රසායනික පොොහර විසුරුවන්නට ද පුද්ගලික ඩ්‍රෝන යාත‍්‍රා අයිති කරගෙන සිටින අතර හදිසි අවස්ථාවල බෙහෙත් ප‍්‍රවාහනය කිරීමට හා ස්වභාවික ආපදා අවස්ථාවල සහන සැපයීමට ද ඩ්‍රෝන යාත‍්‍රා භාවිතා කරමින් සිටී. එය ව්‍යාපාරයක් වශයෙන් ලක්ෂ ගණනක් කරගෙන යන සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. තවත් වසර කිහිපයකින් අභ්‍යවකාශ හා චන්ද්‍රිකා තාක්ෂණය ද එපමණන සරල විය හැකි බව ඉන්දීය විශේෂඥයෝ කරුණු දක්වති.

රටවල් දෙක අතර රාජ්‍යතාන්ත‍්‍රික මටට්මින් එකගතාවයකට පැමිණිය හොත් රටවල් දෙකටම වාසිදායක පරිදි මෙම ක්ෂේත‍්‍රයේ ආයෝජන නිර්මාණය වනු ඇත. ඉන්දියානු ආයෝජකයන් කලාපයේ කර්මාන්ත හා ව්‍යාපාර සදහා ධනය යොදවන්නට සැලසුම්කරන අතර අනාගතයේ වාසි අත්පත්වන ව්‍යවසායකත්වයකට අවස්ථා සොයමින් සිටිති. පැරණි ව්‍යුහය ඉක්මවන අලූත් ප‍්‍රවේශ වෙත අවතීර්ණවීම සදහා ශ‍්‍රී ලංකාව ප‍්‍රතිපත්ති තීරණ ගත යුතුව තිබේ.