» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
30/01/2022 - ඉරිදා ලංකාදීප
විදුලිය උත්පාදන දැවැන්ත සැලැස්ම සමග ශ‍්‍රී ලංකාවට ඇති අවස්ථා

පසුගිය වසරේ මැද ඉන්දීය රාජ්‍ය සභාවේ විපක්ෂ මන්ත‍්‍රීවරයෙකු එරට විදුලිය උත්පාදන වැඩ පිලිවෙල ගැන ප‍්‍රශ්න කළේය. විදුලිය හා පුනර්ජණනීය බලශක්ති අමාත්‍යවරයා එයට පිළිතුරු සපයනු ලැබීය. 2013 වසරේ විදුලිය හිග, සහ එයින් බලවත් දුෂ්කරතාවයක සිටි ඉන්දියාව 2030 වන විට අතිරික්ත විදුලි උත්පාදනයක් සහිත රටක් වනු ඇති බව කියා සිටියේය. උත්පාදන විදුලිය ගිගාවොට් 379 ක් වනු ඇති අතර අවශ්‍යතාව ගිගාවොට් 190 ක් බව එහි දී සදහන් කර ඇත. ගිගා වොට් පැයක ධාරිතාව වොට් බිලියනයක් වශයෙන් සැලකේ.

බලශක්ති තොරතුරු පාලන ඇමරිකානු ආයතනයක අනාවරණ මෙහි දී ඉතාම වැදගත්ය. ඉන්දියාවේ අනාගත විදුලිය අවශ්‍යතාවල තරම එයින් විස්තර කෙරේ. ඇමරිකාව සමග සසදනවිට ඇමරිකානු ගෘහ ඒකක වලින් සියයට අසූ හතක වායු සමීකරණ යන්ත‍්‍ර පවතින අතර ඉන්දියාවේ නිවාස වල වායු සමීකරණ භාවිතය එරට ජනගහනයෙන් සියයට දෙකකි. ඉන්දියාව ආර්ථික සංවර්ධනය අතින් ඉදිරියට ගමන් කරමින් සිටී. මැදි ආදායම් ලබන ජන කොටස වැඩිවෙමින් පවතී. වායු සමීකරණ භාවිතයට නැඹුරුවන අවශ්‍යතාව ඉහළ යනු ඇතැයි සැලකේ. පසුගිය අවුරුදුවල වායු සමීකරණ යන්ත‍්‍ර අලෙවි ඉල්ලූම පමණක් සියයට විස්සකින් වර්ධනය වී ඇත. වායු සමීකරණ යන්ත‍්‍ර ඇතුළු විදුලිය මෙවලම් සදහා අවශ්‍යතාව දැවැන්ත බව ප‍්‍රකාශ වී තිබේ.

බිලියන 1.3ක ජනගහනයක් වෙසෙන ඉන්දියාව ලෝකයේ වැඩිපුර බලශක්තිය භාවිතා කරන රටවල් ලැයිස්තුවේ තුන්වැනි තැන සිටී. පරිසර සාධක ගැන කල්පනා කරන විද්වත් පිරිස් හා පර්යේෂණ ආයතන ඉන්දියාව වැනි වැඩි විදුලිය පරිභෝජනයක් ඇති රටවල උත්පාදනක‍්‍රම ගැන අවධානයක සිටී. පුනර්ජනනීය නොවන ක‍්‍රමවලින් විදුලිය නිපදවන ප‍්‍රයත්න අධෛර්යය කිරීම ඔවුන් ගේ අභිප‍්‍රාය බව පෙනේ. අන්තර් ජාතික සංවිධාන ඉන්දියාවේ සැලසුම් සමාලෝචනය කරන අතර අඩුම තරමින් ගිගාවොට් 500 ක පුනර්ජනනීය විදුලිය උත්පාදනයක් කෙරෙහි යොමුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉන්දියාවට දැවැන්ත ආයෝජන ශක්තියක් ඇත. රාජ්‍ය හා පුද්ගලික අංශයේ බලශක්ති උත්පාදන හවුල්කාර ව්‍යාපෘති තිබේ. කෙසේ නමුත් කලාපයේ රටවල් සමග තවදුරටත් බලශක්ති අංශයේ සහයෝගීතාවයකට ගමන් කරන්නට සූදානම් බව පෙනේ. වසර දෙකකට කලින් බූතානයේ ජල විදුලිය උත්පාදන ව්‍යාපෘතියක් සම්බන්ධ ගිවිසුමකට අත්සන් කළ ඉන්දියාව එහි නිපදවන විදුලිය මිල දී ගැනීමේ අපේක්ෂාවෙන් පසුවෙයි. එහි අවසන් අරමුණ පරිසරය ආරක්ෂා කරන අතර අඩුම පිරිවැයකින් උත්පාදනය බව සදහන් කළ යුතුය.

පොසිල භාවිතා නොකරන විදුලිය උත්පාදන සැලැස්මක් ගැන ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය වසරේ පැවැති එක්සත් ජාතීන්ගේ කාලගුණ විපර්යාස ලෝක සමුළුවට සහභාගීවෙමින් කියා සිටියේය. පිරිසිදු විදුලිය උත්පාදනයෙහි වැදගත්කම ගැන 2021 ජනරජ දිනයේ ජාතිය අමතා කතාකරන අවස්ථාවේ දී ද, අගමැතිවරයා විශේෂයෙන් සදහන් කළේය. ලෝකයේ පිරිසිදු විදුලිය උත්පාදනය නංවන අභිලාශයක් ඉන්දියාවට තිබේ. 2021 අය වැය මගින් ද හයිඩ‍්‍රජන් විදුලිය ගැන ඉන්දියාව කරුණු ඉදිරිපත් කර ඇත. පරිසර හිතකාමී පමණක් නොව පිරිවැය සියයට අටක සිට දහයක දක්වා අඩු කරගත හැකි නවීන ක‍්‍රම ඉන්දියාව අත්හදා බලා ඇත.

නවෝත්පාදන අදහස් සහිතව පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කිරීමේ වගකීම බලශක්ති අමාත්‍යංශයට පවරා තිබේ. හයිඩ‍්‍රජන්, ජෛව ඉන්ධන, සින්තටික් ඉන්ධන වැනි අංශ කෙරෙහි සොයා බැලීමට සූදානම්ය. ජෛව තාක්ෂණ, සුළග, ජලය, සූර්ය, උදම් රළ හා මහ පොලවේ තාපය වැනි අංශ වලින් විදුලිය උත්පාදනය කෙරෙහි ද විශාල අවධානයයක් යොමු කර ඇත. ඉදිරි වසර දෙක තුළ හයිඩ‍්‍රජන් නිෂ්පාදනය සියයට විසි පහ දක්වා නංවන අතර ඒවා විදුලිය වෙනුවෙන් පමණක් නොව පොහොර ඇතුළු රසායනික නිපදවීම සදහා ද උපයෝගී කරගනු ඇති බව වාර්තා වෙයි. හයිඩ‍්‍රජන් විදුලිය උත්පාදනය මුල් කාලයේ ඉතා වියදම් අධිකය. ව්‍යාපාරික වශයෙන් ප‍්‍රතිඵලදායක වූයේ නැත. තාක්ෂණය දියුණු කිරීම සමග පිරිවැය පහතය. යුරෝපා ප‍්‍රජාව, ඇමරිකාව හා චීනය ඇතුළු රටවල හයිඩ‍්‍රජන් විදුලිය උත්පාදනය ප‍්‍රචලිත වෙමින් තිබේ. බි‍්‍රතාන්‍ය වසර 2024 වන විට ගිගා වොට් හයක විදුලියක් සදහා හයිඩ‍්‍රජන් බලාගාර ඉදි කරනු ඇත. නෝර්වේ ද ගිගාවොට් දෙකක බලාගාරයක් ස්ථාපිත කරයි. චිලී, ඊජිප්තුව, දකුණු අපි‍්‍රකාව සහ ඔමානය ඉදිරියේ දී හයිඩ‍්‍රජන් විදුලියට නැඹුරුවන බව වාර්තා දක්වයි. සාමාන්‍ය විදුලිය උත්පාදන පිරිවැයට වඩා සියයට හැත්තෑ පහකින් පමණ වියදම අඩු විය හැකි බව පුරෝකථනය වී තිබේ. මෙවැනි ව්‍යාපෘති ආරක්ෂාව කෙරෙහි සැලකිල්ල යොමු කළ යුතු සහ විශාල ආයෝජන බව පර්යේෂකයන් ගේ අදහස වී ඇත.

ඉන්දියානු සැලසුම් අනුව අසල්වැසි රටවලින් හදිසි විදුලිය මිල දී ගැනීම අපේක්ෂාවයි. අනාගතයේ ඇතිවන බලශක්තිය විකිණීම දැවැන්ත ආදායම් මාර්ග වශයෙන් සැලකේ. ඉන්දියානු ජනගහනයට විදුලිය විකිණීම මහවැලි සංවර්ධන ව්‍යාපෘතිවල එක අරමුණක් බව සදහන් කළ යුතුය. සැලසුම් සකස්කරන ලද මුල් වකවානුවේ ශ‍්‍රී ලංකාවේ විදුලිය පරිභෝජනය අධික ඉල්ලූමක නොතිබුණ අතර ජලල විදුලියෙන් කරන උත්පාදනය අපතේ නොයවා වෙනත් රටකට විකිණීමට සූදානම විය. එහෙත් 1977 න් පසු විවෘත ආර්ථිකය සහ එයින් ඇති කරන ලද සමාජ පරිවර්තනය විදුලිය ඉල්ලූම වේගවත් කරන ලද බව සදහන් කළ යුතුය. ශ‍්‍රී ලංකාවේ සෑම නිවසකටම පාහේ විදුලිය ලැබී ඇති අතර ගෘහ විදුලිය මෙවලම් භාවිතය වැඩිවී තිබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අද වන විට රටට අවශ්‍යතරමට විදුලිය ත්පාදනය ප‍්‍රශ්නයක් වී ඇත. අභ්‍යන්තර දත්ත දක්වන අන්දමට විදුලිය උත්පාදනය ප‍්‍රශ්නයක් නොවේ. අවශ්‍ය තරමට දැවිතෙල් බලාගාර ක‍්‍රියාත්මක කළහැක. හදිසි අවස්ථා සදහා පාවෙන දැවිතෙල් බලාගාර සහිත නැව් කුලියට ගැනීමේ පහසුකම ජාත්‍යන්තරව තිබේ. කොළඹ වරායේ දැනටත් එවැනි බත්තල් දැවිතෙල් බලාගාරයක් ඇත. ඒවායේ ඉන්ධන අවශ්‍යතාව රටට දරාගත නොහැකි අධික වියදම් සහගත බව පෙන්වා දිය යුතුය. ඉන්ධන මිල ගණන් වැඩිවන විට ඒවායේ නිපදවන ඒකකයක මිල ඉහළ නගී. පාරිභෝගිකයන්ට වැඩි මිලකට විදුලිය මිල දී ගැනීමට සිදුවිය හැකිය. දැනටත් විදුලිය බිල දරාගත නොහැකි තැනක සිටින සාමාන්‍ය ජනතාවට එය හිරිහැරයකි.

අඩුම මිලට විදුලිය නිපදවන දැවැන්ත යෝජනා ක‍්‍රම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. විශාල ව්‍යාපෘති වලින් ජනනය කරන විදුලිය ඉන්දියාවට පවා සැපැයිය හැක. අතිරේක විදුලිය වෙනත් රටවලට විකිණීමට ලාබ උපයන ව්‍යාපාරයකි. රාජ්‍ය අංශයට හෝ රාජ්‍ය පුද්ගලික ව්‍යාපාර වශයෙන් ඇරඹිය හැකිය. සාග් සංවිධානයේ සම්මුතියකට අනුව ද කලාපයට ගැලපෙන විදුලිය සංචිතයක් පවත්වාගෙන යන ගිවිසුමක් ඇත. ශ‍්‍රී ලංකාව එයට අත්සන් තබා එකග වී සිටී. භූගෝලීය පිහිටීම අනුව පුනර්ජනණීය විදුලිය උත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත්වන අවස්ථාවක් ද අපට තිබේ. එයට සැලසුමක් හා සම්බන්ධීකරණයක් අවශ්‍යය. ඉන්දියාව ට අවශ්‍ය කරන විදුලිය ප‍්‍රමාණය ගැන කල්පනා කරන විට දශක දෙක තුනක කාලයක් සදහා වහා විදුලිය සැපැයිය හැකි වෙළද පොල අවකාශයක් තිබේ.

ශ‍්‍රී ලංකාව හා ඉන්දීය රජයට අයත් විදුලිය සමාගම අතර අවබෝධතාවයක් ඇත. නැගෙනහිර පලාතේ ඉදිවන සාම්පූර් විදුලිය බලාගාරය එකකි. එහි මෙගවොට් 100 විදුලියක් අපේක්ෂා කෙරේ. මුලින් ගල් අගුරු බලාගාරයක් සේ යෝජනා කළ නමුත් පසුව ද්‍රව ගෑස් බලාගාරයක් වශයෙන් ඉදිකරන සේ ඉල්ලීමක් කර ඇත. දැනට ඇති සාකච්ඡා අනුව එය සූර්ය විදුලිය බලාගාරයක් බවට පත්වන්නට ඉඩ තිබේ. ශ‍්‍රී ලංකාවේ සම්පූර්ණ විදුලිය නිෂ්පාදනය මෙගවොට් 4,300 කි. ඉන්දීය රජයට අයත් විදුලිය සමාගම පමණක් එරට අවශ්‍යතා සදහා නිපදවන විදුලිය බලය ප‍්‍රමාණය මෙග වොට් 68,000 කි. ශ‍්‍රී ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ මන්නාරම ආශ‍්‍රිතව සුළං විදුලිය බලාගාර සදහා කදිම අවස්ථා ඇති බව පර්යේෂණ වාර්තා තහවුරු කර ඇත. දැනට කරන ලද ගණන් බැලීම් අනුව අඩුම තරමින් මෙගවොට් 5,000 ක් උත්පාදනය කරන පහසුව තිබේ. දැනට ශ‍්‍රී ලංකාවේ කෙරෙන සමස්ථ උත්පාදනය පවා ඉක්මවා යන විශාල ප‍්‍රභවයකි. එහි පිරිවැය වියදමක් නැත. ආයෝජනය සදහා කරන පිරිවැය පමණකි. පාරිසරික බලපෑම් අවමය. මෙවැනි ව්‍යාපෘතියකට නැඹුරුවුවහොත් ඉන්දු ශ‍්‍රී ලංකා බලශක්ති සබදතා නව මානයකට ගෙන යනු හැකි බව සදහන් කරන්නට අවශ්‍යය.