» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
29/05/2022 - ඉරිදා ලංකාදීප
ජාත්‍යන්තරය අර්බුදයකට පත් කරන විහිළුකාර තරුව

යුක්රේනය සමග ගැටුම් ඇති කරගත් රුසියාව ගැන දෙස් විදෙස් අවධානය යොමු වී ඇත. එතැනින් ඇවිළුණ අර්බුදය ලෝකය පුරා විහිදී ගොස් තිබේ. එක්සත් ජාතීන්ගේ වෙළඳාම සහ සංවර්ධනය පිලිබඳ වාර්තාවක් ජාත්‍යන්ත අර්බුදයෙහි නවතම පැති අනාවරණය කරයි. එහි සඳහන් පරිදි, 2022 වසරේ දී ලෝක ආර්ථික වර්ධනය සියයට 2.6 තෙක් පහත වැටෙනු ඇත. යුක්රේන යුද්ධය සහ නව ක්ෂුද්‍ර ආර්ථික ප්‍රතිපත්ති එහි ලා බලපා ඇති බව දක්වයි. කොවිඩ් වසංගත තත්ත්වයට පසු අුත් අවස්ථා සමග නැගී සිටින්නට වෑයම් කරමින් සිටි ලෝක ප්‍රජාව රුසියාව හා යුක්රේනය අතර මාස ගණනක් තිස්සේ පවතින යුද්ධයෙන් පීඩාවට පත්ව ඇති බව මෙම වාර්තාව අනාවරණය කර ඇත. 2022 වසරේ ලෝක සංවර්ධන පුරෝකථනය සියයට 3.6 කි. එම අපේක්ෂා සීමා කරන බව පැහැදිලිවම දැක්වේ. එය දියුණුවෙමින් පවතින රටවලට තියුණු අභියෝගයකි.

යුක්රේනයේ සිදුවූ දේශපාලන වෙනස ලෝකයට බලපෑ අන්දම ද සලකා බැලිය යුතු කරුණකි. ජනාධිපති සෙලෙස්න්කි 2019 දී බලයට පත්වන අතර ඉතාම ජනප්‍රිය විකට නළුවෙකු වූ හෙතෙම දහ හත්හැවිරිදි වියේ සිට විහිළුකාර චරිත වලට පෙනී සිටියේය. ‘ජනතා සේවකයා‘ නමින් කරන රඟපෑම ඉහළම ප්‍රසාදය දිනා ගනී. එකී ජනපියත්වය උපයෝගී කරගෙන දේශපාලන පක්ෂයක් පිහිටුවයි. පළමු ඡන්දයෙන්ම අති විශාල ඡන්ද ප්‍රමාණයකින් ජයගෙන ජනාධිපති ධුරයට පත්වෙයි. බලයට පත් සෙලෙන්ස්කි ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සමග සබඳතා ඇති කරගත්තේය. නේටෝ සංවිධානයට සාමාජිකත්වය ගැනීමට එකඟ විය. අසල්වැසියාගේ බටහිරට යොමු වූ ප්‍රවණතාව කෙරෙහි නොමනාපය පළ කළ රැසියාව ක්‍රමානුකූලව යුක්රේනය ආක්‍රමණය කළේය. අවසානයේ දී එය ලෝකයේ දෙකෙළවර අවුලුවන තැනක් බවට පත්විය. ඛණිජ තෙල්, ගෑස්, තිරිඟු ඇතුළු වෙළඳ ද්‍රව්‍ය රාශියක හවමාරු අවස්ථා පාලනය වී ඇති අතර එකී පරිසරය, ජාත්‍යන්තර ප්‍රජාව වෙත දැවැන්ත පීඩනයක් එල්ල කර තිබේ. රුසියාවේ බලය සහ බටහිරට නැමෙන්නට යුක්රේනයේ තිබුණ හදිස්සිය දරුණු ගැටුමක් අවුලුවා ඇත. මතුපිටින් පෙනෙන ව්‍යුහයට වඩා ගැඹුරක් ඇත. ඒවා ලෝක ආර්ථිකයේ විෂමතා ඇති කර තිබේ.

මුලින් සඳහන් කළ එක්සත් ජාතීන්ගේ වාර්තාව දක්වන පරිදි, ආසියානු කලාපයේ වේගවත් ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළ ඉන්දියාව පවා සසල වී සිටී. ජාත්‍යන්තරයේ ඇති චක්‍රය අනුව එක සිද්ධියකින් කම්පන ගණනාවක් ඇති කර තිබේ. ඉන්දියාවේ ආර්ථික වර්ධනය සියයට 4.6 තෙක් නැවත සලකා ඇති අතර එය මුලින් අපේක්ෂා කළ සියයට 6.7 සමග සසඳන විට තරමක පිරිහීමකි. ඉන්දීය රජය මෑතක දී විශාල ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනා ගණනාවක් හඳුන්වා දෙනු ලැබීය. වර්ධනය අරමුණු කරගෙන ඒවා ක්‍රියාවට නැගිණ. එයාර් ඉන්දියා ගුවන් සේවය හා ගුවන් තොටුපොල ගණනාවක් පුද්ගලික අංශයට පැවැරීම එයින් ප්‍රධානය. රජය සතු රක්ෂණ ව්‍යාපාරය, දුම්රිය මාර්ග, විදුලිය බෙදාහැරීම ඇතුළු අංශ ගණනාවක් පුද්ගලීකරණය කරන බව නිවේදනය කළේය. ඉන්දීය රජයට අයත් ලාභ උපයන වානිජ බැංකු කිහිපයක කොටස් ද පුද්ගලීකරණයට ලක් කරන ආයතන ලැයිස්තුවට ඇතුලත්ය. මෙවැනි වෙනස්කම් වලින් අනතුරුව පවා පැවැත්ම දුෂ්කර වෙමින් පවතින බව අනාවරණය කළ යුතු කරුණකි.

ආර්ථික වර්ධනය සීමාව තුළ ඉන්දියානුවෝ කැළඹීමකය. පීඩාවට පත්ව සිටිති. සාමාන්‍ය ජනතාවගේ පැවැත්ම දුෂ්කර කරමින් ගෑස්, කිරිපිටි, පෙට්‍රල්, එලවලු තෙල් සහ ආහාර ද්‍රව්‍ය මිල ගණන් සියුම් ලෙස ඉහළ ගොස් ඇත. ඉකුත් අප්‍රියෙල් අවසන් සතියේ ‘ඉන්දියා ටුඩේ‘ සඟරාව මෙම භාණ්ඩ සහ සේවා මිල සම්බන්ධයෙන් කරුණු දක්වමින් කවරයේ කතාවක් පළ කළේය. එය ඉන්දීය ආණ්ඩුවේ දේශපාලනඥයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් එයින් එල්ල කරන ලද විවේචන වලින් කැළඹී සිටී.

නූතන ආර්ථික ප්‍රවණතා අනුව ලෝකයේ තනි ගමන් නැත. සාමුහිකත්වය වැදගත් වී තිබේ. එක රටක ගැටළු නිරාකරණය කරගත නොහැකි වුවහොත් ඒවා ඇවිලී ලෝකය පුරා පැතිරෙයි. බලවත් රටවල් සිය ආසන්න කුඩා රටවල් සමග ආර්ථික හා සමාජ බැඳීම් වලින් එකතු වෙමින් සිටී. ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික හා දේශපාලන ප්‍රශ්න ඉදිරියේ ඉන්දියාව සහායට පැමිණ ඇත. ඉන්ධන, ආහාර, ඖෂධ, පොහොර පමණක් නොව හදිසි ආධාර සංචිතක් ද සපයා තිබේ. මෙවැනි ප්‍රයත්නවලින් පසු, පීඩාවට පත්ව ඇති සමාජ ව්‍යුහය ආරක්ෂාවන අතර කැරළි කෝලාහල අවම කර ආර්ථික වර්ධනය සඳහා අවකාශ සලසා ගත හැකි වනු ඇතැයි සැලකේ. කුළුණු හතරකින් යුතු ඉන්දීය ආධාර ක්‍රමය ශ්‍රී ලංකාවේ ජනතාව දරුණු විපතකින් ගලවා ගත් අතර මෙතැන් සිට ඉදිරියට ගමන් කිරීමේ දී දැවැන්ත ආභාශයක්, ප්‍රතිසංස්කරණ මාලාවක් අවශ්‍ය කෙරේ. ලෝකයේ සිදුවන දේ අනුව එයට ඉදිරියෙන් සිටින පිලිවෙලකට ශ්‍රී ලංකාව නැඹුරුවිය යුතු බව පැහැදිලිය.

ඛනිජ තෙල්, විදුලිය හා ගෑස් සම්බන්ධයෙන් හටගෙන ඇති ගැටළු සඳහා කලාපීය සම්බන්ධතා ඇති කරගත හැක. බොර තෙල් මිල දී ගැනීම, පිරිපහදුව හා විකිණීම සම්බන්ධ රාමුවකට ඉන්දියාව සමග කටයුතු කළ හැක. ත්‍රිකුණාමයේ තෙල් ටැංකි සමූහය සඳහා දෙරට අතර ගිවිසුමක් ඇත. අඩුම දුරක ඇති රටවල් දෙකක ඉන්ධන සැපයුම නල මාර්ගයෙකින් යා කළහොත් ප්‍රවාහන වියදම අඩුවේ. දෙරට අතර ඉන්ධන නැවක් ගමන් කරන්නට දින හතරක් වැය වන අතර එයට විශාල පිරිවැයක් දරන්නට සිදුවේ. ඉන්ධන සංචිත හුවමාරුව තුළින් අමතර පිරිවැය කපා හැරිය හැකි අතර එහි වාසිය ලැබෙන්නේ මෙරට ජනතාවගේ යතුරු පැදියටය. ත්‍රීවීලර් එකට බව සඳහන් කළ යුතුය. දේශපාලනඥයන් මෙම අදහස් වලට කැමැති නැත. බලය ඔවුන් අත තබාගන්නා අතර ඒවායෙන් වාසි අපේක්ෂා කෙරේ. ඉන්ධන වෙළඳාම, විදුලිය නිෂ්පාදනය ඒකාධිකාරයක් පැවත්වා ගැනීම පාලකයන්ට වාසියකි.

ඉන්ධන හා සමානව විදුලිය ද සංචිතයකට යා හැක. විදුලිය උත්පාදනය සඳහා හරිත ප්‍රභව ශ්‍රී ලංකාව සතුව ඇති බව පර්යේෂණ වාර්තා කියයි. මෙම අංශවල ආයෝජනයට වත්කමක් රටට නැත. ජාත්‍යන්තර ආයෝජකයන් සමග එකතු වීමට පියවර ගත හැක. මන්නාරම අවට දූපත් හා මුහුදේ පාවෙන සුළං බලාගාරවලින් දැනට රටට අවශ්‍ය විදුලිය ප්‍රමාණය මෙන් හත් ගුණයක් විදුලිය නිපදවිය හැකි අතර වියදම බිංදුවකි. සූර්ය තාපයෙන්, සුළං බලයෙන් විදුලිය නිපදවන අතර අතිරේක විදුලිය ඉන්දියාවට සැපයීමෙන් ආර්ථික නවෝදයක් ඇති වේ. වරාය පහසුකම් සඳහා අවස්ථාවක් ඇත. ගුවන් තොටුපොල නවීකරණයට ඉඩ තිබේ. වරාය හා ගුවන් තොටුපොල කලාපීය මට්ටමට උසස් කරනු සඳහා ආයෝජන කැඳවිය යුතු අතර දැනට විදේශ විනිමය හිඟයක සිටින රටකට එය ස්වර්ණමය අවස්ථාවකි. පුලුල් අවකාශය ගැන අධ්‍යයනය කර ආර්ථික ප්‍රශ්න වලින් ගැලවෙන උපායක් අදට අවශ්‍ය කර තිබේ.