» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
28/08/2022 - ඉරිදා ලංකාදීප
රතු දත්ත පොතේ සදහන් වන ලංකාවෙන් වදවී ගිය ගවරා

වසර තිස් දහසකට පමණ ඈත කාලයේ ලංකාවේ වැසි වනාන්තරවල විසූ ගෝර් නොඑසේනම් ගවරා ගැන ඉතිහාසයෙහි කියැවේ. මී ගවයන්ට වඩා ශක්තිමත්, දැවැන්ත දේහයක් සහිත ගවරා ආසියාවේ රටවල් ගණනාවක බහුලව දැකගත හැකි වූ නමුත් දැන් රතු දත්ත පොතෙහි වර්ගීකරණය වූ වදවෙමින් පවතින සත්ව විශේෂයකි.

ලෝකයේ රටවල් හා සංවිධාන 1400ක් සොබා දහම සංරක්ෂණය සදහා වූ ජාත්‍යන්තර සංගමයෙහි සාමාජිකත්වය උසුලන අතර එම සංවිධානය ලෝකයෙන් වදවී යන ශාඛ හා සත්ව විශේෂ ආරක්ෂා කරගැනීම සදහා ප‍්‍රයත්නයක නියැලී සිටී. ස්ව්ට්සරලන්තය මූලස්ථානය කරගෙන කටයුතු කරන මෙම ආයතනයෙහි විවිධ අංශවලට සහාය දෙන දහසය දහසකට වැඩි පර්යේෂකයන්, විද්‍යාඥයන් හා ස්වේච්ඡා සේවක කණ්ඩායමක් සිටිති. මෙම සංවිධානය විසින් දැනට ඉතිරිවී සිටින ගවරා විශේෂ සංරක්ෂණය අවශ්‍ය බව යෝජනා කර ඇත. එය සදහා පියවර ගණනාවක් යෝජනා කර තිබේ. පරිසර පද්ධති ආරක්ෂා කිරීම එහි පළමු අදහස වී ඇත. සංවර්ධන කටයුතු සදහා වනාන්තර එළි පෙහෙළි කරන අතර ගවරා ගේ වාසස්ථාන සීමාවීම වදවීයෑමට බලපා ඇති ප‍්‍රධාන හේතුවක් සේ සැලකේ.

ඉන්දියන් බයිසන් යනුවෙන් ද හැදින්වෙන ඉන්දියානු කලාපයේ ගවරා දැනට සතුන් 16,000කට පමණ සීමා වී ඇත. පසුගිය පරම්පරා තුනක් ඇතුලත සත්ව ගහනයෙන් සියයට හැත්තෑවක් පමණ වදවී ගොස් ඇති බව දැක්වේ. වර්තමානයේ මෙම සත්ව විශේෂයෙහි උප කාණ්ඩ තුනක් ආසියාවේ දී හදුනාගෙන ඇත. ඉන්දියාව, නේපාලය හා භූතානයෙහි ප‍්‍රධාන විශේෂය සිටී. මියන්මාරයෙන් සහ මැලේසියාවෙන් අනෙක් විශේෂ දෙක හදුනාගෙන ඇති අතර ප‍්‍රමාණයෙන් හා වර්ණයෙන් සුළු වෙනස්කම් සහිත බව දැක්වේ. ඇමරිකා, යුරෝපා කලාපවල ද බයිසන් යනුවෙන් හදුන්වන විශේෂ සිටී. මෙම කාණ්ඩවල සත්වයන්ගේ ශරීර ප‍්‍රමාණය හා ලෝම වල වර්ණය වෙනස්ය.

රොබට් නොක්ස් ලියන ලද එදා හෙළදිව කාතියේ 17 වැන සියවසේ ලංකාවේ රජකම් කළ දෙවැනි රාජසිංහ රජු ආරක්ෂා කරගෙන සිටි ගවරා ගැන සදහනක් කරයි. ලංකාවේ විසූ මෙම විශේෂයට අයත් අන්තිම සත්වයා විය හැකි බව ඇතැම් පර්යේෂකයන්ට අනුව සැලකේ. ලංකාවේ වනාන්තර ආශි‍්‍රත ප‍්‍රදේශවල සිටි බවට විශ්වාස කරන මෙම ගවරා දඩයම් කිරීම රජවරුන්ගේ ආරක්ෂක භටයන් ධෛර්යවත් කරන සටන් විලාශයක්ව පැවැති බව ජන ප‍්‍රවාදයන් හි සදහන්ය.

පැරණි සටහන් වලට අනුව වියට්නාම්, කාම්බෝජය, ලා ඕසය, තායිලන්තය, මැලේසියාව, මියන්මාර්, ඉන්දියාව, බංගලාදේශය, භූතානය, චීනය, නේපාලය සහ ලංකාව යන රටවල පැතිරී සිටි ගවරා දැන් එම රටවලින් සමහරක ඇත්තේම නැත. සදාහරිත හෝ අර්ධ සදාහරිත වනාන්තර ගවරා ගේ වාස භූමිය වී තිබේ. තණකොළ, උණ පදුරු සහ ළදු කැළෑ බහුල ප‍්‍රදේශවල සතුන්ගේ ව්‍යාප්තිය හොදින් පැතිරී ඇති බවට කරුණු දැක්වේ. විශාල ශරීරයක් ඇති බිහිසුණු පෙනුමක් ද සහිත ගවරා ආහාර සදහා සහ සත්වයාගේ හම ලබා ගැනීම සදහා දඩයම් කරන ලද බව පැරණි වාර්තා දක්වයි. ඉන්දියාවේ වෙරළ තීරයට කිලෝ මීටර් පනහක් පමණ එපිටින් පිහිටි බටහිර කදුකරයේ දැනට ඉන්දියන් බයිසන් ගවරා ගේ වාස භූමි ප‍්‍රදේශයක් හදුනාගෙන ඇත. කේරළ, කර්නාටක, තමිල්නාඩු, ගෝව, මහාරාශ්ඨ හා ගුජරාට් ප‍්‍රාන්ත ඔස්සේ මෙම කලාපය විහිදී ඇත. පසුගිය දා ඉන්දියාවේ මයිසූර් ප‍්‍රාන්තයේ සත්වෝද්‍යානයක් මෙම ගවරා සත්වයන් විසි එක් දෙනෙකුගෙන් යුතු සෆාරි වනෝද්‍යානයක් නිර්මාණය කළේය. එය සංචාරක ආකර්ශනය ඇති කරන අලූත් ව්‍යාපෘතියක් බවට පත්ව ඇත. සිංහ, කොටි සහ අලි යන සත්වයන් නිදහසේ හැසිරෙන ආකාරය දැකබලා ගැනීමට සකස් කරන සෆාරි සංචාර අතර ඊළග කැමැත්ත ගවරා ගේ හැසිරීම නිරීක්ෂණය බව සත්ව ලෝලීහු ප‍්‍රකාශ කරති.

පසුගිය කාලයේ මයිසූර් සත්වෝද්‍යානය ඉන්දියන් බයිසන් ගවරා සංරක්ෂණය කරන විශේෂ ව්‍යාපෘතියක් ඇරඹීය. මේ අතර පසුගිය වසරේ ජනවාරියේ දි ඇමරිකාවේ වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමක් ඉන්දීය බයිසන් ගවරා ගේ ජාන වලින් ක්ලෝනීයකරණ සත්වයෙකු බිහිකරගන්නට සමත්විය. එහෙත් පැය හතලිස් අටකට වඩා ජීවත් කරන්නට අසමත් වූ බව වාර්තා වේ.

ලෝකයෙන් වදවී යන සත්වයන් සහ ශාඛ විශේෂ ආරක්ෂා කිරීම ඉතාම වැදගත්ය. ලංකා ඉතිහාසයෙහි සිද්ධි ගැන කරුණු ගොනුකරන ඉතිහාසඥයෝ සිංහයන් වාසය කළ ස්ථාන හදුනාගෙන ඇත. ගවරා ලංකාවේ ද වනාන්තර ආශ‍්‍රිතව බහුලව දැකගත හැකි වූ සතෙකි. සත්ව හා ශාඛ විශේෂ සෑහෙන ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාවට ආවේනිකය. ආරක්ෂා කරන විවිධ ක‍්‍රියාමාර්ග රජය සහ පරිසරවේදීහු අනුගමනය කරති. පවතින ප‍්‍රබේධ ආරක්ෂා කරන අතර හැකි ආකාරයකින් පැරණි සත්ව හා ශාඛ විශේෂ නැවත ඇති කිරීම මතු පරපුර වෙනුවෙන් කළ හැකි මහගු මෙහෙවරකි.

ආසියානු කලාපයේ ගවරා නැවත මෙරටට හදුන්වා දිය හැක. විශේෂ වනාන්තර ප‍්‍රදේශ වෙන්කර සතුන් බෝ කිරීම ප‍්‍රයෝජනවත් කටයුත්තකි. පින්නවල පිහිටි අලි අනාථාගාරය ජාත්‍යන්තර අවධානය දිනාගෙන ඇත. දකුණේ වෙරළ තීරයේ විශේෂයෙන් බලපිටිය හා බෙන්තර ආශ‍්‍රිතව කරගෙන යන කැස්බෑ සංරක්ෂනය ද ලෝක ප‍්‍රකට ව්‍යාපෘතියකි. කැපවීමෙන් කරගෙන යන එවැනි ව්‍යාපෘති ලෝකයේ විරලය. පරිසර ලැදි ජන කොටස් සංරක්ෂණ පියවර සදහා උපකාර කරන අවස්ථා තිබේ. ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ කරගෙන ආරක්ෂිත සත්ව හා ශාඛ සංරක්ෂණයට උපයෝගී කර ගත හැක. එය නවතම සංචරණ අවස්ථාවක් වනු ඇත. ඉන්දියාව ඇතුළු රටවලින් මේ සදහා අවශ්‍ය ආධාර හා මගපෙන්වීම ලබාගත හැකිය.