» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
28/05/2023 - ඉරිදා ලංකාදීප
විදුලිය උත්පාදනය හා ග‍්‍රිඞ් සබදතාවයෙහි ස්මාට් ප‍්‍රතිපත්ති

විදුලිය ගාස්තු නැවත සංශෝධනය ගැන ආන්දෝලනයක් හටගෙන ඇත. දැනටමත් දැරිය නොහැකි විදුලිය බිලක් ගෙවන පාරිභෝගික ජනතාව අස්වැසිල්ලක් ඉල්ලා සිටිති. නිපදවන මිලට විකිණීම එක ප‍්‍රතිපත්තියකි. අඩු මිලකට විදුලිය නිපදවන ක‍්‍රම කෙරෙහි සොයාබැලීම අනෙක් ක‍්‍රමයකි. ශ‍්‍රී ලංකාව තෝරා ගෙන ඇති ක‍්‍රමවේදය අනුව ඕනෑම මිලක් ගෙවා නිපදවන විදුලිය ආර්ථික අපහසුතාවලට ලක්ව සිටින ජන කොටස් නොසලකා අලෙවි කෙරේ. එම මිලට ප‍්‍රකටව අවධානට ලක්ව ඇති දූෂණ, වංචා සහ අකාර්යක්ෂමතාවය ද ඇතුලත්ය.

විදුලිය ගැන ජාත්‍යන්තරයේ අලූත් අත්හදාබැලීම් සිදුවේ. බලශක්ති වියදම අඩු කරන අලූත් ප‍්‍රවණතා හදුනා ගෙන ඇත. විදුලිය නිපදවීම බෙදාහැරීම හා අලෙවිය රටවල් අතර කරන ජාත්‍යන්තර ව්‍යාපාර බවට පත්ව තිබේ.

ඉන්දියාව අනුගමනය කරන ක‍්‍රමවේදය එයට හොද උදාහරණයකි. ගල් අගුරු, ගෑස්, ඞීසල්, ජල විදුලිය, සුළං බලය, න්‍යශ්ඨික බලය හා ජෛව විදුලිය වැනි අංශ වලින් නිපදවන විදුලිය එකම පද්ධතියකට සම්බන්ධ කර ඇත. එම ග‍්‍රිඞ් සබදතාවය ඉන්දියාවෙන් එපිට සිට කරන විදුලිය ආනයන හා අපනයන සදහා ද විවෘතය. වෙනත් රටකට විකිණිය හැකි හෝ වෙනත් රටකින් මිල දී ගත නොහැකි බලශක්තියක් වශයෙන් විදුලිය බලය සදහා පැවැති ව්‍යුහය අවසන්ය. වරායක් හෝ රේගු පරීක්ෂාවලින් තොර අපනයන අංශයක් වශයෙන් විදුලිය බලයට අවකාශයක් නිර්මාණය වී ඇත.

විදුලිය ව්‍යාපාර අනුව ඉන්දියාව භූතානයෙන් විදුලිය මිල දී ගනී. ජල විදුලිය නිෂ්පාදනයෙන් පොහොසත් භූතානය ඉන්දියාවට විදුලිය අලෙවි කරන අතර ඉන්දියාව තම අතිරේක විදුලිය නේපාලය, බංගලිදේශය හා මියන්මාරයට අපනයනය කරමින් සිටී. විදුලිය හුවමාරුව දෙපැත්තටම සිදුවේ. අතිරේක විදුලිය විකුණන අතර හිග අවස්ථාවක යාබද රටකින් සැපයේ. වසර අවසානයේ දී රටවල් අතර විදුලිය විකිණීමෙන් ලැබෙන මුදල් ආනයන ඉපැයීම් බවට පත්වේ.

අලූත්ම තීරණ අනුව ඉන්දියාවේ විදුලිය පද්ධතිය තව දුරටත් පුලූල් කෙරේ. සවුදි අරාබිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා යා කෙරෙනු ඇත. එය දැවැන්ත සැලැස්මකි. පසුගිය ජනවාරියේ ඉන්දීය බලධාරීහු මෙම සංකල්ප ප‍්‍රකාශයට පත් කළ අතර ඉන්දීය කැබිනට් මණ්ඩලය එය අනුමතකර තිබේ. මැද පෙරදිග රටවල් කරා ගැඹුරු මුහුදේ එලන කේබල් ඔස්සේ විදුලිය අපනයනය කරන අතර පසුව මැද පෙරදිග රටවල් හයක් දක්වා ව්‍යාප්ත කරන්නට සූදානම්ය.

විශ්ව ගම්මානයේ සබදතාවයේ පැතිකඩ සන්නිවේදනය, වෙළදාම සහ විදුලිය බලශක්ති හුවමාරුව වැනි අංශ දක්වා ව්‍යාප්ත වෙමින් තිබේ. ඔස්ටේ‍්‍රලියාව නිපදවන සූර්ය තාප විදුලිය සිංගප්පූරුව දක්වා බෙදාහරින දැවැන්ත ව්‍යාපෘතිය සමග එක්වීමට ද ඉන්දියාව අදහස් කරන බව දැක්වේ. විදුලිය උත්පාදනය හා බෙදාගැනීමේ මෙම අන්තර් ජාතික ස්මාට් ක‍්‍රමවේද අනුව වසර පුරා සමානව නොපවතින උත්පාදන ගැටළුවට නවෝත්පාදන ක‍්‍රම අනුව මුහුණ දිය හැකි බව හදුනා ගෙන තිබේ. ඛනිජ තෙල්, සූර්ය තාපය හෝ සුළග වසර පුරා අඛණ්ඩව එකම මිලකට එකම සැපයුමක නැති අතර එය හේතුවෙන් සිදුවන විදුලිය උත්පාදනය හා බෙදාහැරීමේ අඩාලවීම වලකා ගත හැකි වනු ඇත.

ඉන්දියාව සමග කරන විදුලිය වෙළදාමේ දී භූතානය 2022 වසරේ මාස නමයක් තුළ ඇමරිකානු ඩොලර් බිලියන 11.9 ක ආදායමක් උපයා ගෙන ඇත. 2021 වසරේ ජුනි මාසයේ විදුලිය ඉන්දියාවෙන් ලබා ගැනීමට නේපාලයට සිදුවූ නමුත් පසුව මෝසම් කාලයේ අතිරේක ජල විදුලිය අලෙවි කර ඇමරිකානු ඩොලර් බිලියන 11 ක් උපයා ගැනීමට එරටට හැකියාව ලැබී ඇත. සෝයා බෝංචි අපනයනය ප‍්‍රධානම විනිමය ඉපැයීම වන නේපාලයේ විදුලිය විකිණීම තුන්වැනි ස්ථානයෙහි පවතී. ශ‍්‍රී ලංකාව උග‍්‍ර විනිමය හිගයක පසුවන අතර, මැද පෙරදිග ඇතුළු රටවල සේවය කරන ශ‍්‍රී ලාංකිකයන් එවන ඇමරිකානු ඩොලර් බිලියන හයක පමණ ආදායම ශ‍්‍රී ලංකාව වැඩිම විනිමය ප‍්‍රමාණයක් උපයන ක්ෂේත‍්‍රය බවට පත්ව තිබේ. සම්ප‍්‍රදායික රාමුවෙන් එපිට ඇති අවස්ථා සලකා බැලිය යුතුය.

ශ‍්‍රී ලංකාවේ විදුලිය උත්පාදන හැකියාව සලකා බලන පර්යේෂණ අනුව සුළං බලාගාර ඉදිකිරීමට අවස්ථාවක් ඇත. මන්නාරම හා අවට ගොඩබිම හා නොගැඹුරු මුහුදේ ව්‍යාපෘති ආරම්භ කළ හැකි බව දැක්වේ. දැනට රට තුළකරන විදුලිය උත්පාදනය මෙගාවොට් 4,500 ක් පමණ වේ. අලූතින් ඉදිකරන සුළං බලාගාරවලින් මෙගාවොට් 24,000 ක සිට 30,000 දක්වා උත්පාදනය කළ හැකි බව සනාථ වී තිබේ. දැනට හම්බන්තොට බලාගාරයෙකින් සුළං විදුලිය මෙගාවොට් තුනක් නිපදවෙයි. මන්නාරම ඉදිකළ සුළං කුළුණු තිහකින් මෙගාවොට් 100 න් ජනනය කෙරේ. සුළං විදුලිය බලාගාර සදහා ආයෝජනය කළහොත් කළ හැකි උත්පාදනය ශ‍්‍රී ලංකාවේ අවශ්‍යතාවට වඩා හය ගුණයක් බව විශේෂයෙන් සලකා බැලිය යුතු කරුණකි.

සුළං විදුලිය බලාගාරවලට ආයෝජනය කළ හැකි ජාත්‍යන්තර ව්‍යවසායකයන් කැදවුවහොත් උත්පාදනය කරන විදුලිය රටට ධනය ලැබෙන ව්‍යාපාරයක් වනු ඇත. අලූත් තාක්ෂණය, තරුණන්ට රැකියා අවස්ථා, බදු ආදායම යනා දී වශයෙන් සලකා බැලිය හැකි පැති ගණනාවකි. ශ‍්‍රී ලංකාව සිය සංවර්ධන අභිලාශයන් ඉදිරියේ අමතක නොවන පාඩම් ඉගෙන ගෙන ඇති අතර නිසි අවස්ථාවේ තීරණ නොගැනීම හේතුවෙන්න විශාල වන්දියක් ගෙවා ඇත. අවසානයේ දී එහි පීඩනයට ගොදුරුවෙන්නේ පාලකයන් නොවේ. නිලධාරීන්, වෘත්තීය සමිති, පටු ආකල්ප අනුව ක‍්‍රියා කරන පිරිස් නොවන බව ද මතක තබාගත යුතුය.

මිලින්ද මොරගොඩ