» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
28/03/2021 - ඉරිදා ලංකාදීප
කොවිඞ් වසංගතයට ප‍්‍රතිකාර කරන පෙරළිකාර පිලිවෙල

කොවිඞ් -19 වසංගතය සම්බන්ධ ප‍්‍රතිකාර අරභයා මෙතෙක් පැවැති සම්ප‍්‍රදාය උඩු යටි කුරු කරන තොරතුරක් වාර්තා වී තිබේ. එය නාසයෙන් කළ හැකි සරල ප‍්‍රතිකාරයකි. එන්නත් නිෂ්පාදනය, ලොව පුරා බෙදා හැරීම හා සමස්ථ ලෝක ජනගහනයට දෙවරක් නික්ෂේපනය සම්බන්ධ බාරධූර ගැටළු අභිමුවෙහි පැකිලෙමින් සිටි ලෝක ප‍්‍රජාවට මෙම සරල විසදුම පවතින ව්‍යුහය කණ පිට හරවන පෙරැළිකාර සොයාගැනීමක් බවට පත්ව තිබේ.

පසුගිය වසර පුරා ලෝකයේ සෑම තැනකම එන්නතක් ගැන සාකච්ඡා වෙමින් තිබුණි. රටවල් ගණනාවක පර්යේෂණ සංවිධාන දෙසිය ගණනක් අලූත් කොවිඞ් එන්නත් ගැන කරුණු අත්හදා බලමින් සිටියේය. අවසානයේ දී පර්යේෂණ කණ්ඩායම් කිහිපයක් සාර්ථක ප‍්‍රතිඵල ලැබීය. ඇමරිකාව, බි‍්‍රතාන්‍ය, චීනය, රුසියාව සහ දකුණු කොරියාව ඇතුළු රටවල් හා සංවිධාන ගණනාවක එන්නත් සාර්ථක වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණ කොවිඞ් එන්නත් මහා පරිමානයෙන් නිෂ්පාදනය වෙමින් පවතී. සෑහෙන විශාල වෙළදාමක් ඇරඹී ඇත. ඉන්දියාවේ පූනවල්ලා සමාගම එන්නත් නිෂ්පාදනයෙහි නිරත ලෝක ප‍්‍රකට සමාගමකි. බි‍්‍රතාන්‍ය ඔක්ස්ෆඞ් විශ්ව විද්‍යාලයීය කණ්ඩායමක් සොයා ගත් බෙහෙත එන්නතක් වශයෙන් මහා පරිමානයෙන් නිපදවන්නේ ඉන්දියාවේය. අවශ්‍ය පමණ නිපදවාගත නොහැකි තරමට සංකීර්ණ තත්ත්ව ඇති කරන ලද බව අනාවරණය වෙයි.

ලෝකයේ සියළුම රටවල් එන්නත් කටුවකින් විද ශරීරයට ඇතුළු කරන බෙහෙතක් ගැන අවධානය යොමු කරමින් සිටිය දී ඉන්දියාවේ තවත් සමාගමක් එම සංකල්පය සහමුලින්ම වෙනස් කර තිබේ. භාරත් බයෝ ටෙක් සමාගම නාසයෙන් ඇතුළු කරන දියරයක් මගින් කොවිඞ් ප‍්‍රතිශක්තීකරණය ඇති කරන ක‍්‍රමයක් අත්හදා බලා ඇත. සාර්ථක ප‍්‍රතිඵල ලැබී තිබේ. සායනික අත්හදා බැලීම් වලට අනුමැතිය නිකුත් කර ඇති බව වාර්තාවෙයි. එහි දි ලැබෙන සාර්ථකත්වය අනුව, ඉදිරියේ දී දැනට කරගෙන යන එන්නත්කරණ ව්‍යුහය සම්පූර්ණයෙන් කණ පිට හැරවෙන අතර සාමාන්‍ය පුද්ගලයෙකුට පවා නාසයෙන් ඇතුළු කරන දියර බිංදුවකින් කොවිඞ් වසංගතයට සම්පූර්ණයෙන්ම ඔරොත්තු දෙන පියවරකට යා හැකි වනු ඇත.

භාරත් බයෝ ටෙක් සමාගම දක්වන අන්දමට ඇමරිකාවේ විද්වත් අංශ දෙකක් සමග ඔවුහු සම්බන්ධ වී ඇත. මුලින් එන්නතක් නිපදවන ලද අතර පසුගිය වසරේ අප‍්‍රියෙල් මාසයේ දී එහි සාර්ථකත්වය අත්හදා බලා තිබේ. එතැනින් නතර නොවූ අතර සමස්ථ ලෝක ජනගහනයට ඉක්මනින් හා පහසුවෙන් සැපැයිය හැකි ක‍්‍රමයක් ගැන අවධානය යොමු කර තිබේ. පෝලියෝ එන්නත දරුවෙකුගේ කටට හෙලන ඖෂධ බිංදු කිහිපයකි. එයින් ශරීරගත කරන වයිරසය ජීවිත කාලයටම ප‍්‍රතිශක්තීකරණය ඇති කරයි. හාරත් බයෝ ටෙක් සමාගම කොවිඞ් එන්නත ලබාදීම හා දෙවතාවකට මුළු ලෝක ජනගහනයටම නික්ෂේපනය කිරීමේ බරපතලකම ගැන වෙනම සලකා බලා ඇත. තවත් පර්යේෂණවටයක් අරඹන ඔවුහු සතුන්ට නාසයෙන් ප‍්‍රතිකාර කර කොවිඞ් වයිරසයට ප‍්‍රතිශක්තීකරණය ලබා දිය හැකි බව සනාථ කරගෙන තිබේ. මිනිසුන් උපයෝගී කරගෙන සායනික අත්හදා බැලීමට ඉන්දියාවේ ඖෂධ අධිකාරිය අනුමැතිය නිකුත් කර ඇත.

හයිද්‍රාබාද්වල පිහිටි මෙම සමාගම ඖෂධ ගැන පර්යේෂණ කරන ප‍්‍රකට ආයතනයකි. නිෂ්පාදනය හා බෙදාහැරීම ද සිදුකරයි. පසුගිය වසරේ එහි කාර්ය මණ්ඩලය හත් සියයකි. 2000 වසරේ එන්නත් නිෂ්පාදනයට ප‍්‍රවේශ වූ සමාගම ඉතාම වේගයෙන් සීඝ‍්‍ර වර්ධනයක් අත් පත් කරගෙන තිබේ. දැනට කරගෙන යන කොවිඞ් එන්නත් නිෂ්පාදන ආයතන අතර තවත් එකක් පමණක් නොව පෙරැුලිකාර අදහස් අනුව ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ ආයතනයක් වශයෙන් ද සැලකේ.

ජාත්‍යන්තර වාර්තා දක්වන අන්දමට එන්නතක් විද ගැනීම වෙනුවට නාසයෙන් බෙහෙත් බිංදුවක් ඇතුළු කර කොවිඞ් ප‍්‍රතිදේහ ඇති කරන ප‍්‍රයත්නයක් සදහා පර්යේෂණ කරන සමාගම් හතරක් තිබේ. භාරත් බයෝ ටෙක් එම සමාගම් අතර ඉහළ විශ්වාසනීයත්වයක් දිනා ඇති බව ස`දහන්ය. මිලි මීටර් දශම එකක තරමේ ඖෂධ මාත‍්‍රාවකින්, කිසිම වේදනාවක් රහිතව තමන්ම ප‍්‍රතිකාර කර ගැනීම වියදම විශාල වශයෙන් සීමා කිරීමකි. ගමන් බෑගයක හෝ සාක්කුවේ ගෙන යාහැකි ප‍්‍රතිකාර ක‍්‍රමයකින් ලැබෙන සාර්ථකත්වය කෙරෙහි ලෝක ප‍්‍රජාව බලවත් විමසිල්ලකින් සිටින බව මෙහි දී සදහන් කළ යුතුය. මෙය කොවිඞ් -19 වසංගතය කෙරෙහි තිබුණ කැළඹීම සෑහෙන තුනී කරන ප‍්‍රයත්නයකි.

කොවිඞ් වයිරස යේ මුල මැද සහ අවසානය තවමත් නිශ්චිත නැත. චීනයේ වූහාන් ප‍්‍රාන්තයෙන් ඇරඹුන බව මුල් කාලයේ කියැවුණි. චීන වයිරසයක් බව දක්වන්නට ද නැඹුරුවක් තිබුණි. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය එය පදනම් විරහිත බව අනාවරණය කළේය. වුහාන් ප‍්‍රාන්තයට ද වයිරසය එන්නට ඇත්තේ ශීත කළ ආහාර තොගයක බව නිරීක්ෂණය කර ඇත. අද වන විට එකිනෙකට වෙනස් ප‍්‍රබේධ හතරක් දක්වා කොවිඞ් වයිරසය වැඩි දියුණූ වී තිබේ.

ලෝකය පුරා මිලියන 120 ක ජන කොටසක් කොවිඞ් වයිරසයට ගොදුරු වී සිටී. සම්පූර්ණයෙන් සුවපත් වූ පිරිස මිලියන 67 ක් බව සදහන්ය. ජීවිතක්ෂයට පත් ප‍්‍රමාණය මිලියන 2.65 කි. වයිරසයේ පැතිරීම ලෝක ආර්ථිකය බලවත් අර්බුදයකට තල්ලූ කළේය. රටවල් සෑහෙන ප‍්‍රමාණයක් වරින් වර තාවකාලිකව වසා දමන තැනට පත්විය. සංචාරක ව්‍යාපාරය, ගුවන් සේවා සමාගම් සහ රක්ෂණ ආයතන වල වඩාත් ගැටළු ඇති විය. මිලියන ගණනක් ජනතාවගේ රැකියා අහිමි වූ අතර තවත් මිලියන ගණනක ගේ ආදායම අවිනිශ්චිත තැනකය. බිද වැටුණ ආර්ථිකය යළි නගා සිටුවනු සදහා ලෝකයේ බලවත් රටවල් අති වීශාල ධනස්කන්ධයක් යොදවා තිබේ. ලෝක සංවිධාන විශේෂ ණය ක‍්‍රම අරඹන ලද අතර දුප්පත් රටවල් කලින් ගත් ණය ආපසු අය කරගැනීම ප‍්‍රමාද කරන තීරණ ගත්තේය. ආර්ථික ප‍්‍රතිසංස්කරණය ප‍්‍රමුඛ අවශ්‍යතාවයක් විය. කොවිඞ් රෝගී තත්ත්වයකින් මිය යන පිරිසගේ සිරුරු සම්බන්ධව අනුගමනය කළ යුතු පියවර ගැන මහත් භීතියක් මුල් වකවානුවේ හටගෙන තිබුණි. සිරුරු වලින් නික්මෙන විෂබීජ වලින් රෝගය වඩාත් පැතිරෙන බවට සැකයක් තිබුණ නමුත් පසුව එවැනි කිසිම අවදානමක් රහිත බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කළේය.

කොවිඞ් වයිරසයේ බලපෑමෙන් ජන සමාජය සම්පූර්ණයෙන් නිදහස් වී නැත. එක පැත්තකින් සමාජ දුරස්ථකරණය බලවත් සාධකයක් වන අතරවාරයේ එදිනෙදා කටයුතු පහසුකර ගැනීම සදහා තාක්ෂණය භාවිතා කරන තැනට යොමුවිණ. අපේක්ෂා කළ කාලයට වඩා ඉක්මනින් ලෝක ප‍්‍රජාව රොබෝ තාක්ෂණයට හුරුවන බවක් අනාවරණය විය. එවැනි අර්බුදකාරී සමාජ පැවැත්මක් තුළ, සොයාගත් කොව්ඞ් එන්නතට ලැබුණේ ලෝක ඉතිහාසයේ නොතිබුණ ප‍්‍රතිචාරයකි. සායනික අත්හදා බැලීම් හා සමාන්තරව එන්නත් කිරීම ඇරඹීම විශේෂත්වයක් විය. එය මහත් අස්වැසිල්ලක් වූ බව නොරහසකි. කෙසේ වෙතත් නාසයට හෙලන එක මාත‍්‍රාවකින් සම්පූර්ණ ප‍්‍රතිශක්තිකරණයක් ඇති කරගන්නා තැනකට තත්ත්වය වෙනස්වීම බලවත් පරිවර්තනයකි. වෙනස් අන්දමට හිතන, අලූත් අදහස් ඇතිව ක‍්‍රියා කරන අවස්ථාවල බලවත් පෙරැළි සිදුවෙයි. අසල්වැසි ඉන්දියානු සමාගමක් මෙතෙක් තිබුණ රාමුව වෙනස් කරන පියවරකට මුල පුරා ඇත. එය විශේෂ අවධානයට ගත යුතු කරුණකි.