» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
28/02/2021 - ඉරිදා ලංකාදීප
ශ‍්‍රී ලාංකේය අනන්‍යතාව පිළිබිඹු කරන ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන

ගෞතම බුදු රජාණන් වහන්සේ ගේ ජීවිතය හා සම්බන්ධ ස්ථාන සියැසින් දැකබලාගැනීම බොදුනුවන් තුළ ඇති සිහිනයකි. සිද්ධාර්ථ කුමාරයා උපත ලැබූ, බුදු බවට පත් වූ සහ පිරිනිවන් පා වදාල ස්ථාන කෙරෙහි බෞද්ධයන් තුළ මහත් හැගීමක් තිබේ. කාලාන්තරයක් තිස්සේ සිදුවූ වෙනස්කම් විශාල ඓතිහාසික වටිනාකමක් ද ඇති කර තිබේ. වර්තමාන දේශ සීමා අනුව ඉන්දියාව, නේපාලය යන රටවලට අයත්ය. එම උරුමය ගැන එම රටවලටත් වඩා කැක්කුමක් මෙරට බොදුනුවන් තුළ පවතින බව සදහන් කළොත් සාධාරණය.

බෞද්ධ සිද්ධස්ථාන සෑහෙන ප‍්‍රමාණයක් නවීකරණය වී තිබේ. තවත් කොටසක් එසේ කළ යුතුව ඇත. අධිරාජ්‍යවාදීන් ගේ ක‍්‍රියාකාරකම් ඉදිරියේ සෑහෙන පරිහානියක් පසුගිය කාල වකවානුවල ඇත. අනෙක් ආගමිකයන්ගේ බලපෑම් ද බලපාන්නට ඇති බව නිසැකය. සමහර ස්ථාන ආරක්ෂා වෙන්නේ ලාංකිකයන්ගේ මහත් පරිශ‍්‍රමයෙන්ය. බුද්ධගයාව එයින් එක තැනෙකි. අනගාරික ධර්මපාල තුමන් එවකට බුද්ධගයාව ප‍්‍රදේශයේ සංචාරය කරන විට එය වෙනත් හින්දු ආගමික පිරිසක් අතට පත්ව තිබිණ. මහත් පරිශ‍්‍රමයකින් එය නැවත ලබාගෙන තිබේ. යුනෙස්කෝව අද එය ලෝක උරුමයක් වශයෙන් නම් කර තිබේ.

ඉන්දියාව විශාල රටකි. එහි විවිධ ප‍්‍රාන්ත වල බෞද්ධ සිද්ධස්ථාන විශාල ප‍්‍රමාණයක් ඇත. නේපාලය දක්වා ව්‍යාප්තය. බුද්ධ චරිතයට සම්බන්ධ ස්ථාන කොපමණ ද යන්න නිශ්චිතව දක්වන්නට අපහසු තරමට විහි දී තිබේ. බැතිමතුන් සදහා තෝරාගත් ස්ථාන ප‍්‍රමාණයක් වන්දනාමාන කරන සංචාර සංවිධානය කෙරේ. අභ්‍යන්තර ගුවන්ගමන් රහිත අවස්ථාවල මේවායේ සංචාරය මාසයක පමණ කාලයක් ගතවන වැඩ සටහනකි. විවිධ සමාජ ආර්ථික පසුබිම් සහිත තැන් සහ නොයෙක් සංස්කෘතික අනන්‍යතා සහිත ස්ථාන බව සදහන් කළ යුතුය.

ඉන්දු ලංකා සබදතා ගොඩනැගීමට වෑයම් කිරීමේ දී බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමට පියවර ගැනීම එක වැදගත් අංශයකි. මෙරට මහා සංඝරත්නය, ගිහි පාර්ශවය සහ රජයේ හා පුද්ගලික අංශයේ හවුල්කාරීත්වයෙන් සෑහෙන කාර්ය භාරයක් සිදුවෙයි. ඉන්දිය මධ්‍යම රජය හා ප‍්‍රාන්ත ආණ්ඩු එයට නිසි අවකාශයක් සැපයීම අගය කළ යුතුය. ඇතැම් සිද්ධස්ථානයක් හෝ බැතිමතුන්ට පහසුකම් සපයන තැනක් පාලනය කරන්නේ ලාංකිකයන්ය. ලාංකේය ස්වාමීන් වහන්සේලා ය. ඉතාම දුෂ්කරතා මැද බලවත් උත්සාහයකින් ක‍්‍රියා කරන බව සදහන් කළ යුතුය. ඇතැම් කටයුතු වෙනුවෙන් ප‍්‍රමාණවත් ධනය නැත. ආණ්ඩුවලින් හෝ ප‍්‍රාන්ත බලධාරීන්ගෙන් සහාය ලැබෙන්නේ කලාතුරකින්ය. බැතිමතුන් ගෙන් ලැබෙන උපකාර බලවත් පිටිවහලකි. සමහර අවස්ථාවල තීරණ ගැනීමේ දී ඉන්දියාවේ හා ශ‍්‍රී ලංකාවේ ආයතන සමග සාකච්ඡා කරන්නට සිදුවෙයි. පවතින කොවිඞ් වසංගත තත්ත්වය ඉදිරියේ ඉතාමත් සංකීර්ණතා ඇති කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ සංඝයා වහන්සේලා හෝ ගිහි පිරිස් එකතු වී කරගෙන යන කාර්යය ශක්තිමත් කරන්නට අවශ්‍යය. අලූත් ප‍්‍රතිපත්ති හා සම්බන්ධීකරණ වැඩ පිලිවෙලක් උවමනා වී තිබේ. ස්ථාන හදුනාගැනීම එයට කලින් සිදුවිය යුතු දෙයකි. තාක්ෂණික වශයෙන් විශාල පරිවර්තනයක් සිදුවී ඇත. සන්නිවේදනය සියුම්ය. ප‍්‍රබලය. මෙම ව්‍යුහය ඉන්දියාව කේන්ද්‍ර කරගෙන පිහිටි බෞද්ධ සිද්ධස්ථාන වලට සම්පාදනය කරන්නට අවශ්‍යය. බුදු රජාණන් වහන්සේ විසූ කාලය, එහි යටගියාව ගැන සොයන්නට වෙහෙසෙන බෞද්ධ දර්ශනය ගවේශනයට කැමැති, විශාල ජනකොටසක් ලෝකය පුරා විසිරී සිටිති. චීනයේ පාහියන් භික්ෂුව, ඉන්දියාව ඔස්සේ ලංකාවකරා පැමිණි අතර එය එකල තිබුණ ගවේශණගීලී උවමනාවේ සංකේතයකි. සිද්ධස්ථාන සම්බන්ධ කරන අවම වශයෙන් දුරකතන අංක හා විද්‍යුත් ලිපිනයන් ඔස්සේ සංවාදයකට ඉඩ දෙන වාතාවරණයක් අවශ්‍යය. තාක්ෂණික දියුණුව සමග අලූත් යුගයක් කරා අවතීර්ණ වී තිබේ. කොවිඞ් වසංගත තත්ත්වය හෙයින් සංචරණය සිමා වී ඇති කාල වකවානුවක් හෙයින් ලෝකයේ ඕනෑම තැනක සිට අන්තර් ජාලය මගින් ප‍්‍රවේශවන පහසුව සකස් කරන අවස්ථා තිබේ. ප‍්‍රදර්ශනාගාර, කෞතුකාගාර වලට මුදල් ගෙවා අන්තර් ජාලයෙන් ඇතුළුව ඉතා දියුණු කැමරා පද්ධති ඔස්සේ තමන්ට රිසි පරිදි නිරීක්ෂණයට ක‍්‍රමෝපාය සකසා තිබේ. ශ‍්‍රී ලංකාවේ බැතිමතුන්ට ද සජීවී හා සමානව දර්ශන දැකබලාගෙන සිත් පහන් කරගන්නට හැකි පරිදි නවීකරණය කළ හැකිය. ඉන්දීය රජය හා ශ‍්‍රී ලංකාව අතර සහයෝගීතාවයකින් මෙවැනි පියවරක් හදුන්වා දෙන්නට හැකියාව තිබේ.

මෙහි දී සාකච්ඡා කරන්නේ ඉන්දියාවේ පිහිටි බෞද්ධ උරුමයක් සහිත ස්ථාන සම්බන්ධවය. ලෝක උරුමයක් වන එවැනි තැන්, කළමණාකරණය කරමින් කටයුතු කරන ලාංකේය ස්වාමින්වහන්සේලා සෑහෙන පිරිසක් ඉන්දියාවේ වැඩ වාසය කරන බව සදහන් කරන්නට අවශ්‍යය. බුද්ධගයාව, ලූම්බිනි, කපිලවස්තු, සාරානාත්, කෘෂිනගර්, සාංචි විහාරය, මුලගන්ධ කුටි විහාරය ආදී වශයෙන් ස්ථාන වල ඉදිරි අවශ්‍යතා සාක්ෂාත් කරන්නට අවශ්‍ය වෙයි. මහා බෝධි සමාගම ඉන්දියානුහා ශ‍්‍රී ලංකා වශයෙන් දෙකක් පවත්වාගෙන යයි. විහාරස්ථාන ආශ‍්‍රිතව නවාතැන් සපයන මධ්‍යස්ථාන විශාල සංඛ්‍යාවකි. ඒවායේ අලූත්වැඩියා හා නඩත්තුව සදහා අවධානය යොමු කිරීම අවශ්‍යය. තාවකාලිකව නතර වී ඇති නමුත් වන්දනා කණ්ඩායම් සංවිධානය කරන ආයතන විශාල ප‍්‍රමාණයක් තිබේ. සංචාරක පිරිස් වෙත සපයන සේවා ප‍්‍රමිති සම්බන්ධ ගැටළු ඇත. අය කරන ගාස්තු වල විෂමතා ඇති බව වාර්තා වී තිබේ. වන්දනාකරුවන්ගේ ගෞරවය ආරක්ෂා කරමින් නිසි පිලිවෙලක් ඇති කිරීම අවශ්‍යය. එයට නායකත්වය සපයන ඉන්දු ශ‍්‍රී ලංකා පරිපාලනයක් යෝජනා කිරීම සුදුසු බව පෙනේ. වන්දනා සංවිධානය කරන පිරිස් ලියාපදිංචිකර ආචාර ධර්ම මාලාවක් ප‍්‍රකාශයට පත් කිරීම අවශ්‍යය.

ඉන්දු ලංකා බෞද්ධ සම්බන්ධතා තර කිරීමෙන් අලූත් අවස්ථා සම්පාදනය කළ හැකිය. බෞද්ධ අධ්‍යාපනය එක අංශයකි. ඉන්දියාවේ විශ්ව විද්‍යාලවල ඉගෙන ගැනීමට මෙරට හිමිපාණන් වහන්සේලා සහ ශිෂ්‍ය ශීෂ්‍යාවන්ට අවකාශයක් ඇත. ශිෂ්‍යත්ව ක‍්‍රම සංවිධානය කරගැනීමට හැකියාව තිබේ. බෞද්ධ අධ්‍යාපනයට සේවාවක් සැලසිය හැකිය. ඉන්දියාවේ තරුණන්ට මෙරට විශ්ව විද්‍යාලවලට ඇතුළුව බුද්ධ දර්ශනය හදාරන්නට ඉඩ සැලසීම අවශ්‍යය. බෞද්ධ හා පාලි අධ්‍යාපනය වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ පහසුකම් තිබේ. ඒවා ප‍්‍රයෝජනවත් පරිදි හැසිරවීමෙන් රටවල් දෙකටම වාසි අත්කරගත හැකි බව නිරීක්ෂණය කළ හැකි කරුණකි. දැනට අවිධිමත් හා ප‍්‍රමිතියක් රහිත අංශ අලලා සමාලෝචනයක් කරන්නට සිදුවී තිබේ.

කොවිඞ් වසංගත තත්ත්වයට කලින්, වසරක් පාසා ශ‍්‍රී ලාංකිකයන් ලක්ෂ ගණනින් ඉන්දියාවේ බෞද්ධ ස්ථාන වන්දනා කරන සංචාරවල නියැලි තිබේ. දැනට සීමා වී ඇති මෙම අවකාශය නැවතත් ආරම්භ වනු ඇති බවට බලාපොරොත්තු පළ කළ හැකිය. සංචාරයේ දී වීසා ප‍්‍රශ්න ඇතිවෙයි. නිසි කළමණාකරණයක් රහිත තත්තව යටතේ වැදගත් සිද්ධස්ථාන නරඹන වරම අහිමි වන අවස්ථා තිබේ. මේවා සම්බන්ධව පුලූල් සාකච්ඡාවකින් ගැටළු නිරාකරණය කරගත හැකිවනු ඇත.

ඉන්දියාවේ බෞද්ධ උරුමය ගැන ඉන්දියාවටත් වඩා ඇල්මක් ශ‍්‍රී ලංකාවට තිබේ. මෙරට බොදු බැතිමතුන් තුළ පවතින හැගීම් තේරුම් ගත යුතුය. එහෙත් ඉන්දියාවේ ආගම් වශාල ප‍්‍රමාණයකි. අනෙක් ආගම් අතර බුද්ධාගම ද එක දර්ශනයක් පමණකි. ඉන්දියාවේ ඇතැම් නගරවල වෙසෙන්නන් බෞද්ධ වතාවත් ගැන හෝ ස්වාමීන්වහන්සේලාගැන පවා නොදන්නා බව ප‍්‍රකටය. මේවා කාලානුරූපව වෙනස් කරන අවශ්‍යතාවයක් ඇත. ස්වාමීන්වහන්සේලා ගේ සහ බෞද්ධ සංවිධාන වල එකමුතුව ශක්තියක් කරගත හැකි අතර එයට මුල පුරන පිලිවෙලක් සකස් කළ යුතුය.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපියනට යොමු කළ හැකිය.