» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
27/11/2022 - ඉරිදා ලංකාදීප
මැතිවරණ වියදම් පාලනය කිරීම සහ ශ්‍යාම් සරන් ගෙන් උගත් පාඩම්

මැතිවරණ වියදම් පාලනය කිරීමට අදාලව අලූත් පණත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානමක් ඇත. ශ‍්‍රී ලංකාවේ දේශපාලන ක‍්‍රමය විශාල මුදල් නාස්තියක් බවට පත්ව තිබේ. වත්කම් බැරකම් ප‍්‍රකාශ කරන අපේක්ෂකයෝ මැතිවරණයේ දී වියදම් කරන මුදල සියළු සීමාවන් අභිබවා යයි. මනාප ක‍්‍රමය හා දිස්ත‍්‍රික්කයක් පුරා මෙහෙයැවිය යුතු ඡුන්ද ප‍්‍රචාරක කටයුතු සම්පත් නාස්ති කිරීමට හේතු වී ඇත. සාධාරණ මැතිවරණ කි‍්‍රියාවලියක් සදහා ප‍්‍රයත්නයක් දරන නමුත් නීති පැනැවීමෙන් පමණක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කළ නොහැක. ඡන්දය ඉල්ලන අපේක්ෂකයන්ට පමණක් නොව ඡන්දය ප‍්‍රකාශ කරන පුරවැසියන්ට ද වගකීමක් ඇත.

ශ‍්‍රී ලංකාවේ දේශපාලනයේ දී පාක්ෂිකයන් හෝ ආධාරකරුවන් ඉහළින් සිටී. මැතිවරණයට වියදම් කරන, වේදිකා හදන, පෙලපාලියන පමණක් නොව මිනී මරාගන්නා තරමට ප‍්‍රචණ්ඩවන පිරිස් මැතිවරණ ප‍්‍රතිඵලය අවසානයේ වපුරන ලද දෙයින් අස්වැන්න අපේක්ෂා කරති. ආණ්ඩුවේ තනතුරු, කොන්ත‍්‍රාත්, ව්‍යාපාර සදහා මැති ඇමැතිවරුන්ගේ අනුග‍්‍රහය අපේක්ෂා කරති. ආණ්ඩුව මාරු වන විට එතෙක් කටයුතු කරගෙන සිටි පිරිස් පලවා හැර, ටෙන්ඩර් අවලංගුකර ආධාරකරුවන්ට අවස්ථාව දෙන අතර එය මැතිවරණ වියදම් පියැවීමේ පියවරකි. මෙම සම්පූර්ණ ක‍්‍රියාවලියට වන්දි ගෙවන්නේ ජනතාව බව අමතක කළ යුතු නැත. මැතිවරණ ක‍්‍රියාවලියට හා ආණ්ඩුවෙන් නඩත්තු කරන ආධාරකරුවන්ට වැය කරන ධනය ජාතික ආර්ථිකයට බරකි.

දේශපාලන පක්ෂවලට ලැබෙන ආදායම, අපේක්ෂකයන් එකතු කරන ධනය ගැන විශාල විවේචන තිබේ. විනිවිද පෙනෙන මුදල් හැසිරවීමක් නැත. මැතිවරණ කොමිසමට අනුව පක්ෂ ලබාගන්නා ඡන්ද ප‍්‍රමාණය සලකා වියදමට ආධාර කරන ක‍්‍රම හදුන්වා දී ඇති නමුත් නීති හා විධිවිධාන ඉක්මවා කටයුතු සිදුවේ.

අපේක්ෂකයන්ට ධනය විසි කළ හැකි අතර ඡන්දය ලබාගැනීම අරමුණු කරගෙන විශාල යාන්ත‍්‍රණයක් ඇති කළ හැක. එහෙත් ඡන්දය ලකුණු කිරීමේ අයිතිය මහජනතාව සතුය. ඡන්දය පවත්වන දිනයේ වගකීමක් ඇතිව කාඞ්පත සලකුණු කළහොත් යහපත් මිනිසුන් පාර්ලිමේන්තුවට යැවිය හැකිය. පාර්ලිමේන්තුවේ, පලාත් සභාවේ හෝ පලාත් පාලන ආයතනයේ නියෝජිතයන්ගේ දූෂණ, මැරකම් සහ සුදුසුකම් ගැන ප‍්‍රශ්න කරන අප සියළු දෙනා ඔවුහු පත්කර යැවීමේ කාර්යයයේ කොටස්කරුවෝ වෙති. එය අමතක කළ යුතු නැත. එය වතාවක දී පාඩමක් ඉගෙනගන්නා ඡන්ද දායකයෝ දෙවැනි වතාවේ දී ද නැවතත් පත් කරන බහුතරයක් පැරණි එපා කරන ලද පිරිසම බව පෙනේ. දේශපාලනඥයන්ට දොස් කියන, ඔවුන්ට ගරහන නමුත් සියළුම දෙනා ලක්ෂ ගණන් ඡන්ද පදනමක් ඇති පිරිසකි. මැතිවරණ වියදම් පාලනය හා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ඉදිරියේ අප සියළුම දෙනාට විශාල වගකීමක් ඇත. පක්ෂය නම් කරන අපේක්ෂකයන් අතරින් සුදුසුම පුද්ගලයන් තෝරා ගැනීම කළ යුතු අතර ජනතාව පක්ෂ දෙන ලැයිස්තුව අනුමත කිරීම වෙනුවට අපට අවශ්‍ය නියෝජිතයන් තෝරා ගතහොත් පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැක.

ඉන්දියාවේ ඉන්දියාවේ හිමාචල් ප‍්‍රාන්තයේ ජීවත් වූ ශයාම් සරන් නේගි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමක් කරන්නට කැප වූ සංකේතයකි. හෙතෙම ඉන්දියානු මැතිවරණයක දී පළමුවෙන් ඡන්දයක් දැමූ පුද්ගලයාය. වසර එකසිය පහක් ජීවත් වූ ශයාම් සරන් පසුගිය නොවැම්බර් පස් වැනි දා අභාවයට පත් වූ අතර රාජ්‍ය ගෞරව සහිතව අවසන් කටයුතු සිදු කෙරිණ.

පළමු ඡන්දයේ සිට ජීවිතයේ අවසාන මොහොත දක්වා හිමාචල් ප‍්‍රදේශී හි ජීවත් වූ හෙතෙම අඛණ්ඩව 34 වතාවක් ඡන්දය ප‍්‍රකාශ කර ඇත. ඡන්දදායකයාගේ වගකීම අකුරටම ඉටු කරන ලද ඔහු කිසිම දේශපාලනඥයෙකු ගෙන් තනතුරක්, වාසියක් හෝ ලාභ ප‍්‍රයෝජනයක් ගෙන නැත. එය විශේෂත්වයකි. ජීවිතයේ අවසාන කාලයේ දී කීර්තිය ප‍්‍රසංසාව ඔහු කරා පැමිණි අතර එයට එකම හේතුව වූයේ නොකඩවා, නොවරදවා ඡුන්දය පළ කිරීමට දක්වන ලද අපතිහත කැපවීමයි. ශාරීරික වශයෙන් අබල දුබල නමුත් ඡන්දය දිනයේ ඇදුම් දෙක තුනක් ඇද ගන්නා ශ්‍යාම් සීතල හිම මිදුණ මාවත දිගේ ඇවිද ගොස් ඔහුගේ රාජකාරිය අවසන් කරයි. ජීවිතක්ෂයට පත්වීමට දින තුනකට කලින් තිබුණ මැතිවරණයේ දී ද, තැපැල් ඡුන්දය සදහා වෙනම ලේඛනයක් ඔහුට සැපයීමට මැතිවරණ කෙමිසම වගබලාගත්තේය. ඇස් පෙනීම ඉතාම දුර්වල ඇවිද ගග්නට පවා අපහසු ශ්‍යාම් සරන් එය ප‍්‍රතික්ෂේප කළ අතර ඡන්ද පොලට යන්නට කැමැති විය. මහත් සතුටින් එම රාජකාරිය ද අවසන් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ලද කරුණකි.

ශ්‍යාම් සරන් ඉන්දියානු දේශපාලන ක‍්‍රමයේ පිරිහීම ගැන මහත් කම්පාවෙන් කතා කළ පුද්ගලයෙකි. ඔහු ප‍්‍රකාශ කරන පරිදි ‘‘මෑත කාලයේ දේශපාලනඥයන් ඉතාම දූෂිත බව අහන්නට ලැබෙන අතර එය සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව තිබේ.’’ ශ්‍යාම් ප‍්‍රකාශ කළ පරිදි ‘‘ප‍්‍රතිපත්තිගරුක සැබෑ මිනිසුන් වෙත දේශපාලන පක්ෂ සමීප නැති අතර මහජන අවශ්‍යතා ගැන සියුම් සාකච්ඡාවලට සහභාගීවීමට වඩා පාර්ලිමේන්තුවේ වටිනා කාලය නාස්ති කරයි. වයස්ගත හෙතෙම ඡුන්ද මධ්‍යස්ථානයේ දී මාධ්‍යයට ප‍්‍රකාශ කළේ ‘‘මගේ සතුට වෙනුවෙන් නොවේ. හොද පුද්ගලයෙකුට සහයෝගයක් දෙන්නයි’’යනුවෙනි. ශ්‍යාම් ගෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජන සමාජයට උගන්වන පණිවුඩයක් තිබේ. සුදුසු පුද්ගලයන් තෝරා ඡාන්දය ප‍්‍රකාශ කළ යුතුය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එය ඉතාම වැදගත්ය. මැතිවරණ වල දී මහත් ප‍්‍රචාරක උපක‍්‍රම මැද පැමිණෙන දේශපාලනඥයෝ අහිංසක ඡන්ද දායකයන් ගේ අයිතිය තමන්ගේ පැත්තයට හරවා ගනිති. එහිලා අනුගමනය කරන ක‍්‍රම ඉතාම සංකීර්ණය. කිසිසේත් ඉටු කළ නොහැකි පොරොන්දු ජනතාව හමුවේ තබයි. දූෂණය, වංචාව, රට බෙදීම හා රට විකිණීම ගැන මහත් ආවේගයෙන් කතා කරති. පසුගිය දශක කිහිපය තුළ මෙම විකෘති දේශපාලනයෙන් පැමිණි ගමන විසින් ලාංකේය ජන සමාජය ඉතාම අභාග්‍යසම්පන්න ස්ථානයකට කැදවා ඇති බව සදහන් කළ යුතුය.

පවතින ඡන්ද ක‍්‍රමය අනුව සුදුසුම පුද්ගලයන් වෙනුවට පාක්ෂිකයන්ට ලැදි, පාක්ෂිකයන්ට උපකාර කරන දේශපාලනඥයාට අවස්ථාව ලැබේ. ප‍්‍රතිපත්ති ගරුක පුද්ගලයෝ විසි වෙති. ශ්‍යාම් සරන් නියෝජනය කරන මධ්‍යස්ථ ඡන්ද දායකයන්ගේ හඩ යටපත්වන අතර වඩාත් තර්ජනාත්මකව නැගෙන්නේ පාක්ෂිකයන්ගේ ඝෝෂාවය. සුදුසු පුද්ගලයන්ට ඡන්දය ප‍්‍රකාශ කළ යුතු අතර අපේක්ෂකයන් තෝරා ගැනීමේ දී පක්ෂයට ආඩම්බර විය හැකි අපේක්ෂක කණ්ඩායමක් පත්කරගැනීම ද දේශපාලන පක්ෂ නායකයන්ගේ වගකීමකි. ශ‍්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ, ඒවා වටා එකතු වී ඇති කල්ලි සහ මැතිවරණයක් ඉදිරියේ විසිරෙන ධනය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගුණාංග මහත් ලජ්ජාවට පත් කර ඇති බව ද මෙහි දී සදහන් කිරීම අවශ්‍යය.