» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
27/06/2021 - ඉරිදා ලංකාදීප
ඉන්දු ලංකා බලශක්ති අවශ්‍යතා පොදු සංචිතයකින් සපුරාගැනීම

බරෝඩා ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්තයේ දෙවැනි විශාලතම නගරයයි. දැන් එම ප‍්‍රදේශය වඩෝදර හැදින්වෙයි. 1974 දී ප‍්‍රාන්ත ආණ්ඩුව එම වෙනස ප‍්‍රකාශයට පත් කළේය. මහ නුග එහි අනන්‍ය ශාඛය විශේෂයක් වන අතර එම ව්‍යවහාරයෙන් බිදුණ වදනක් වශයෙන් සැලකේ. ගුජරාට් ප‍්‍රාන්තයේ වඩෝදර නගරය පිහිටියේ කොතැනක ද සොයා බලන්නට මෙම දිනවල කිසියම් පිරිසක් උනන්දු වී සිටිති. එයට හේතුව ගුවන් පාලමකට ඉහළින් ඉදි කළ සූර්ය කෝෂ විදුලි උත්පාදන පද්ධතියකි. ඉන්දියාවේ මහා මාර්ගයක ස්ථාපිත කරන ලද පළමු සූර්ය විදුලි උත්පාදන ව්‍යාපෘතිය වශයෙන් සැලකේ.

ලෝකය පුරා බලශක්ති අංශයෙහි විශාල වෙනස්කම් සිදුවෙමින් තිබේ. පරිසර හිතකාමී යෝජනා කෙරෙහි විශාල අවධානයක් ඇත. ඛනිජ තෙල් හෝ ගල් අගුරු වැනි පොසිල ඉන්ධන භාවිතා කර මහා පරිමානයෙන් විදුලිය උත්පාදනය අත්හැර දමන අතර එය විශාල පරිසර හානියක් වලකා ගැනීමකි. දැවැන්ත ජනගහනයක් සහිත ඉන්දියාවට දිනපතා විශාල විදුලි අවශ්‍යතාවයක් තිබේ. විදුලිය උත්පාදනයට විවිධ ප‍්‍රභව භාවිතා කෙරේ. ගෑස්, ඛනිජ තෙල් හෝ ගල් අගුරු වලට වඩා මෑත කාලයේ දී සුළං සහ සූර්ය කෝෂ වලට කරන ආයෝජන නංවා ඇත. එරටට යාබද භූතානය ජල විදුලිය නිපදවන අතර අතිරික්තයෙන් කොටසක් ද ඉන්දියාව මිල දී ගනිමින් සිටිති. මහා පරිමාන සූර්ය කෝෂ විදුලිය කෙරෙහි අවධානය යොමුකරන්නේ මෙම සිදුවීම අතරවාරයේ දී ය.

වඩෝදර ප‍්‍රදේශයේ කිලෝ මීටර් 3.5 ක දිග ගුවන් මාර්ගයක් සූර්ය විදුලි උත්පාදන ව්‍යාපෘතියට භාවිතා කර තිබේ. වසර කිහිපයකට කලින් ඉදිකිරීම් අරඹන ලද එහි උත්පාදන කටයුතු තවත් දින කිහිපයකින් අරඹනු ඇත. අවම වශයෙන් වසරකට විදුලිය ඒකක ලක්ෂ දහ හතරක් නිපදවනු ඇතැයි අපේක්ෂා කෙරේ. නිවාස වලට එම විදුලිය සැපයෙනු ඇති අතර ඉන්දීය රුපියල් කෝටියක පමණ විදුලිය පිරිවැයක් වසරක දී ආවරණය කරගත හැකි වෙතැයි සැලකේ. නගර ප‍්‍රධානීහු ව්‍යාපෘතිය ගැන සදහන් කරමින් අනෙක් ප‍්‍රාන්ත පවා මෙවැනි වෙනස් ආකාරයේ යෝජනා ක‍්‍රියාවට නංවා ඉන්දියාව හරිත බලශක්තියෙන් බලගන්වනු ඇතැයි විශ්වාසය පළ කර තිබේ.

බලශක්ති වාර්තා දක්වන පරිදි 2022 වසර වන විට ගිගාවොට් 20 ක සූර්ය කෝෂ විදුලිය උත්පාදනයක් කරගත හැකි වෙතැයි ඉන්දියාව ඉලක්ක කළේය. එහෙත් අවුරුදු කිහිපයකට කලින් ඉතාම සාර්ථක ලෙස එම අරමුණ සාක්ෂාත් කරගෙන තිබේ. 2015 වසරේ දී අරඹන ලද සැලසුම් සාර්ථක වී ඇත. දැනට ඇති වාර්තා අනුව එරට උත්පාදනය වන සූර්ය විදුලිය බලය ගිගාවොට් 40 ඉක්මවයි. වසර 2022 වන විට ගිගා වොට් සියයක අලූත් ඉලක්කයක් යෝජනා කර තිබේ. එය වෙනුවන් ඇමරිකානු ඩොලර් බිලියන සියයක ආයෝජනයක් කරනු ඇත. රට තුළ විවිධ ප‍්‍රදේශවල සූර්ය කෝෂ පද්ධති හතලිස් දෙකක් අද වන විට ක‍්‍රියාත්මක අතර සමහර ව්‍යාපෘති නගර ආසන්නයේ පොදු ජනතාවට මෙහි වාසිය ගැන කරුණු පහදා දෙන ප‍්‍රදර්ශන අංග වලින් ද සමන්විතව ඉදිකරන බව වාර්තාවෙයි. දැනට ඉන්දියාවේ උත්පාදනය වන සූර්ය විදුලියෙන් සියයට හැත්තෑවක් නිවාස හෝ කර්මාන්ත ශාලාවල වහලය මත ඉදිකරන ලද ඒවාය. නිවාස පමණක් නොව නිෂ්පාදන අංශයට ද එහි ප‍්‍රතිලාභ අත්පත් කර දෙන බව දැක්වෙයි. අනෙක මිලියන ගණනක් සෝලා විදුලිය බුබුලූ බෙදාහැරෙන අතර භූමිතෙල් වලින් කෙරෙන මුළුතැන්ගෙයි කටයුතු වෙනුවෙන් විදුලිය භාවිතා කරන උදුන් දහ හතර ලක්ෂයක් අඩු ආදායම්ලාභීන්ට බෙදා දෙන ජාතික වැඩ පිලිවෙලක් ද අරඹා ඇත.

රාජස්ථාන් සූර්ය විදුලිය උත්පාදනයෙහි ඉහළින්ම ඇති ප‍්‍රාන්තයකි. පන්ජාබ් හා උත්තර ප‍්‍රදේශය ද වේගයෙන් සූර්ය බලයට හැරෙමින් සිටී. දස දහස් ගණන් ව්‍යවසායකයෝ අලූතින් බිහි වී ඇති අතර ලක්ෂ ගණනකට රුකියා සපයන්නට සමත්ව තිබේ. කලින් දුම් වලාකුළු වලින් පිරී තිබුණ ඉන්ධන බලාගාර ආශ‍්‍රිත සමහර ප‍්‍රදේශ පිරිසිදු වායු කලාප බවට පරිවර්තනය වී ඇති බව ද අනාවරණය වන කරුණකි. වසරකට දින තුන්සියයක් පමණ හොදින් සූර්යයා පායන ඉන්දියාව සූර්ය බලයට හැරෙන අතරවාරයේ නිවාස, කර්මාන්ත ශාලා පමණක් නොව කෘෂිකාර්මික කටයුතුවලට ද එහි වාසිය අත්පත්කර දෙමින් සිටී. සූර්ය කෝෂ විදුලියෙන් පණ ගැන්වෙන වතුර මෝටර ලක්ෂ ගණනක් දැනට රට තුළ භාවිතා කෙරේ. මහා මාර්ගවල ධාවනය වන වාහන විදුලියට හරවන යෝජනා ක‍්‍රියාත්මක අතර වසර 2040 වන විට එරට ධාවනය වන වාහන වලින් සෑහෙන ප‍්‍රතිශතයක් ඉන්ධන වලින් තොර විදුලිය බලයෙන් ධාවනය වන ඒවා වනු ඇත. වාහන බැටරි ආරෝපනය වෙනුවෙන් රට පුරා සූර්ය කෝෂ මධ්‍යස්ථාන දස දහසක් ස්ථාපිත කිරීම ද සැලැස්මකි. කෙසේ වෙතත් සෝලා පද්ධති සවිකිරීමට අවශ්‍ය කරන ඉඩකඩ ප‍්‍රශ්නයක් බව දැක්වෙයි. සමහර ප‍්‍රදේශවල ඉඩම අධික මිලක් සහිත ආයෝජනයකි. එවැනි භූමි භාගයක විදුලිය උත්පාදනය වාසිදායක නැත. මාර්ග වලට ඉහලින් හෝ ජලාශවල පාවෙන පද්ධති වශයෙන් සවිකිරීම විකල්පය වී ඇත. ගංගා පිරිසිදුව තබා ගැනීමට නමාමි ගංගා යනුවෙන් ජාතික වැඩ සටහනක් අරඹා ඇති ඉන්දියාව එයට සමාන්තරව සෝලා පද්ධති සවිකර ගංගාවලට අපද‍්‍රව්‍ය එකතුවීම වලකන පියවර ගෙන තිබේ.

ඉන්දීය ණය යෝජනා ක‍්‍රමය යටතේ සූර්ය කෝෂ විදුලිය සදහා අවස්ථාවක් ශ‍්‍රී ලංකාවට ද ලැබී තිබේ. නොබෝදා ඉන්දීය රජය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අදාල ගිවිසුම ඉදිරිපත් කර ඇත. එයට අනුව ඇමරිකානු ඩොලර් මිලියන සියයක ඉන්දීය ණය සහනයක් සෝලා බලශක්තිය වෙනුවෙන් උපයෝගී කරගත හැකිය. එය අඩු පොලී ණය ව්‍යාපෘතියකි. එම ව්‍යාපෘතිය අනුව සූර්ය තාපය විදුලියට හරවන ව්‍යාපෘති ඇරඹිය හැකිය. ශ‍්‍රී ලංකාව හරිත විදුලිය නිපදවන තැනට පත් කරනු ඇත. ජල විදුලිය, සුලං බලාගාර සහ හයිඩ‍්‍රජන් බලයෙන් විදුලිය උත්පාදනය සදහා අවස්ථා රටට ඇත. විදුලිය ගබඩා කිරීම සදහා බැටරි තාක්ෂණය දියුණු කරන තෙක් දහවල හා රාත‍්‍රී කාලයේ ඉල්ලූම ගලපාගැනීම සදහා බහුවිධ ක‍්‍රම උපයෝගී කරගැනීම සුදුසුය. ලෝකයේ සමහර රටවල් දහවල් කාලයේ දී ගංගා ජලය විදුලිය උත්පාදන වේල්ල දක්වා ආපසු පොම්ප කරන අතර එය රාත‍්‍රියේ දී නැවත විදුලිය නිපදවන පියවරකි. එම පොම්ප සදහා සූර්ය විදුලිය භාවිතා කෙරෙන හෙයින් පරිසර හානිය අවමය. ගංගාධාරවල ජීවත්වන ජනතාවගේ ජල ප‍්‍රයෝජනය ගැන අවධානය යොමු කරන අතර ඒවාට බාධාවක් නොවන පරිදි චක‍්‍රීය ජල විදුලිය නිෂ්පාදනය සදහා ආයෝජනය ශ‍්‍රී ලංකාවට කළ හැකි දෙයකි. අනෙක විශාල වශයෙන් සූර්ය තාප ව්‍යාපෘති ආරම්භ කළ හැකිව තිබේ. රජය පමණක් නොව පුද්ගලික අංශයට ද ව්‍යාපෘති වලට අෙයෝජනය කළ හැකිය. නිපදවන විදුලිය විදුලිය බල මණ්ඩලයට විකිණීමෙන් ජාතික විදුලි පද්ධතිය ශක්තිමත් වනු ඇත.

සාග් රටවල එකමුතුවේ දී කලාපයේ ආර්ථික, ආහාර සහ බලශක්ති සහයෝගීතාව ගැන සාකච්ඡා වී තිබේ. සංචිත ස්ථාපිත කිරීම ගැන අවධානය යොමු කර ඇත. ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර බලශක්ති සහයෝගීතාවයකට අවස්ථාව තිබේ. මහවැලිල යෝජනා ක‍්‍රමය යටතේ විදුලිය නිපදවීම අරඹනවිට දකුණු ඉන්දියාවට විදුලිය විකිණීමේ අරමුණක් ද තිබුණි. එහෙත් දියුණුවන විට මෙරට ඒක පුද්ගල විදුලි පරිභෝජනය ඉහළ ගියේය. සෑම නගරයක්, ගමක් පාසා විදුලියෙන් ආලෝකවත් වූ අතර අද වන විට මෙරට සෑම නිවාසයකම පාහේ විදුලිය බලය ඇත. විදුලිය සැපයුම සදහා ජල විදුලිය ප‍්‍රමාණවත් නැත. තාප විදුලිය බලාගාර ඉදිකර තිබේ. ගල් අගුරු බලාගාර ක‍්‍රියාත්මකය. ද්‍රව ගෑස් බලාගාරයක් ඉදිකිරීමට ද යෝජිතය.

අලූත් පැති කෙරෙහි අවධානය යොමු කිරීම සුදුසුය. භූතානය නිපදවන ජල විදුලිය ඉන්දියාවට සපයන අතර ශක්තිමත් වැඩ පිලිවෙලක් අනුව සූර්ය තාප විදුලිය ප‍්‍රමාණවත් පරිදි නිපදවන ව්‍යාපෘති තුළින් ඉන්දියාවට විදුලිය විකිණීමට අවස්ථාවක් තිබේ. අනෙක දෙරට අතර විදුලිය පොදු සංචිතයකට යා හැකිය. එය ඉතා නවීන තාක්ෂණය සමග බලගැන්වෙන පියවරකි. අතිරික්ත විදුලිය දෙරට අතර හුවමාරු කරගන්නා අතර ඉන්දියාවට හා ශ‍්‍රී ලංකාවට අවශ්‍ය අවස්ථාවල විදුලිය හුවමාරු කරගැනීමට අවකාශ සැලසෙයි.