» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
27/03/2022 - ඉරිදා ලංකාදීප
ඉන්ධන මිල ජනතාව දුප්පත්භාවයට පත් කරන සාධකයක් වෙයි

බොරතෙල් මිල ලෝකය කළඹන සිද්ධියක් බවට පත්ව ඇත. ලොකු කුඩා සියළුම රටවල් එක සේ අර්බුද ගණනාවකට එක හා සමානව මුහුණ පා සිටී. කලින් පැවැති මිල ගණන් වලට වඩා ඉන්ධන මිල ඉහළ යන විට ඒවා පරිහරණය කරන්නට අසමත් වන ජන කොටසක් බිහිවන අතර එය ජන සමාජයේ පවතින දුප්පත්භාවය තීව්ර කරන තවත් පැත්තක් බව පර්යේෂණ වාර්තා හෙළිකරන කරුණකි.

ඛනිජ තෙල් විශාල වශයෙන් භාවිතා කරන රටවල් සම්බන්ධ අන්තර් ජාතික ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයෙහි ඉන්දියාව පසුවෙයි. ඉන්දීය ආර්ථිකයේ දියුණුව සමග මැද පංතියේ ජන කොටස ප‍්‍රසාරණය වෙමින් පවතී. බලශක්ති අවශ්‍යතා දියුණු තියුණුවෙයි. තෙල් මිල වැඩිවීම ඉන්දීය ආර්ථිකයට ප‍්‍රබල ලෙස බලපා ඇති සාධකයකි. ජාත්‍යන්තර වෙළදපොලට සමපාත වන පරිදි රට තුළ කරන ඉන්ධන වෙළදාමේ දී පෙට‍්‍රල් සහ ඞීසල් මිල වැඩි නොකරන්නට ඉන්දීය රජය පරෙස්සමෙන් කටයුතු කරන බව පෙනේ. එය කෙසේවත් කළ නොහැකි තැනට පත්වන මොහොතක මිල සංශෝධනයක් විය හැක. ලෝකයේ අනෙක් රටවල තෙල් මිල වැඩිකරන නමුත් ඉන්දියාව එසේ නොකරන හේතුව එරට ඇතැම් මාධ්‍ය තරමක උපහාසයෙන් ප‍්‍රශ්න කරන ස්වභාවයක සිටි බව පෙන්වා දිය යුතුය.

ප‍්‍රධාන පෙලේ පුවත් පතක් සිය ලිපියකින් කරුණු පෙන්වන පරිදි 2014 දී තෙල් මිල ඉහළ මටට්මක තිබිය දී විපක්ෂ දේශපාලන පක්ෂ හා මාධ්‍ය විප්ලවාකාරී ලෙස කි‍්‍රයා කළේය. ජනතාව උසිගන්වමින් හැසුරුණ ආකාරය මතක් කරන අතර විපක්ෂයත් මාධ්‍යයත් තෙල් මිල ගැන මුනිවත රකින බව විශේෂයෙන් දක්වා තිබුණි. ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් දක්වන පරිදි වසර දහයකට කලින් ලෝක වෙළද පොලේ මිලට සරිලන පරිදි තෙල් මිල සංශෝධනය කිරීම එකල ප‍්‍රධාන විපක්ෂය වූ භාරතීය ජනතා පක්ෂයේ ප‍්‍රධාන සටන් පාඨයක් විය. පක්ෂය පාපැදි රැළියක් 2013 වසර අග සංවිධානය කළ අතර එය දිල්ලි මහ ඇමැතිවරයාගේ නිල නිවසට කඩා වැදුණි. බැරියර් පෙරලා මහත් අරගලකාරී ලෙස හැසිරුණ ඔවුහු වහාම තෙල් මිල අඩු කර ජනතාවට සහන දෙන සේ බල කළහ. භාරතීය ජනතා පක්ෂයේ නායක නරේන්ද්‍ර මෝදි මහතාගේ සටන් ව්‍යාපාරයට තෙල් කදිම ඇවිලීමක් ව පැවැති බව සිහිපත් කරයි. ලෝක වෙළද පොලේ බොර තෙල් මිල වැඩිවීම ගැන අවධානයෙන් සිටින ඉන්දීය මධ්‍යස්ථ මාධ්‍ය ජනතාවට සහන දෙන ලෙස බලකරනු පමණක් නොව ඇතැම් මාධ්‍ය පළ කරන අදහස් අනුව, තරගකාරී වෙළද ක‍්‍රමයට උචිත පරිදි තීරණ නොගැනීම ගැන ද ආණ්ඩුවට බලකරමින් සිටී. එය මාධ්‍ය භාවිතාවේ වැදගත් ලක්ෂණයකි.

කෙසේ වෙතත් පවතින ව්‍යුහය සලකා බලන ඉන්දීය ආණ්ඩුව ඉකුත් බදාදා එනම් මාර්තු 23 දින සිට පෙට‍්‍රල්, ඞීසල් සහ ගෑස් මිල සංශෝධනය කර ඇත. අලූත් මිල අනුව පෙට‍්‍රල් ලීටරයක් රු. 91.21 කි. විනිමය අනුපාතිකය අනුව ඉන්දියාවේ රුපියලක් ශ‍්‍රී ලංකාවේ රුපියල් 3.74 කි. පෙට‍්‍රල් ලීටරයක ඉන්දියාවේ මිල ශ‍්‍රී ලංකාවේ මුදලින් සලකතොත් රු.341.12 කි. ඞීසල් ලීටරයක් ලංකාවේ මිල අනුව රු.327.13 ක් හා කිලෝ ග‍්‍රෑම් 14.2 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් ශ‍්‍රී ලංකා රුපියල් 3,551.13 කි. නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා බලයට පත්වන විට පෙට‍්‍රල් ලීටරයක් ඉන්දීය රු. 71.00 ක තිබුණ අතර ඞීසල් ලීටරයක් රු. 57.00 ක පැවැතිණ. මෙම ඉතාම අඩුමිල තිබුණ කාලයේ පාරට බැස අරගල කරන ලද භාරතීය ජනතා පක්ෂය දැන් මිල වැඩි කරන ලද ඉන්ධන මිල සමග ඉතාම සානුකම්පිත ස්වරයකින් ජනතාව ආමන්ත‍්‍රණය කරමින් සිටින බව පෙනේ. ඉන්ධන මිල සමග ජන ජීවිතය ඉතාම පීඩාකාරී තැනකට පත්ව ඇති බව ඉන්දීය බලධාරීන්ට දැනෙන නමුත් කරගත හැකි කිසිවක් නැති බව පෙනේ.

ඉන්දියාව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කරන්නේ මාස හතරක කල් බැලීමකට පසුවය. ඉකුත් වසරේ නොවැම්බර් 04 වැනිදා බදු සංශෝධනයක් ප‍්‍රකාශයට පත් කළ අතර එතෙක් අය කරමින් තිබුණ තීරු බදු වහාම කපා හැරියේය. රට තුළ විකිණෙන තෙල් මිල නැංවීමෙන් පසු ජනතාව මුහුණ දෙන ගැටළු සලකා බලන ලද ඉන්දීය රජය මිල නැංවීම වෙනුවට තාවකාලික උපක‍්‍රමයක් ලෙස පිරිවැය ආණ්ඩුව දරාගත් බව පෙනෙන්නට තිබුණි. එහෙත් එය පහසු නැත. ඉන්දියාවේ ඛනිජ තෙල් අවශ්‍යතාව එක දිනයකට තෙල් බැරල් මිලියන පහක් බව එරට ඛනිජ තෙල් හා ස්වභාවික වායු සහ නිවාස හා නාගරික කටයුතු අමාත්‍ය ශ‍්‍රී හර්දීප් සිං පූරි මහතා පසුගිය දා ඉන්දීය පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. රැසියාව හා යුක්රේනය අතර පවතින ගැටුම ඉදිරියේ තෙල් හිගයක් ඇති නොවනු ඇති අතර රැසියාවෙන් ආනයනය කරන ප‍්‍රමාණය අවශ්‍යතාවයෙන් සියයට එකක් බව එහි දී හෙළි කෙරිණ. වැඩිම ප‍්‍රමාණයක් එනම් සියයට හැටක් ගල්ෆ් කලාපයේ රටවලින් ගෙන්වන අතර ඇමරිකාවෙන් ආනයනය කරන ප‍්‍රමාණය ද සැලකිය යුතු ඉන්ධන තොගයකි.

ශ‍්‍රී ලංකාවට මාසයකට අවශ්‍ය ඞීසල් මෙටි‍්‍රක් ටොන් එක් ලක්ෂ විසි දහසක් හා පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් හැත්තෑ පන් දහසකි. ඉන්දියාවේ නිල වාර්තා අනුව මාසයකට තෙල් මෙටි‍්‍රක් ටොන් මිලියන 14.6ක් 2020 වසරේ දී අවශ්‍ය වී ඇත. කොවිඞ් ලොක් ඩවුන් පැවැති කාලයේ ඉතාම අඩුවෙන් තෙල් පරිහරණය කළ වකවානුවන සදහන් වන මෙම මෙටි‍්‍රක් ටොන් මිලියන දහ හතරකට මදක් වැඩි ප‍්‍රමාණය සමග සසදනවිට ශ‍්‍රී ලංකාවේ ඉන්ධන ආනයනය ලෝක වෙළද පොලේ දී නොසලකා හැරෙන තරමේ සුළු ගනුදෙනුවකි.

කොවිඞ් වසංගත තත්ත්වයේ මුල් භාගයේ ලෝකයේ සියළුම රටවල් ලොක් ඩවුන් වී පැවැති අතර එකල තෙල් වෙළදාම පහත වැටිණ. ටෙක්සාස් ප‍්‍රාන්තයේ තෙල් නිෂ්පාදකයෝ බොරතෙල් වලට මිලක් නියම කරගත නොහැකි තත්ත්වයට පත් වූ අතර ගබඩා කිරීමේ ඉඩකඩ රහිත ස්වභාවය සලකා බලා නොමිලේ රැගෙන යන ලෙස ප‍්‍රකාශයට පත් කළහ. රුසියාව හා යුක්රේනය අතර ගැටුම්වලට කලින් තෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් හැටක සීමාවේ තිබුණ අතර දැන් වෙළද පොල මිල ඇමරිකානු ඩොලර් 115.00 කි.

ශ‍්‍රී ලංකාවේ ඛනිජ තෙල් කර්මාන්තය විප්ලවීය පරිවර්තනයකට ලක් විය යුතුය. ව්‍යුහාත්මක වෙනස්කම් ජනතාවට පහසුවක් වනු ඇත. තරගකාරී වෙළදාම වැදගත්ය. ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඛනිජ තෙල් ක්ෂේත‍්‍රයෙහි සම්බන්ධතාවයක් ඇති කරගැනීම සුදුසු පියවරකි. ලෝකයේ රටවල් අතර එවැනි බැදීම් ඇත. විශාල වශයෙන් තෙල් මිල දී ගන්නා රටවල් තොග මිලට ඉන්ධන ලබාගන්නා අතර රටවල් හා තෙල් නිෂ්පාදකයන් සමග සෘජු ගනුදෙනු කරයි. අතරමැදියන් ඉවත්වීම සමග කොමිස්, වට්ටම්, වංචා අවම වනු ඇත. ශ‍්‍රී ලංකාව සෘජු ගනුදෙනුවලට කැමැති නැත. ඉන්දියාව සමග එකතු වී තෙලින්ම තෙල් නිෂ්පාදකයන්ගෙන් අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීම වහල්භාවයක් සේ සලකයි. ති‍්‍රකුණාමලයේ ටැංකි ප‍්‍රයෝජනයට ගෙන රටවල් දෙකට අඩුම වියදමකින් තෙල් බෙදාගැනීමට කරන වෑයම මහා අපරාධයකි. අවුරුදු හැත්තෑවක් කැලෑවට යටවී තිබුණ තැනක් එළිපෙහෙලිකර ප‍්‍රයෝජනයට ගැනීම ජාතියට කරන අවමානයකි.

අතරමැදියන්ගෙන් එන තෙල්වලින් බැහැරවෙන කොමිස් ඉහල සිට පහලටම කාන්දුවෙන බව අවධානයට ගත යුතු පැත්තකි. ඒවා ලැබෙන, ඒවායෙන් යැපෙන පිරිසක් සිටී. සාධාරණ නැති විරෝධය එහි ප‍්‍රතිඵලයකි. දවසකට තෙල් බැරල් මිලියන ගණනක් අවශ්‍ය රටකට ශ‍්‍රී ලංකාවේ තෙල් වෙළදාම අල්ලාගෙන රට අවතන කරගැනීමට යුහුසුළුවන බවට මිත්‍යා අදහස් පැතිරවීම පහසුය. ජනතාව දැවෙන පීඩනයෙන් ගලවා ගැනීම අරමුණු කරගෙන අලූත් ව්‍යුහයක් නිර්මාණය කිරීම අපහසුය.