» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
27/02/2022 - ඉරිදා ලංකාදීප
ඉන්දියාවට සම්බන්ධ වන බලශක්ති ව්‍යුහයක් සදහා අවස්ථාව

ඉන්දියාවේ ඛනිජතෙල් භාවිතා කිරීමේ අවශ්‍යතාව වර්ධනය වෙමින් පවතින බව එරට පර්යේෂණ වාර්තා දක්වයි. එයට හේතුවන පසුබිමක් තිබේ. විශාල ජනගහනයක් සිටී. ආර්ථික වර්ධනයක් පවතී. ඉන්දියානුවන් ගේ බලශක්ති පරිභෝජනය වැඩිවෙමින් පවතින අතර ආර්ථිකය වර්ධනය වන පසුබිම තුළ ඉන්ධන අවශ්‍යතා තවත් වැඩිවන බව ප‍්‍රකාශ වී තිබේ. ඉන්දියාවට අවශ්‍ය ප‍්‍රමාණයට අතිරේක ඛනිජ තෙල් තොග සපයා ගැනීම, ගබඩා කිරීම පමණක් නොව වෙළදපොල කළමනාකරණයට ද එරට විශේෂඥයෝ පියවර ගනිමින් සිටිති. ඛනිජ තෙල් අඛණ්ඩ සැපයුම එහි දී වැදගත් තැනක් ගන්නා බව පෙනේ.

ඉන්දියාවේ බලශක්ති අංශය ක්ෂේත‍්‍ර ගණනාවකට පැතිරී තිබේ. බොර තෙල්, හයිඩ‍්‍රජන් විදුලිය උත්පාදනය, ගල් අගුරු බලාගාර, නෂ්ශ්ඨික විදුලිය උත්පාදනය හා සූර්ය බල විදුලිය උත්පාදනය බහුලව භාවිතා කෙරෙන අංශ ලෙස දැක්වේ. රට තුළ බලශක්ති උත්පාදනයට පියවර ගැනෙන අතර බොරතෙල්, ගල් අගුරු පමණක් නොව ජල විදුලිය ද වෙනත් රටවලින් මිල දී ගනිමින් සිටී. ඉන්දියාවේ විදුලිය හා බලශක්ති අංශයෙහි වාර්තා දක්වන අන්දමට භූතානයෙන් ජල විදුලිය මිල දී ගන්නා ඉන්දියාව එරට අතිරික්ත විදුලියන් කොටසක් බංගලාදේශය, නේපාලය හා මියන්මාරයට අලෙවිකරමින් සිටී. එය කලාපීය විදුලිය බල හුවමාරු අවස්ථා පැහැදිලි කරයි.

අසල්වැසි රටවල් සමග විදුලිය හා බලශක්තිය බෙදාහදා ගැනීම අද බහුලව සිදුවේ. අත්‍යවශ්‍ය සේවාවක් පමණක් නොව ව්‍යාපාරයකි. ප‍්‍රධාන ව්‍යාපාරික අවස්ථාවක් බවට පත්ව ඇත. යුරෝපා රටවල් අතර බහුලය. ඔස්ටේ‍්‍රිලියාවේ සූර්ය බල උත්පාදන ව්‍යාපෘතියකින් විදුලිය මිල දී ගැනීමට සිංගප්පූරුව සූදානම්ය. ඩෙන්මාර්ක් හා නෝර්වේ අතර විදුලිය හුවමාරු ගිවිසුමක් ඇත. සුළං බලාගාර ඩෙන්මාර්ක් බලශක්ති අංශයේ විශාල කොටසකි. ස්වභාවික සුළං ප‍්‍රවාහ අඩු කාලයේ දී උත්පාදනය අඩුවනවිට නෝර්වේ රාජ්‍යයෙන් ජල විදුලිය මිල දී ගැනේ. අනෙක් කාලයට ඩෙන්මාර්ක් සුළං විදුලිය ආපසු විකුණන බව දැක්වේ. මෙම ගනුදෙනුව සදහා රටවල් දෙක අතර සමාගම් දෙකක් පිහිටුවා ඇත. ඒවා රජයට අනුබද්ධ ආයතන වශයෙන් පවතී.

පොසිල ඉන්ධන අඩු කරන අතර සුර්ය බලය වැඩිපුර භාවිතා කරන ප‍්‍රවණතාවයක් ද ඇත. විදුලිය බලයෙන් ධාවනය වන වාහනවලට අනුවර්තනය එහි ප‍්‍රධාන කොටසකි. නිවාස විදුලිය සදහා ද සූර්ය පැනන භාවිතා කෙරේ. චීනය හා ඇමරිකාන එහි දී ඉදිරියෙන් සිටී. හරිත ප‍්‍රභව වලින් බලශක්තිය උත්පාදනය කෙසේ වෙතත් ඉන්ධන පරිහරණය විශාල වශයෙන් අඩුවෙන බවක් සදහන් නොවේ. සමහර රටවල් තෙල් ලිං කැනීම නතර කර ඇත. එහි ලා කරන පර්යේෂණණ සීමා කර තිබේ. තවත් දශක තුන හතරක් යන තුරු බලශක්ති ප‍්‍රභව සම්බන්ධ උනන්දුව විවිධ පැති වලට දෝලනය වෙමින් පැවැතිය හැක.

කෙසේ වෙතත් ඉදිරි වසර කිහිපය තුළ ඉන්දියාවේ ඛනිජ තෙල් පරිහරණ අවශ්‍යතාව තියුණු වර්ධනයක් සිදුවෙතැයි එරට පර්යේෂණ අංශ ගණන් බලා ඇත. වසර 2030 වන විට ඉන්දියාවේ ඉන්ධන උපයෝගීතාව සියයට පනහකින් ඉහළ යනු ඇතැයි සැලකේ. ඉන්ධන වැඩිම ප‍්‍රමාණයක් පරිහරණය කරන ලෝකයේ රටවල් අතර තුන් වැනි තැනට පත්වනු ඇත. මෙකී උවමනාව සදහා ඉන්දියාව සැලසුම් සකස් කරමින් සිටී. එහිලා කරන ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන ගණනකි. ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියනයක පමණ විදේශ විනිමය සංචිතයක් සහිත ඉන්දියානු ආර්ථිකයට එය අපහසු කර්තව්‍යයක් නොවේ. බලශක්තිය සදහා කරන ආයෝජනය දකුණු ආසියානු කලාපයට අලූත් ව්‍යාපාරික අවස්ථා ඇති කරන බව සදහන් කළ යුතුය.

බලශක්ති ක්ෂේත‍්‍රයේ ඉන්දියාව ක‍්‍රියාකරන පිලිවෙලක් තිබේ. පසුබිම අධ්‍ය්‍යනය කළ යුතුය. ඉන්දියාවට අවශ්‍ය ප‍්‍රමාණයට බොරතෙල් පිරිපහදු කරගැනීමේ සම්පූර්ණ පහසුව දැනට ඇත. වසර විස්සකට පමණ කලින් එම පහසුකම නිසි සේ නොතිුබණි. මෑත කාලය තුළ පිරිපහදු කර්මාන්තය දියුණු කරගෙන තිබේ. එහෙත් අනාගත අවශ්‍යතා අනුව බොරතෙල් පිරිපහදු අවශ්‍යතාව තවත් සියයට තිහකින් වැඩිවනු ඇතැයි සැලකේ. ඉන්ධන අවශ්‍යතාව සියයට පනහකින් වැඩිවන අතර පිරිපහසුව සදහා සියයට තිහක අවශ්‍යතාවක් පැන නැගීම එහි බලශක්ති ව්‍යාප්තිය පෙන්වයි. භාවිතාවන ප‍්‍රමාණය, පිරිපහදු අවශ්‍යතා සහ ඉන්දියාව මිල දී ගන්නා ඉන්ධන තොග කළමනාකරණය සලකනවිට ශ‍්‍රී ලංකාවට සම්බන්ධතා ඇති කරගත හැක. ඉන්දියාවේ තෙල් අවශ්‍යතාව සදහා වන සැලැස්මෙහි උපාය මාර්ගික පාර්ශවයක් බවට පත්විය හැකිය. එය මෙරට ඉන්ධන අවශ්‍යා ද කළමනාකරණයට අවස්ථාවකි.

ඛනිජ තෙල් කර්මන්තය සමබන්ධ නව ප‍්‍රවනතාවයක් ගැන ද අවධානයට ගත යුතුව තිබේ. කොවිඞ් වසංගත තත්ත්වය සමග අලූතින් හිතන ජගත් ප‍්‍රජාව හදිසිලොක් ඩවුන් කිරීමක් සිදුවුමහොත් උද්ගත වූ තත්ත්වය ගැන කල්පනා කර ඇත. මෑත කාලයේ ලෝකයේ සිදුවූ අවහිර එයට අත්දැකීමක් වී තිබේ. අනාගතයේ නැවත වතාවක් හදිසියේ සියළු රටවලට බලපාන ප‍්‍රශ්න ඇතිවුවහොත් සැලකිය යුතු කාලයක් සදහා පරිහරණය ආහාර, ඖෂධ හා බලශක්ති සංචිත පවත්වා ගැනීම කෙරෙහි ජාත්‍යන්තර ප‍්‍රජාව අවධානය යොමු කර තිබේ. විශේෂඥ කණ්ඩායම් එවැනි මොහොතක අවශ්‍ය වන තොග ගැන ගණන් බලමින් සිටී. බලවත් රාජ්‍යයන් එහි ලා අවශ්‍ය්‍ය සැලසුම් සකස් කරන බව පෙනේ. ඇමරිකාව, චීනය, ඉන්දියාව වැනි රටවල් අනාගත අවශ්‍යතා සලකා ඉන්ධන තොග එකතු කරන පියවර ආරම්භකර ඇත. දින අනුවක පමණ කාලයක් සදහා සංචිත තබාගත යුතුය යන උපදෙස විශේෂඥයෝ නිකුත් කර තිබේ. ප‍්‍රාන්ත මටට්මින් අලූත් ඉන්ධන ගබඩා ඉදිකරමින් සිටින ඉන්දියාව එහිලා විශාල ආයෝජනයක නිරතය. ධනවත් රටක්, විශාල ආර්ථිකයක් ඇත ඉන්දියාවට එහිලා ශක්තියක් ඇත.

ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සදහා ඉන්දු ලංකා ආයෝජනය මෙහි දී ප‍්‍රයෝජනවත්වනු ඇත. දෙරට අතර ගිවිසුමක් අත්සන් කර අලූත් සමාගමක් පිහිටුවා තිබේ. දෙවැනි ලෝක යුද කාලයේ ඉදිකළ ටැංකි අනුනමයකින් යුතු මෙම පර්යන්තය ශ‍්‍රී ලංකාවට පමණක් භාවිතා කළ නොහැකි ද යන කරුණ ඇතැම් මතධාරීහු ප‍්‍රශ්න කරන අතර එය සාධාරණ එකකි. ඉන්ධන ගබඩාකරගෙන ඒවා අවශ්‍ය කාලයක විකිණීම අපට හොද ව්‍යාපාරයකි. එහෙත් ඉන්ධන නැවක් මිල දී ගන්නට විදේශ විනිමය රහිත කාල වකවානුවක් බව මතක් කළ යුතුය. ඉන්ධන සංචිත පවත්වා ගැනීම ද අවදානමකි. මිල වැඩිවන බොරතෙල් සමහර කාලවල දී අඩුම මිලට පහත වැටේ. එය දැවැන්ත අලාභ ඇති කරන්නට ඉඩ තිබේ. හෙජිං ගනුදෙනුව එක උදාහරණයකි. ඉදිරියේ දී ශ‍්‍රී ලංකාවේ විනිමය සංචිත දියුණුවන තෙක් කල් ගතකළහොත් සමහරවිට හරිත බලශක්ති ප‍්‍රවනතා හමුවේ ලෝකයේ බොරතෙල් ඉල්ලූම අඩුවෙන්නට ඉඩ තිබේ. අවදානම් ව්‍යාපාරයක දී පුලූල් දැක්මක් අනුව ක‍්‍රියාත්මකවීම සුදුසුය.

ලෝකයේ සෑම රටක්ම පාහේ පුනර්ජනනීය බලශක්තියට නැඹුරුවෙමින් සිටිති. එය අමතක නොකළ යුතු පැත්තකි. දහවල් කාලයේ සූර්ය තාපයෙන් නිපදවන විදුලිය ගබඩාකර රාත‍්‍රියේ ප‍්‍රයෝජනයට ගත හැකි ක‍්‍රම ගැන පර්යේශණ සිදුවෙයි. උසස් තාක්ෂණයකින් යුතු බැටරි නිපදවිය හැකි වුවහොත් ලෝකයේ දැනට පවතින බලශක්ති ප‍්‍රවනතා සම්පූර්ණයෙන්ම අලූත් මුහුණුවරක් ගනු ඇත. අනාගතයේ ඇතිවන ව්‍යුහය ගැන අපට සූදානමක් අවශ්‍යය. ප‍්‍රයෝජනයට නොගන්නා තෙල් ටැංකි සංකීර්ණ අවශ්‍ය නොවෙන්නට ඉඩ තිබේ. වහාම තීරණ ගෙන දැන් ප‍්‍රයෝජන ගත හොත් තාවකාලිකව හෝ රටට ලබා ගත හැකි අවස්ථාව වැදගත් විය හැකිය.

ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සදහා පිහිටුවන සමාගම නැගෙනහිර පලාතේ ආර්ථිකය කෙරෙහි බලපෑමක් ඇති කරනු ඇත. ඉන්දු ශ‍්‍රී ලංකා ආයෝජනයට සමාන්තරව නැගෙනහිර ප‍්‍රදේශයේ සංවර්ධනය සැලසුම් කළ හැක. අලූත් බොරතෙල් පිරිපහදුවක් ඉදි කිරීමට හැකිය. දැනට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඵලදායීතාව සියයට පනහකින් පහත වැටී ඇත. එහි යල්පැනගිය යන්ත‍්‍ර නවීන තාක්ෂණයට නොගැලපේ. තෙල් ටැංකි සංකීර්ණය අසලින් අලූත් පිරිපහදු කර්මාන්ත ශාලාවකට ආයෝජනය කළ හැකිය. රටට විනිමය හා අලූත් රැකියා අවස්ථා ලැබේ.

මෙම තෙල් ටැංකි වලධාරිතාව ඉන්දියාව ප‍්‍රයෝජනයට ගැනීම හා සමාන්තරව රටට වාසි ඇති කරගන්නේ කෙසේද යන්න සොයා බැලීම අපගේ වගකීමකි. දෙරට අතර තෙල් ප‍්‍රවාහනය සදහා නැව් යෙදවීම වෙනුවට නල මාර්ගයක් ඉදිකිරීමට ද අවධානය යොමු වී ඇත. ගබඩා කිරීමෙන් පසු ඉන්දියාවට යැවීමට පහසුවක් ඇතිවේ. මෙම ගබඩා සංකීර්ණයේ ඉන්ධන රටට හදිසි අවස්ථාවල දී හුවමාරු කරගන්නට ඉඩ ලබාගත හැක. හුදෙක් තෙල් ටැංකි සංකීර්ණයක් බදු දීම පමණක් නොවේ. මෙම පරිශ‍්‍රය ආශ‍්‍රිතව අලූත් ආර්ථිකයක් හැදීම අවධානයට ගැනීම වැදගත්ය. ත‍්‍රිකුණාමලය වරාය කාර්ය බහුල තැනක් බවට පත්වීම, වරාය සේවා වලින් ලැබෙන ආදායම යනාදිය ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරනු ඇත. විකල්ප අදහස් අපට අවශ්‍යය. ඉන්දියාව තෙල් ටැංකි බදු ගැනීමට දක්වන උනන්දුව පරාජය කිරීම එකකි. ඉන්දියාවට අනාගතයේ ඇතිවන බලශක්ති හිගය වෙනුවෙන් ශ‍්‍රී ලංකාව අවස්ථාවක් උදා කරගැනීම අනෙක් පැත්තකි. ඉන්දියාවට වහල්වීම වෙනුවට උපක‍්‍රමශීලීව කටයුතු කළහොත් ඉන්දියාවේ බලශක්ති උල්පත අපට නිර්මාණය කළ හැක. අපට පාලනය කරන්නට බැරිකමක් නැත.