» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
26/12/2021 - ඉරිදා ලංකාදීප
පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට

‘සසර වසන තුරු -නිවන් දකින තුරු -පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා‘ පණ්ඩිත් ආචාර්ය ඩබ්. ඞී. අමරදේව ශූරීහු ගායනා කළ ගීතයකි. එහි පද රචනා කරන්නේ ඩෝල්ටන් අල්විස් මැතිතුමන්ය. රන් දෙරණේ මතු උපදින්නට ප‍්‍රාර්ථනය ගැන අද පරපුරේ අවධානය කෙබදුද?

ලංකාදීපය හැර ගොස් වෙනත් රටක ජීවත්වීම අප රටේ වෙසෙන ඇතැම් පිරිසකගේ නොමද උත්සාහය වී තිබේ. කවර හෝ ක‍්‍රමයකින් මෙරටින් පිටත්ව යන ක‍්‍රම සොයති. රටක අගය දැනේනේ එතැනින් පිටත්ව ගොස් වෙනත් රටක ජීවත්ව සිටින අවස්ථාවේ දී ය. ශ‍්‍රී ලංකාව තරම් ජීවත්වීමට සුදුසු වෙනත් රටක් නැත. නොයෙක් කලබැලගෑනි, දේශපාලන අලකලංචි හා ක‍්‍රමයේ පවතින විෂමතා අප සියළු දෙනාටම දේශය අප‍්‍රසන්න තැනක් බවට පත් කර තිබේ. එවැනි පටු අදහස් පසෙක තැබිය යුතුය. රට ගොඩනගන්නට ඇති අවස්ථා අත්හැර දැමීම කිසිසේත් සාධාරණ නැත.

ගහ කොළ, වන සතුන් ඇතුලත් සොබා දහම ශ‍්‍රී ලාංකික අපට මහත් වාසනාවකි. ස්වභාවික පරිසර සාධක ජීවිතයට අස්වැසිල්ලකි. පරිසරයට සිදුකරන හානි මෙරට පැවැත්මට එල්ල කරන තර්ජනය වෙනම සාකච්ඡා කළ යුතුය. සරු පොලව, හමන වාතයේ සිසිලස, මනා හිරු එළිය අප සියළු දෙනාගේ ජීවිත වර්ණවත් කරයි. හදිසියේ සිදුවන ස්වභාවික විපතකින් හැර සොබාදහම අපට ලබා දී ඇති පහස අගය කළ නොහැකි තරමට විස්මිතය.

දෙසැම්බර් සීතල අපට ආසන්නයෙන් පිහිටි ඉන්දියාව ආක‍්‍රමණය කර ඇත. ජන ජීවිතය තරමක් වෙනස් කර තිබේ. දිග සීතල කබා හැද ගෙලවටා ගොරෝසු රෙදි කඩක් ද පළදින ඉන්දියානුවෝ මෙම දිනවල දවස ආරම්භ කරන්නේ තරමක් ප‍්‍රමාදවය. වෙනදා පාන්දරින් යුහුසුළු වන නගර දැන් පෙරවරු නමය වන තුරු අලසය. කඩිමුඩියක් නැත. හේතුව දරාගත නොහැකි සීතල බව සදහන් කළ යුතුය. කාර්යාල කටයුතු, නොයෙක් සාකච්ඡා, සම්මන්ත‍්‍රණණ හෝ සැසිවාර නිල වශයෙන් ආරම්භ කරන්නේ පෙරවරු එකොලහට පමණය. දිවා ආහාරවේල දහවල් එක දෙක දක්වා ප‍්‍රමාද කිරීම මෙම සීතල පරිසරය තුළ සාමාන්‍යයෙන් සිදුවෙයි. සවස කාර්යාල අවසන් කර පිටත්ව යන පිරිස යුහුසුළුය. තවදුරටත් එළිමහනේ ගැවසෙන, රැදී සිටින සූදානමක් නැත. සවස් කාලයේ එන සීතල අපහසුය. සීතලට ඔරොත්තු දෙන ඇදුම් පමණක් නොව, කොවිඞ් වසංගත තත්ත්වය හෙයින් මුහුණු ආවරණය කරගෙන සිටීම තරමක් හෝ පහසුවකි.

ඉන්දීය කාලගුණ බලධාරීන් දැන් පවතින තද සීතල කාලගුණ තත්ත්වය ගැන අනතුරු අගවා තිබේ. අවවාදාත්මක කහ නිවේදනයක් නිකුත් කර ඇත. ඕනෑම අවස්ථාවක ඔරොත්තු නොදෙන තද සීතලක් ඇති විය හැකි බැවින් නිවෙස් තුළට වී සිටින ලෙස දැනුම් දී ඇත. ඉන්දියාවේ සෑම නිවෙසකම පාහේ වාතය උණුසුම්කරන ක‍්‍රම භාවිතා කෙරේ. මෑත කාලීන ආර්ථික සංවර්ධනය සමග දරිද්‍රතාවය අඩු නමුත් සෑහෙන ජන කොටසක් පීඩනයක සිටී. කොවිඞ් අර්බුදය එය තියුණු මුහුණුවරකට පත් කර ඇත. අඩු ආදායමක් ලබන කොටසක් ද සිටිති. කොවිඞ් වසංගතයේ පීඩනය ජනතාවගේ ආදායම් තත්ත්වයට ද බලපා තිබේ. උණුසුම් ඇදුමක් අලූතින් මිල දී ගන්නට වත්කමක් නැති ලක්ෂ ගණනකි. නිවෙස තුළ දැල්වෙන දර කැබැලි කිහිපයකින් උණුසුම සපයා ගන්නා පිරිස ද බහුලය. ඉතාම දිළිදු ජනයා නගරයේ ඉවතලන කාඞ්බෝඞ් එකතුකරන අතර ඒවායෙන් නිවෙස තුළ තාවකාලිකව උණුසුම් ආවරණ තනාගනිති. වෙනත් කළ හැකි යමක් නැත. පරිසරයේ ස්වභාවික වෙනස්කම්වලට මුහුණ දෙන්නට සිදුවී තිබේ.

දෙසැම්බරයේ මාසයේ අධික සීතලෙන් පීඩා විදින ඉන්දියානු ජන සමාජය එයින් මාස හය හතකට පසු අධික හිරු රශ්මියෙන් පීඩාවට පත් වන බව ද දැක්විය යුතුය. ඉන්දියාවේ ප‍්‍රකට වෛද්‍ය සගරාවක් දක්වන පරිදි එක වසරකට හත් ලක්ෂ හතලිස් දහසක් ඉන්දියානුවෝ අසාමාන්‍ය සීතල හෝ උණුසුම දරාගත නොහැකිව ජීවිතක්ෂයට පත් වෙති. එය බරපතල තත්ත්වයක් බව අවිවාදිතය.

ඉන්දියාවේ පමණක් නොව මුළු ලෝකයටම කාලගුණ විපර්යාස දරුණු තත්ත්ව ඇති කරයි. උශ්ණත්වයෙහි වෙනස්කම් හේතුවෙන් අවුරුද්දකට මිලියන පහක පමණ ජනගහනයක් ලෝකයට අහිමි වන බව ඔස්ටේ‍්‍රලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලය කරන ලද පර්යේෂණයක් තහවුරු කර තිබේ. ඉකුත් ජුලි මාසයේ ප‍්‍රකාශයට පත් කරන ලද එම වාර්තාව අනුව 2020 වසරේ දී පාරිසරික වෙනස්කම් හේතුවෙන් ගෝලීය උණුසුම විචල්‍ය වී ඇත. එය මිනිස් ජීවිත වලට බරපතල අනිටු විපාක ඇති කරන ලද හේතුවක් බව එහි දැක්වේ.

මෙම දිනවල දිල්ලියේ දිවා කාලයේ උශ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 17 ක් වී ඇති අතර රාත‍්‍රී කාලයේ උණුසුම සෙන්ටිගේ‍්‍රඞ් අංශක හත දක්වා ඉකුත් සදුදා පහතට වැටී තිබුණි. දිල්ලි නගරයේ ඇතැම් ස්ථානවල උශ්ණත්වය එයටත් වඩා පහල අගයක් ගෙන තිබුණ බව වාර්තාවෙයි. ඉන්දියාවේ උතුරුකරයේ ඇතැම් ප‍්‍රදේශවල වාර්තාගත අන්දමට රින උශ්නත්ව අගයක් පවතින බව ද එරට කාලගුණ බලධාරීහු නිවේදනය කර ඇත. රාජස්ථාන්, පන්ජාබ්, හර්යානා සහ ජම්මු කාශ්මීර්වල උණුසුම නොසෑහෙන තරමට අඩුවීම විශේෂත්වයකි. දෙසැම්බර් මාසයේ අග දක්වා අධික ශිතල තවදුරටත් පැවැතිය හැකි බව කියැවේ. එතැන් සිට ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත්වන අතර ජනවාරියේය අග සිට උණුසුම් කාලගුණය බලපැවැත්වේ.

ඉන්දියාව කාලගුණ වෙනස්කම් වඩාත් බලවත්ව බලපා ඇති රටකි. විශාලත්වය එයට එක හේතුවකි. 1996-2015 කාලය තුළ කාලගුණ වෙනස්කම් තදින්ම බලපා ඇති රටවල් ගැන අනාවරණය කරන ලේඛනයක් ඇති අතර එහි හතරවැනි තැන උසුලන්නේ ඉන්දියාවයි. එයට හේතු ද පර්යේෂකයෝ දක්වා ඇත. ඉන්දියාවේ කාර්මික හා කෘෂිකාර්මික කටයුතු හේතුවෙන් කාබන්ඩයොක්සයිඞ් ගිගා ටොන් තුනක් වසරකට වුයුගෝලයට පිටකරන බව දැක්වෙයි. කෙසේ වෙතත් එය ලෝකයේ පවතින සාමාන්‍යයට වඩා ඉතාම නරක තත්ත්වයක් නොවන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. ලෝකයේ ජනගහනයෙන් සියයට දහහතක් ඉන්දියාවේ වෙසෙන අතර ගෝලීය වායු දූෂණයට දායක වන ප‍්‍ර‍්‍රතිශතය සියයට හතකි. ගෝලීය උණුසුම වෙනස්වීම සමග හිමාලයේ ග්ලැසියර් දියැවෙන ප‍්‍රමාණය සීමාව ඉක්මවන බව අනාවරණය කරගෙන ඇත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ගංගාවල ජල මටට්ම ඉහළ යන බව පෙනී ගොස් ඇති තවත් වැදගත් කරුණකි.

දේශගුණික විපර්යාස හා එහි බලපෑමෙන් සිදුවන බලපෑම ඉන්දීය ආර්ථිකයට ද තියුණු පීඩනයක් එල්ලකර ඇත. සංවර්ධන පර්යේෂණ සදහා වූ ඉන්දිරා ගාන්ධි ආයතනය අනාවරණය කරන පරිදි දේශගුණික තත්ත්වයන් ඉන්දීයාවේ දළ දේශීය නිෂ්පාදිතයට සිදුකරන හානිය සියයට නමයකි. සමහර අවස්ථාවල සහල් ඇතුළු කෘෂි නිෂ්පාදන වලල අස්වැන්න සම්බන්ධ ඉලක්ක සියයට හතලිහකින් පමණ අඩාල කෙරේ. අධික සීතල පමණක් නොව දීර්ඝ නියගය ද කෘෂිකර්මයට අවාසි සහගතය.

අසල්වැසිස ඉන්දියාවේ මෙම තොරතුරු අනුව සලකනවිට ශ‍්‍රී ලංකාවේ දේශගුණය වාසස්ථානයට කොපමණ සුදුසුද යන්න අවධානයට ගත යුතුය. ආර්ථික හා සාමාජයීය වශයෙන් දරුණු පීඩනයක පසුවන නමුත් මිශ‍්‍ර තත්ත්වයකි. අප ගේ රට පවතින තත්ත්වයෙන් ගලවාගත හැකිය. වාසිදායක තැනකට යොමු කර ගැනීමට බාධාවක් නැත. රාජ්‍ය හා පුද්ගලික මටට්මින් දැවැන්ත ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍යය. පටු ආකල්ප වෙනුවට රට නැවත ඔසවා තබන සැලසුම් වෙත යොමුවීම වැදගත්ය. දේශපාලන වාද බේධවල අසීමිත වාරයක් ගොදුරු වී සිටින ශ‍්‍රී ලංකාව නැවත නැවතත් පැරණි මතිමතාන්තරවලටම ඇතුළුවීම අභාග්‍යයකි. දේශපාලන පක්ෂ හා නායකයන් අතර ප‍්‍රතිපත්ති එකගතාවයක් අවශ්‍යය. ඉතාම හොද රටක් ඉතාම නරක තැනක් බවට පත් කරගැනීම අනුචිතය. අපගේ දරුවන් ගේ අනාගතය වෙනත් රටකින් සාක්ෂාත් කරන තරමට පත්වීම අභාග්‍යයකි.