» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
26/06/2022 - ඉරිදා ලංකාදීප
පුද්ගලික අංශයේ ව්‍යාපාර තුනක් විදුලිය බෙදාහැරීමේ තරගයක

වඩාත්ම අන්ධකාර මොහොතට පසු අරුණාලෝකය උදාවන බව පිලිගැනීමයි. ආලෝකය හා බලශක්තිය සදහා විදුලිය ඉල්ලූම වැඩිවෙමින් පවතී. අන්ධකාරයේ සිටින මොහොතක් පාසා විදුලිය බලයය කොපමණ වැදගත් ද යන පණිවුඩය ලැබේ. පැය ගණන් විදුලිය කපා හැරි යුගය අවසන් කරන ඉන්දියාව විදුලිය බල ක්ෂේත‍්‍රයෙහි විප්ලවීය වෙනස්කම් ගණනාවක් හදුන්වා දෙමින් සිටී. විදුලිය නිපදවීමට පුද්ගලික අංශයට දොරටු විවෘත කරන ලද අතර එහි සාර්ථකත්වය අනුව විදුලිය බෙදාහැරීමට ද පුද්ගලික ව්‍යවසායකයෝ කැදවා තිබේ. 1997 වසරේ පළමුවෙන් ප‍්‍රාන්ත මටටින් අත්හදා බලන ලද අතර 2002 ජුලි මාසයේ සිට ඉන්දියාවේ අගනුවර, නවදිල්ලියේ විදුලිය බෙදාහැරීම ප‍්‍රධාන සමාගම් හතරකට පවරන තීරණයකට එළැඹ ඇත.

ලෝක බැංකු පර්යේෂණ පත‍්‍රිකාවකට අනුව සංවර්ධනය කරා ගමන් කරන රටවල විදුලිය බල ක්ෂේත‍්‍රයේ පුද්ගලික අංශයේ ආයෝජන පහත වැටෙමින් තිබේ. උත්පාදනය සදහා බාහිර ආයෝජකයන්ගේ සහාය ගන්නා අතර එය මුදල් වැය නොකර ජනතාවට අවශ්‍ය බලශක්තිය සම්පූර්ණයෙන් සපයන ක‍්‍රමවේදයකි. දියුණු වෙමින් පවතින රටවල විදුලිය බල ක්ෂේත‍්‍රයේ පුද්ගලික ආයෝජන 1997 වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 44.1 ක සිට 2002 වසරේ ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 5.5 තෙක් පහත වැටී ඇති බව ප‍්‍රකාශ වේ. එය නැවත වතාවක් ආණ්ඩුවලට අධික වියදමක් දරන්නට සිදුවන බව කෙරෙන අනතුරු ඇගවීමකි. කෙසේ වෙතත් ඉන්දියාව පියවරක් ඉදිරියට තබා ඇත. විදුලිය උත්පාදනයට පමණක් නොව විදුලිය බෙදාහැරීමට ද පුද්ගලික අංශය වෙත පවරා තිබේ.

ඔඩිස්සා ප‍්‍රාන්තය විදුලිය බෙදාහැරීම පුද්ගලික අංශයට පවරන ලද ඉන්දියාවේ පළමු ප‍්‍රාන්තයයි. එහි පළමු අත්දැකීම් මිහිරි නොවීය. ඒස් පවර් ආයතනය එයින් ඉවත් වූ අතර එරොන් නමැති සමාගමක් ද අර්බුදයකට ලක් විය. පසුව ටාටා පවර් සමාගම ඔරිස්සා ප‍්‍රාන්තයේ විදුලිය බෙදාහැරීමේ කටයුතු භාරගත් අතර මිලියන දහතුනක පාරිභෝගිකයන් ප‍්‍රමාණයකට සේවා සපයන්නට සමත්ව ඇත. ටාටා සමාගම ආයෝජනය කළ වහා විදුලිය බෙදාහැරීමේ පද්ධති වඩා දියුණු කළ අතර එය මගින් බෙදාහැරීමේ දී සිදුවන පද්ධති හානි අවම කළේය. මෙම වැඩි දියුණු කිරීම් සදහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමේ දී කොටසක් ඔඩිස්සා ප‍්‍රාන්ත ආණ්ඩුව ටාටා සමාගමට, පසුව අය කරගැනීමේ පදනම මත ලබා දුන් අතර එවැනි මුදලක් පුද්ගලික අංශයට නිකුත් කිරීම මාධ්‍ය හා විපක්ෂ දේශපාලනයේ ඇස් අරවන සිද්ධියක් බවට පත් වූ බව මතක් කළ යුතුය. එහෙත් එම ආයෝජනය හා සමාන්තරව හොද විදුලිය බෙදාහැරීමක් කරගෙන යනන අතර ප‍්‍රාන්තයට ලැබෙන බදු ආදායම ඉහළ ගොස් තිබේ. ප‍්‍රාන්ත විදුලිය බල ඒකකය ලැබූ අති විශාල පාඩුවලින් නිදහස් වීම තවත් සැලකිය යුතු අංශයකි.

මෞර්ය අධිරාජ්‍යයා වූ අශෝක ක‍්‍රි. පූ. 261 දී ආක‍්‍රමණය කරන ලද කාලිංග දේශය අද ඔඩිස්සා ප‍්‍රාන්තය නමින් හැදින්වෙන අතර එයට ඔඩිස්සා හා බිහාර් යන පරිපාලන ඒකක දෙක අයත්ය. ඉන්දියාවේ ප‍්‍රාන්ත අතරින් භූමි ප‍්‍රමාණය සලකන විට අටවැනි ස්ථානයෙහි අති ඔඞ්ස්සා ජනගහනය අතින් එකොලොස් වැනි ස්ථානයෙහි පසුවෙයි. ඉන්දියාවේ සංවර්ධන වේගයට වඩා ඉදිරියෙන් සිටින ඔඩිස්සා ප‍්‍රාන්තය එම අද්විතීය ජයග‍්‍රහණය සදහා විදුලිය, කර්මාන්ත හා සේවා අංශයෙහි කැපී පෙනෙන වෙනස්කම් දායක කරගෙන ඇත. එහි අගනුවර වන බුවනේෂ්වර් ස්මාට් නගරයක් ලෙස සංවර්ධනය කළ යුතු බව ඉන්දියාව ප‍්‍රතිපත්තියක් වශයෙන් පිලිගෙන ඇත.

2002 වසරේ දී, එවකට මිලියන 14 ක ජනගහනයක් ජීවත් වූ නවදිල්ලි නාගරික කලාපයේ විදුලිය බෙදාහැරීම පුද්ගලීකකරණය කළ අතර ඉන්දීය විදුලිය බල අමාත්‍ය රාජ් කුමාර් සිං පසුගියදා එරට සියළුම ප‍්‍රාන්තවල විදුලිය බෙදාහැරීමේ කටයුතු පුද්ගලික අංශයට පවරන බලය දෙන විශේෂ නියෝගයක් නිකුත් කළේය. මෙම නව ප‍්‍රවණතාවය අනුව විදුලිය උත්පාදනයේ සිට ගෘහ පාරිභෝගිකයෙකුට අලෙවි කරන ස්ථානය දක්වා නවීකරණය වන අතර බෙදාහැරීමේ නාස්තිය අවම කෙරේ. ඉන්දියාව තුළ විදුලිය බෙදාහැරීමේ දී සියයට 21.4 ක පද්ධති නාස්තියක් සිදුවන අත නව යෝජනා අනුව එය සියයට දොලහ දක්වා අවම කෙරේ. සෑම නිවසකටම ස්මාට් මීටරයක් සවි කරන අතර විදුලිය අයථා පරිදි භාවිතා කරන්නට කිසිසේත් ඉඩ ලැබෙන්නේ නැත.

ඉන්දියාව විශාල බලශක්ති අවශ්‍යතාවයක් සහිත රටකි. වසර 2040 වන විට බලශක්ති පරිහරණය අතින් ලෝකයේ තුන්වැනි තැනට පත්වේ. එයට අවශ්‍ය විදුලිය නිපදවන, ඛනිජ තෙල් සපයා ගන්නා දැවැන්ත සැලැස්මක් සකස් කර ඇත. දැවි තෙල්, ගෑස් හෝ ගල් අගුරු විදුලිය උත්පාදනය අඩු කරන අතර සූර්ය බලය හා හයිඩ‍්‍රජන් විදුලිය කෙරෙහි යොමුවන බව වාර්තා දක්වයි. අලූත් විදුලිය බලාගාර ඉදිකිරීම හා සමානව නිපදවන විදුලිය අපතේ නොහැර බෙදාහරින කාර්යක්ෂම වැඩ පිලිවෙල ද වැදගත් බව විදුලිය බල ක්ෂේත‍්‍රයේ විශේෂඥයන්ගේ මතය වී තිබේ. විශාල ආයෝජනයක් කර නිපදවන විදුලියෙන් සෑහෙන කොටසක් අපතේ යන පසුබිමක එය ජාතික ධනය පිලිස්සීමක් බව සදහන් කළ යුතුය. ජාතික ධනය වශයෙන් අදහස් කරන්නේ මහජනතාවගෙන් අය කරගන්නා බදු වන අතර මහජන මුදල් ඉතිරි කරගන්නා ඕනෑම ක‍්‍රමයකින් ජනතාව රට වෙනුවෙන් ගෙවන බදු අඩු කරගත හැකිය. විදුලිය උත්පාදනයට අලූත් පියවර ඒවා බෙදාහැරීමට නවීන ක‍්‍රම අනුගමනය කරන ඉන්දියාව ජන ජීවිතය පහසු පැත්තකට යොමු කරන්නට උත්සාහ කරයි.

ශ‍්‍රී ලංකාවේ විදුලිය බලය ගැන ප‍්‍රකාශ කරන්නට ඇත්තේ කුමක්ද? පසුගිය දා පාර්ලිම්න්තුවේ දී හෙළි වූ කරුණු අනුව මෙම අවුරුද්දේ මාස හයක් තුළ මණ්ඩලයේ අලාභය රු. බිලියන 65 ක් බව ප‍්‍රකාශ කර ඇත. මහජන උපයෝගීතා කොමිසම දක්වන පරිදි 2022 වසරේ අලාභය රු. බිලියන 230 ක් විය හැක. විදුලිය බල මණ්ඩලය 2010-2019 කාලය තුළ රුපියල් බිලියන 246 ක් අලාභ වාර්තා කර ඇත. දස අවුරුද්දක ලැබූ අලාභයට වඩා වැඩි ප‍්‍රමාණයක් මෙම වසරේ ජනතාව මත පටවනු නිසැකය. මහජනතාවට සහන වශයෙන් විදුලිය අඩු මිලට සපයන බව දක්වන මණ්ඩලය අති විශාල ආර්ථික විනාශයක් කරා ගමන් කරමින් සිටී. ජනතාවගේ පහසුව අවසානයේ නැවත වතාවක් විශාල කළමණාකරන පිරිවැයක් ද සමග බදු වශයෙන් අය කෙරේ. ඇතැම් දේශපාලනඥයන්ට අනුව විදුලිය බල මණ්ඩලය ජාතික සම්පතකි. පාඩු ලැබීම ජාතික මෙහෙවරකි. ජනතාව මත අධික බදු පනවන ජාතික මෙහෙවර වෙනුවට ඉන්දියාව තෝරා ගෙන ඇති ක‍්‍රමය මහා අපරාධයක් වෙන්නේ කෙසේද? ඉන්දීය ආණ්ඩුව පනවන නීති අනුව ව්‍යාපාරය මෙහෙයවා මහජනතාවට විදුලියත් සපයන ක‍්‍රම අපට නොගැලපෙන්නේ ඇයි?

සූර්ය විදුලියෙන් රටට ප‍්‍රයෝජන ගත හැක. මන්නාරම ගොඩබිම ප‍්‍රදේශයේ හා නොගැඹුරු සාගරයේ සුළං බලාගාර පිහිටුවිය හැකි අතර එතැනින් නිපදවිය හැකි විදුලිය ඒකක ප‍්‍රමාණය මෙගාවොට් 35,000 ක් බව ගණන් බලා ඇත. එම විදුලිය උත්පාදනය රටට අවශ්‍ය ප‍්‍රමාණය මෙන් අට ගුණයකි. එම ආයෝජනය සදහා සම්පත් රටට නැත. තාක්ෂණ අවබෝධය ද නැත. සම්ප‍්‍රදායික තෙල් - ගල් අගුරු විදුලියෙන් හැර අනෙක් ක‍්‍රමයක් යෝජනා කළහොත් ඒකාබද්ධ වෘත්තීය සටන් ඇවිලේ. පිටරට ආයෝජනයකට ඉඩ නෙදේ. ජාතික සම්පත් බේරා ගැනීමට මරා ගෙන මැරෙන්නට සූදානම් ජන නායකයන් පොදු ජනතාව විපත්තියෙන් ගලවා නොගන්නේ ඇයි? අසල්වැසි ඉන්දියාවේ හෝ ලෝකයේ වෙනත් රටක සිදුවන විශාල පරිවර්තන ගැන නොදන්නා සමාජයක ගෙන යන දේශපාලනයෙහි අර්ථය කිසිසේත්ම පැහැදිලි නැත.