ජපානයේ අගමැති ෆුමියෝ කිෂිඩා මහතා පසුගිය දා ඉන්දියාවේ නිල සංචාරයක නිරත විය. ජපානයේ දී පැවැත්වෙන ජී හත කණ්ඩායමේ වාර්ෂික සැසිවාරයට සහභාගීවන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට මෙහි දී ආරාධනා කෙරිණි. කෙසේ වෙතත් ඉන්දියාව මෙම ජී 7 සමුළුවේ නිල පාර්ශවකරුවන් නොවන අතර නිල නොවන සහභාගීත්වයක් වනු ඇත. ඉන්දියාව ජී 20 රටවල සභාපති දුරය හොබවන අතර ජපානය ජී 7 කණ්ඩායමේ සභාපති ධුරය උසුලයි. දියුණු හා දියුණුවෙමින් පවතින දැවැන්ත සංවිධාන දෙකක නායකයන්ගේ මුණ ගැසීම හා අවධානයට ගැනුණ කරුණු ගැන ජාත්‍යන්තර ප‍්‍රජාව අවධානයකින් පසුවේ.
ආපසු හැරී බලනවිට ඉන්දියාව හා ජපානය අතර විශේෂ සම්බන්ධතාවයට හේතුවන පසුබිමක් තිබේ. බුදු දහම කෙරෙහි, ජපානයේ පවතින ගෞරවය එයට බෙහෙවින් බලපා ඇත. හය වැනි සියවසේ දී ජපානයට බුදු දහම ඉන්දියාවෙන් හදුන්වා දී ඇති අතර ඉන්දියානු සංස්කෘතිය හා එහි මූලධර්ම සමග ජපන් ජාතිකයන් මහත් බැදීමකින් කටයුතු කරමින් සිටී. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු එවකට ඉන්දියාවේ අගමැතිවරයාව සිටි ජවහර්ලාල් නේරු මහතා යුද්ධයෙන් බැට කෑ ජපානයට කාරුණික වූ අතර 1952 දී ජපානය හා ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා ද පසුව එයට සමාන්තරව දෙරට අතර සාමය සදහා වූ අභිලාශ ඇතිකරන ගිවිසුමකට ද අත්සන් කර ඇත. මුල් වටයේ දීම ජපානය හා එකතු වූ රටක් වශයෙන් ඉන්දියාව කෙරෙහි නැඹුරුවක් පවතී.
ස්වාමි විවේකානන්ද, රබීන්ද්‍රනාත් තාගෝර්, ජේ. ආර්. ඞී. ටාටා, සුභාෂ් චන්ද්‍රබෝෂ් වැනි ඉන්දියාවේ බලවත් චරිත ජපානය සමග සමීපව කටයුතු කර ඇති බව ඉතිහාසය දක්වයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජපානය ඇතුළු පාර්ශව වෙනුවෙන් ගත යුතු පියවර සදහා මුණ ගැසුණ සැන් ප‍්‍රැන්සිස්කෝ සමුළුවට ශ‍්‍රී ලංකාව සහභාගී වූ ජේ. ආර්. ජයවර්ධන මහතා වෛරයෙන් වෛරය නොසන්සිදෙන බවට කළ ප‍්‍රකාශය ජපන් ඉතිහාසයෙහි වැදගත් තැනක සනිටුහන්ව ඇත. එහෙත් ඉන්දියාව මෙම සමුළුවට සහභාගී වුයේ නැත. සාමය හා නිරායුධකරණය සම්බන්ධ දෙපාර්ශවයේ බැදීම වෙනම හා ශක්තිමත්ව නිර්මාණය වූ බව පෙනේ. ප‍්‍රජාතාන්ත‍්‍රවාදී දේශපාලනයක නියැලි රටවල් දෙකක් වශයෙන්, ඔවුන්ට සමීපයෙන් සිටින කොමියුනිස්ට් චීනය සමග කි‍්‍රියා කිරීමේ දී හටගත් හැගීම් මේ සදහා වඩා ප‍්‍රබලව බලපාන්නට ඇති බව ද සැලකිය හැකිය.
ජපාන අගමැතිවරයාගේ විසි හතර පැයක කෙටි, ඉන්දීය නිල සංචාරය අතරතුර හෙතෙම ඉන්දු පැසිපික් කලාපයේ පැවැත්ම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබුණි. උපායශීලීව සලකනවිට ඉන්දියාව, ජපානයට ඉතාම වැදගත් සහ අත්‍යවශ්‍ය සහකරුවෙකු බව ජපන් අගමැති ෆුමියෝ මෙහි දී කියා සිටියේය. චීනය ඉලක්ක කරගෙන කළ ප‍්‍රකාශයක් බව ඉන්දීය මාධ්‍ය එම සදහන හදුන්වා දී තිබුණි. ඉන්දියානු සංචාරය අතරතුර ඉන්දු පැසිපික් කලාපයේ යටිතල පහසුකම් නැංවීමට ඇමරිකානු ඩොලර් බිලියන 75 ක කරන ආයෝජන වෙන්කරන්නට සූදානම් බව හෙළිදරව් කෙරිණ. ඉන්දියාව සමග එකතු වී ශ‍්‍රී ලංකාව ඇතුළු කලාපයේ ආයෝජන වෙනුවෙන් ක‍්‍රියාත්මකවන බව සදහන් කළේය. වසර 2030 වන විට ජපානයේ රජය හා එරට පුද්ගලික ව්‍යවසායකයන් මෙම ආයෝජන මෙහෙයවන බව ද මෙහි දී හෙළිදරව් වූ කරුණකි.
ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන පහක පමණ ජපන් ආයෝජන පසුගිය වසරේ දී ඉන්දියාවට ලබාදී තිබේ. විශ්වාසය හා පවතින තරගකාරී අවස්ථා එහි දී වැදගත් වී ඇත. ඉන්දියාවේ ආර්ථික සංවර්ධනය, ලෝකයේ වැඩිම ජනගහනය බවට පත්වීම වැනි කරුණු මෙහි දී ආයෝජකයන් සලකා බලන බව පෙනේ. සංචාරය අතරතුර මුම්බායි සිට අහමදාබාද් දක්වා ධාවනය කෙරෙන අධිවේගී දුම්රිය මාර්ගයක් තැනීම සදහා ජපන් යෙන් බිලියන 300 ක ගිවිසුමක් අත්සන් කරන්නට ද නායකයන් දෙදෙනා එකගත්වය පළ කර සිටියේය.
දෙරට අතර මිත‍්‍රත්වයට පසුබිම්වන, ජාත්‍යන්තර සමුළු කිහිපයක, රටවල් දෙක එකම මතයක සිටිමින් කටයුතු කරමින් සිටී. ජී 20, කොඞ් හා ඉන්දු පැසිපික් සහයෝගීතාව ඒ අතරින් ප‍්‍රධානය. ජී 20 රටවල සංවිධානයේ සභාපතිත්වය දැනට ඉන්දියාව උසුලන අතර ජපානය ජී හත කණ්ඩායමේ රටවල සභාපති ධුරයෙහි කටයුතු කරයි. ජී හත කණ්ඩායමේ සාමාජිකයෙකු නොවන ඉන්දියාව, ආසියාවේ බලවත් රටක් වශයෙන් නිරීක්ෂණ මටට්මකින් සහභාගීවේ. කොඞ් ආරක්ෂක සංවාදය පළමු වතාවට 2007 වසරේ පැවැත්වුණි. ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ජපානය හා ඇමරිකාව එහි සාමාජිකයන්ය.
ලෝකයේ ආරක්ෂාව සම්බන්ධයෙන් උපායශීලීව ක‍්‍රියාකරන සංවාදයක මෙම රටවල් නිරතව සිටී. එය ජාත්‍යන්තර ප‍්‍රජාවගේ තියුණු අවධානයට ලක්ව ඇත. ඉන්දු පැසිපික් සහයෝගීතාවය ද ඉන්දියාව, ජපානය, ඉන්දුනීසියාව, ඔස්ටේ‍්‍රලියාව, ඇමරිකාව හා සිංගප්පූරුව ඇතුළු රටවල් 14 කින් සමන්විත ජාලයකි. විසි එක් වැනි සියවසේ දී අලූත් වෙළද සංස්කෘතියක් සදහා පෙලගැසීමකට ප‍්‍රයත්න දරයි. ලෝක ආර්ථිකයෙන් සියයට හතලිහක පමණ කොටසක් උසුලන මෙම සහයෝගීතාවයට අයත් රටවල දැක්ම වේගවත් සංවර්ධනය වඩා සාධාරණව ලබාගැනීමය.
ලෝකයේ රටවල් අතර තරගකාරීත්වයක් පවතින නමුත් එකිනෙක සංවිධාන හා රටවල් අතර පවත්වාගෙන යන විශේෂ බැදීම් අනුව ලැදියාවකින් කටයුතු කරන බව සදහන් කළ යුතුය. ඉන්දියාව හා ජපානය ගෙන යන සැකැස්ම එයට හොද උදාහරණයකි.
ජී 7 සහ ජී 20 රටවල සභාපතිවරුන් වශයෙන් ඔවුන්ගේ කලාපයේ පොදු ප‍්‍රශ්න සාකච්ඡා කරන අතරවාරයේ පවතින ආර්ථික ගැටළු හා එයින් ගැලවෙන අලූත් අවස්ථා ගැන ද අවධානය යොමු කර ඇත. ශ‍්‍රී ලංකාව ද මෙම අවකාශයෙහි හවුල්කාරීත්වයක සිටිය යුතුය. බෞද්ධ රටක්, දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ජපානය කෙරෙහි වෙනම කෝණයකින් කරුණු දක්වන ලද රටක් වශයෙන් ශ‍්‍රී ලංකාවට වෙනම අනන්‍යතාවයක් තිබේ. දීර්ඝ කාලයක් ලංකාවේ සංවර්ධන යෝජනා ක‍්‍රමවල ප‍්‍රමුඛ පාර්ශවකරුවන්ව සිටි ජපානය පසුව මදක් එපිටින් සිටින ස්ථාවරයකට පත්ව ඇත. දැනට පසුවන දුෂ්කර ආර්ථික තත්ත්වය සලකා බලන පසු ජපානය හා ඉන්දියාව විශේෂ මාර්ගවලින් සම්බන්ධ කරගත යුතුව තිබේ. ත්‍රෛපාර්ශවික සංවර්ධන හා ආයෝජන සැලැස්මක් මේ සදහා යෝජනා කර ඇත. ඉන්දියාව හා ජපානය එකතුවී ශ‍්‍රී ලංකාවේ ආර්ථික ගැටළු කෙරෙහි අවධානයෙන් ක‍්‍රියා කිරීම එක පියවරකි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය සංචිතය ලබාගැනීමේ දී හා ජාත්‍යන්තර ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ක‍්‍රියාවලියේ දී ශ‍්‍රී ලංකාව වෙනුවෙන්, ඉන්දියාව අනුගමනය කරන ලද ප‍්‍රතිපත්තිය සුවිශේෂී එකකි. ඉන්දීය මාර්ග සිතියම අනුව ශ‍්‍රී ලංකාවට සැලැස්මක් සදහා ජපානය සූදානම්ය. මෙම තුන් ඈදුතු සම්බන්ධතාවය පෝෂණය කිරීමට ප‍්‍රතිපත්ති හා සැලසුම් අවශ්‍ය කෙරේ.
ඉන්දියාවට හා ඉන්දු පැසිපික් කලාපයට වසර 2030 දක්වා වෙන්කරන ආයෝජන දෙස බලන විට ශ‍්‍රී ලංකාවට දිනාගත හැකි අවස්ථා ඇත. නිෂ්පාදනය වැඩි කරන අතර අපනයනය රටට විනිමය උපයන එකම මාර්ගය බව පෙනේ. කාර්යක්ෂමව හා පලදායීතාවයකින් යුතු උසස් දේ නිපදවීමෙන් අපනයන වෙළද පොලට ඇතුළුවිය හැක. අලූත් තාක්ෂණය මෙහි දී වැදගත්ය. සන්නිවේදන ක‍්‍රම අනුගමනය කළ යුතුය. ශ‍්‍රී ලංකාවට දක්ෂ මානව සම්පත් ඇති අතර රට තුළ මෙහෙයැවෙන කර්මාන්ත හා සේවා සදහා ඉන්දියාව හා ජපානය අතර සහයෝගීතාවයෙන් ආයෝජන ලබාගත හැක. මෙම රටවල් දෙක ශ‍්‍රී ලංකාව සමග කටයුතු කරන්නට උනන්දු වූ එල්. එන්. ජී. බලාගාරය අත්හැර දමන්නට සිදුවූ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ද රටවල් තුන එකතු වී ආරම්භ කරන්නට සූදානම් වූ එහෙත් අත්හැර දමන්නට සිදුවූ ව්‍යාපෘතියක් බව මෙහි දී සදහන් කළ යුතුය.
|