» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
26/02/2023 - ඉරිදා ලංකාදීප
ආර්ථිකයේ බලය ඩිජිටල්කරණය කරගත් දැවැන්තයෙකුගේ ගමන

තොරතුරු සන්නිවේදන අංශයේ අලූත් ආරම්භයක් කරා ශ‍්‍රී ලංකාවේ ගමන ආරම්භ කර අවුරුදු විස්සක් සම්පූර්ණ වේ. 2003 වසරේ දී සාකච්ඡා ආරම්භ කරන ලද අතර පසුව ලෝක බැංකුව තොරතුරු තාක්ෂණ සන්නිවේදනයේ ව්‍යාප්තිය අරමුණු කරගෙන විශේෂ ව්‍යාපෘතියක් සදහා මුල්‍ය ආධාර සැපයීය. එය ශ‍්‍රී ලංකාවට ලැබුණ විශේෂ අවස්ථාවකි. රාජ්‍ය ආයතනයක පෙළැඹවීම අනුව විද්වතුන් ගේ එකතුවකින් අනාගත තාක්ෂණයේ ප‍්‍රතිපත්ති සකස්කර ගත හැකිවිය. සාමාන්‍ය ජනතාවට තාක්ෂණ භාවිතය හා පහසුවෙන් සම්බන්ධ කරගත හැකි ක‍්‍රම දියුණු කරන්නට පියවර ගත්තේය. දශක දෙකක පසු දැනට පවතින තත්ත්වය සමාලෝචනය කිරීම වැදගත්ය.

ඉන්දීයාවේ දී පසුගියදා පැවැති 2023 නායකත්ව සංසදය අතරතුර එරට තොරතුරු තාක්ෂණයේ මාස අනුවක ව්‍යායාමය ගැන සදහනක් කෙරිණ. 2015 ජුනි මාසයේ දී අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඩිජිටල් ඉන්දියා සංකල්පය හදුන්වා දී ඇත. තොරතුරු තාක්ෂණ හා පරිගණක භාවිතාව කරගෙන යන අතරවාරයේ ඉන්දිය රජයේ අනුග‍්‍රහයෙන් එය ව්‍යාප්ත කරන විශේෂ වැඩසටහනක් වශයෙනි. එකල එරට ඒක පුද්ගල දත්ත භාවිතාව අඩු ප‍්‍රතිශතයක තිබුණි. සාමාන්‍ය ජනතාවට අන්තර් ජාලය ගැන හැගීමක් තිබුණේ නැත. අද තත්ත්වය සහමුලින්ම වෙනස්ය. මාස අනූවක් තුළ විශාල වෙනස්කමක් සිදුවී ඇත. ලෝකයේ වැඩිම තොරතුරු තාක්ෂණ පරිහරණය කරන්නන් පිරිසක් ජීවත්වන රට බවට පත්ව තිබේ. එදිනෙදා කටයුතුවල දී ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය සාධකයක් වී ඇත. භාණ්ඩ මිල දී ගැනීම, මුදල් ගෙවීම අන්තර් ජාලයෙන් සිදුවේ. ලෝකයේ සිදුවන ගනුදෙනුවලින් සියයට හතලිස් එකක් ඉන්දියාවෙන් වාර්තාවන බව දැක්වේ. චීනය හා ඇමරිකාව එකතුවූ පසු ලැබෙන අගයට ද වැඩි ගනුදෙනු ප‍්‍රමාණයක් සටහන්වීම ජාත්‍යන්තර අවධානයට හේතු වී තිබේ. විශාල ජනගහනය, පරිගනක සාක්ෂරතාවය, දත්ත භාවිතය සදහා ඇති පහසුව සහ පිරිවැය අඩුවීම ඇතුළු කරුණු විශාල ප‍්‍රමාණයක් මෙහි දී සාධක වී ඇත.

ලෝකයේ වැඩිම ජනගහනය වෙසෙන ඉන්දියාවේ තරුණ ප‍්‍රජාවේ ප‍්‍රතිශතය ඉහලම මටටමක පවතී. බිලියනයක පිරිසක් අවුරුදු තිස්පහට අඩු වයස්ගත කාණ්ඩයට අයත්ය. වැඩිම තරුණ ජවයක් ඇති රටක් වශයෙන් ලෝකය ඉදිරියේ කැපී පෙනෙන අතර වසර 2070 දක්වා වෙනත් රටකට එම වාසිදායක අවකාශය අත්පත් කරගැනීමට ඉඩක් නොලැබෙන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. තරුණ ජනගහනය හේතුවෙන් දැවැන්ත ශ‍්‍රම බලකායක් සිටින අතර වේගයෙන් වැඩ කළ හැකි පිරිසකි. උත්පාදනය හා පරිභෝජනය සදහා තරුණ පිරිස දක්වන දායකත්වය වෙළද පොල ශක්තිමත් තැනකට කැදවා ඇත.

නිෂ්පාදන අංශය සමග සසදන පසු ඉන්දියානු වෙළද පොල ඉල්ලූමට වඩා සැපයුමක් සහිතය. දළ දේශීය නිෂ්පාදිතයෙන් තුනෙන් දෙකක් රට තුළින් සැපයේ. සෑම ප‍්‍රාන්තයක්ම ආර්ථිකයෙහි කොටස්කරුවන්ය. විශාල ජනගහනයට අවශ්‍ය ආහාර නිපදවන්නට සමත්ව ඇති අතර කුළුබඩු, එලවලූ, ධාන්‍ය යනාදිය ලෝකයේ වැඩිම ප‍්‍රමාණයක් නිපදවන රට බවට පත්ව සිටී. නිෂ්පාදනය කරන ධාන්‍ය ප‍්‍රමාණය නංවන අතර ලෝකයේ අනෙක් රටවලට එහි රස ගුණ හදුන්වාදීමේ සංස්කෘතියක් ද ඉන්දියාව ආරම්භ කර ඇත. 2023 වසර ධාන්‍ය වසර වශයෙන් නම් කර ඇත. මෙනේරි, කුරක්කන්, බඩ ඉරිගු, සෝගම්, තල සහ සෝයා ඇතුළු ධාන්‍යවලට අලූත් පිලිගැනීමක් ඇති කරන වැඩ පිලිවෙල අරඹා ඇති අතර තාක්ෂණය ද එයට වහල් කරගෙන තිබේ.

ඉන්දියාවේ සමාජ එකගතාව, දේශපාලන ස්ථාවරභාවය හා ස්වදේශිකත්වය ලබාදී ඇති පිටිවහල මෙහි දී සලකා බැලිය හැකි වැදගත් කරුණකි. 2019 වසරේ පැවැති ඡුන්දයේ දී මිලියන හය සියයක් ඡන්දය ප‍්‍රකාශ කර ඇති අතර එයින් මිලියන අනූවක් පළමු වතාවට තමන්ගේ ඡන්දය ප‍්‍රකාශ කළ තරුණ පිරිසකි. ඔවුහු රට ගැනත් රට ගෙන යා යුතු තැන ගැනත් ඉලක්කයක් සහිතව ආණ්ඩුව පත් කරගෙන තිබේ. සමාජයේ හා ජා්‍යන්තරයේ විශ්වාසය දිනාගන්නට සමත්ව ඇති ඉන්දියාව එමගින් තරුණන්ට අවස්ථා ඇති කරන යුගයක් නිර්මාණය කර ඇත. දැවැන්ත නායකත්වයක්, එම නායකත්වය තුළින් අනාගතය ගැන හැගීමක් ඇති කරගෙන තිබේ.

ඉන්දීය සමාජයේ සාර්ථකත්වය සමග ඉන්දියාව සමග එකතු වී හවුල්කාරීත්වයට පැමිණි වපරිසය ද විශේෂයෙන් දැක්විය යුතුය. 1947 වසරේ සිට අද දක්වා ඉන්දියාවට ලැබී ඇති සෘජු විදේශ ආයෝජන ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 950 කි. මෙයින් බිලියන 523 ක් ඉකුත් මාස 19 තුළ රටට ලැබී ඇති බව දැක්වේ. මුළු ලෝකයම කොවිඞ් වසංගත භීතියෙන් ඇලලී සිටිය දී ජාත්‍යන්තර ආයෝජන ඉන්දියාවට ලැබී ඇත. ලෝකයේ සියළුම රටවලින් පාහේ පැමිණ ඇති ආයෝජන එකිනෙකට වෙනස් ක්ෂේත‍්‍ර හැට එකක නිෂ්පාදන, සේවා හා අලෙවි අංශ වල කටයුතු ආරම්භ කර ඇත. එයින් ලැබී ඇති රැුකී රක්ෂා ප‍්‍රමාණය අති විශාලය. රජයට ලැබෙන බදු ආදායම දැවැන්ත එකකි. රජයේ ආදායම වැඩිවන අතර 2023 අය වැය මගින් පුද්ගල බදු අය කිරීම තව දුරටත් ලිහිල් කිරීමට නරේන්ද්‍ර මෝදි ආණ්ඩුව තීරණය කර තිබේ. මෙම ආයෝජන ඉන්දියාවේ සෑම ප‍්‍රාන්තයකටම විහිදී ඇති බව වාර්තා දක්වයි. ඉන්දියාවට පසුගිය මාස දහනමය තුළ ලැබුණ විදේශ ආයෝජනවලින් සියයට අනු තුනක් බදු සහන හෝ දිරිගැන්වීම් රහිත සාමාන්‍ය වශයෙන් ලැබීම සලකා බැලිය යුතු වෙනස්ම පැත්තක් වශයෙන් සදහන් කළ යුතුය. මෙයට හේතුව ඉන්දියාව තුළඇති දැවැන්ත වෙළද පොල, ශ‍්‍රමය හා දේශපාලන ස්ථාවරත්වය බව ද දැක්වීම සුදුසුය.

ඉන්දියාව ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන 3.5 ක ආර්ථිකයක් ඇති රටකි. පළමු ටි‍්‍රලියනය කරා ගමන් කරන්නට වසර හැට හතක් ගත වී ඇත. ඉන්දීය ආර්ථික දත්ත අනුව දෙවැනි ටිලියනය කරා ළගාවීමට ගත වී ඇති කාලය වසර අටක් වන අතර තුන් වැනි ටි‍්‍රලියනය වසර පහක් තුළ දිනාගන්නට සමත්ව තිබේ. මෙම ඉලක්කම්වලින් පරිවර්තනයක් සදහා ලබාගත යුතු ජවය සහ එය ලබාගත හැකි මොහොත අපට මැනැවින් උගන්වයි.

ඉන්දියාව තුළ සටන් ඇත. අරගල තිබේ. ගොවියෝ මාස ගණනක් අගනුවර වැටලූහ. විපක්ෂය දැවැන්ත පා ගමනක් ආරම්භ කළේය. තරුණ පිරිස් හමුදාවට බදවා ගැනීමේ අලූත් ක‍්‍රමවලට විරෝධය පළ කරමින් විශාල කෝලාහල ඇති කළහ. ජනතාව විරුද්ධත්වය පළ කරන අතරවාරයේ ඉන්දියන් ගුවන් සේවාව ඇතුළු රාජ්‍ය ආයතන විශාල ප‍්‍රමාණයක් පුද්ගලීකරණය කළේය. ඉන්ධන මිල ඉහළ අතර විදුලිය කප්පාදුවක් ද ක‍්‍රියාත්මකය. ප‍්‍රාන්ත ආණ්ඩු ගණනාවක් මධ්‍යම ආණ්ඩුවේ තීරණවලට කැමැති නැත. එහෙත් ඉන්දියාව එක ප‍්‍රතිපත්තියකට අනුව ඉදිරියට ගමන් කරමින් සිටී. එහි දැවැන්ත භාවය, ජවය හා උදාරත්වය ලෝකයේ විස්මයට හේතු වී ඇත.

ශ‍්‍රී ලංකාවට මෙම පැවැත්මෙන් ලබාගත හැකි පිටිවහල කුමක්ද? ඉන්දියානු දේශපාලනය හා සමාජ ස්ථාවරභාවය ගැන දැක ගත හැක්කේ මොනවාද? ඩිජිටල්කරණයෙන් ලබාගත හැකි පිටිවහලගැන අවබෝධයක් තිබේද? ප‍්‍රතිපත්ති ඉදිරියේ ගැටෙන, හැපෙන විපක්ෂ දේශපාලන පක්ෂ, රට කරගෙන යන්නට ඉන්දීය නායකයන්ට දෙන අනුබලය ගැන නිසි වැටහීමක් අපට නැත්තේ ඇයි? ජාති, ආගම්, දේශපාලන හා පටු අන්තවාදී කල්ලි වශයෙන් නොබෙදුන ජන කොටස් ඉන්දියාව ඉදිරියෙන් තබා කටයුතු කරන්නට හේතුව කුමක්ද? අප සියළුම දෙනා අසල්වැසියාගේ මෙම පසුබිම අධ්‍යයනය කර අපගේ අනාගතය ගොඩනගාගත යුතුව තිබේ.