» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
25/07/2021 - ඉරිදා ලංකාදීප
සමුපකාර විෂයට අමාත්‍යවරයෙකු පත් කරන ඉන්දියාවේ තීරණය

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය කැබිනට් මණ්ඩලයට සමුපකාර විෂයය භාර අමාත්‍යවරයෙකු පත් කර තිබේ. පළමු වතාවට ප‍්‍රාන්ත මෙට්ටම වෙනුවට ජාතික මට්ටමට සමුපකාර වැඩ පිලිවෙල ගෙන එන පියවරකි. මෙතෙක් කල් සමුපකාර විෂයය ප‍්‍රාන්ත ආණ්ඩුවලට කැබිනට් විෂයයක් වී තිබුණි. ඉන්දීය කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් පසුගිය දිනවල සිදු කරන ලද අතර අභයන්තර කටයුතු ඇමති අමිට් ෂා මහතා වෙත සමුපකාර අමාත්‍යංශය ද පවරා ඇත. හෙතෙම භාරතීය ජනතා පක්ෂයේ ශක්තිමත් ඉදිරිපෙල නායකයෙකි. අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ට සමීප හිතෛශීයෙකු සේ සැලකේ. අගමැති ධුරයට පත් වෙන්නට කලින් ගුජරාට් මහ ඇමැති වශයෙන් සිටි නරේන්ද්‍ර මෝදි එහි සමුපකාර විෂය අමිත් ෂා වෙත පවරා තිබුණි. ඉන්දීය මහ මැතිවරණයෙන් ජය ලබා ලෝක් සභාවට පත්වන අමිට් ෂා සමුපකාර වැඩ පිලිවෙල ඉදිරියට ගෙන යන්නට මෙයට කලින් දක්වන ලද සාර්ථකත්වය තවත් පියවරකට ගෙන යන වගකීම පවරා ඇති බව පෙනේ.

2014 වසරේ බලයට පත් අගමැති මෝදි මහතා වරින් වර ජාතික මටට්මින් ඉන්දීය රාෂ්ට පාලනයෙහි නොතිබුණ අලූත් ඇමැති තනතුරු හදුන්වා දී තිබේ. වෘත්තීය පුහුණු සහ ව්‍යවසායකත්ව අමාත්‍ය ධුරයක් කැබිනට් මණ්ඩලයට හදුන්වා දෙන අතර එයින් පසු විද්‍යුත් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය ධුරයක් 2016 වසරේ දී ඇති කළේය. සන්නිවේදන, නිවාස සහ නාගරික සංවර්ධන, ධීවර කටයුතු, සත්ව පාලනය හා කිරි නිෂ්පාදන ඇමැතිවරයෙකු 2019 වසරේ දී පත් කරන ලද බව සදහන් කළ හැකිය. ඉන්දියාව අලූත් යුගයකට ඇතුළු කිරිම සදහා අවශ්‍ය කරන දර්ශනය හා අභිලාශය සමුපකාර අමාත්‍යධුර හදුන්වාදීම තුළ පවතින බව නිරීක්ෂණය කළ හැකිය. ඉන්දියාවේ සමාජ ආර්ථික ව්‍යුහය අනුව සමුපකාර වැඩ පිලිවෙලට සෑහෙන වගකීමක් පැවැරී තිබේ. කෘෂිකර්මය හා සත්ව පාලන අංශ සමුපකාර ව්‍යාපාරය හා තද සම්බන්ධතාවයක් පවත්වාගෙන පවතී. ජනතාවගේ පැවැත්ම දියුණුකර සමෘද්ධිය තහවුරු කරන අරමුණ ඇතිව සමුපකාර විෂයය ගැන අවධානය යොමු කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණ පැත්තකි.

මෑත ඉතිහාසය තුළ අලූත් විෂය පළ වෙන් කිරීමේ දී සංවර්ධන අවශ්‍යතා ඉදිරියෙන් තබන ලද ඉන්දියාව එයට සමාන්තරව එරට ජනතාව සමග පවත්වාගෙන යා යුතු දේශපාලන සම්බන්ධතාවයට ද ඉඩකඩ විවෘත කරමින් කටයුතු කරන බව දේශපාලන විචාරකයෝ දක්වති. සමුපකාර ව්‍යාපාරය ඉන්දියාව පුරා ව්‍යාප්තය. කෝට් ගණනක් ඉන්දියානුවෝ එරට සමුපකාර ව්‍යාපාරයේ සාමාජිකයෝය. සාමුහිකත්වය තුළින් සමෘද්ධිය ළගාකරදීමට ඉතාම සුදුසු පිලිවෙල සමුපකාර ව්‍යාපාරය බව ලබන වසර සදහා අය වැය ඉදිරි පත් කරමින් ප‍්‍රකාශයට පත් කර තිබිම ද විශේෂත්වයකි. විවිධ අංශ යටතේ ව්‍යාපාර කරන්නට පහසුව ඇති කරන අතර සමුපකාර ව්‍යාපාරය සමග එයට සම්බන්ධවන අංශ වලට වෙනම පරිපාලනයක්, වෙනස්ම ප‍්‍රතිපත්ති සහ නීති පද්ධතියක් තුළින් ආරක්ෂාවක් සපයනු ඇති බව සදහන්ය. සමාජයේ පහලම ඒකකයේ කණ්ඩායම වෙත ළගාවී ගැඹුරු සම්බන්ධතාවයක් ඇති කිරීමට සමුපකාර ව්‍යාපාරය උපයෝගී කරගත හැකිවීම මෙහි ඇති අනෙක් වැදගත්ම කාරණයක් බව ද අය වැය ඉදිරිපත් කරමින් දී සදහන් කර තිබේ.

වාර්තා දක්වන පරිදි ඉන්දියාවේ පමණක් සමුපකාර සමිති ලක්ෂ අටහමාරකට වඩා සක‍්‍රීයව පවතී. දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එහි සාමාජිකයෝය. එරට ගම්මාන වලින් සියයට අනුවකට සමුපකාර ව්‍යාපාරය විහි දී ඇත. ලෝකයේ සමුපකාර ව්‍යාපාර අතර දෙවැනි ඉහළම පිරිවැටුම වාර්තා කරන ආයතනය බවට ඉන්දීය අමුල් කිරි නිෂ්පාදන සමාගම පත්ව තිබේ. ඉතිරි කිරීමේ බැංකු, සීනි, කපු වැනි නිෂ්පාදන අංශ වලට සමුපකාරය ව්‍යාප්ත වී ඇත. ගොවියන්ට පොහොර බෙදා දෙන අතර ඔවුන්ගේ නිෂ්පාදන වලට වැඩිම මිලක් ලබා දෙන ගොවි සමුපකාර සමිති රට පුරා බහුලව තිබේ. ගුජරාට් ප‍්‍රාන්තයේ ටැක්සි සේවාව පවා සමුපකාර ක‍්‍රමයකට පවත්වාගෙන යයි. මුල්‍ය වාර්තා පෙන්වන පරිදි වානිජ බැංකු වලින් වසරකට සියයට හතරක පමණ පොලියක් ගෙවනවිට සමුපකාර සාමාජිකයෝ සිය කොටසකට සියයට විස්සක් දක්වා ලාභාංශ උපයා ගනිමින් සිටිති. මෙම රාමුව තවත් පුලූල් සහ ව්‍යාප්ත කිරීම අලූත් අමාත්‍යංශය පිහිටුවීමෙන් අපේක්ෂා කරන බව පැහැදිලිය.

ජාත්‍යන්තර වාර්තා අනුව සමුපකාර ව්‍යාපාරය බලවත්ම රටවල් අතර ජපානය, ප‍්‍රංශය, ජර්මනිය ඇමරිකාව හා බි‍්‍රතාන්‍ය සිටී. සමාජවාදී ක‍්‍රමය සමග හදුන්වා දෙන ලද ජනතා සහභාගීත්වයෙන් යුතු ක‍්‍රමයක් නමුත් පවතින සංකීර්ණ විවෘත ආර්ථික ක‍්‍රමයට ද සාර්ථකව මුහුණ දෙන්නට සමුපකාර ක‍්‍රමයට හැකි වී ඇත. නායකත්වය හා කොටස් හිමි ජනතාවගේ කැපවීම එහි ලා ඉතාම වැදගත් සාධකය වී ඇත.

ශ‍්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරයට ද දීර්ඝ ඉතිහාසයක් තිබේ. යටත් විජිත සමයේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල වෙසෙන ගොවි ජනතාවගේ අවශ්‍යතා හදුනාගෙන වහා සේවා සැපයීමට සමුපකාර සේවාව අරඹා ඇත. විශ්වලිංගම් වීරසිංහම් මහතා මෙරට සමුපකාර ව්‍යාපාරයේ නියමුවා වශයෙන් සැලකේ. යාපනයේ මානිපායි හි උපත ලැබූ හෙතෙම උපාධිධාරි ගුරුවරයෙකු හා පසුව විදුහල්පතිවරයෙකු වශයෙන් සේවය කළේය. ජාති, ආගම්, දේශපාලන හෝ ප‍්‍රාදේශීය වශයෙන් කිසිම බෙදීමක් නැති ජාතික ව්‍යාපාරයක් වශයෙන් සමුපකාර සේවාව හදුන්වා දෙන්නට එකල හැකි වී ඇත. පළමු සමුපකාර සම්මේලනය කැදවා එහි සභාපති ධුරයට පත්ව ඇති වීරසිංහම් මහතා ජීවිතක්ෂයට පත්වන තෙක් සමුපකාර ව්‍යාපාරය නගා සිටුවීමට කැපවී ඇත. දුම්බර මිටියාවත සමුපකාර සංගමය මෙරට පැවැති පළමු විවිධ සේවා සමුපාකාර සංගමය බව දක්වයි. සමුපකාර දෙපාර්තමේන්තුව 1930 දී ස්ථාපිත කරන ලද අතර එය මෙරට පැරණිම දෙපාර්තමේන්තු අතරින් එකකි. දහ තුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය සමග සමුපකාර විෂය පලාත් සභා යටතට පත්ව තිබේ.

ඉන්දියාව ගෙන ඇති අලූත් තීරණය අනුව ප‍්‍රාන්ත මට්ටමින් ජාතික තලයට කැදවන සමුපකාර ව්‍යාපාරය සමග ජන සහභාගීත්වයෙන් යුතු පරිපාලන ක‍්‍රමවේදයක් ගැන අවධානය යොමු කරමින් සිටී. දූෂණ මැඩ පවත්වන අතර විනිවිද පෙනෙන පාලනයකට සමුපකාර ව්‍යාපාරයෙන් විශාල සේවාවක් සැලසෙනු ඇතැයි සැලකේ. පසුගියකාලය තුළ ඉන්දියාවේ ගොවියෝ දීර්ඝ විරෝධතා ව්‍යාපාරයක් ගෙන ගියේය. නවදිල්ලිය ආක‍්‍රමණය කළ ගොවීහු සිය නිෂ්පාදන මිල දී ගැනීමේ රජයේ වැඩ පිලිවෙල විවෘත කිරීමට එරෙහි වූහ. සාධාරණ අවස්ථා ඉල්ලා සිටියහ. ජනතාවගේ ගැටළු ගැන ඉන්දිය පාලනයෝ සෑහෙන අවධානයක් යොමු කළහ. සමුපකාර ව්‍යාපාරය සමග කෘෂිකාර්මික හා කාර්මික අංශ සම්බන්ධ කරන අතර ඒකාධිකාරය වෙනුවට තරගකාරීත්වයක් ඇති කරන පසුබිමක් සකස් කළ හැකි බව වටහා ගෙන ඇති බව පෙනේ.

ඉතා දුෂ්කර කාලවකවානුවල ජනතා සහභාගීත්වයෙන් එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වී ඇත. ආහාර හිග කාල වකවානුවල සහ, ආර්ථික දුෂ්කරතා සහිත අවස්ථාවල සමුපකාරය මැදිහත් වී තිබේ. සමුපකාරය ප‍්‍රදේශයේ ජනතාව ගේ සාමාජිකත්වයෙන් ක‍්‍රියාත්මක වන අතර එහෙයින් ජනතා අවශ්‍යතා මැනැවින් හදුනාගන්නා ඒකකයකි. කොවිඞ් වසංගත තත්ත්වය ලෝකයේ පැවැත්ම වෙනස්ම පැත්තකට තල්ලූ කර තිබේ. මෙතෙක් සාකච්ඡා කරමින් තිබුණ ලෝක තරගකාරීත්වය හා අලෙවි ව්‍යුහ වලට අභියෝග මතු වී ඇති කාලවකවානුවකි. ජාත්‍යන්තර වෙළදාම හා සමාන්තරව තමන්ට අවශ්‍ය දේ රට තුළින්ම නිදපවා ගැනීමට අවධානය යොමු කරන කාල වකවානුවකි. පැරණි ශක්තිමත් පදනම් නැවතත් භාවිතයට ගැනීම සුදුසු ද යන්න අවධානයට යොමු කළ යුතුය. ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය නිෂ්පාදන ජාලය තුළ ගැටළු තිබේ. නිෂ්පාදකයෙහි නිරත වන පිරිස අලෙවිය සම්බන්ධ ප‍්‍රශ්න වලින් මිරිකී සිටී. වෙළද පොල කරා භාණ්ඩ ප‍්‍රවාහනය අධික පිරිවැය ගෙන දෙන කාර්යයකි. නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර සෑහෙන අතරමැදියන් ප‍්‍රමාණයක් සම්බන්ධවන අතර එයින් දෙපාර්ශවයටම අවාසි සිදුවී ඇත. සමුපකාර ව්‍යාපාරය එවැනි ප‍්‍රශ්න වලට උත්තර සොයා දිය හැකි වනු ඇත.