» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
25/04/2021 - ඉරිදා ලංකාදීප
විපක්ෂයේ නායකත්වයෙන් ජිනීවා කොමිසමට ගිය ඉන්දියානු කණ්ඩායම

මානව හිමිකම් සම්බන්ධ සිද්ධිවල පැරණි යටගියාව තුළින් අපට ස්වර්ණමය පාඩම් ඉගෙනගත හැකිය. මානව හිමිකම් චෝදනා එල්ල කරන්නේ රටකටය. බලයේ සිටින පක්ෂයට නොවේ. රටක නායකයා හෝ ආණ්ඩුව මුහුණදිය යුතු අභියෝගයක් සේ සැලකීම අනුචිතය. අවස්ථානුකූලව තීරණ ගත හැකි පිලිවෙල ගැන ඉන්දීය ආණ්ඩුව 1994 දී ජගත් ප‍්‍රජාවට දක්වා ඇත. බරපතල අභියෝගයකට එදිරිව ශක්තිමත්ව නැගී සිටීම ගැන අමතක නොකළ යුතු උදාහරණයකි.

ජම්මු කාෂ්මීර සිද්ධිය පදනම් කරගෙන පකිස්තානය විසින් ඉන්දියාවට විරුද්ධව මානව හිමිකම් චෝදනාවක් ඉදිරිපත් කළේය. එවකට බලපවත් වන ලද්දේ මානව හිමිකම් කොමිසමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකයේ නොයෙක් රටවල සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වන සිද්ධි අලලා කරුණු විමර්ශණය කරන අතරවාරයේ පකිස්තානය සිය ආසන්න ප‍්‍රතිවාදියාට එරෙහිව චෝදනා ගොනු කළේය. එය ඉතා තීරණාත්මක අවස්ථාවක් වූ බව සදහන් කළ යුතුය. චීනය, පකිස්තානය හා ඉන්දියාව අතර ජම්මු කාශ්මීර ප‍්‍රදේශයේ අයිතිය හා පාලනය ගැන වාද විවාද තිබුණි. චීනයෙන් ගිලිහී ගිය පසු එහි බහුතරයක් වන මුස්ලිම් ජනතාව පාලනය කිරීම පකිස්තානයට අයිති රාජකාරියක් සේ කල්පනා කළ යුතුව තිබුණි. දෙරට අතර යුද ගැටුම් අවස්ථා ගණනාවක දී ඇවිලී ගිය අතර මෑතක් වන තුරු විශේෂ බලතල සහිත ඉන්දියාවේ ප‍්‍රාන්තයක් සේ පැවැතීම විශේෂ සිද්ධියකි. කෙසේ නමුත් ඉන්දීය හමුදාව ජම්මු කාශ්මීර ප‍්‍රදේශයේ රාජකාරි කරන පිලිවෙල පකිස්තානයට ඉවසා සිටිය නොහැකි විය. මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම එහි ප‍්‍රතිඵලයකි. දැන් මානව හිමිකම් සභාව යනුවෙන් වෙනස් කර ඇති අතර එකල පවත්වා ගෙන ගිය කොමිසම ඉදිරියේ ඉන්දියාවට පෙනී සිටින්නට සිදුවිය. හමුදා කණ්ඩායම් වල හැසිරීම හා එම පිරිස් අහිංසක ජනතාවට කරන හිරිහැර උලූප්පා දක්වමින් පකිස්තානය ගෙන යන පියවරට මුහුණදීම අසීරු කටයුත්තක් බව ඉන්දීය ආණ්ඩුවට පැහැදිලිව ඒත්තු ගොස් තිබුණ කරුණකි.

එවකට අගමැති ධුරයේ කටයුතු කළ නරසිංහ රාවෝ මහතා රටට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ක‍්‍රියා කළ යුතු ජාතික පිලිවෙලක් යෝජනා කළේය. එවකට විපක්ෂ නායකයාව සිටි භාරතීය ජනතා පක්ෂයේ නායක අතල් බිහාර් වජ්පායි මහතා අමතා ජිනීවා මානව හිමිකම් කොමිසමට පිටත්ව යන කණ්ඩායමේ නායකත්වයට යෝජනා කර ඇත. ආණ්ඩුවකට සේවය කිරීමට වඩා වෙනස් තීන්දුවක් හෙතෙම එම අවස්ථාවේ දී ගෙන ඇති බව පෙනේ. රටක් මුහුණ දී ඇති ගැටළුව හ`දුනාගෙන සිටි දශක හයක් දේශපාලනයේ නිරතව සිටි වජ්පායි මහතා 1994 වසරේ ඉන්දියාව වෙනුවෙන් ජිනීවා බලා පිටත්ව යන කණ්ඩායමේ නායකත්වය ගත්තේය. එවකට බලයේ සිටි ඉන්දීය ජාතික කොන්ග‍්‍රසයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සල්මන් කුර්ඞීෂ් කණ්ඩායමේ තවත් එක සාමාජිකයෙකු පමණක් වූ අතර විපක්ෂ නායකයා යටතේ ජිනීවා ගමනට සූදානම්වීම තුළ ඔහුට නොකැමැත්තක් ද නොතිබුණා වෙන්නට බැරි නැත. කෙසේ නමුත් විපක්ෂ නායක වජ්පායි සාර්ථකව වගකීම ඉටු කළේය. ඉන්දියානු නායකයන් නිතර ස`දහන් කරන පරිදි රට තුළ පවතින දේශපාලන එදිරිවාදිකම් වෙරළින් එපිට දී තුරන් වන බවට කදිම සාක්ෂියක් සැපයීය.

බලයේ සිටි ඉන්දීය ජාතික කොන්ග‍්‍රසය කටයුතු කරන ආකාරය නිර්දය ලෙස විවේචනය කර මානව හිමිකම් කොමිසමට පෙනී සිටින්නට සිදුවීම ගැන හෙලා දකින්නට විපක්ෂයට අවස්ථාව තිබුණි. ආණ්ඩුව පෙරලා බලය අල්ලා ගන්නට යන ගමනට හොද සන්ධිස්ථානයක් බව පැහැදිලිව පෙණි ගිය අවස්ථාවකි. අතට ලැබුණ පන්දුව වේගයෙන් කඩුල්ල වෙත යොමු කරන අවස්ථාව තිබුණ නමුත් ලෝක ප‍්‍රජාව හමුවේ ඉන්දියාව අපහසුතාවයකට පත් කර ලබන ජයග‍්‍රහණය පලක් නැති බව මෙම පරිනත නායකයා කල්පනා කරන්නට ඇත. බලය තිබුණ අගමැති නරසිංහ රාවෝ ස්වභාවය හදුනාගෙන පියවරක් පසුපසට ගැනීම පමණක් නොව විපක්ෂ නායක අතල් බිහාරි වජ්පායි පියවරක් ඉදිරියට තැබීමත් ඓතිහාසික සිද්ධියකි. අදටත් ලෝකයේ නොයෙක් රටවල් එවැනි විචක්ෂණ තීරණ අනුමත කරමින් ප‍්‍රශංසා කරති. මානව හිමිකම් ප‍්‍රශ්නයක් නැති බව දක්වන්නට විපක්ෂ නායක වජ්පායි සමත් වූ අතර එය ඉන්දියාව ලැබූ ජයග‍්‍රහණයකි. ඉන්දියාවේ අගමැතිව සිටි නරසිංහ රාවෝ ගෙන් පසු එරට අගමැති අසුන කරා ගමන් කරන්නට වජ්පායි සදුසුකම් ලබන හේතුවක් වශයෙන් ද සනිටුහන් වූ බව විශ්වාස කළ හැකිය.

ඉන්දියාවේ පරිනත නායකත්ව ගැන මෙම සිද්ධිය තුළ තවත් සාක්ෂියක් තිබේ. විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිවරයා වූ සල්මන් කුර්ඞීෂ් ජිනීවා සාකච්ඡා වලින් පසු කෙලින්ම ලන්ඩන් නගරයට ගොස් කෙටි විවේකයක් ගෙන පසුව නව දිල්ලියට යන අදහසක සිටියේය. එය ඔහු වජ්පායි මහතාට දන්වා ඇත. ඔබ ඉන්දියාවට කෙලින්ම යා යුතු බව ඉන්දීය විපක්ෂ නායක වජ්පායි එම අවස්ථාවේ දී තරුණ රාජ්‍ය ඇමැතිවරයාට කියා තිබේ. එහි නියම අදහස නවදිල්ලියට ආපසු පැමිණෙන විට පෙනී ගියේය. පකිස්තානයේ චෝදනා වලට නිසි පිලිතුරු දුන් නරසිංහ රාවෝ ගේ ආණ්ඩුව වෙනුවෙන් උණුසුම් පිලිගැනීම ලැබුණේ විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිවරයාටය. එය අනපේකෂිත සිදුවීමකි.

ඉන්දියාව විශාල රටකි. දැවැන්ත ජනගහනය තුළ විවිධත්වයක් තිබේ. දේශපාලනය එකකි. ජාතිකවාදය අනෙකකි. ඉන්දියානුවෝ තද ජාතිකවාදීහුය. විවිධ ජාති, විවිධ ආගම් හා කුළ බේධ කෙසේ නමුත් අන්තිමේ දී ඉන්දියානුවෙකි.

ඉතිහාසයෙන් සාක්ෂි සපයන මෙම සිදුවීම් හුදෙක් කතාන්දර පමණක් නොවේ. පරිනත නායකයන් කි‍්‍රියා කරන ආකාරය ගැන අධ්‍යයනය කරන්නට පදනමකි. ශ‍්‍රී ලංකාවට ද මානව හිමිකම් චෝදනා එල්ල විය. වතාවක් දෙකක් නොවේ. සෑම අවස්ථාවකම බරපතල සිද්ධි ඇති කළේය. ත‍්‍රස්තවාදය මැඩ පැවැත්වීමට ගත් ක‍්‍රියාමාර්ග ඉදිරියේ එවකට පැවැති ආණ්ඩුව කටයුතු කළ ආකාරය ගැන බරපතල චෝදනා ඇත. බටහිර රටවල් මෙම චෝදනා හුවා දක්වා ශ‍්‍රී ලංකාවට අපකීර්තියක් ඇති කරන පියවරකය. යුද ගැටුම් අවසන් කර සාමය තහවුරු කරන්නට රටට හැකිවූ නමුත් ජාත්‍යන්තරයෙන් එල්ල වන පීඩනයෙන් ගැලවෙන්නට හැකියාවක් ලැබී නැත. පසුගිය යහපාලන ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් සභාවේ යෝජනා වල සම අනුග‍්‍රාහකයන් සේ කටයුතු කරන බව දැක්වීය. එහිලා ගත යුතු පියවර අනුව ක‍්‍රියා කරමින් සිටියේය. එය ඥාණාන්විත පියවරක් නොවන බව ජේ‍යශ්ඨ රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන්ගේ මතයයි. අනෙක විදේශ විනිශ්චකාරවරු යෙදවීම ද ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව විද්වතුන් පෙන්වා දී තිබුණි. වත්මන් රජය ශ‍්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනා වල සම අනුග‍්‍රාහකත්වයෙන් ඉවත් වන බව නිල වශයෙන් දන්වා තිබේ. සම අනුග‍්‍රාහකත්වයෙන් ඉවත්වන නමුත් චෝදනා වලින් නිදහස් කිරීමක් නොවේ. පසුගියදා අවසන් වූ සැසි වාරයේ දී පවා උණුසුම් වාද විවාද පැන නැගිණ. සැසිවරයෙන් පසු අද වන විට ස්වභාවය යටපත් වී ඇති බව පෙනෙන නමුත් මෙවැනි තාක්ෂණික පියවර දියැවී වියැකී යන්නේ නැත. නැවත නැවතත් පැන නැගෙන අතර රටක් වශයෙන් මුහුණ දී උත්තර සොයා ගත යුතු ප‍්‍රශ්නයකි.

ශ‍්‍රී ලංකාව පැරණි බේධ අත්හැර නැවත සංහිදියාව ඇති කරන මාර්ගයක ගමන් කරමින් සිටී. සංහිදියාව වැදගත් වන්නේ ගැටුම් ඇති කරගත් කොටස් වලට පමණක් නොවේ. වර්තමාන සමාජය දෙස බලන විට අප සියළු දෙනා තුළ සංහිදියාවක් නැති බව පැහැදිලිව දැක ගත හැකිය. අසල්වැසියන් සමග සාමය, සංහි`දියාව නැති අවස්ථාවකින් වැදගත් ප‍්‍රයෝජන අත්පත් කරගන්නට හැකියාවක් නැත. අප සියළු දෙනා යතාර්ථය අවබෝධ කරගත යුතුය. සංහිදියාව සිංහල හෝ දෙමල එකක් නොවේ. ජාතීන් අතර ප‍්‍රශ්නයක් ද නොවේ. දේශපාලනඥයන් විශේෂයෙන් ආදර්ශවත් විය යුතුය. නොගැලපෙන වහසි බස් ප‍්‍රකාශ කර තර්ජනාත්මකව හැසිරෙන ඇතැම් දේශපාලනඥයෙකු ගෙන් සංහිදියා වැඩ පිලිවෙලකට ලැබෙන අනුබලය කුමක්ද? රටට අවශ්‍ය සිත් හැදෙන, සිත් සැනහෙන පියවරකි. එකට එකතු වී ශක්තිමත් ගමනකි. අවුල් වියැවුල් වලින් වාසියක් ලැබෙන්නේ නැත. ඉන්දියාව කටයුතු කළ හා සමානව මානව හිමිකම් ප‍්‍රශ්නයක් අභිමුවෙහි ක‍්‍රියාකරන්නට තරම් අප සියළු දෙනාට ආධ්‍යාශයක් තිබේද? දරාගත හැකිද? යන්න අප කල්පනා කළ යුතු පැති වශයෙන් සදහන් කළ යුතුය.