» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
24/10/2021 - ඉරිදා ලංකාදීප
හයිඩ‍්‍රජන් බලශක්තිය කෙරෙහි ඉන්දියාවේ අවධානයක්

පරිසර ප‍්‍රශ්න ගැන අතිශය පුලූල් අවධානයක් යොමු කරන ජාත්‍යන්තර ප‍්‍රජාව පුනර්ජනණීය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරමින් සිටී. සුළග, මුහුදු රළ, හිරු එළිය, න්‍යශ්ඨික බලය පමණක් නොව හයිඩ‍්‍රජන් ගැන පවා අලූත් පර්යේෂණ කරන බව වාර්තා වෙයි. ගල් අගුරු, බොරතෙල් හා ගෑස් භාවිතා කිරීම නතර කිරීම මෙහි අවසාන ප‍්‍රතිඵලය බව සදහන් කළ යුතුය. පොසිල ඉන්ධන දහනය කිරීම නිසා ඇතිවන විෂ වායුව ඕසෝන ස්ථරයට හානි සිදු කරයි. අහිතකර හිරු කිරණ මහ පොලවට පතිත වන අතර එය ජෛවයේ පැවැත්මට අහිතකරය. ඕසෝන වියනට සිදුවන හානි හෙයින් ගෝලීය උණුසුම වැඩිවෙමින් තිබේ. දිනෙන් දින වැඩිවන උණුසුම පරිසරයට අතිශය හානිකර අතර නොයෙක් ස්වභාවික විපත්වලට හේතුවකි. පර්යේෂකයන්ට අනුව අර්ධගෝලවල හිම ග්ලැසියර දියවීම හේතුවෙන් සාගරයේ ජල මටට්ම ඉහළ යනු ඇත. සමහර මුහුදුබඩ ප‍්‍රදේශ අනාගතයේ දී මුහුදට බිලි විය හැකිය. ගොඩබිම සීමා සහිත වනු ඇති බව දක්වයි.

විශාල ජනගහනයක් හා ආර්ථිකයක් ඇති රටවල් සිය බලශක්ති භාවිතය අලූත් පැති කරා යොමු කරන ප‍්‍රයත්නයකය. ඉන්දියාව ද එහි එක වැදගත් පාර්ශවයකි. පුනර්ජණනීය හා අලූත් බලශක්තිය යනුවෙන් වෙන්කරන ලද අමාත්‍යංශයක් ඉන්දියාවට තිබේ.

1970 ගණන් වල ඛනිජ තෙල් වෙළදාම සම්බන්ධ ගැටළු මතු වූ අතර අතිරේක බලශක්ති සම්පත් උත්පාදන කොමිසමක් ස්ථාපිත කළේය. එය පිහිටුවන්නේ ඉන්දියාවේ විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුවට අනුබද්ධිතවය. නවෝත්පාදන අදහස් හා අලූත් ආකාරයේ පුනර්ජනණීය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කිරීමේ වගකීම පැවැරිණ. 1992 වසරේ දී අලූත් අමාත්‍යංශයක් බවට පත් කරන්නේ එහි ධාරිතාව තවත් පරාසයකට නංවමින් බව සදහන් කළ යුතුය. බොරතෙල් ආනයනය මත යැපෙන්නේ නැති හයිඩ‍්‍රජන්, ජෛව ඉන්ධන, සින්තටික් ඉන්ධන වැනි අංශ කෙරෙහි සොයා බැලීමට මෙහි වගකීම් පැවැරිණ. දේශීය ඉන්ධන ඉල්ලූම හා සැපයුම වෙනුවෙන් විකල්ප පියවර ගැනීම, පිරිසිදු විදුලිය එනම්, ජෛව, සුළං, ජල, සූර්ය, උදම් රළ හා මහ පොලවේ තාපය වැනි අංශ වලින් විදුලිය උත්පාදනය කෙරෙහි ද විශාල දායකත්වයක් යොමු කර ඇත.

ඉන්දියාවේ ආර්ථිකය තවත් වේගවත්වීම සමග බලශක්ති අවශ්‍යතාව වර්ධනය වෙයි. වැසියන් ගේ ඒක පුද්ගල විදුලිය පරිභෝජනය වැඩිවෙයි. අවසානයේ දී තෙල් දහනය කිරීම එකම උත්තරය නොවේ. පුනර්ජනණීය විදුලිය උත්පාදනය අරමුණු කරගෙන වැදගත් තීරණ ගණනාවක් පසුගිය කාලය තුළ ගෙන ඇත. හයිඩ‍්‍රජන් බලශක්ති උත්පාදනය එයින් එක පැත්තකි.

පිරිසිදු විදුලිය උත්පාදනයෙහි වැදගත්කම ගැන ඉකුත් ජනරජ දිනයේ දී ද, අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විශේෂයෙන් සදහන් කළේය. ලෝකයේ පිරිසිදු විදුලිය උත්පාදනය නංවන අභිලාශයක් ඉන්දියාවට තිබේ. 2021 අය වැය මගින් ද හයිඩ‍්‍රජන් විදුලිය ගැන ඉන්දියාව කරුණු ඉදිරිපත් කර ඇත. අතිරේක විදුලිය වෙනත් රටවලට විකිණීමට සූදානම්ය. සාග් සංවිධානයේ සම්මුතියකට අනුව ද කලාපයට ගැලපෙන විදුලිය සංචිතයක් ගැන ගිවිසුමක් ඇත. ශ‍්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම අනුව පුනර්ජනණීය විදුලිය උත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත්වන අවස්ථාවක් ද අපය තිබේ. එයට සැලසුමක් හා සම්බන්ධීකරණයක් අවශ්‍යය. ඉන්දියාව ඉදිරි වසර දෙක තුළ හයිඩ‍්‍රජන් නිෂ්පාදනය සියයට විසි පහ දක්වා නංවන අතර ඒවා විදුලිය වෙනුවෙන් පමණක් නොව පොහොර ඇතුළු රසායනික නිපදවීම සදහා ද උපයෝගී කරගනු ඇති බව වාර්තා වෙයි.

1800 ගණන් වල සිට ආශ‍්‍රත ජලය විද්‍යුත් මගින් වෙන් කිරීමේ දී හයිඩ‍්‍රජන් හා ඔක්සිජන් වෙන් කරගැනීමේ විද්‍යාව හදුනාගෙන තිබුණි. ජලය සකස් වී ඇත්තේ හයිඩ‍්‍රජන් එක අනුවක් හා ඔක්සිජන් අනු දෙකක් සංයෝගවීමෙනි. මෙම ව්‍යුහය රසායනිකව බිදීමේ දී විද්‍යුතයක් උපදින අතර එය සාමාන්‍ය විදුලිය බවට හරවා ගැනීමට තාක්ෂණය දැන් පවතී. මෙම විදුලිය උත්පාදනය මුල් කාලයේ ඉතා වියදම් අධිකය. ව්‍යාපාරික වශයෙන් ප‍්‍රතිඵලදායක වූයේ නැත. 2018 දී කියුබික් මෙටි‍්‍රක් ටොන් එකක හයිඩ‍්‍රජන් සදහා ඇමරිකානු ඩොලර් 7,600 ක් පමණ වැය වූ අතර 2020 වන විට එය ඇමරිකානු ඩොලර් 4,900 දක්වා සීමා වී තිබේ. තාක්ෂණය දියුණු කිරීම සමග ඉදිරියේ දී තවත් පිරිවැය පහත වැටෙනු ඇත. යුරෝපා ප‍්‍රජාව, ඇමරිකාව හා චීනය ඇතුළු රටවල හයිඩ‍්‍රජන් විදුලිය උත්පාදනය ප‍්‍රචලිත වෙමින් තිබේ. බි‍්‍රතාන්‍ය වසර 2024 වන විට ගිගා වොට් හයක විදුලියක් සදහා හයිඩ‍්‍රජන් බලාගාර ඉදි කරනු ඇත. දැනටමත් එහි ගිගාවොට් එකක විදුලියක් නිපදවන අතර නෝර්වේ ද ගිගාවොට් දෙකක බලාගාරයක් ස්ථාපිත කරයි. චිලී, ඊජිප්තුව, දකුණු අපි‍්‍රකාව සහ ඔමානය ඉදිරියේ දී හයිඩ‍්‍රජන් විදුලියට නැඹුරුවන බව වාර්තා දක්වයි. සාමාන්‍ය විදුලිය උත්පාදන පිරිවැයට වඩා සියයට හැත්තෑ පහකින් පමණ වියදම අඩු විය හැකි බව පුරෝකථනය වී තිබේ.

ඉන්දියාව මෑතක් වන තුරු හයිඩ‍්‍රජන් විදුලිය උත්පාදන ව්‍යාපෘති වලට ධනය ආයෝජනය කරන්නට සූදානමක සිටියේ නැත. එයට අදාල පර්යේෂණ සදහා රාජ්‍ය මුදල් වෙන් කිරීම සීමාසහිත විය. ක්ෂේත‍්‍රයේ විද්වතුන් එය ගැන එපමණ සතුටකින් පසු නොවු බව ද වාර්තා වෙයි. කෙසේ වෙතත් මධ්‍යම රජය එරට තෙල් සමාගම් වල ද, අනුග‍්‍රහය සහිතව අලූත් සැලසුම් සකස් කරමින් සිටී. මෙහි අධ්‍යයන කටයුතු මුම්බායි හි සිදුකෙරෙන අතර විශේෂිත අරමුදලක් ද, ස්ථාපනය කර ඇත. ජර්මනිය හා ප‍්‍රංශය යන රටවල් ඉන්දියාවේ කරගෙන යන හයිඩ‍්‍රජන් විදුලිය උත්පාදන ව්‍යාපෘතිවලට ආධාර කර ඇත. මෙහි අවසාන ප‍්‍රතිඵලය අනුව ඉන්දියාවේ විදුලිය නිෂ්පාදන වැඩපිලිවෙලෙහි හයවැනි උත්පාදන බලවේගය බවට හයිඩ‍්‍රජන් බලය පත්ව ඇත. ලැබෙන වාර්තා අනුව සූර්ය කෝෂ වලට ආනයනය බදු සියයට හතලිහකින් පමණ නංවන්නට ඉන්දීය මධ්‍යම රජය තීරණය කර තිබේ. එය සූර්ය විදුලිය උත්පාදනය වෙනුවට හයිඩ‍්‍රජන් විදුලියට අවස්ථාව සැපයීමකි. ප‍්‍රාන්ත කිහිපයක පුද්ගලික අංශය මහා පරිමානයෙන් විදුලි උත්පාදන ව්‍යාපෘති ආරම්භ කර ඇත. එය එරට විදුලිය ඒකකයකට යන උත්පාදන වියදම විශාල වශයෙන් අඩුකරන හේතුවකි.

කෙසේ නමුත් සාමාන්‍ය ආර්ථික පසුබිමක් සහිත රටවලට හයිඩ‍්‍රජන් විදුලිය උත්පාදනය පහසු නැත. ආරක්ෂාව ගැන ද තවමත් බියක් තිබේ. මෑතක දී ලෝක ආර්ථික සංසදය සමාජ මාධ්‍ය මත විමසුමක් කරන ලද අතර එහි දී ආරක්ෂාකාරී බව ගැන සැකයක් පවතින බව පෙනී ගොස් ඇත. හයිඩ‍්‍රජන් හේතුකරගෙන ඇති වූ අනතුරු ගැන ජනී ජනයා තුළ කුකුසක් තිබේ. ජර්මනියේ නැවක සිදුවූ ගිනිගැනීමක් හා 1986 වසරේ නාසා හි අභ්‍යවකාශ යානයක් ගුවන්ගත කිරීමේ දී ගගන ගාමීන් හත් දෙනෙකු සමග සිදුවූ විනාශය ද මහත් කම්පනයක් ඇතිකරන ලද අවස්ථා වශයෙන් සලකයි. කෙසේ නමුත් රසායානාගාර වාර්තා අනුව ගිනිගැනීමක් ස`දහා අවශ්‍ය කරන පසුබිම හයිඩ‍්‍රජන් වලදී අනෙක් ඉන්ධන වලට වඩා අඩුය. එය වාසිදායක තත්ත්වයක් නමුත් තවමත් විශ්වාසය තහවුරු වෙමින් තිබේ.

පැරිස් සම්මුතියට අත්සන් කරන ලද රටක් වශයෙන් ගෝලීය ප‍්‍රවනතා කෙරෙහි අවධානය යොමු කරන වගකීමක් අප රටට ඇත. විදුලිය උත්පාදනය ස`දහා පුනර්ජනණීය ප‍්‍රභව සොයා යා යුතුය. හයිඩ‍්‍රජන් විදුලි උත්පාදනය භාරධුර කර්තව්‍යයක් නමුත් එය කෙරෙහි රට තුළ කරන පර්යේෂණ අත්හැර දැමිය යුතු නැත. අලූත් මාධ්‍ය ගැන විමර්ශනය සුදුසුය. ඉන්දියාවේ කරනගෙන යන කටයුතු ගැන පරෙස්සමෙන් අධ්‍යයනය කිරීම අවශ්‍යය. මහා පරිමානයෙන් විදුලිය උත්පාදනයට ඉන්දියාව සමත්වුවහොත් දෙරට අතර විදුලි බලය හුවමාරු කරගැනීමේ ව්‍යාපෘතියක් පවා නරක අදහසක් නොවේ. කලාපයේ බලශක්ති කේන්ද්‍රස්ථානය බවට ලංකාවට පත්විය හැකිය. ජනතාවට අඩුම වියදමකින් විදුලිය මිල දී ගැනීමට පහසුව සැලසීම ආණ්ඩුවේ වගකීමකි. දැනට ඉතා අධික වියදමක් සහිතව හා පරිසරයට අහිතකර උත්පාදන ව්‍යාපෘති ගැන තීරණ ගැනීමට අනාගතයේදී සිදුවිය හැකිය. එවැනි අවස්ථාවක නව ප‍්‍රවනතා උපකාරී විය හැකිය.

ශ‍්‍රී ලංකාව ජල විදුලිය උත්පාදනයෙන් ඉහළම තැනෙක සිටටිබව මතක් කළ යුතුය. මහවැලි යෝජනා ක‍්‍රමය යටතේ ඉදිවූ ජලාශවලින් කරන ජලවිදුලිය උත්පාදනය රටට අතිරික්තයක් විය හැකි බව එකල ගණන් බලා තිබුණි. එහෙත් පරිභෝජනය ඉහළ ගියේය. ආර්ථිකය දියුණුවන විට විදුලි උපකරණ වැඩි වශයෙන් පාවිච්චි කරන අතර දැන් ඒවාට අවශ්‍ය තරමට විදුලිය උත්පාදනය අසීරු තැනට පත්ව ඇත. අලූත් පැති ගැන සොයා බලා අනාගතය ගැන කල්පනා කර සුදුසු තීරණ ගැනීම අවශ්‍යය.