» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
24/07/2022 - ඉරිදා ලංකාදීප
පාර්ලිමේන්තුවේ පවත්වන ඡන්දයකින් ජනාධිපතිවරයෙකු පත් කරගැනීම

පාර්ලිමේන්තුවේ ඡන්දයකින් විධායක ජනාධිපතිවරයෙකු පත්කරගැනීම ශ‍්‍රී ලංකාවේ විරල සිද්ධියකි. ආර්. පේ‍්‍රමදාස මහතා ගේ හදිසි විපතට පසු ඞී. බී. විජේතුංග මහතා වැඩබලන ජනාධිපති පදවියට පත් අතර පසුව එවකට පාර්ලිමේන්තුවේ සිටි මැති ඇමැතිවරු එතුමා ගේ පත්වීම ඒකමතිකව පිලිගත්හ. අට වැනි විධායක ජනාධිපතිවරයා පත්කරගැනීමට ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී, සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවට අවස්ථාවක් ලැබිණි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස් වූ අතර ආර්ථික අර්බුදය මැද ඉදිරියට පැමිණි අරගලකරුවන් ගේ අඛණ්ඩ විරෝධය එම තීරණය ගැනීමට හේතු විය.

කොවිඞ් වසංගත තත්ත්වය පාලනය කිරීමට ගත් පියවර කෙරෙහි හිටපු ජනාධිපතිවරයාට සමාජයෙන් ගෞරවය ලැබී ඇති නමුත් ආර්ථිකය පාලනය කර රට දියුණු කරන අභියෝගය ජයගැනීමට අසමත්වීම විරෝධතා ඇතිවීමට බලපෑවේය. මුල් අවස්ථාවේ දී ම, නිසි පිලියම් යෙදිය යුතුව තිබුණ අතර ලෝක ආර්ථිකයේ බලපෑම හා දේශීයව පැවැති පීඩනය නොසිතන වාතාවරණයක් නිර්මාණය කළේය. ඉකුත් බදාදා ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයෙහි ප‍්‍රතිඵල අනුව බලයට පත් අලූත් විධායක ජනාධිපතිවරයාට කෙටි කාලීන සහන සපයන අතර රට ඉහළට ඔසවා තබන දීර්ඝ කාලීන සැලසුම් ක‍්‍රියාවට නංවන්නට සිදුවනු ඇත.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරු 225 දෙනෙකු ගේ ඡුන්දයෙන් ජනාධිපතිවරයෙකු පත් කරගැනීම මෙරට තුළ පළමු වරට වාර්තා වන නමුත් ඉන්දියාවේ ජනාධිපතිවරයා තෝරා ගැනෙන්නේ එරට මහජන නියෝජිතයන්ගේ ඡන්දයෙන්ය. සියළු පුරවැසියන්ගේ ඡන්දයෙන් නොවේ. පසුගිය ජුලි 21 වැනි දා එහි ප‍්‍රතිඵල නිකුත්වීමට නියමිතව තිබුණි.

භාරතීය ජනතා පක්ෂය ප‍්‍රමුඛ ජාතික සන්ධානය නියෝජනය කරමින් ද්‍රෟපදී මුර්මු මහත්මිය ඉදිරිපත් වූ අතර එක්සත් ප‍්‍රගතිශීලී සන්ධානය ඇතුළු විපක්ෂ දේශපාලනය නියෝජනය කරමින් හිටපු මුදල් ඇමැතිවරයෙකු වූ යෂ්වාන්ත් සිං ජනාධිපතිවරණයට තරග කළහ. හැට හය හැවිරිදි මුර්මු මහත්මිය ඉන්දීය දේශපාලන කටයුතුවල නිරතව සිටි අතර 2015 සිට 2021 තෙක් ජර්කාන්ද් ප‍්‍රාන්තයේ ආණ්ඩුකාර ධුරය හෙබවූවාය. ඇයගේ පියා පමණක් නොව සීයා ද ඉන්දියාවේ ග‍්‍රාමීය දේශපාලන යාන්ත‍්‍රණයක් වන පන්චායත‍්‍රී රාජ්‍ය සභාවේ ප‍්‍රධානීන් සේ කටයුතු කර ඇත. භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකාවක වන ඇය වෘත්තියෙන් ගුරුවරියකි. ඉන්දියාවේ ඔඩිස්සා ප‍්‍රාන්තයේ සාමාන්‍ය ගෝත‍්‍රික ප‍්‍රජාවක් නියෝජනය කරන අතර ආණ්ඩුකාරවරියක සේ ක‍්‍රියා කරන අතරවාරයේ ඉඩම් වානිජ කටයුතු සදහා නිදහස් කරන පණතකට එරෙහිවීමෙන් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වූවාය. මේ අතර භාරතීය ජනතා පක්ෂයේ හිටපු ජ්‍යෙශ්ඨ සාමාජිකයෙකු වන යෂ්වාන්ත් සිං 1990 දී මුදල් ඇමති වශයෙන් වසරක කාලයක් හා පසුව 1998 දී තවත් වසර හතරක කාලයක් වශයෙන් එම ධුරයේම කටයුතු කර ඇත.

ඉන්දීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව අග‍්‍රාමාත්‍යවරයාට පුලූල් බලතල ඇති නමුත් ජනාධිපතිවරයා ජනරජයේ නායකත්වය උසුලයි. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන අංශ තුනෙහිම සංකේතාත්මක නායකත්ව වගකීම ද පැවරේ. වසර පහක කාලයකට පත්වන ජනාධිපතිවරයා සේනාධිනායකයා ද වන අතර නීතිය හා ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ පරම වගකීම ධුරයට පැවැරී තිබේ. මධ්‍යම ආණ්ඩුවේ ලෝක් සභාව සහ රාජ්‍ය සභාව සහ සියළුම ප‍්‍රාන්ත සභාවල මන්ත‍්‍රී මණ්ඩලය ද ඇතුලත් පිරිසකට ජනාධිපතිවරයා තෝරා ගැනීමට ඡන්දය පාවිච්චි කරන බලය ඇත. ජනාධිපතිවරයා යෝජනා කිරීමට හා යෝජනාව අනුමත කිරීමට පනස් දෙනෙකු බැගින් ඉදිරිපත් විය යුතුය. තරග වදින අපේක්ෂයකන්ට ඇප මුදලක් ද තැන්පත් කරන්නට සිදුවේ. ඉන්දීය ව්‍යවස්ථාව අනුව උප ජනාධිපති ධුරයක් ද ඇත. ඉන්දීය පාර්ලිමේන්තුවේ නියෝජිතයන් ගේ ඡන්දයෙන් පත්වන උප ජනාධිපතිවරයා ද, විසි දෙනෙකු ඉදිරිපත් කරන යෝජනාව තවත් විසි දෙනෙකු සම්මත කර පමණක් නොව මුදලින් ඇප තබා තරග කළ යුතු තනතුරකි. මෙම ධුර සදහා ඇති බලය හා එම බලය ප‍්‍රකාශ කරන්නට ඇති අවම සුදුසුකම කොපමණ ද යන්න මෙහි දී අවබෝධ කරගත යුතුය. පදනමක් නැති පිරිස් ඡන්දයකට ඉදිරිපත් කර ස්වභාවය ව්‍යාකූල කරන්නට ඇති ඉඩකඩ කණ්ඩායමක් විසින් යෝජනා කරන, මෙවැනි ක‍්‍රමයකින් ආවරණය කෙරේ.

ඉන්දීය මැතිවරණ කොමිසම මෙම ජනාධිපතිවරණ හා උප ජනාධිපතිවරණ ඡන්ද විමසීම පවත්වයි. එයට විශේෂිත නිලධාරීහු පත් කරගැනේ. නියමිත කාලයක් තුළ ඡන්දය ප‍්‍රකාශ කරන අතර දෙවැනි මනාපයක් ද පළ කරන්නට අවස්ථාව තිබේ. ජනාධිපතිවරණ ඡන්දයේ අක‍්‍රමිකතා සිදුවුහොත් ඉන්දිය අධිකරණයට පැමිණිලි කළ හැක. ඡන්දය පවත්වන ලද ආකාරයෙහි අක‍්‍රමිකතා ගැන පැමිණිල්ලක් ලැබුණහොත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එය විභාග කරන අතර එහි දී ප‍්‍රකාශයට පත් කරන නිගමනය අවසාන තීන්දුව බවට පත් වනු ඇත.

ඉන්දියාවේ ජනාධිපති හා උප ජනාධිපති යන ධුර හොබවන නායකත්ව ඕනෑම අවස්ථාවක ඉවත් කරන බලය ලෝක් සභාවට හා රාජ්‍ය සභාවට බලය ඇත. තුනෙන් දෙකක වැඩි ඡුන්දයෙන් යෝජනාවක් සම්මත කළහොත් ධුරයෙන් ඉවත් කළ හැකිවේ. කෙසේ වෙතත් එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමට දින දහ හතරක කාලයක් කල් දිය යුතුය. ඉන්දීය ව්‍යවස්ථාව අනුව රාජ්‍යයේ ප‍්‍රධානියා පත්කරන, ඔහු නඩත්තු කරන හා ආපසු හරවා යවන සරල ක‍්‍රමවේදය පැහැදිලිව දක්වා තිබීම විශේෂත්වයකි.

සම්ප‍්‍රදාය හා සමාජ ගෞරවය තකා තීරණ ගැනීම ඉන්දියානු දේශපාලනයෙහි කෑපී පෙනෙන ලක්ෂණයකි. සමාජ සමානාත්මතාව ඉහලින් සැලකේ. ඉන්දීය ව්‍යවස්ථාව සකස් කරන්නට අම්බෙත්කාර් මහතාට පැවැරීම එහි එක ලක්ෂණයකි. දේශපාලනයට තෝරා ගැනීමේ දී ඉන්දියාවේ දහස් සංඛ්‍යාත ප‍්‍රමාණයක් වන කුල, ගෝත‍්‍රික සහ ආගමික පසුබිම් කෙරෙහි එරට නායකයෝ සැලකිලිමත් වෙති. ඉන්දීය ජනාධිපති ධුරය ද එසේ වෙසෙසින් තෝරාගත් අවස්ථාව හිමිවිය යුතු පිරිසට සමාජයේ පිලිගැනීම ඇති කරන සේ පවත්වාගෙන යනු ලබයි. නිදහස් සටනේ නියමුවන් වූ රාජේන්ද්‍ර ප‍්‍රසාද්, මුස්ලිම් ජාතික අධ්‍යාපනඥයෙකු වූ සකීර් හුසේන්, සීක් ජාතික සෙයිල් සිං, නීතිවේදී දයාලාල් ශර්මා, මාධ්‍යවේදියෙකු සහ රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරියෙකු වූ රාමන් නාරායන්, විද්‍යාඥයෙකු වූ අබ්දුල් කලාම් සහ සමාජ සේවයේ නිරතව සිටි කාන්තාවක වන ප‍්‍රතිභා පාඨලී එසේ ජනාධිපති ධුරය සදහා වෙනස් පැතිවලින් තෝරාගත් විද්වතුන් අතර නම සදහන්ය.

ශ‍්‍රී ලංකාව මෙවැනි සිද්ධිවලින් ආදර්ශයක් ගත යුතුය. අපට පාඩමක් තිබේ. අලූතින් හතන්නට සිදුවී ඇත. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන යෝජනාවක් ඇත. බලය පාර්ලිමේන්තුවට ලැබිය යුතු යැයි සංවාදයක් තිබේ. සියළුම දේශපාලන පක්ෂ මතු පිටින් එයට කැමැතිය. අභ්‍යන්තරව දරන මතය වෙනස් එකක් විය හැක. ව්‍යවස්ථාව වෙනස් කර විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට වේදිකාවේ දී පොරොන්දු වෙන නමුත් බලයට පත් වූ පසු ඒවා කෙරෙන්නේ නැත. ශ‍්‍රී ලංකාවේ සියළු ජන කොටස්වල කැමැත්තෙන් බලයට පත්වන නායකයෙකු ධුරාවලියෙන් ඉවත් කරන පසු ඇතිවන හිදැස පුරවන ආකාරය ගැන කල්පනා කළ යුතුව තිබේ. හදිසි අවස්ථාවක නායකයෙකුට තීරණ ගෙන වහාම ක‍්‍රියාත්මක විය හැකි ක‍්‍රමයක් අවශ්‍ය බව පෙනේ. මේවා දෙස සමස්ථයක් වහයෙන් සලකා බැලිය යුතු අතර තැනින් තැන වෙනස් කර පැලැස්තර ඇලවීම සුදුසු නැත. සෙනෙට් මණ්ඩලය වැනි ව්‍යුහයක් ඇතිකල හැක. මහජනන මුදල් භාවිතා නොකර රටවෙනුවෙන් යමක් කරන්නට සුදුසු අයවලූන් තෝරාගෙන ඔවුන්ගේ දැනුම හා භාවිතාව ප‍්‍රයෝජනයට ගත හැකි මගකි.

දේශපාලන හරය ක‍්‍රමයෙන් දියැවී යන, දේශපාලනඥයන් සදහා සමාජයේය ඇති පිලිගැනීම හීනවන පසුබිමක සමාජය නැවත ඔසවා තබන, බලාපොරොත්තු ඇති කරන ක‍්‍රමවේද කෙරෙහි අප නැඹුරුවිය යුතුව තිබේ. මහ ජාතිය, ඉහළම කුලය, තමන්ගේ පරපුරට පමණක් අයිතිය ලැබීම යන පටු අදහස්වලින් මිදුණු රටක් බිහිකරගත යුතුය. අලූතින් පත්ව ඇති පිරිස රටට වැරදුණ තැන ගැන පරීක්ෂාකාරී විය යුතුව තිබේ. නැවත අධිශ්ඨානශීලීව නැගී සිටින්නට අවශ්‍ය දේශපාලන හා සමාජ ප‍්‍රතිසංස්කරණ ගැන අවධානය යොමු කිරීම සුදුසුය.