» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
24/04/2022 - ඉරිදා ලංකාදීප
මතබේධාත්මක නීති ගැන ගොවියන්ගෙන් සමාව ඉල්ලාසිටි අගමැති

අරගල නැති භූමියක් නැත. ජනතාව හා පාලකයන් අතර නොනවත්වා ගෙන යන සටනක් තිබේ. පාලිතයා හා පාලකයා අතර පරතරයක් ඇත. ප්‍රජාතන්ත්‍රවාදී රටවල අදහස්, මතවාද පැන නැගෙයි. විවිධ මතධාරීහු වෙනස් අදහස් ඉදිරිපත් කරන අතර සාකච්ඡාවෙන්, සංවාදයෙන් හෝ සම්මුතියෙන් කෙළවර වෙන්නේ නැත. අසාධාරණය, අයුක්තිය ඉවසනු නොහැකි එක මෙහොතක් එන අතර එතැන දී ඇවිලීම වැලැක්විය නොහැකිය. අරගලය නතර කරන්නට නොහැක.

පසුගිය වසරේ ඉන්දියාවේ නොනැවතී පැවැති ගොවි විරෝධතා මෙහි දී මතක් කළ යුතුය. ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පණත් තුනක් ආපසු හරවන ලෙස ගොවීහු බලකරන ලද අතර වසරක පමණ කාලයක් ගෙන ගිය අරගල අවසානයේ දී අගමැති නරේන්ද්‍ර මෝදි එම පණත් ඉල්ලා අස්කරගත්තේය. ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය. “කෘෂි ප්‍රතිසංස්කරණවලට අදාල අලුත් නීති ගැන ගොවියන්ගෙන් එක කොටසකට ඒත්තු ගැන්වීමට රජය අසමත් වූ අතර, අණ පණත් ආපසු හැරවීම පිලිගෙන නැවත ගම්බිම්වලට ගොස් සුපුරුදු ජීවිතය අරඹන” ලෙස අගමැතිවරයා ප්‍රසිද්ධ ඉල්ලීමක් කළේය.

ගොවිනිෂ්පාදන අලෙවිය සඳහා මෙතෙක් පැවැති ක්‍රමවේද වෙනස්ස කරන්නට මෝදි ආණ්ඩුව තීරණය කළ අතර එය ගොවියන්ගේ සතුටට හේතු වූයේ නැත. ගොවි ජනතාවගේ විරෝධය නොතකා තද ස්ථාවරයක සිටි පාලකයන්ට අවසානයේ දී තීරණ වෙනස් කරන්නට සිදුවූ බව දැක්විය යුතුය. ඉන්දිය මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩු ගොවියන්ගේ නිෂ්පාදන සහතික මිලකට කෙලින්ම මිල දී ගන්නා ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිටියේය. නරේන්ද්‍ර මෝදි ආණ්ඩුව 2021 වසරේ දී ඉදිරිපත් කරන ලද පණත් තුනක් මගින් කෘෂි ප්‍රතිසංස්කරණ යෝජනා හදුන්වා දුන්නේය. ගොවි නිෂ්පාදන වානිජ වශයෙන් නිදහසේ අලෙවි කරන්නට ඉඩ දෙන අතර ඕනෑම කෙනෙකුට නිෂ්පාදන මිල දී ගැනීමට හා අවශ්‍ය නම් ඊ වෙළඳාමට ද අවසර දිය හැකි බව පළමු පණත දක්වා තිබුණි. දෙවැනි පණත, ගොවියන් බලසතු කිරීම වශයෙන් හඳුන්වා තිබුණ අතර එහි දී ඉදිරි මිල ගිවිසුම ඇතුළු දේ වලට ගොවියන්ට ඇතුලත් විය හැකිය. තුන් වැනි පණත අනුව ධාන්‍ය, අර්තාපල් සහ වෙනත් ආහාර වගාව අත්‍යවශ්‍ය නොවන බව ප්‍රකාශයට පත් කළ අතර, වැඩි ආදායමක් ලබාගත හැකි විසිතුරු පැලෑටි හෝ අපනයන ශාඛ වගා කරන්නට ගොවියන්ට ඉඩ ලැබේ. මෙම අදහස් නිදහස් වෙළඳ පොල ක්‍රමයක් මගින් ගොවියන්ට වැඩි ආදායමක් ලබන්නට සලස්වන නමුත් ගොවිහු එයට උරණ වූහ.

අරගලය ඇවිලෙන්නේ ගොවියන් ගේ මතය නොකතා ගැනෙන තීරණ වලට එරෙහිවය. අරගල කාලය තුළ පොලිසිය සහ අරගලකරුවන් අතර අවස්ථා ගණනාවක දී ඇවිලිණ. කෘෂිකාර්මික කටයුතු කරගෙන යන ප්‍රාන්ත පුරා ඒවා පැතිරිණ. නිල වාර්තා දක්වන පරිදි සටන නොනැවතී ගෙන ගිය නමුත් ඉන්දීය පොලිසිය ඉතා ඉවසිල්ලලෙන් ක්‍රියා කර ඇත. පොලිස් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූයේ එක පුද්ගලයෙක් පමණක් බව දැක්වේ. උත්තර ප්‍රදේශ් හි ලක්ෂ්මීපුර් කේරී නගරයේ පැවැති ගොවි උද්ඝෝෂණ අතරට කඩාවැදුණු වාහනයක් ගොවීන් හතර දෙනෙකුට මරු කැඳවන ලද අතර තවත් දහ හතර දෙනෙකුට තුවාල සිදු කරන ලදී. එම වාහනය බලයේ සිටින දේශපාලනඥයෙකු ගේ එකක් බව හඳුනා අතර ගොවීහු බිය කර විසුරුවා හැරීම එහි අරමුණ වූ බව විරෝධතාකරුවෝ අවධාරණය කළහ. අරගල පැවැති දින අසූ හතක කාලය තුළ ගොවීහු දෙසිය හතලිස් අට දෙනෙකු මිය ගිය ගොස් තිබුණි. අධික ශීතල, හදිසි හෘදයාබාධ හා දිවිනසාගැනීම් මරණ වලට හේතු වූ බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් පත වාර්තා කළේය. පන්ජාබ් ප්‍රාන්තයෙන් මිය ගොස් සිටි ප්‍රමාණය 202 කි. 36 දෙනෙකු හර්යානා ප්‍රාන්තයෙන්ය. උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ හය දෙනෙකු සහ මධ්‍ය, මහාරාශ්ඨ, තමිල්නාඩු හා උත්තරාකාන්ද් වලින් එක් අයකු බැගින් බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් පත තව දුරටත් සඳහන් කර තිබුණි.

පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනි දා හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත ගොවියන්ගේ හා ගොවි සංවිධානවල දත්ත උපුටා දක්වමින් දින 333 ක් තුළ ගොවි මරණ 600 ක් අනාවරණය වී ඇති බව දැක්වීය. කෙසේ නමුත් අසාධාරණ පණත් වෙනස් කරන තෙක් අරගලය ශක්තිමත්ව ගෙන යන බව පැහැදිලිව පෙනෙන බව වාර්තා කළේය.

විරෝධයට හේතු වූ කෘෂි පණත් 2021 වසරේ මුල් භාගයේ ඉන්දීය ලෝක් සභාව හා රාජ්‍ය සභාව අනුමත කරන ලද අතර ජනාධිපතිවරයා ගේ ද අනුමැතිය ලැබුණ බව සඳහන් කළ යුතුය. මේවායෙන් ඇති කරන වෙනස්කම් ගොවියන් ගේ කැමැත්තට හේතු වූයේ නැත. ගොවි සංවිධාන විරෝධතා අරඹන ලද අතර ඉන්දීය ශේෂ්ඨාධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව පණත් අත්හිටුවා ඒ ගැන සෙවීමට කමිටුවක් පත් කිරීමට ද විරෝධතාකරුවෝ සමත්ව සිටියේය. ගොවි සංවිධාන ඇවිලෙන්නේ එයට සමාන්තරවය. පණත් ගෙන එන සූදානම තිබුණ 2020 සැප්තැම්බර් කාලයේ සිට ගොවීහු සංවිධානය වූහ. මධ්‍යම වෘත්තීය සමිති දහයක්, දේශපාලන පක්ෂ දහ අටක් ඉන්දියාව පුරා සටන් ඇවිලවූ බව නිල වාර්තා දක්වයි.

හර්යානා ප්‍රාන්තයේ සිට ගමන් අරඹණ ලද දැවැන්ත පෙලපාලියක් නවදිල්ලියට ඇතුළු වෙන්නට උත්සාහ කළ අතර ඔවුහු අගමැතිවරයා හමුවී විරෝධය පළකරන අදහස ඇතිව සිටියහ. එහෙත් හර්යානා පොලිසිය එය නතර කරන්නට සමත්විය. පොලිස් බැරියර් කඩාගෙන පැමිණි විරෝධතාකරුවෝ කඳුළු ගෑස් සහ ජලප්‍රහාරවලට ලක්ව පසු බැස ගියේය. එහෙත් නැවතත් සංවිධානය වූ ගොවියෝ පසු නොබැස සටනට පැමිණි අතර ආණ්ඩුව යටපත් කිරීම අවසාන ඉලක්කය බවට පත්ව තිබුණි. සිව් දිගින් කෘෂි යන්ත්‍රෝපකරණ පිරිවරාගෙන නගරයට එන ගමනක් ප්‍රකාශයට පත් කරන්නේ එම අතරවාරයේය. පසුගිය වසරේ නිදහස් දිනයේ දී අගනුවර වැටලීම අරමුණ වී තිබුණි. පන් දහසක් පමණ වන ටැක්ටර් ප්‍රමාණයක් පෙලපාලියට එකතු වූ නමුත් පසුව පහලොස් දහස ඉක්මවා ගිය අතර පෙලපාලි වලක්වනු සඳහා ඉන්දීය පොලිසිය අධිකරණයෙන් වාරණ නියෝග, මාර්ග අවහිර කිරීම්, අක්අඩංගුවට ගැනීම් නොකඩවා කරන ලද බව සඳහන් කළ යුතුය. අවසන් අවස්ථාව වැලැක්වීම සඳහා පොලිසිය, රජයේ පාර්ශව හා පෙලපාලිකරුවන් සමග සාකච්ඡාවට දොලහකට වඩා පවත්වන ලද නමුත් එකඟතාවයෙන් තොරව කෙළවර විය. සිවිල් නීති කැඩීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන තිබුණ පිරිස තුන්සියය ඉක්මවීය. පන්සියයක් දහසත් අතර පිරිසක් බැටන් ප්‍රහාර ගිනි අවි තුවාල සහිතව රෝහල් ගත කර තිබුණි. මෑත ඉතිහාසයේ ඉන්දියාවේ දක්නට නොලැබුණ දැවැන්තම උද්ඝෝෂණයක් බවට ගොවි විරෝධතා ඉතිහාස ගත වූ අතර නවදිල්ලියට ඇතුළු වූ ගොවි උද්ඝෝෂණ කණ්ඩායම් එහි නතර වී සෑහෙන කාලයක් එක දිගට විරෝධතා අවුලුවමින් ක්‍රියා කරන ලද බව සඳහන් කරන්නට අවශ්‍යය. අවසානයේ දී ඉන්දීය ආණ්ඩුවට පසු බසින්නට සිදු විය. ඉන්දීය අගමැතිවරයා සමාව ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තුවේ දී පණත් ඉවත් කරගන්නා දිනය පැහැදිලිව කියා සිටියේය.

ආණ්ඩු බලයට පත් කරන්නේ පොදු ජනතාව වන අතර ජනතාව පීඩනයට පත්වන විට ආණ්ඩුවලට එරෙහිව නැගී සිටිති. සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සහ විරුද්ධ දේශපාලන කණ්ඩායම් මෙම විරෝධතාවලට එකතුවෙයි. ආණ්ඩු ගන්නා තීරණ වලට ජනතාව එක සිතින් කැමැතිවෙන්නේ නැත. ඉතිහාසය එයට සාක්ෂි දරයි. ඉහවහා ගිය ප්‍රශ්න වලින් හෙම්බත්වී සිටින ජනතාව ඉල්ලන්නේ විසඳුම්ය. ජීවන වියදම දරාගත නොහැකි තැනට පත්ව ඇත. අත්‍යව්‍යශ්‍ය සේවා අර්බුදයකය. කටයුතු නිරාකරණය කරගත යුතු පිලිවෙලක් තිබේ. නීතියක් ඇත. නීතිය අතට ගෙන ප්‍රචණ්ඩකාරීව හැසිරීම සුදුසු නැත. ප්‍රචණ්ඩත්වය නැතව වතාවක් ආර්ථිකය අසරණ කරවයි. ආර්ථිකයෙහි ප්‍රශ්න මේවාට මුල් වී ඇති නමුත් ඒවා විසඳාගත යුතු පිලිවෙලක් තිබේ. ගැටුමකට යන්නට කලින් විසඳාගන්නට අවස්ථාවක් ඇත. සම්ප්‍රදායික පැවැත්මට තර්ජන එල්ලවන විට ජනතාවට ප්‍රශ්න ඇති වන අතර මහජන නියෝජිතයෝ සාකච්ඡා කර ජනතාව හමුවට ගොස් කරුණු පැහැදිලි කිරීම වැදගත්ය. සාමකාමීව ප්‍රශ්න විසඳාගත හැක. එහෙත් උණුසුම් අවස්ථාවක නීති රිති විසිවී යයි. ක්‍රියාවකට පසු ඇතිවන ප්‍රතික්‍රියා ගැන කල්පනා නොකෙරේ. අහිංසක ජනතාව විපතට පත්වන අතර වේදනාව පමණක් ඉතිරිවෙයි.