» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
23/07/2023 - ඉරිදා ලංකාදීප
බෞද්ධ අනන්‍යතාව තහවුරු කරන අධිකරණ තීන්දුව

දකුණු ඉන්දියාවේ බොදුනු පසුබිම තහවුරු කරන වැදගත් තීන්දුවක් මදුරාසි අධිකරණය පසුගිය වසරේ ජුනි මාසයේ දී ප‍්‍රකාශයට පත් කළේය. දිස්ත‍්‍රික්ක තිස් අටක් සහිත තමිල්නාඩු ප‍්‍රාන්තයේ කාර්මික දිස්ත‍්‍රික්කයක් වන සේලාම් හි පුද පුජා පවත්වන ස්ථානය කෝවිලක් නොව බෞද්ධ සිද්ධස්ථානයක් බව ආනන්ද වෙන්කටේෂ් ඇතුළු විනිසුරු මඩුල්ල තීන්දු කළ අතර එය මහත් ආන්දෝලනයකට හේතුවිය.

නිති විශාරදයින්, දේශපාලනඥයන් සහ ජනමාධ්‍ය දීර්ඝ කාලයක් තිස්සේ සේලාම් හි පෙරියර් ගම්මානයේ තිබුණ පුජණීය ස්ථානය ගැන වෙනම මතයක් ස්ථාපිත කර තිබුණි. ප‍්‍රාදේශීය ආගමික ස්ථානයක් වෙන මෙහි ප‍්‍රතිමාවට පූජා පවත්වමින් සිටියේය. බෞද්ධ පිරිසක් මෙම මතයට එරෙහිව තීන්දුවක් ඉල්ලා අධිකරණයට ගොස් ඇත. පරිශ‍්‍රය හා එහි යටගියාව සම්බන්ධ පුරාවිද්‍යා සාක්ෂි තහවුරු කරගැනීමෙන් පසු මෙම ප‍්‍රතිමාව බුදුන් වහන්සේ ගේ බව තීරණය කර ඇති අතර එය නිශ්චිතව දක්වන දක්වන පුවරුවක් සවිකරන ලෙස නිලධාරීන්ට නියෝග කළ අධිකරණය ජනතාවට එහි ප‍්‍රවේශවිය හැකි නමුත් පූජා හෝ හින්දු වතාවත් පැවැත්වීම තහනම් කර ඇත.

නොදැනුවත්කමින් ආගමික විශ්වාස පදනම් කරගෙන වරදක් සිදුවී තිබිය දී එය නිවැරදි කිරීම හැර වරද දිගටම කරගෙන යන්නට ඉඩදීම යුක්තිය නොවන බව තීන්දුව ප‍්‍රකාශයට පත් කළ විනිසුරුවරු අධිකරණයේ දී සදහන් කර ඇත. දශක දෙකක පමණ මෑත ඉතිහාසය තුළ දකුණු ඉන්දියාවේ අධිකරණයකින් ප‍්‍රකාශයට පත් කළ ඓතිහාසික නඩු තින්දුවක් වශයෙන් ඉන්දීය ජනමාධ්‍ය මේගැන කරුණු දක්වා තිබුණි. තීරණය ගැනීමට කලින් අධිකරණය, පුරා විද්‍යා නිලධාරීන්ගෙන් වාර්තාවක් කැදවා තිබීම ද විශේෂත්වයකි. පිලිමය බුදුන් වහන්සේගේ බවට තහවුරු කරගත් පසු තව දුරටත් වෙනත් දෙයක් සේ සැලකීම නුසුදුසු අතර එය බුද්ධ දර්ශනයේ මුලධර්ම වලට පටහැනි බව ද නඩු තීන්දුවේ ප‍්‍රකාශ කර තිබේ.

ඉන්දියාවේ දකුණු ප‍්‍රදේශය එනම් තමිල්නාඩුව හා ශ‍්‍රී ලංකාව අතර පවතින මානව, සංස්කෘතික හා ආගමික බැදීම් අතර බුදු දහම ද ඉහළින් පැවැති බවට සාක්ෂි ඇත. ථෙරවාද, මහායාන හා වජ‍්‍රයාන භික්ෂුන් වැඩවාසය කර ඇති අතර දැන උගත් ස්වාමීන්වහන්සේලා වශයෙන් බෝධිධර්ම, ධම්මපාල, ධම්මකිත්ති හා චන්දකිත්ති වැනි ස්වාමීන්වහන්සේලා ගැන පැරණි ලේඛනවල විශේෂයෙන් සදහන්වේ. අශෝක අධිරාජ්‍යයාගේ මෙහෙයැවීමෙන් මිහි`දු රහතන්වහන්සේ තමිල්නාඩුව පුරා දහම ව්‍යාප්ත කර ඇත. ශ‍්‍රී ලංකාව බලා ගමන් කරන අතරතුර තමිල්නාඩුවේ නැගෙනහිර වෙරළේ කාවේරිපට්ටන් වෙත පැමිණි බව ද සදහන් කරයි.

මදුරෙයි අසල පාණ්ඩ්‍ය රාජධානියේ මිහි`දු රහතන් වහන්සේ වෙනුවෙන් කරන ලද ආරාමයක් හා කාංචිපුරම් හි අශෝක අධිරාජ්‍යයා කරවන ලද ස්තූපයක් ගැන ද ලිපි ලේඛනවල ඇත. අශෝක අධිරාජ්‍යයාගේ කාලයේ සොයාගත් ශිලා ලේඛනවල චෝල සහ පාණ්ඩ්‍ය එනම් තමිල්නාඩුව හා තම්බපණ්නී - ශ‍්‍රී ලංකාවේ ධර්මය පැතිරවීම ගැන ලියැවී ඇත. භ‍්‍රාහ්මී අක්ෂර වලින් ලියන ලද අශෝක යුගයේ සටහන් මදුරෙයි, තිරිච්චිපල්ලි, තිරුණාවෙලි හා චෙංගාපත්තු දිස්ත‍්‍රික්කලින් හමුවී ඇත. චෝල, පාණ්ඩව හා පල්ලව රාජධානි විශාල ශිෂ්ඨාචාර ලෙස ආසියාවේ විහිදුන අතර බෞද්ධ නටඹුන් ආරක්ෂා කරන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන ලද බව පෙනේ. අනෙක් ආගම් සමග සහජීවනයක් පවත්වාගෙන ගොස් ඇති අතර බුදුන් වහන්සේ පවා විශ්ණු අවතාරයක් සේ අර්ථ දක්වා තිබේ.

කාන්චිපුරම් ප‍්‍රදේශය තමිල්නාඩුවේ පිහිටි විශාලතම බෞද්ධ මධ්‍යස්ථානය වශයෙන් සැලකේ. චීන ජාතිකයන් එහි පැමිණ බුදු දහම පිලිබද හදාරන ලද බව පැරණි චීන ලේඛණවලින් උපුටා දක්වා තිබේ. වෙරළබඩ තීරයක් වන කාවේරිපුමපුත්තියන්, සේලාම් දිස්ත‍්‍රික්කයේ තියගනාරු සහ තවත් කුඩා මුහුදුබඩ ගම්මානයක් වන නාගපට්ටනම් බෞද්ධ විහාර තිබුණ ස්ථාන වශයෙන් දැක්වේ. 2004 වසරේ දී තිරුවනාරු දිස්ත‍්‍රික්කයේ සෙල්ලූර් ග‍්‍රාමයෙන් බුදු පිලිම ඇතුළු දහමට සම්බන්ධ සංකේත සැලකිය යුතු ප‍්‍රමාණයක් සොයාගැනීමට ගවේශකයන් සමත්විය.

හත්වැනි සියවසට පසු විෂ්ණු හා ශිව ආගම්වල වර්ධනය හා හින්දු භ‍්‍රාහ්මණ බලපෑමත් හේතුවෙන් තමිල්නාඩුවේ බුදුදහම පිරිහී ගියබව පර්යේෂණ වාර්තා දක්වයි. බෞද්ධ හා ජෛන ආගමික ස්ථාන ප‍්‍රහාරවලට ලක්ව ඇති අතර ජනතාවගේ හා ප‍්‍රභූ අවධානය අඩු වී ඇත. පීඩනය හේතුවෙන් තමිල්නාඩුවේ දෙමල ජාතික බෞද්ධ භික්ෂුන් ශ‍්‍රී ලංකාවට පැමිණ වාසය කර තිබේ. මෙම විනාශකාරී සිදුවීම් මැද පවා තමිල්නාඩුවේ ප‍්‍රදේශවල බුදු දහම ආරක්ෂිතව පැවැති අතර 13 වැනි සියවසේ දී දඹණෙියේ රජකළ පරාක‍්‍රමබාහු රජු ශ‍්‍රී ලංකාවේ බෞද්ධ ප‍්‍රබෝධය අරමුණු කරගෙන චෝල රටෙන් භික්ෂූන් වැඩම කරවන ලද බව මහා වංශයේ ද දැක්වේ.

අධිකරණයේ නඩු පැවැරීමෙන් පසු සේලාම් හි බෞද්ධ සංකේත ආරක්ෂා කරගැනීමට සමත්වීම හා සමාන සිද්ධි බහුල නැත. ඉන්දියාවේත් ශ‍්‍රී ලංකාවේත් බෞද්ධ සිද්ධස්ථාන හා වැදගත් පුරාවස්තු විශාල ප‍්‍රමාණයක් තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා උපන් වඞ්නගර් ප‍්‍රදේශයේ දෙවැනි හා හත්වැනි සියවසට අයත් බුදු දහමට සම්බන්ධ ස්ථාන විශාල ප‍්‍රමාණයක් අනාවරණය කරගෙන ඇති අතර ඒවායේ කැනීම් දැනට ආරම්භ කර තිබේ. මෙම ගවේශණ සමග බෞද්ධ දර්ශනය හා එහි උරුමය ගැන අලූත් සාකච්ඡාවක් ඉන්දියාව තුළ ආරම්භ වී ඇත. ශ‍්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව ද විවිධ අවස්ථාවල බුදු දහමේ ව්‍යාප්තිය එහි අනන්‍යතාව ආරක්ෂා කරගැනීම සදහා බලවත් වෑයමකින් ක‍්‍රියා කරයි.

වරින් වර පැන නැගෙන මතවාද බෞද්ධ අයිතිය ආරක්ෂා කරගැනීමේ ප‍්‍රයත්නයෙහි උච්ච අවස්ථා වශයෙන් ගැනේ. යටගියාව අනාවරණය කරගැනීම හා ආරක්ෂා කරගැනීම වැදගත් අතර ඒවා නීත්‍යානුකූල පදනමකින් සිදුවිය යුතුය. ගවේශණවලට ලක්විය යුතුවේ. සංස්කෘතික ති‍්‍රිකෝණ රාමුවෙන් එපිට ප‍්‍රදේශවල දැනට පවතින බව සැක කරන ශ‍්‍රී ලංකාවේ බෞද්ධ නටඹුන් අනාවරණය කරගැනීමට හෝ සංරක්ෂණයට තියුණු උත්සාහයක් නැත. එයට හේතුව පැහැදිලිය. මෙම පර්යේෂණ සදහා ධනය වෙන්කරන්නට රටට මෙම අවස්ථාවේ දී පවතින හැකියාව සීමිත බව අවධානයට ලක්විය යුතුය. කෙසේ වෙතත් සංස්කෘතික හා ආගමික උරුමය සම්බන්ධ අනන්‍යතාව මතුකරගත යුතුව ඇති අතර ඓතිහාසික සාධක මත ශ‍්‍රී ලංකාවේ අනන්‍යතාව ආරක්ෂා කරගැනීම ස`දහා විධිමත් ක‍්‍රියාමාර්ග ගත යුතුව තිබේ.