මහාභාරත් පුරාතන ඉන්දියාවේ සංස්කෘත මහා වීර කාව්‍ය දෙක අතුරින් එකකි. රාමායණය අනෙක් වීර කාව්‍යයයි. මේවා පුරාවෘත්ත පදනම් කරගත් වීරත්වයේ ආඛ්‍යාන වශයෙන් සැලකේ. රාමායනය හා මහාභාරත් කාව්‍යයන්හි සිද්ධි, සංකේත හා ස්ථාන සම්බන්ධයෙන් අති විශාල විශ්වාසයක් ඉන්දියානුවන්ට ඇත. ඥාති සහෝදර පාර්ශ්ව දෙකක් වන කෞරවයන් සහ පාණ්ඩවයන් අතර ඇති වූ කුරුක්ෂේත‍්‍ර යුද්ධය මහාභාරත් කාව්‍යය විචිත‍්‍රව විස්තර කරයි. කෞරව මහා භාරත් කාව්‍යයෙහි එන චරිතවල මුතුන් මිත්තෙකු වන ඉන්දියාවේ පුරාවෘත්තයන්ගෙන් නිර්මාණය වූ නරපතියෙකු සේ සැලකෙන කුරු රජුගෙන් පැවැත එන පාර්ශවයකි. පාණ්ඩව පාර්ශවය දෙවියන් විසින් නිර්මාණය කරන ලද දරුවන් සේ සදහන්ය. කෞරව හා පාණ්ඩව දෙපාර්ශවය අතර යුද්ධයක් ඇරඹුණ අතර එය කුරුක්ෂේත‍්‍ර යුද්ධය බව මහාභාරත් විස්තර කරයි. ක‍්‍රිෂ්ණා දෙවියන්ගේ උපකාර ඇතිව කෞරවයන් විනාශ කරන පාණ්ඩව යුද්ධය ජයග‍්‍රාහීව අවසන්කර ඇති බව මෙම කාව්‍යයේ දැක්වේ.
ක‍්‍රිෂ්ණ ද්වයිපායන නොඑසේනම් ව්‍යාස වශයෙන් හදුන්වන ප‍්‍රකට සෘෂිවරයා මහාභාරත් රචනා කර ඇත. නූතන හින්දු සංස්කෘතික සම්ප‍්‍රදාය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කරන සහ ඉතා ගෞරවණීය පිලිගැනීමක් සහිත හින්දු වීර කාව්‍යයක් වන මහාභාරත් යනු සැබෑ ඉතිහාස වාර්තාවක් බව බොහෝ දෙනා විශ්වාස කරති. තවත් සමහරු එය මිථ්‍යා ප‍්‍රබන්ධයක් ලෙස දකිති. මහාභාරත් ප‍්‍රබන්ධ කෘතියක් ද, නොඑසේනම් ඓතිහාසික කතාන්දරයක් ද යන්න පිළිබඳව ඉතිහාසය පුරා දිගින් දිගටම පවතින විවාදයකි. මහාභාරත්, සත්‍ය සිද්ධියක් වන අතර ඉන්දියාවේ ස්ථාන තිස් පහකට වඩා වැඩි ප‍්‍රමාණයක් නිර්මාණයේ විස්තර කර ඇති ස්ථාන වශයෙන් හදුනාගෙන ඇති බව ඇතැමුන් සහතික කර කියා සිටිති. මෙම පුරාණ ස්ථාන සම්බන්ධ ප‍්‍රමාණවත් සාක්ෂි පවතින බව ඇතැම් පුරා විද්‍යාඥයන්ගේ මතයකි. තඹ සහ යකඩ භාජන, පින්තූර සහිත මුද්‍රා, රන් රිදී ආභරණ, සහ පින්තාරු කරන ලද අළු බඳුන් මෙම ස්ථානවලින් සොයාගෙන ඇති බව ලිපි ලේඛන වල දැක්වේ. ‘මහාභාරත්‘ කාව්‍යයේ විස්තර කර ඇති කුරුක්ෂේත‍්‍ර යුද්ධය සිදු වූ තැන ගුජරාට් ප‍්‍රාන්තයේ එනමින් අදටත් පවතී.
කුරුක්ෂේත‍්‍ර හින්දු ආගමික බැතිමතුන් ගේ ආකර්ශනයට පත් ස්ථානයකි. එය සංචාරක පාරාදීසයක් වශයෙන් වැඩි දියුණු වෙමින් ඇත. කෞරව හා පාණ්ඩව දෙපාර්ශවය ගැටුම සිදුවූ ස්ථානය දැවැන්ත ඉදිකිරීම් වලින් සම්පූර්ණය. භ‍්‍රහ්ම සරෝවර්, ක‍්‍රිෂ්ණා කෞතුකාගාරය සහ මහා දේව් දේවාලය ඇතුළු තැන් ගණනාවක් සංචාරකයන්ට දැකබලාගත හැක. එයට නුදුරින් ශ‍්‍රී ක‍්‍රිෂ්ණා දෙවියන් භගවත් ගීතාව දේශනා කළ නියම ස්ථානය වශයෙන් දක්වයි. වසර 5000කට පෙර භගවද් ගීතාව අර්ජුන නම් තම ශ්‍රේෂ්ඨතම මිතුරා ඇතුළු බැතිමතුන්ට පහදා දුන් තැන බව දක්වන නුග ගසක් මෙම ස්ථානයේ ඇත.
භගවද් ගීතාව කාව්‍යය විසින් මනුශ්‍ය ජීවිතයේ අරමුණ හෙවත් සතර පුරුෂාර්ථ ඉගැන්වීමක් කරයි. ධර්මිෂ්ඨකම, සදාචාරාත්මක වටිනාකම්, සෞභාග්‍යය එනම් ආර්ථික වටිනාකම්, සතුට හා ආදරය සහ සතරවැන්න වශයෙන් විමුක්තිය එනම් අධ්‍යාත්මික වටිනාකම් මහාභාරත් හි සතර පුරුෂාර්ථ වශයෙන් දක්වයි. ජනයා අතර සාමය හා සංහිදියාව ද, මනුෂ්‍ය ගුණ ධර්ම ඇතිකිරීමට ද වීර කාව්‍යය රචනා කර ඇති බව වර්තමානය හා සැස`දීමේ දී නිරීක්ෂණය කළ හැකිය. මහාභාරත් අන්තර්ගත ප‍්‍රධාන කථා පුවත් අතරට භගවද් ගීතාව, දමයන්තිගේ කථා පුවත, සාවිත‍්‍රී සහ සත්‍යවන්ගේ කථාව, කාච සහ දේව්‍යාණි කථා පුවත, ඍෂ්‍යශෘංගගේ කථාව සහ රාමායණයෙහි සාරාංශයක් අයත් වේ.
සියවස් ගණනාවක් පුරා සංස්කරණය වෙමින් පැවති මහාභාරත් වීර කාව්‍යයෙන් වැඩි කොටසක් ක‍්‍රි.පූ. තුන්වැනි සහ ක‍්‍රිස්තු වර්ෂ තුන් වැනි සියවස අතර කාලයේ නිර්මාණය වී ඇති බව දැක්වේ. මහාභාරත් කෘතිය ලොව දීර්ඝතම වීර කාව්‍යය වශයෙන් සැලකෙන අතර එහි දිගම අනුවාදය ශලෝක 100,000කට අධික ප‍්‍රමාණයකින් හෝ තනි තනි පද්‍ය පේළි ලක්ෂ දෙකකට අධික ප‍්‍රමාණයකින් යුක්තය. මහාභාරත් කෘතිය ඉලියඞ් සහ ඔඩිසි ඒකාබද්ධයේ ප‍්‍රමාණය මෙන් දස ගුණයකි. ශිෂ්ටාචාරයේ පැවැත්ම අතරතුර මහාභාරත් කෘතියේ වැදගත්කම බයිබලය, කුරානය, හෝමර්ගේ කෘති, ග‍්‍රීක නාට්‍ය හෝ විලියම් ෂේක්ස්පියර්ගේ කෘති සමග සංසන්දනය කරන විචාරකයෝ එහි අසමසමභාවය ගැන අදටත් එය පරිපූර්ණ නිර්මාණයක් වශයෙන් දක්වති.
හින්දු සංස්කෘතියේ බලපෑම අනුව රාමායනය, භගවද්ගීතාව, මහාභාරත් ඇතුළු මහා නිර්මාණවල ආභාෂය ලාංකේය සංස්කෘතියට ඇතුළු වී ඇත. මෙම නිර්මාණවල එන චරිත සහ ඒවායෙන් ඔප නංවා ඇති දේවත්වය ආගන්තුක නැත. ඉන්දියානුවෝ, විශේෂයෙන් හින්දු භක්තිකයන් රාමායනය ගැන කතා කරන විට ලංකාවත් රාවණා ගැන ද, සදහන් කරති. රාමායනයට සම්බන්ධ ලංකාවේ ඇති ස්ථාන ගැන විශාල උනන්දුවක් දක්වයි. ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතා සලකනවිට වසර හත්දහසකට පමණ කලින් නිර්මාණය වූ මෙම පුරාවෘත්ත මගින් ඇතිකරන අනන්‍යතා විශේෂ අවධානයකට ලක් විය යුතුය.
ශ‍්‍රී ලාංකිකත්වය ද ගොඩනැගෙන්නේ පැරණි සංස්කෘතික ලක්ෂණ, ඒවායේ අනන්‍යතා සහ වීරත්වය පදනම් කරගෙන බව සදහන් කළ හැකිය. රාවණා, විජය කුමාරයා, දේවානම්පියතිස්ස හෝ දුටුගැමුණු වැනි චරිත ඔස්සේ දැවැන්ත භාවයක් අපට ද ඇත. ඉතිහාසය හා එහි කොටස් සම්බන්ධව ලියැවුණ හා නොලියැවුණ පරිච්ෙඡ්ද විශාල ප‍්‍රමාණයක් ලාංකේය උරුමයට ඇතුලත්ය. පර්යේෂකයන්, විද්‍යාර්ථීන් මේවා ගවේශනය කර නොයෙක් පැතිවලින් රටට හ`දුන්වා දී ඇත. ජන සාහිත්‍යයේ යටගියාව සදහන්ය. බලි තොවිල් සහ ගම්මඩු පවත්වන අවස්ථාවල පරම්පරාවෙන් පැවැත එන අංග නැවතත් මතු කෙරේ. නවීන තාක්ෂණය හා විද්‍යාව හදාරන පරම්පරාවට යටගියාවේ සිද්ධි ගැන විශ්වාසයක් නැත. ජාතක කතා, සංදේශ කාව්‍ය මගින් හසුරුවන ලද ජන විඥාණය ගැන අවධානය යොමු කරන්නට උනන්දුවක් නැත. එහෙත් මෙම නිර්මාණ තුළ ශක්තියක් හා බලයක් ඇත. ඒවා පරිශීලනය කිරීමේ දී ලාකේය පදනම ගොඩනැගුණ සංසිද්ධි හදුනාගැනීමට හැකිවේ. ඉතාමත් දියුණු සමාජ පසුබිමක පසුවෙන ඉන්දියානුවන් පවා මහත් භක්තියකින් රාමායනය, මහා භාරත් ගැන විශ්වාස කරන අතර ඒවායේ කියැවෙන වීරත්වයෙන් ධෛර්යයට පත්ව සිටී. ශ‍්‍රී ලාංකික අනන්‍යතාවයට ද මහා වීරකතාවක් ඇත. එම වීරත්වය සමීප නැති දුරස්ථ එකක් බවට පත් කරගෙන ඇති බව සමාජ පැවැත්ම දක්වයි. එදිනෙදා පැවැත්ම අරමුණු කරගෙන සංකීර්ණ ගැටළුවලට මුහුණ දී සිටින ජන කොටස් උරුමයෙන් ලබාගත හැකි ශක්තිය විශ්වාස කරන්නේ නැත. ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය තුළ අනන්‍ය සංස්කෘතික ප‍්‍රවාහයක් ඇත. විනෝදය හෝ රසාස්වාදය ඉක්මවාගිය ආකෘතියක් අපට අත්පත් කරගත හැකිය. විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව, ආර්ථික ප‍්‍රබෝධය තරමටම යටගියාවෙන් නික්මෙන මහා වීරත්වය ජන හදවත් තුළට කාන්දු කිරීමේ අවශ්‍යතාවයක් වර්තමානයේ පවතී.
|