» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
22/08/2021 - ඉරිදා ලංකාදීප
අගමැතිවරු දහ හතර දෙනෙකු සමග හැත්තෑ පස් අවුරුද්දක්

අගෝස්තු පහලොස් වැනි දා ඉන්දියානුවන්ට, මහත් අභිමානවත් දවසකි. නිදහස් දිනය එදිනට යෙදී තිබේ. අධිරාජ්‍යවාදී පාලනයෙන් නිදහස්වීම ස්මරණය කෙරේ. හැත්තෑ පස් වැනි නිදහස් දිනය යෙදුන දා අලූයම සිට රට හැම තැනෙකම ඉන්දීය ධජ පතාක ලෙළදෙනු දක්නට ලැබිණ. ස්වල්ප දිනකට කලින් කොවිඞ් වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටි මුහුණු පී‍්‍රතියෙන් ඇළැලී තිබිණ. අනෙක් රටක නිති වලින් නිදහස්ව තමන්ට අනන්‍ය පරිදි ක‍්‍රියාත්මක වන අවස්ථාව මහත් ආහ්ලාදයක් බව නිසැකය. පැරණි ජීවිතය ගැන මතකය ඉතිරිකරගෙන සිටින මුල් පරම්පරාවේ ඉන්දියානුවෝ සිය නිවහල් භාවය ගැන අප‍්‍රමාණ සතුටකින් බව පෙනේ.

නැගෙනහිර ඉන්දීය සමාගම අවුරුදු සියයක පමණ කාලයක් සමස්ථ ඉන්දියාව යටත් කරගෙන සිටියේය. නිදහස් අරගලය අරඹන්නේ 1957 වසරේ දී ය. දීර්ඝ කාලයක් කරගෙන ගිය සටන් අවසානයේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය ඉන්දියාව ගැන තීරණයකට එළැඹියේය. එකී වකවානුව වන විට ලෝක යුද්ධ දෙකක අර්බුද වලින් පසු හෙම්බත්වී සිටි බව මතක් කළ යුතුය. 1947 අගෝස්තු 15 වැනිදා ඉන්දියාව නිදහස ලැබීය. 1950 ජනවාරි 26 වැනිදා ඉන්දියාව අලූත් ව්‍යවස්ථාවකට අනුව නිදහස් නිවහල් ජනරජයක් බව ප‍්‍රකාශයට පත් කළේය.

පසුගිය හැත්තෑ පස් වසර තුළ ඉන්දියාව විවිධ හැල හැප්පීම් වලට නතු වී තිබේ. දැවැන්ත රටක්, අති විශාල ජනගහනයක් හා ඉතාම සංකීර්ණ පාලන ව්‍යුහයකි. ඉකුත් කාලය තුළ අගමැතිවරු දහ හතර දෙනෙකු ඉන්දියාවේ නියමුවෝ වූහ. එරට දේශපාලන පක්ෂ ක‍්‍රමය තුළ ප‍්‍රධාන ධාරා දෙකක් පැහැදිලිව හදුනා ගත හැකිය. දැනට ආණ්ඩු කරගෙන යන භාරතීය ජනතා පක්ෂය එකකි. දක්ෂිණාංශික ජාතිකවාදී පක්ෂයකි. අනෙක් ප‍්‍රබලම පක්ෂය ඉන්දීය ජාතික කොන්ග‍්‍රසයයි. එය වාමාංශික නැඹුරුවක් සහිතය. නිදහස ලැබුණ පසු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයට ඇතුළු වූ ඉන්දීය නායකයෝ පක්ෂ පිහිටුවාගත් අතර ප‍්‍රධාන නායකයන් තමන්ට රිසි පරිදි පිහිටුවාගෙන ඇති පක්ෂ ගණන දෙසීය ඉක්මවන බව වාර්තා දක්වයි. දැනට ඉදිරියෙන්ම සිටින භාරතීය ජනතා පක්ෂය හෙවත් බී.ජේ.පී. සහ ඉන්දීය ජනතා පක්ෂය නැත්නම් කෙටියෙන් හදුන්වන අයි.එන්.සී. වටා පාලන බලය හුවමාරු වෙමින් තිබේ. තවත් පකෂ අටක් ආණ්ඩු පිහිටුවීම සදහා වරින් වර සන්ධාන ගත වන බව නිරීක්ෂණය කළ හැකිය. භාරතීය ජනතා පක්ෂය බිහිවෙන්නේ 1980 දී ය. එවකට පැවැති ජනතා පක්ෂයෙන් කැඞී ගිය කොටසක් එය නිර්මාණය කරයි. අද වන විට චීන කොමියුනිස්ට් පක්ෂයට පමණක් දෙවැනි සේ සැලකෙන අතර සාමාජිකත්වය මිලියන 180 ඉක්මවා ඇති බව අනාවරණය වෙයි. ශිෂ්‍ය, තරුණ, කාන්තා සහ කම්කරු බලවේග වලින් සමන්විත අතර සමස්ථ ඉන්දියාවම නියෝජනය කරන්නට සමත්ව ඇත.

ගුජරාට් ප‍්‍රාන්තයේ මහ ඇමැති වශයෙන් දැවැන්ත ජනප‍්‍රසාදයක් අත්පත් කරගෙන සිටි කැරළිකාර නරේන්ද්‍ර මෝදි භාරතීය ජනතා පක්ෂය සිය මහ මැතිවරණ අපේක්ෂකයා වශයෙන් නම් කරන්නේ 2013 වසරේ දී ය. එයින් වසරකට පසු පැවැති ඉන්දීය මහ මැතිවරණයෙන් ඔහු ඉහළට ඔසවා තබන්නට ජනතාව ඉන්දියානුවෝ තීරණය කළහ. සරල, නිරහංකාර ජීවිතයකට හුරු වී සිටින හෙතෙම නිල වශයෙන් හිමිවී තිබුණ වාහනය පවා ප‍්‍රතික්ෂේප කර ඉන්දීයාවේ නිපදවන ලද රථයක් සිය භාවිතාවට වෙන් කරගත්තේය. 2019 මැතිවරණයෙන් ද විවිධ අභියෝග මැද නැවතත් අගමැති ධුරයට පත් හෙතෙම ඉතිහාසයේ නොවූ බලවත්ම තර්ජනාත්මක පරිසරයකය. කොවිඞ් වසංගතය රට පුරා ව්‍යාප්ත වූ අතර ජනී ජනයා මහත් සංවේගයෙන් පසුවූහ. මහජන විරෝධතා, සෞඛ්‍ය අංශයේ දුබල තැන් හා අවසානයේ දී කොවිඞ් රෝගීන් ගේ දැඩි සත්කාර ස`දහා අවශ්‍ය ඔක්සිජන් හි`ගයක් ඇතිවීම දක්වා තත්ත්වය ඉතාම දරුණු තැනකට පත්විය. ඉන්දීය ආණ්ඩුව මහත් අපහසුතාවයක පසු වූ බව නොරහසකි. එහෙත් කොවිඞ් රැල්ල තුනී වී ඇති අතර නව දිල්ලියේ ජන ජීවිතය සාමාන්‍ය කරණය වී තිබේ. ඉන්දීය ජනගහනයෙන් සියයට දහසයක් සම්පූර්ණයෙන්ම එන්නත්කරණය කර ඇත. මහ මග සැරි සරන ජනී ජනයා කලින් පරිදි නොව ආරක්ෂිත ක‍්‍රම අනුගමනය කරන්නට උපරිම උත්සාහ කරන බව පෙනේ. රෝගීන් අඩු නමුත් සෞඛ්‍ය අංශ ලිහිලක් පෙන්වන්නේ නැත. ප‍්‍රතිකාර සේවා, දැඩි සත්කාර අංශ යුහුසුළුව සූදානමින් සිටී.

හැත්තෑ පස්වන නිදහස් සංවත්සරයේ දී ජනතාව අමතන ලද අගමැතිවරයා ආසාදිතව ජීවිතක්ෂයට පත් සියළුම දෙනා ගැන කම්පාවෙන් කතා කළේය. අහිමි වූවන් ගැන පවතින වේදනාව සදාකාලිකව පවතිනු ඇති බව කියා සිටියේය. නිදහස් දින දේශනයේ දී, කොවිඞ් දෙවැනි රැල්ලේ දී මුහුණ දුන් ඉතාම කණගාටුදායක සිද්ධි ගැන මතක් කළ හෙතෙම අවධානය යොමු කළේ ඉදිරි වසර විසි පහ තුළ ගෙන යන දීර්ඝ සංවර්ධන සැලැස්ම සම්බන්ධවය. කොවිඞ් තත්ත්වය හෙයින් පසුගිය වසරේ ආර්ථිකය රින 7.3 ක අගයක් ගත් අතර නිෂ්පාදන හා අපනයන වේගවත් කර රට ඉදිරියට ගෙන යන සැලසුම හෙළි කළේය. ඉන්දීය ව්‍යවස්ථාව අනුව තවත් වාරයක් ඡුන්දය ඉල්ලන්නට අවස්ථාව ඇති නමුත් දෙවැනි ධුර කාලය අවසන් කරන්නටත් කාලය තිබිය දී ඉදිරියේ දී එන නායකයන්ට ද ගමන් පහසුව ඇති කරන යෝධ සැලැස්මක් යෝජනා කිරීම කැපී පෙනෙන සිදුවීමකි. සාමාන්‍යයෙන් දේශපාලනඥයන්ගේ අභිලාශ ඉතා පටු ස්වභාවයක් ගන්නා අතර ඊළග ඡන්දය තෙක් ඉදිරි දැක්ම සැලසුම් කරන බව පෙනේ. එහෙත් නිදහස ලබා අවුරුදු සියයක් එළැඹෙන විට ඉන්දියාව ගැන කල්තබා තීක්ෂණ අවධානයක සිටීම ඉතාම වැදගත් කාරණයක් බව දැක්විය යුතුය.

ඉන්දියාව නිදහස ලබා මාස හයක් ගතවන්නටත් දින කිහිපයක් කලින් ලංකාවට නිදහස ලැබුණි. තවත් ස්වල්ප කාලයකින් ශ‍්‍රී ලංකාවට ද වසර සියය ගැන හිතන ආකෘතියකට යොමුවෙන්නට සිදුවනු ඇත. අපගේ තරුණ පරපුර මුහුණ දෙන අවශ්‍යතා ගැන කල්තබා සැලසුම් කරන්නට අවශ්‍යය. ජනතාවගේ සිතුම් පැතුම් හා ඉදිරි පරම්පරාව ජීවත් වන පරිසරය ගැන කල් තබා තීරණ ගැනීම සියළුම දේශපාලන නායකයන්ගේ වගකීමකි. එකම දේශපාලන ක‍්‍රමය, එකිනෙකට වෙනස් සමාජ සංස්කෘතික රාමුවක් තුළ වැඞී සාරවත් වී ඇති අතර එයින් ලැබෙන මිහිරි ඵල ගැන පොදු ජනතාව තෘප්තිමත් ද යන කාරණය නැවත විමසා බලන්නට ඉන්දියාවේ එලැඹුම දැවැන්ත පදනමක් වනු ඇත.

නරේන්ද්‍ර මෝදි අගමැති සදහන් කරන ලද පරිදි ඉදිරි කාලය තුළ කර්මාන්ත, කෘෂිකර්මාන්ත හා සේවා වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීම ස`දහා දැවැන්ත ආයෝජනයක් කරන්නට සූදානම්ය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සංවර්ධනයේ ප‍්‍රතිලාභ ඉන්දියාවේ අස්සක් මුල්ලක් නෑර සෑම තැනෙකට කාන්දු කරන දර්ශනයක් අගමැතිවරයා තුළ පවතින බව පෙනේ. සෑම නගරයකට මාර්ග දියුණු කරන අතර සෑම පුද්ගලයෙකුටම බැංකු ගිණුමක් අරඹන පහසුව ඇති කරනු ඇත. අඩු ආදයමක් ලබන ජනතාවට නොමිලේ සෞඛ්‍ය පහසුකම් දෙන වැඩපිලිවෙලක් අරඹා තිබේ. ආයුෂ්මත් නමින් නම් කර ඇති එය ජනගහනයේ පහලම සියයට පනහ වෙත ඉක්මනින් ලබා දෙන අතර ගෑස්, විදුලිය සම්බන්ධතා අවශ්‍ය සියළුම දෙනා වෙත සැපයීම මෙම කාලය තුළ කරගෙන යන බව දක්වා තිබේ.

රට පුරා විවිධ නගර සම්බන්ධ කරන අලූත් දුම්රිය හැත්තෑ පහක් යෙදවේ. එය වන්දේ භාරත් සංකල්පය අනුව ක‍්‍රියාත්මකය. ජම්මු කාශ්මීර් ඡන්දය පවත්වන බව ද දක්වයි. ගැටි ශක්ති සංකල්පය ද ක‍්‍රියාවට නංවන බව කියා සිටී. එයට අනුව ඉන්දීය ව්‍යවසායකයන්ට ජාත්‍යන්තරයෙහි දොරටු විවෘත කරන පියවරකි. ඉන්දීය කර්මාන්ත හා සේවා අංශ වලට ජාත්‍යන්තර තරගකාරීත්වයට මුහුණ දිය හැකි පරිදි ශක්තිමත් කරන වැඩසටහනක් බව දැක්වෙයි. ඕනෑම නිෂ්පාදනයක් අපනයනයේ දී ඉන්දියාව සදහා සන්නාම තානාපතිවරයෙකු බව අගමැතිවරයාගේ විශ්වාසය වී තිබේ. අපනයනය වේගවත් කරන මෙකී පියවර ගැන ඉදිරියේ දී විස්තරාත්මකව අනුවරණය කරනු ඇත. ආපසු හැරී බලන අතර අනාගතය සදහා වැඩ පිලිවෙලක් නිදහස් දිනයේ දී අනාවරණය කළේය. බලයේ සිටින ඕනෑම නායකයෙකුට කිසිසේත් ප‍්‍රතික්ෂේප කළ නොහැකි දර්ශනයකි. පැවැත්ම, අනාගත අපේක්ෂා සහ ඉන්දියාව සම්බන්ධයෙන් ලෝකයේ තිබිය යුතු තැන වෙනුවෙන් කරන ලද දැවැන්ත ආයෝජනයක් සේ නිරීක්ෂණය කළ හැකිය.