» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
22/05/2022 - ඉරිදා ලංකාදීප
දේශපාලන පක්ෂ සම්බන්ධීකරණයෙකින් අලූත් පෙරැළියක්

කලාපීය දේශපාලනයෙහි නව ප‍්‍රවණතා ගණනාවක් සිදුවෙමින් පවතී. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත, දීර්ඝ ඉතිහාසයක් ඇති රටවල් ගණනාවක් ස්වකීය පක්ෂ ව්‍යුහය ගැන අලූතින් සිතන බව පෙනේ. මිලියන එකසිය අසූවකට වැඩි පිරිසක් පක්ෂ සාමාජිකත්වයක් ඇති භාරතීය ජනතා පක්ෂය අනුගමනය කරන ප‍්‍රතිපත්ති එහි දී ඉදිරියෙන්ම ඇත. පක්ෂයේ ඉතිහාසය දශක හතක පමණ ඉතිහාසයක් දක්වා විහිදේ. 2014 වසරේ සිට ඉන්දියාව පාලනයය කරන දේශපාලන පක්ෂය බවට පත්ව ඇති භාරතීය ජනතා පක්ෂය නොඑසේනම් බී.ජේ.පී ආසියානු කලාපයේ වෙනත් රටවල සමාන අදහස් ඇති දේශපාලන පක්ෂ සමග එකතුවෙන ව්‍යාපාරයක් ආරම්භ කරන අදහස ඇතිව සිටී.

ලෝකයේ තෝරාගත් රටවල රාජ්‍ය තාන්ති‍්‍රික නිලධාරීන් හමුවෙන බී.ජේ.පී. ප‍්‍රධානීහු එහි යාන්ත‍්‍රණය, පක්ෂයේ ගමන සහ ඉදිරි සැලසුම් ගැන කරුණු දක්වන සාකච්ඡා මාලාවක් සංවිධානය කරයි. කුඩා කණ්ඩායම් වශයෙන් තෝරාගන්නා රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ට පක්ෂයේ ප‍්‍රධානීන්ගේ අදහස්වලට සවන් දෙන්නට සිදුවේ. අවසානයේ දී සාකච්ඡාවක් ද සිදුවන අතර අලූත් අදහස් හා යෝජනා සැලකිල්ලට ගැනේ. දේශපාලන යාන්ත‍්‍රණය ගැන හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පිලිවෙල ගැන ඇතැම් කරුණු නොදන්නා රටවල නියෝජිතයන්ට අභ්‍යන්තරය හදුනාගැනීමට අවස්ථාවකි.

ජගට්. පී. නද්දා බී.ජේ.පී. හි සභාපති ධුරය උසුලයි. 2020 ජනවාරියේ දී පක්ෂ සභාපති ධුරයට පත් හෙතෙම අංශ ගණනාවක් එකතු කර තරුණ හා කාන්තා බලවේග සමග දේශපාලනය සංවිධානය කරයි. පක්ෂ මුලස්ථානය පිහිටියේ නව දිල්ලියේ ය. දිස්ත‍්‍රික 350 ශාඛා ස්ථාපිත කර ඇත. ඒවා පක්ෂයට අයත් ගොඩනැගිලිවන අතර සියළුම ශාඛා ප‍්‍රධාන කාර්යාලය සමග ජාලගත කර තිබේ. ඕනෑම අවස්ථාවක පක්ෂ ප‍්‍රධානීන්ට නව දිල්ලියේය සිට එකවර ආමන්ත‍්‍රණය කළ හැකි පරිදි තාක්ෂණික පහසුකම් සහිතය. ප‍්‍රධාන කාර්යාලයේ ඇති ‘‘ඉ පුස්තකාලය කදිම සංකල්පයකි. සාමාජිකයන්ට මෙම පුස්තකාලයේ එකතු කර ඇති සියළුම පොත පත අන්තර් ජාලයෙන් කියවන්නට පහසුකම් සම්පාදනය කර තිබේ. සෑම මැතිවරණයක් පාසා දත්ත, පර්යේෂණ වාර්තා එහි එකතු කෙරේ. දිස්ත‍්‍රික් හා ජාතික මට්ටමින් නායකයන් කරන දේශන හා පළ කරන පොත පත ජාතික පුස්තකාලයේ දී කියැවිය හැකි අතර ඉ පුස්තකාල ක‍්‍රමයට ඇතුලත් කරමින් තිබේ.

බී.ජේ.පී. ගමන ඇරඹන්නේ 1951 දී ය. එවකට ජවහල් ලාල් නේරු අගමැතිවරයා ගේ කැබිනට් මණ්ඩයේ සිටි ශ්‍යාම් ප‍්‍රසාද් මුඛර්ජී නේරු ගේ කොන්ග‍්‍රස් පක්ෂයෙන් ඉවත්වන අතර ආර්. එස්. එස්. නමැති ජන සංවිධානය සමග සමග එකතු වෙයි. හින්දු ජාතිකවාදී සංවිධානයක් වන ආර්. එස්. එස් හි දේශපාලන දාමය බලට සැලකෙන්නේ බී.ජේ.පී. ය බව සදහන් කළ යුතුය. භාරතීය ජන සංගම් වශයෙන් ආරම්භ වූ පක්ෂය හින්දු සංස්කෘතික අනන්‍යතාව ඇතිව අනන්‍යතාවයක් ගොඩනගා ගනී. 1952 පළමු මැතිවරණයේ දී ලෝක් සභාවේ ආසන තුනක් දිනා ගත් අතර 1967 දක්වා සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් නොකළේය. 1977 වසරේ පක්ෂ ගණනාවක් එකතු වී ජනතා පක්ෂය ස්ථාපිත කරන ලද අතර කොන්ග‍්‍රස් පක්ෂය පරාජය කර බලයට පත්වන්නට හැකියාව ලැබුණි. වසර තුනක් බලයේ සිටි ජනතා පක්ෂය පසුව නැවත වෙන් වී තිබේ. ඉන්දීය පාර්ලිමේන්තුවේ වැඩි ආසන ප‍්‍රමාණයක් දිනාගන්නට බී.ජේ.පී. 1996 දී සමත්වන නමුත් බහුතරය නැති ආණ්ඩුවේ පැවැත්ම දින දහතුනකට සීමා විය. දෙවැනි වතාවට ද අතල් බිහාරි වජ්පායි අගමැතිවරයාගේ නායකත්වයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී එකමුතුවක් සේ බලයට පත්වන නමුත් වසරකට පසු බිද වැටේ. ගුජරාට් ප‍්‍රාන්ත මැතිවරණයට තරග කළ නරේන්ද්‍ර මෝදි අති විශාල ජයග‍්‍රහණයක් අත්පත් කරගත් අතර එය පක්ෂයේ නවෝදයට අත්තිවාරමක් වූ බව සැලකිය හැකිය.

වර්තමාන ඉන්දියාවේ ප‍්‍රධානතම දේශපාලන පක්ෂ දෙක අතරින් එකක් වන බී.ජේ.පී. ය දක්ෂිණාංශික මතවාදී සංකල්ප අනුව ක‍්‍ර‍්‍රියාත්මක වන අතර ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති අනුව ක‍්‍රියාත්මක වෙමින් සිටී. ජම්මු කාශ්මීර ප‍්‍රාන්තයට තිබුණ විශේෂ බලතල ඉවත් කිරීම නරේන්ද්‍ර මෝදි ආණ්ඩුව මෑතක දී ගත් ප‍්‍රබල තීරණයකි. එහි අයෝධ්‍යා නගරයේ රාම් දෙවොලක් ඉදිකෙරෙන අතර එය ඉන්දියාවේ විශාලතම හින්දු දේවාලය බවට පත්වනු ඇත. අගමැති නරේන්ද්‍ර මෝදි, ප‍්‍රකට වෘතාන්තයක් වන රාමායනයට සම්බන්ධ බවට සැලකෙන සියළුම ස්ථාන වලින් එහි ප‍්‍රදර්ශනය සදහා විශේෂ වැදගත්කමක් ඇති සංකේත එකතු කරමින් සිටින අතර නුවරඑළිය සීතාඅම්මාන් කෝවිල පරිශ‍්‍රයේ පාශාණයක් රාම් මන්දිරයට පරිත්‍යාග කරන්නට ශ‍්‍රී ලංකාව සමත්ව ඇත.

ඉන්දියාවේ දේශපාලනයෙහි බලවත් භාවය, පවුල් දේශපාලනය හා ජනතා නායකයන්ගේ ගමන ගැන විචිත‍්‍ර විශේෂාංග තිබේ. නිදහස් සටනේ ආරම්භයේය සිට අද දක්වා රට වෙනුවෙන් කැපවී ක‍්‍රියා කරන දේශපාලන පවුල් දස දහස් ගණනකි. සෑම දේශපාලනඥයෙකු ගේ ම පසුබිම තුළ අතීත දැවැන්තයන් ගේ සෙවනැලි ඇත. ඉන්දියාව දේශපාලන පක්ෂ අති විශාල ප‍්‍රමාණයක් ඇති රටකි. මැතිවරණයකට ඉදිරිපත්වන අපේක්ෂකයෝ දහස් ගණනකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග ආරක්ෂා කිරීම සදහා නොයෙක් අණ පණත් ක‍්‍රියාත්මකය. වසරේ ලෝකයේ පළමු වතාවට විද්‍යුත් ඡන්ද ප‍්‍රකාශ කිරීම අත්හදා බලන්නේ ඉන්දියාවයි. 1982 දී ඡන්ද සලකුණු කරන ලද කඩදාසි භාවිතය ඉවත් කෙරේ. කුඩා බැටරිවලින් භාවිතා වන මැෂින් ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාපිත කරන අතර ඒවා යේ පාට පුවරුවලට ඇගිල්ල තබා ඡන්ද ප‍්‍රකාශ කළ හැකි ක‍්‍රමයක් දක්වා දියුණු කර ඇත.

ස්වාධීන හා අපක්ෂපාත මැතිවරණයක් පැවැත්වීම සදහා ඉන්දීය මැතිවරණ කොමිසම විශේෂ විධිවිධාන පනවා තිබේ. සංදර්ශන, පාද යාත‍්‍රා, වාහන සංචාර තහනම් කරන අතර ඡන්දයට බලපාන කිසියම් සිද්ධියක් වාර්තා වී මිනිත්තු සියයක් ඇතුලත වහාම දැනුම්දෙන්නට ක‍්‍රමයක් මැතිවරණ කොමිසමට තිබේ. අපේක්ෂකයන්ට විරුද්ධව අපරාධ චෝදනා හෝ නඩුවක් අධිකරණයෙහි විභාගවෙමින් පවතීනම් ඒ බව ඔවුන්ගේ වෙබ් අඩවියෙහි පැහැදිලිව ප‍්‍රසිද්ධ කළ යුතු තරමට ඉන්දියාවේ මැතිවරණක‍්‍රම දියුණු අතර මේවා අනුගමනය කරන්නට දේශපාලන පක්ෂවලට සිදුවේ. ඒවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන්නට ගෙන ඇති පියවර වශයෙන් නිරීක්ෂණය කළ හැකිය.

භාරතීය ජනතා පක්ෂයට ගෙන එන යෝජනාවකට අනුව ඉදිරි කාලයේ දී ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල පක්ෂවලට තමන්ගේ ප‍්‍රතිපත්ති අනුව එකිනෙක යා විය හැකිය. එකට වැඩ කරන්නට අවකාශ ලැබේ. කලාපයේ රටවල් සම්බන්ධ කරන බිම්ස්ටෙක් යාන්ත‍්‍රණයක් තිබේ. එහි ප‍්‍රධානන කාර්යාලය නේපාලයෙහි පිහිටා ඇත. බිම්ස්ටෙක් මගින් රටවල නායකයෝ එක අරමුණකට එකතු වෙති. අඩුම තරමින් දකුණු ආසියාවේ රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන පක්ෂ අතර සබදතා ඇති කරන නව ක‍්‍රමවේදයක් නිර්මාණය වුවහොත් එය මහජනතාව අලූත් යුගයකට කැදවන පියවරක් විය හැකිය. පටු ආකල්ප සහිතව, බලය හා ධනය අරමුණු කරගෙන පක්ෂ ගෙන යන යාන්ත‍්‍රණය වෙනුවට රටවල් නගා සිටුවා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් ශක්තිමත් කරන පියවර ඉතාම වැදගත්ය. දේශපාලන ව්‍යාපාරවල ස්වභාවය, පක්ෂතුළ ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැනි කරුණු මෙහි දී අපට මෙහි දී සලකා බලන්නට සිදුවේ.